Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 5001-5100 න් 9627

395. පදුමකූටාගාරිය ස්ථවිරාවදානය
3726. තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ ලෝකනායක වූ සර්‍වඥ වූ මෝනෙය්‍යගුණ යුත් වූ සමාධියෙහි දක්‍ෂ වූ පියදස්සී භාග්‍යවත් තෙමේ විවෙක කැමැත්තේ (විය).
3727. මහාමුනි වූ පුරුෂෝත්තම වූ ඒ පියදස්සී බුදුරජ තෙම වන ලැහැබට පිවිස පවුල්සිවුර අතුට වැඩහුන්නේ ය.
3728. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙකිම් වීමි. මම එකල්හි පස දමෘගයකු (=තිත්මුවකු) සොයන්නෙම් ඇවිදිමි.
3729. එහි දී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ පිපියා වූ ශාලවෘක්‍ෂරාජයකු වැනි වූ උඩට නැගී ආ හිරු වැනි වූ සම්බුදුරජුන් දිටිමි.
3730. මම දේවාතිදේව වූ මහත් යශස් ඇති ඒ පියදස්සී බුදුරජුන් දැක එකල්හි ස්වයංජාත විලකට බැස පියුම් ගෙණ ආමි.
3731. මම සියක් පත් ඇති මනරම් වූ පියුම් ගෙණවුත් කුළුගෙයක් කොට (එය) පියුමෙන් වැසීමි. (සෙවිලි කෙළෙමි).
3732. පස්මරුන් ජයගත් (සර්‍වසත්නට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙම දවරෑ සතක් ඒ කුළුගෙයි විසීය.
3733. මම පරණ (පියුම්) අස් කොට අලුත් පියුමින් (ඒ කුළුගෙය නැවත) වැසීමි (=සෙවිලි කෙළෙමි). එකෙණෙහි මම ඇඳිලි බැඳ ගෙණ සිටියෙමි.
3734. ලෝකනායක වූ පියදස්සි බුදුරජ තෙම සමාධියෙන් නැගිට දස දිගුන් පිළිවෙළින් බලමින් වැඩහුන්නේ ය.
3735. එකල්හි පියදස්සී බුදුරජුන්ගේ සුදස්සන නම් උපස්ථායක තෙමේ ඒ බුදුරජුන් සිත දැන,
3736. අසූදහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ වනයෙහි සුවසේ වැඩහුන් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියේ ය.
3737. එකල්හි වනලැහැබෙහි අධිගෘහිත වූ යම් තාක් දෙවිවරු වෙත් නම් ඒ සියලු දෙවිවරු ද බුදුරජානන් වහන්සේගේ සිත දැන එහි රැස් වූහ.
3738. කුම්භාණ්ඩයන් ද, රකුසන් සහිත වූ යකුන් ද රැස් වූ කල්හි, බික්සඟන ද පැමිණි කල්හි බුදුරජ තෙම මේ ගාථාවන් වදාළේය:
3739. “යමෙක් තෙම සතියක් මුළුල්ලෙහි මා පිදී ද, (එසේ ම) මට ආවාසයක් කරවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.
3740. ඉතා දුකසේ (කලාතුරකින්) දැකිය හැකි වු ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද ඒ පුණ්‍යකර්‍මය මැනවින් ප්‍රකාශිත ය. එය නුවණින් (බලා) පවසන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු.
3741. “(මෙ තෙම) තුදුස්කපක් (මුළුල්ලෙහි) දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ඔහු පියුමක් මෙන් වැසුනු මහත් වූ කුළුගෙයක් අහස්හි දරන්නේ ය. පුෂ්පකර්‍මයාගේ මේ විපාක යි.
3742. සූවිසිකප් සියයක් (කල් මුළුල්ලෙහි) දෙව්මිනිස් දෙගතියෙහි ඔබ මොබ සැරිසරන්නේ ය. ඒ සියලු තන්හි දී (මට) මල්මුවා විමනක් අහසෙහි පහළවන්නේ ය.
3743. යම්සේ පියුම්පතෙහි දිය නො වැකේ ද, එසේ ම මොහුගේ නුවණෙහි ක්ලේශයෝ නො තැවරෙත්.
3744. මෙ තෙම පඤ්චනීවරණයන් සිතින් නඟා හැර (=බැහැර කොට) සසුන්ගතවීමෙහි සිත් උපදවා ගිහිගෙන් (නික්ම) පැවිදි වන්නේ ය. ඉක්බිති මල්මුවා විමනක් දරමින් නික්මෙන්නේ ය.
3745. ප්‍රාඥ වූ සිහියෙන් යුත් වූ රුක්මුල්හි වසන්නා වූ (මොහුට) එහිදී මල්මුවා විමනක් මුදුනෙහි දරන්නේ ය.
