3634. පින්වත, බුද්ධ යන යම් වචනයක් කියහි ද, තෙල ශබ්දය පවා අතිශයින් දුර්‍ලභ ය. බුද්ධය බුද්ධය යන මේ වචන අසා මට ප්‍රීතිය හටගත්තේ ය.
3635. සිතින් නො දැරිය හැක්කා වූ මාගේ ප්‍රීතිය පිටත පැතිරෙයි. ප්‍රීතිසිත් ඇති ඒ (සෙල නම් වූ) මම මේ වචනය කීමි:
3636. “ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහි ද? සතර ශ්‍රාමණ්‍යඵලදායක වූ උන්වහන්සේට එහි ගොස් නමස්කාර කරන්නෙමි” යි.
3637. කේණිය තවුස්තෙමේ මාගේ දකුණු අත ගෙණ හටගත් සොම්නස් ඇත්තේ කරණ ලද ඇඳිලි ඇත්තේ සෝහුල් පහ කරණ බුදුරජුන් අරබයා මෙසේ කීය:
3638. “නැග එන්නා වූ මහවලාවක් වැනි, අඳුනක් බඳු නිල් වූ සයුරක් සේ පැනෙන තෙල මහවනය දක්නෙහි ද?
3639. මෙහි නො දැමුනවුන් දමනය කරන්නා වූ, මෝනෙය්‍ය ගුණ ඇති, විනෙය ජනයන් හික්මවන, බෝපැකිදම් (බෝධිපාක්‍ෂික ධර්‍ම) පිළිවිදුවන (=ප්‍රතිවේධ කරවන) ඒ බුදුරජහු වැඩ වෙසෙති.
3640. මම පැන් පවස ඇත්තකු දිය සොයන්නාක් මෙන් ද, සාදුකින් පෙළුනකු බොජුන් සොයන්නාක් මෙන් ද, වස්සා කෙරෙහි ගිජු වූ දෙනක ඒ වස්සා සොයන්නාක් මෙන් ද මෙසේ බුදුරජුන් සෙවීමි.
3641. ආචාර උපාචාර දන්නා මම බුදුන් හමුවට යන සිය සිසුන් දහමට නිසි සංවරයෙහි ලා හික්මවීමි.
3642. එකලාව හැසිරෙන සිහරජුන් මෙන් බුදුවරු නො ලංවිය හැකි සැහැවි ඇත්තාහ. මාණවකයිනි, (තෙපි) පියෙහි පිය තබන්නාහු (පියවර මනිමින්) එවු.
3643. ඝෝර වූ ආසීවිසයකු මෙන් ද කේශරසිංහරාජයකු මෙන් ද දළ ඇති මත් වූ ඇත්රජකු මෙන් ද මෙසේ බුදුවරු ලං විය නො හැක්කෝ ය.
3644. මාණවකවරුනි, (තෙපි) කසින්නා වූ ද කිවිසින්නා වූ ද, (ශබ්ද) නවතා පියෙහි පිය තබන්නාහු බුදුරජුන් වෙත එළඹෙවු.
3645. (බුදුවරු) විවේකය ගරුකරන්නෝ ද, නිශ්ශබ්දතාව කැමැත්තෝ ද, නො ලංවිය හැක්කෝ ද, දෙවියන් සහිත ලෝකයෙහි ගුරු වූ උතුමෝ ද වෙත්.
3646. යම් කලෙක්හි මම ප්‍රශ්න විචාරම් ද, පිළිසඳර හෝ කථා කෙරෙම් ද, එකල්හි නිශ්ශබ්ද වවු. මෝනෙය්‍යගුණ ඇතියන් මෙන් ව සිටිවු.
3647. ඒ බුදුරජුහු නිවන් පැමිණීම පිණිස පවත්නා වූ ක්‍ෂේම (=නිර්‍භය) වූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත් ද ඒ ධර්‍මාර්‍ත්‍ථය ම අසවු. සද්ධර්‍මශ්‍රවණය සැප ය.”
3648. මම බුදුරජුන් වෙත එළඹ ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ හා පිළිසඳරෙහි යෙදුනෙමි. ඒ පිළිසඳර කථාව නිමවා (උන්වහන්සේගේ) මහපුරිස් ලකුණු පරීක්‍ෂා කෙළෙමි.
