393. ඍද්ධියෙහි කෙළ පැමිණියා වූ මම ඉතා ගැඹුරු වූ ඝන වූ නො සෙල්විය හැකි පොළොව ද වම්පය මහපටැඟිල්ලෙන් සොලවන්නෙමි.
394. අස්මිමානය (=මම ය යන හැඟීම) නො දකිමි. මට මානය නැත. මම හෙරණකු පටන් කොට සියලු භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
395. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට (=අපරිමෙය්‍ය කලාපයකට) පෙර (අගසවු බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම් ද, මම ඒ ශ්‍රාවක භූමියට පත් වීමි. ආශ්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙමි.
396. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය ද කරණ ලදි.
(396, 397, 398 යන ගාථාවෝ 371, 372, 373 යන ගාථාවන් හා සමාන වෙති.)
මේ අයුරින් ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
දෙවෙනි වූ මහාමෟද්ගල්‍යානස්ථවිරාවදානය යි.
3. මහාකාශ්‍යප ස්ථවිරාවදානය
399. තාදිගුණ (=අටලෝදහම්හි නො සැලෙන ගති) ඈති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථ වූ ඒ (පදුමුත්තර) බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ ශාස්තෘන් වහන්සේට) පූජා කෙරෙත්.
400. ජනසමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඔවුන් සංවේගයට පැමිණ සිටින කල්හි මට ප්‍රීතියක් ඇති වි ය.
401. නෑ මිතුරන් කැඳවා “මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු” යි යන මේ වචනය කීමි.
402. ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී “ලෝකනාථ වූ බුදුරජානන් වහන්සේ විෂයයෙහි පින් රැස් කරන්නෙමු” ය කියා මාගේ සතුට වැඩියක් ම ඇති කළාහු ය.
403. රියන් සියයක් උස් වූ මොනවට තැනූ ඇගෑවක් කොට රියන් එක්සිය පණසක් පුළුල් වූ උස් විමානයක් කොට–
404. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදයක් කොට සිය සිත පහදවා උත්තමචෛත්‍යය පිදුවෙමි.
405. ඇවිළගත් ගිනිකඳක් මෙන් ද, පිපියා වූ සල්රුකක් මෙන් ද, අහසෙහි ඉන්‍ද්‍රයෂ්ටිය (ඉන්‍ද්‍රධ්වජය බඳනා ඉන්‍ද්‍රකීලය) මෙන් ද (ඒ ස්තූපය) සිවුදිග බබුළුවයි.
406. මම එහි සිත පහදවා බොහෝ කුසල් කොට පෙර කරණ ලද කුශලකර්‍මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
407. යෙදූ දහසක් අසුන් විසින් උසුලනලද දිව්‍යයානයට නැඟුනෙම් වෙමි. මාගේ උස් වූ භවනය සත්බුමු වූයේ උඩට නැංගේ ය.
408. දහස් ගණන් කූටාගාරයෝ තනි රනින් කරණ ලද්දෝ වූහ. (එම කූටාගාරයෝ) ස්වකීය දීප්තියෙන් සියලු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
409. පද්මරාග මාණික්‍යමය වූ අන්‍ය වූ පහකුළු ද ඇත. එකල්හි ඒ පහකුළු ද ශෝභාවෙන් හාත්පස සිවුදිග ම බබුළුවත්.
410. පුණ්‍යකර්‍මබලයෙන් හටගත් මැනවින් නිර්මිත වූ මිණිමුවා කුළුගෙවල් හාත්පස දසදිගුන් බබුළුවත්.
411. බබලන්නා වූ ඔවුන්ගේ ආලොකය අධික වි ය. සියලු දෙවියන් ඉක්මවමි. මේ පුණ්‍යකර්‍මයාගේ ඵලයයි.
412. කල්ප සැටදහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම් ක්‍ෂත්‍රියයෙක් ව සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූයෙම් සතුරු රජුන් ජය ගන්නා සුලු ව මම විසීමි.
413. එසේ ම භද්‍රකල්පයෙහි තිස් වරක් මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්‍යකර්‍මයන්හි ඇලුනෙම් ම වීම.