3746. මෙතෙම චීවර පිණ්ඩපාත (ගිලාන) ප්‍රත්‍යය සේනාසන යන සිවුපස බික්සඟනට දී ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය යී.
3747. කුළුගෙයකින් පැවිද්දට නික්මුනෙමි. රුක්මුල්හි වසන කල්හි කුළුගෙය (ද) දැරේ.
3748. චීවරයෙහි ද පිණ්ඩපාතයෙහි ද මාගේ චේතනාවක් නැත. (කරණලද) පින්කම හා යෙදුනෙම් (ඒ චීවර ආදිය) අනූනව ලබමි.
3749. මා විසින් ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි බොහෝ කෙළගණන් කල්‍පයෝ ඉක්මවන ලදහ. මා විසින් හිස් ලෙස ඒ කල්‍පයෝ ඉක්මවන ලදහ. බුදුවරු අතහැර දමන ලදහ.
3750. අටළොස් සිය වැනි කපෙහි හෙවත් (මෙයින්) එක්දහස් අටසිය වන කපෙහි පියදස්සී නම් බුදුරජ තෙම ලොව පහළ විය. මම උන්වහන්සේ ඇසුරු කොට මේ යෝනිය (=ජන්මය) ට එළඹියෙම් වෙමි.
3751. මෙහි දී පසැස් ඇති අනෝම නම් වූ සම්බුදුරජුන් දිටිමි. මම උන්වහන්සේ වෙත එළඹ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදිවීමි.
3752. පස්මරුන් ජය ගත් දුක් කෙළවර කරන්නා වූ බුදුරජ තෙම මට (ප්‍රතිපත්ති) මාර්‍ගය දේශනා කෙළේ ය. උන්වහන්සේගේ ධර්‍මය අසා නිවණට පැමිණියෙමි.
3753. සැකිකුලතිලක වූ ගොයුම් සම්බුදුන් තුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
3754. එක්දහස් අටසිය වැනි කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3755. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
3756. (බුදුරජුන් වෙතට) මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3757. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකූටාගාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමකූටාගාරිය ස්ථවිරාවදානය පස්වැනි යි.
396. බක්කුල ස්ථවිරාවදානය
3758-3659. හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්‍වතයක් විය. එහි මාහට මැනවින් කරණ ලද අසපුවෙක් විය. ඒ අසපුව ස්‍වකීය ශිෂ්‍යයන් විසින් මවන ලද්දකි. එහි මණ්ඩපයෝ ද බොහෝ වූය. එහි පිපුණු සින්දුවාර වෘක්‍ෂයෝ ද එසේ ම පිපුණු ජීවජීවක වෘක්‍ෂයෝ ද කපිත්‍ථ (=දිවුල්) වෘක්‍ෂයෝ ද බොහෝ වූහ.
3760. නිකගස් ද ඩෙබර හා නෙල්ලිගස් ද බොරළුදමනු (=උගුරැස්ස) ගස් ද ලබු ද පිපුණු සුදුනෙළුම් ද එහි බොහෝ ය.
3761. ආලක නම් ගස් ද බෙලි කෙසෙල් නාරන් උක් කුඹුක් පුවඟු ගස් ද එහි බොහෝ ය.
3762. කෙහොඹ ය, සලල (=හොර) ය, කොළොම් ය, නුග ය, ගිවුළු ය යන මේ වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳු ය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.
3763. සියල්ල තෙමේ ම අවබෝධ කර ගත් ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (=විවේකය) සොයන්නේ මාගේ අසපුවට එළඹියේ ය.
3764. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් ඒ ලෝකනායක වූ බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් හටගැණින.
3765-3766. මම අරණෙහි හැසිරෙන්නෙම් ලෝකනායකයන් වහන්සේ දැක මහත් යශස් ඇත්තා වූ ද පසැස් ඇත්තා වූ ද ඒ සම්බුදු රජුන් වෙත එළඹ උන්වහන්සේගේ පැවැත්ම දැක එකල්හි සියල්ල ස්‍වයම්‍භූඥානයෙන් දත් අපගේ බුදුරජුන්හට නිසැකයෙන් ම ව්‍යාධියෙක් උපනැයි සැළකීමි.
3767. (ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි මම මාගේ සිසුන් සමීපයෙහි දී බෙහෙදක් කරුණු කැමැත්තෙම් සිසුන් ඇමතීමි.
3768. සියලු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක් රැස් වූහ. මාගේ ශාස්තෘගෞරවය හේතු කොට ගෙණ-
3769. මම වහා පර්‍වතයට නැග සියලු ඖෂධ සෙවීමි. මම ඒ ඔසු බීමට සුදුසු කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
3770. මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායක බුදුරජානන් වහන්සේ ඖෂධය වැළඳූ කල්හි මහර්ෂි බුදුරජුන්ගේ වාතාබාධය වහා සන්සිඳුනේ ය.