3649. (එසේ පරීක්‍ෂා කරන්නා වූ මම) මහාපුරුෂ ලක්‍ෂණ තිසක් දකිමි. මහාපුරුෂ ලක්‍ෂණ දෙකක් පමණක් (නොපෙණෙන බැවින්) සැක කරමි. (එයින්) කෝසොහිතවත්‍ථගුය්‍හය බුදුහු ඍද්ධිබලයෙන් පෙන්වූහ.
3650. (දෙවෙනි නො පෙණෙන ලක්‍ෂණය දක්වන්නාහු) දිව පිටතට ඇද කන් නැහැසිදුරු පිරිමැද්දහ. බුදුරජුහු සම්පූර්‍ණ නළල් තල දිවෙන් වැසූහ.
3651. මම උන්වහන්සේගේ (අසූවක්) අනුව්‍යඤ්ජන සහිත වූ සම්පූර්‍ණ දෙතිස්මහපුරිස් ලකුණු දැක සර්‍වඥයහ යි තීරණය කොට සිසුන් සමඟ පැවිදි වීමි.
3652. තුන්සියක් (සිසුන්) සමග සසුන් වනිමි. අඩමසක් නො පැමිණි කල්හි ම අපි හැම නිවණට පැමිණියම්හ.
3653. (සියල්ලෝ) නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි එක් ව පින්කම් කොට සමග ව සසරෙහි හැසිර සමගව ම සසරගමන නැවැත් වූහ.
3654. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී මැනවින් කළ ඒ කර්‍මය කරණකොට ගෙණ අනුසස් අටක් ලබමි.
3655. දිශාවන්හි පුදනු ලබන්නෙම් වෙමි. මාගේ භෝගයෝ ද අපමණයහ. සියලුදෙනාහට ම පිහිට වෙමි. මට තැති ගැන්මෙක් නැත.
3656. මට රෝගයෝ නො වෙති. දීර්‍ඝායු රකිමි. (=බොහෝකල් ජීවත් වෙමි.) සියුම් සිවි ඇත්තෙම් වෙමි. කැමති නිවාසයෙහි ම වසමි.
3657. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී (මෙසේ) අටඅනුසසක් ලැබීමි. මාගේ මේ අටවන අනුසසින් බැහැරි වූ අනෙක් අනුසස සිවුපිළිසිඹියාවන් සහිත රහත්බව යි.
3658. මහාමුනීන් වහන්ස, සියලු වැස නිමවූ බඹසරවස් ඇත්තා වූ සිවුමගින් කරණ ලද කටයුතු ඇත්තා වූ ආස්‍රව රහිත වූ මුබවහන්සේගේ පුත්‍ර තෙමේ අට්ඨගෝපානසී නම් ද වේ.
3659. සමූහධර්‍මයෙහි වශී වූ මම ටැම් පසක් දී මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ හේතු (අනුසස්) පසක් ලබමි.
3660. මම මෛත්‍රියෙන් නො සැලෙමි. පිරිපුන් අඟපසඟ ඇත්තෙම් වෙම්. පිළිගතයුතු වචන ඇත්තෙම් වෙමි. මම (ටැම් බඳු ව) නො සැලෙමි.
3661. මාගේ සිත භ්‍රාන්ත නො වේ. කුමකට වුව ද නිශ්චල වෙමි. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ සසුනෙහි නිර්‍මල වූවෙකිම් වෙමි.
3662. බුදුරජානන් වහන්ස, ගෞරව සහිත වූ (ස්වාමියකු ඇතැයි) යටත් පැවතුම් ඇති, කරණ ලද කටයුතු ඇති, ආස්‍රව රහිත වූ, මුබ වහන්සේගේ ශ්‍රාවක වූ, මහණ ඒ මුබවහන්සේ වඳියි.
3663. මම මනා ව නිමි කිස ඇති පලඟක් ශාලායෙහි පැණවීමි. මැනවින් කළ ඒ කර්‍මහේතුවෙන් මම හේතු (අනුසස්) පසක් ලබමි.
3664. මම උසස් කුලයෙහි ඉපිද මහත් භෝගසම්පත් ඇත්තෙම් වෙමි. සියලු සම්පත්තීන් ආඪ්‍ය වෙමි. මාගේ මසුරුකමෙක් නො මැත.
3665. ගමනක් (යෑමට) සිතූ කල්හි පලඟෙක් එළඹ සිටී. ඒ උතුම් පලඟ සමග මම් කැමති තැනට යෙමි.
3666. ඒ පර්‍ය්‍යඞ්කදානය හේතු කොට ගෙණ සියලු අඳුර දුරු කෙළෙමි. සියලු අභිඥාබලයනට පත් ඒ ස්ථවිර තෙමේ, මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබවහන්සේ වඳී.
3667. මෙරමා පිළිබඳ කටයුතු ද, තමා පිළිබඳ කටයුතු ද සියලු කිස සිදු කළෙමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ අභයපුරය. (=නිවණ) ට පිවිසියෙමි.
3668. මම නිමහම් කිස ඇති ශාලාව (බුදුරජුන්හට) පරිභෝගයට දුනිමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ශ්‍රේෂ්ඨ බවට පැමිණියෙම් වෙමි.
3669. යම් (ඇත්-අස් ආදි සතුන්) දමනය කරණ කෙනෙක් කිසියම් ඇත් අස් කෙනකුන් දමනය කෙරෙත්. නොයෙක් හිරිහැර කොට දරුණු ගුණයෙන් ඔවුන් (එසේ) දමනය කෙරෙත්.
3670. මහාවීරයාණෙනි, මුඛ ස්ත්‍රීපුරුෂයන් මෙසේ දමනය නො කෙරෙහි ය. දඬු නො ගැණීමෙන් අවි නො ගැණීමෙන් ඔවුන් උත්තම දමථයෙහි (=රහත්බැව්හි) දමනය කෙරෙහි ය.
3671. දේශනායෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ දානයාගේ අනුසස් පවසන්නේ එක් පැණයක් දෙසන්නේ ම තෙසිය තවුසන් ධර්‍මාවබෝධය කරවී ය.
3672. සාරථි වූ බුදුරජුන් විසින් අපි දමනය කරණ ලද්දෝ වෙමු. (කෙලෙසුන්ගෙන්) මැනවින් මිදුනෝ වෙමු. ආස්‍රව රහිතයෝ වෙමු. සියලු අභිඥාබලයනට පැමිණියාහු උපධික්‍ෂයෙහි පිරිනිවියෝ වෙමු.
3673. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) සියලු භීතීහු ඉක්මවන ලද්දාහුය. ශාලාදානයාගේ මේ විපාක යි.
3674. බුදුරජුන් වෙත එළඹීම ඒකාන්තයෙන් මට යහපත් පැමිණීමෙක් විය. මා විසින් පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
3675. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරජායකු මෙන් කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3676. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සෙලස්ථවිරාවදානය දෙවැනි යි.
393. සබ්බකිත්තික ස්ථවිරාවදානය
3677. පිපුණු කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ ප්‍රදිපවෘක්‍ෂයක් මෙන් දිලියෙන්නා වූ ඕසධී තාරකාවක් මෙන් ආලොකවත් වූ අහසෙහි විදුලියක් බඳු වූ -
3678. බිය නොමැති තැතිගැනුම් නොමැති කේශරසිංහරාජයකු වැනි වූ තීර්‍තකසමූහයා මඩින්නා වූ ඤාණලෝකය ප්‍රකට කරන්නා වූ-
3679. මෙම ලෝකයා (දුකින්) ගොඩලන සියලු සැක සිඳලන සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
3680. (එකල්හි) මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙකිම් වීමි. වැඩෙන්නා වූ ඍජු වූ ප්‍රතාපවත් වූවෙකිම් වීමි. වැහැරි සිවුර ගෙණ ඒ (බුදුරජුන්ගේ) පාමුල අතුළෙමි.
3681. කසාවන් කළුවැල් හෙවත් කසාවන් අගිල් ගෙණ බුදුරජුන් ආලේප කෙළෙමි. තථාගතයන් (එයින්) අලෙවි කොට ලෝකනායක වූ උන්වහන්සේට ස්තුති කෙළෙමි.
3682. චතුරෝඝතරණය කළ උතුමාණෙනි. මහාමුනීන්‍ද්‍රයාණෙනි, මුඛ මේ ලෝකයා (සසරදුකින්) ගොඩ ලන්නහු ය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උත්තමඥානය ද අනාවෘතයි.