3771. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජ තෙම කාය දරථය (=ක්‍ලාන්තය) සන්හිඳුනා දැක සිය අසුනෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:
3772. “යමෙක් මට බෙහෙත් දුන්නේ ද, මාගේ රෝගය සන්හිඳුවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
3773. (හේ මේ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ඒ දෙව්ලොවෙහි වාද්‍යයෙහි ද තූර්‍ය්‍යයෙහි ද මෙතෙම හැමකල්හි සතුටු වන්නේ ය.
3774. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ මිනිස්ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
3775-3776. පස්පණස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජවරුන්) ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සත්රුවනින් යුත් මහත් බල ඇති අනෝම නම් ක්‍ෂත්‍රියයෙක් වූයේ තව්තිසාව ද කළඹා ආධිපත්‍යය කරවන්නේ ය.
3777. දෙවි වූයේ ද මිනිස් වූයේ ද ආබාධ රහිත (නීරෝග) වූ වෙක් වන්නේ ය. ගිහිගෙය හැර දමා ලොව්හි වූ ව්‍යාධි (දුඃඛ) ය ඉක්මවන්නේ ය.
3778. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්පලක්‍ෂයකින් මතුයෙහි) ඔක්‍කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
3779. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ඖරස (බුද්ධපුත්‍ර) වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ (හෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.
3780. කෙලෙස් දවා තෘෂ්ණාව නමැති සැඩපහර ද තරණය කරන්නේ ය. නමින් ‘බක්කුල’ නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් ද වන්නේ ය.
3781. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙම මේ සියල්ල දැන භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
3782. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේකසුවය බලාපොරොත්තු වන්නේ මාගේ අසපුවට එළඹියේ ය.
3783. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තෙම් සියතින් සියලු ඖෂධයෙන් සන්‍තර්‍පණය කෙළෙමි.
3784. ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇති වූ) බීජසම්පත්තිය (අස්වැන්න) මෙන් (සරුය) අවසන් කරන්නට නො හැක්කෙමි.
3785. යම්බඳු වූ මම ලෝකනායකයන් වහන්සේ දුටුයෙම් ද එය මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමෙකි. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අවලපදය වූ නිවණට පැමිණියෙම් වෙමි.
3786. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ මේ සියල්ල දැන බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්‍ථානයෙහි තැබී ය.
3787. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්පලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙසත් දන්හි මේ විපාකයි.
3788. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3789. බුදුරජුන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3790. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බක්කුලස්ථවිරාවදානය සවැනි යි.
397. ගිරිමානන්‍ද ස්ථවිරාවදානය
3791. මාගේ භාර්‍ය්‍යාව කලුරිය කළා ය. පුත්‍ර තෙමේ ද සොහොනට ගියේ ය (=මළේ ය). මව ද පියා ද සොහොයුරා ද (තිදෙන) එක ම චිතකයෙහි (=දරසෑයෙහි) දැවෙත්.
3792. මම ඒ ශෝකයෙන් තැවුනෙම් කෘශවූයෙම් වෙමි. ඒ ශෝකයෙන් පෙළුනෙම් මාගේ චිත්තක්‍ෂේපය (=සිත්පෙරළීම) ද විය.
3793. මම ඒ සෝහුලින් පෙළුනෙම් වනයට එළඹියෙමි. ස්‍වයංපතිත ඵල අනුභව කොට මම රුක්මුල්හි වසමි.
3794. පස්මරුන් ජය ගත්තා වූ දුක් කෙළවර කරන්නා වූ සුමේධ නම් ඒ බුදුරජතෙම මා (සසරසයුරෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
3795. සුමේධ බුදුරජුන්ගේ පාහඬ අසා මම හිස ඔසවා බුදුරජුන් දෙස බැලීමි.
3796. මහාවීර වූ බුදුරජතෙම සමීපයට පැමිණියේ ය. මට ප්‍රීතිය පහළ විය. එකල්හි ඒ ලෝකනායක වූ බුදුරජුන් දැක එකඟසිත් ඇත්තෙම් වීමි.
3797. මම සිහිය ලබා (උන්වහන්සේට) කොළ මිටක් දුනිමි. පසැස් ඇති භාග්‍යවත් තෙමේ අනුකම්පාවෙන් එහි වැඩ හුන්නේ ය.
3798. භාග්‍යවත් වූ සුමේධ බුදුරජ තෙම එහි වැඩ හිඳ මට (මාගේ) සෝහුල බැහැර කරන්නා වූ ධර්‍මය වදාළේ ය:
3799. “(ඒ භාර්‍ය්‍යාආදීහු) කැඳවීමක් නොමැත්තෝ ව ඒ අතීත ලෝකයෙන් (මෙහි) පැමිණියාහු ය. එසේ ම අනුදැන්වීමක් නො කරණ ලද්දාහු මෙලොවින් පරලොවට ගියාහු ය. යම් සේ (ඇරයුමක් නො මැතිව) මෙලොවට පැමිණියාහු ද, එසේ ම (අනුදැනීමක් නො මැතිව) පරලොවට ගියාහු ය. එහි කවර නම් වැලපීමෙක් ද?