3683. දම්සක් පවත්වහු ය. අන්‍යතීර්‍ත්‍ථකයන් මඩනහු ය. දිනන ලද සඞ්ග්‍රාම ඇති ශ්‍රෙෂ්‍ඨ වූ ඔබ පෘථිවිය කම්පා කෙරහු ය.
3684. මහසමුදුරෙහි තරඞ්ගයෝ වෙරලෙහි (ගැටී) බිඳෙති. එසේ ම දෘෂ්ටීහු මුබගේ නුවණෙහි (ගැටී) බිඳෙති.
3685. විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි දැලතුළට ගිය ප්‍රාණීහු (මත්‍ස්‍යයෝ) පෙළුනාහු වෙත් ද,
3686. එසේ ම ලෝකයෙහි අන්‍යපාෂණ්‍ඩ ධර්‍මයන් ඇසුරු කළ තීර්‍ත්‍ථකයෝ නිදුකානන් වහන්ස, මුබවහන්සේගේ උතුම් නුවණ ඇතුළත පෙරළෙත්.
3687. චතුරෝඝ නම් වූ සැඩපහරෙහි ගසාගෙණ යන්නවුනට පිහිට වූ මුබ වනාහි නො නෑයනට ද පිහිට (වහු) ය. භයින් පීඩිතයනට ද පිහිට (වහු) ය. (ලෝකයා විසින්) අත්හැර දමන ලද අනාථයන්ට ද පිහිට (වහු) ය.
3688. අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ (ධ්‍යාන) වශී වූ තාදීගුණ ඇති දිනන ලද මාර්‍ගය ඇති-
3689. ප්‍රාඥ වූ, පහ කළ මොහො ඇති, නිදොස් වූ, සැක (=විචිකිච්ඡා) දුරුකළ, වැස නිම වූ බඹසර ඇති, නිර්‍මල වූ, අශූචීන් දොවා හළ, එහෙයින් ම පිරිසිදු ඔබ වමාරා හළ දොස් ඇත්තාහු ය.
3690. කෙලෙස් ඇලුම් ඉක්ම වූ නැසුවා වූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන්ලෝමුදුන් පත් (ලෞකික) සීමාව ඉක්ම ගිය ධර්‍මගරුක වූ කෘතකෘත්‍ය වූ ඔබ (සත්ත්‍වලෝකයාට) හිතමාර්‍ග ඇත්තෙහි ය.
3691. ඔබ නැවකට (ගමන්මග පෙන්වන) තරුවක් මෙන් වෙහි ය. අස්වැසිලි කරණ නිධානයක් බඳු වෙහි ය. සිංහයකු මෙන් බිය රහිත වෙහි ය. හස්තිරාජයකු මෙන් ගර්විත වෙහි ය.
3692. මම එකල්හි (මෙසේ) දසගයකින් මහායශස් ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේට ස්තුති කොට (ඒ) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ තුෂ්ණිම්භූතව සිටියෙමි.
3693. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළේ යි:
3694. “යමෙක් මාගේ ශීලය ද ඥානය ද ධර්‍මය ද පැසසී ද, හේ (කවරෙක් දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ (වචනය) අසවු.
3695. (හෙතෙම) කල්‍ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. අනෙක් දෙවියන් මැඩගෙණ ආධිපත්‍යය කරවන්නේ ය.
3696. හෙතෙම පසුව පැවිදිව ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ද පැවිදි වන්නේ ය.
3697. පැවිදිව, කයින් පව්කම් දුරු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.”
3698. යම් සේ වැසිවලාවක් ගුගුරා වස්මින් මේ පොළොව තෘප්තියට පත් කෙරේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ ධර්‍මයෙන් මා තුටු කළ සේක.
3699. මම ශීලය ද ප්‍රඥාව ද ධර්‍මය ද ලෝකනායකයන් වහන්සේ ද පසසා අමෘතපදය වූ උතුම් වූ නිර්‍වාණ නමැති ශාන්තියට පැමිණියෙම් වෙමි.
3700. පසැස් ඇති ඒ භාග්‍යවත් තෙමේ බොහෝ කල් වැඩ සිටින්නේ නම් ඒකාන්තයෙන් ඉතා යෙහෙකි. (එවිට සියල්ලෝ) නො දත් දෙය දැනගන්නාහු ය. අමෘතපදය (නිවණ) ස්පර්‍ශ කරන්නාහු ය. (=ලබන්නාහුය)
3701. මේ මාගේ පශ්චිම ජාතිය යි. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
3702. මෙයින් සියක්දහස් වන කපෙහි බුදුරජානන් වහන්සේට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
3703. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3704. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ පැමැණීම යහපත් පැමිණීමෙක් විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
3705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සබ්බකිතතික’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බකිතතිකස්ථවිරාවදානය තෙවැනි යි.
394. මධුදායක ස්ථවිරාවදානය
3706. සින්‍ධුනදීතීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවෙක් විය. එහි දී මම ලක්‍ෂණශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුනට උගන්වමි.
3707. ධර්‍මකාමී වූ විනීත වූ අනුශාසනය අසනු කැමැත්තා වූ ෂඩඞ්‍ග වේදයෙහි පරතෙරට ගියා වූ ඒ ශිෂ්‍යයෝ සින්‍ධුගංඉවුරෙහි වෙසෙති.
3708. (භූතයන් පිළිබඳ අස්වාභාවික වෙනස්වීම් බලා ශුභාශුභ ප්‍රකාශකරණ) උත්පාතශාස්ත්‍රයෙහි ද (අඞ්ග) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක‍්‍ෂ වූ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු එකල්හි වෙනෙහි වෙසෙත්.
3709. සුමේධ නම් සම්බුදු රජ තෙම ලොව පහළ විය. අපට අනුකම්පා කරන්නා වූ ඒ බුදුරජ තෙම් එකෙණෙහි ම (අප වෙත) එළඹියේ ය.
3710. එසේ එළෙඹියා වූ මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ (දිටිමි). දැක මම තණඇතිරියක් කොට ලෝකජ්‍යේෂ්ඨ වූ බුදු රජුන්හට දුනිමි.
3711. මම වනයෙන් මී ගෙණ (අවුත්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. සම්බුදුරජ තෙම එය වළඳා මේ වචනය වදාළේය:
3712. “යමෙක් තෙම පැහැදුනේ සියතින් මට ඒ මධු (=මීපැණි) දානයක් දුන්නේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3713. මේ මධුදානය හේතු කොට ගෙණ ද තිණසන්‍ථාර (=තණ ඇතිරි) දානය හේතු කොට ගෙණ ද කප්තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
3714. මෙයින් කල්ප තිස්දහසෙකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3715. (මෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදී (අයිතිකරුවෙක්) ව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන් පිරිසිඳ) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පානේ ය” යි.
3716. දෙව්ලොවින් (පෙරළා) මෙහි පැමිණ මවුකුසට (පිළිසිඳීම් වශයෙන්) පැමිණි කල්හි මිහියෙන් පොළොව වසමින් මිහි වැස්සක් වැස්සේ ය.
3717. මා ඉතා දුකසේ බිහි විය යුතු මවුකුසින් නික්මුණු කෙණෙහි එහි දී ද නිරතුරු ව මීවැසි වසියි.
3718. ගිහිගෙන් නික්ම (අනගාර්‍ය්‍ය සඞ්‍ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි. ආහාර පාන සුලභ වූවෙක් ද වීමි. මධුදානයාගේ මේ විපාක යි.
3719. මම දෙව්මිනිස් දෙගතියෙහි සියලු කාමසම්පත්තීන්ගෙන් සමෘද්ධයෙක් ව ඒ මධුදානබලයෙන් ම ආස්‍රවක්‍ෂයසඞ්‍ඛ්‍යාත නිවණට ද පැමිණියෙම් වෙමි.
3720. වැසි වස්නා කල්හි ද, සිවුඅඟුල් (උස් ව වැඩුනු) තණබිම්හි ද, සුපුෂ්පිත වෘක්‍ෂයෙන් වැසුනා වූ තන්හි ද, ජන ගෘහය, මණ්ඩපය, වෘක්‍ෂමූලය, යන මේ තන්හි ද නිතර ආස්‍රව රහිතව සුඛිත යෙම් වෙසෙමි.
3721. මහත් වූ හෙවත් ප්‍රණීත වූ ද මධ්‍යම වූ ද හීන වූ ද සියලු භවයන් ඉක්ම වීමි. අද මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3722. මෙයින් තිස්දහස් කපකින් පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
3723. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ද ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3724. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3725. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් මධුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මධුදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.