3800. යම් සේ මගීජනයෝ වැසි වස්නා කල්හි බඩු සහිතව වැසි නො වැටෙන තැනකට ඔහු එළඹෙත් ද,
3801. ඔහු වැසි නැවතුනු කල්හි කැමති තැනකට යෙත්. ඔබගේ දෙමාපියෝ ද එසේ වෙති. එහි කවර නම් වැලපීමෙක් ද?
3802. (ලොව්වැසි හැම සත්හු ම මෙලොවට) ආගන්තුකයෝ වෙති. අමුත්තෝ වෙති. සැලෙව කම්පා වන පියවි ඇත්තෝ වෙති. තාගේ දෙමාපියෝ ද එබඳු වෙති.
3803. යම් සේ සර්‍පයෙක් ජීර්‍ණ වූ ස්වකීය සැවය හැර දමා යේ ද, එසේ ම තාගේ දෙමාපියෝ සිය සිරුර මෙ ලොව්හි හැර දමත්.”
3804. මම බුදුරජානන් වහන්සේගේ වචනය අසා සෝහුල දුරු කෙළෙමි. ප්‍රමෝදය උපදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
3805-3806. ඒ බුදුරජුන්හට වැඳ දිව්‍යමය සුවඳින් යුත් ගිරිනිල්මල් කලඹක් පිදීමි. පුදා ලෝකනායක වූ සුමේධ බුදුරජුන්හට සිරසෙහි ඇඳිලි බැඳ අග්‍ර වූ ගුණ සිහි කරමින් පැසසීමි.
3807. මහාවීරයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ භවතරණය කළහු ය. මහාමුනීන් වහන්ස, ඔබ නුවණින් සර්‍වසතුන් දුකින් ගොඩලන්නෙහි ය.
3808. මහාමුනීන් වහන්ස, ඔබ විමතිය ද, ද්වෙළ්හක සඞ්ඛ්‍යාත සැකය ද සිඳිනෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, ඔබ ඔබගේ නුවණින් මාගේ මාර්‍ගය පිළියෙල කෙරණෙහි ය.
3809. එකෙණෙහි (ධ්‍යාන) සිද්ධියට පත් ෂඩභිඥා ඇති මහර්ද්ධිමත් ප්‍රාඥ වූ ආකාශ්චාරී වූ රහත්හු පිරිවරත්.
3810. (ආර්‍ය්‍ය මාර්‍ගයට) පිළිපන්නෝ ද සප්තශෛක්‍ෂයෝ ද (ශුෂ්‍කවිදර්‍ශක වශයෙන්) අර්‍හත්ඵලස්‍ථයෝ ද (ඒ පිරිසෙහි) වෙත්. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හිරු උදාවන කල්හි (පිබිදෙන) පියුම් මෙන් ප්‍රබෝධ වෙත්.
3811. පසැස් ඇත්තානන් වහන්ස, යම් සේ සමුදුර නො කැළඹිය හැක්කේ ද, තුලනය (=අනිකක් හා සැසඳීම) කළ නො හැක්කේ ද ඔබ එසේ වූ නුවණින් යුතු වෙහි ය. පමණ කළ නො හැකි (නුවණැත්තේ) වෙහි ය.
3812. මම සියලු දිගුන්හි හිඳ තෙදියත දිනූ මහත් වූ යශස් ඇති බුදුරජුන් වඳිමින් (එ දෙසට) නැමුනෙම් ගියෙමි.
3813. (මම ඒ පිනින්) කුදු මහත් භවයන්හි සැරිසරමින් දෙව්ලොවින් ච්‍යුතව සම්‍යක් ප්‍රඥාවෙන් යුතු වූයෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් මවුකුසින් බිහි වීමි.
3814. (ඉක්බිති වැඩිවියට පැමිණ) ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූයෙම් පැණැතියෙම් ධ්‍යානකරණ සුලු වූයෙම් විවේකස්ථානයන් ඇසුරු කෙළෙමි.
3815. වීර්‍ය්‍යය කොට බුදුරජුන් තුටු කොට මේඝකූටය (=වැසිවලාව) කින් මිදුනු සඳු මෙන් මම හැමකල්හි හැසිරෙමි.
3816. සන්හුන් වූයෙම් කෙලෙස් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
3817. මෙයින් තිස්දහස් කපකින් මත්තෙහි යම් සම්බුදුවරයකු මොනවට පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3818. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3819. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිමානන්‍දස්ථවිරාවදානය සත්වැනි යි.