414. එහි ද මාහට දිගින් සූවිසි රියන් වූ පුළුලින් දොළොස්රියන් වූ ඉන්‍ද්‍රකීලයක් වැනි වූ භවනයක් පැන නැංගේ ය.
415. විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්) පන්සියයක් වූ ද, පුළුලින් ඉන් අඩක් වූ ද, තව්තිසාවැසියන්ගේ දෙව්පුරය වැනි ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් වි ය.
416. යම් සේ හිඳිකටුගුලාවෙහි බහනලද පස්විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැටෙත් ද, එකල්හි එය ගැවසීගත්තේ වේ ද,
417. එසේ ම මාගේ උතුම් වූ රම්මක නගරය ද හස්ති අශ්ව රථයන්ගෙන් පිරී ගියේ මිනිසුන්ගෙන් හැමකල්හි ගැවසීගත්තේ වී ය.
418. එහි කා බී යලි දේවත්‍වයට ගියේ මාගේ අන්තිමභවයෙහි ද කුලසම්පත් ඇති වි ය.
419. මහත් වූ රුවන් සමූහ ඇති බමුණුකුලයෙහි උපන්නෙම් අසුකෙළක් රන් හැරදමා පැවිදි වීමි.
420-422. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදි.
මේ අයුරින් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
තෙවෙනි වූ මහාකාශ්‍යපස්ථවිරාවදානය යි.
4. අනුරුද්ධ ස්ථවිරාවදානය
423. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විවේකී ව වාසය කරන්නා වූ ලෝකනායක වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දිටිමි.
424. මම ලෝකනායක වූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් (මෙසේ) අයැදීමි:
425. “මහා වීරයන්වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක්මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබවහන්සේට පහනක් දෙමි.”
426. සියල්ල තෙමේ ම දන්නාවූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඒ ප්‍රාඥ වූ බුදුරජතෙම එය ඉවසී ය. එකල්හි මම ගස් විද යන්ත්‍රයක් යොදා–
427. ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දහසක් වැටි දුනිමි. මාගේ පහන්හු සතියක් දැල්වී නිවී ගියහ.
428. එම චිත්තප්‍රසාදයෙන් ද, සිත්හි වූ ප්‍රාර්‍ත්‍ථනයන්ගෙන් ද, මම මිනිස්සිරුර හැර දෙව්විමනක උපනිමි.
429. දෙව්අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් වි ය. එය හාත්පසින් දිලෙයි. මේ පහන්පූජාවෙහි විපාකය යි.
430. එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබැලවීමි. සියලු දෙවියන් මැඩපැවැත්වීමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
431. ශක්‍ර ව තිස්කපක් මුළුල්ලෙහි දිව්‍යරාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නො සිතත්, (=මට අවමන් නො කරත්). මේ පහන්පූජාවෙහි විපාකය යි.
432. මම අටවිසිවරක් සක්විතිරජ වීම. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හි ම (එක සේ) දකිමි.
433. (ඥාන) චක්‍ෂුසින් දහසක් සක්වළ (ලෝක) දකිමි. සර්‍වඥ ශාසනයෙහි (පැවිදි ව) දිවැස ලැබූයෙම් ද වෙමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
434. මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජ තෙම වි ය. මා විසින් උන්වහන්සේට පැහැදුනු සිතින් පහනක් දෙනලදී.
435-437. ක්ලේශයෝ දවන ලදහ. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
සතරවැනි වූ අනුරුද්ධස්ථවිරාවදානය යි.
5. පූර්‍ණ ස්ථවිරාවදානය
438. වේද හදාරවන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගිය (මම) ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් මනුෂ්‍යොත්තම වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
439. පුදසත්කාර පිළිගැණීමට සුදුසු වූ තුන්ලෝ දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සංක්‍ෂිප්තවශයෙන් මාගේ කර්‍මය කීර්‍තනය කළ සේක.
440. මම ඒ ධර්‍මය අසා බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ අභිවාදනය කොට දකුණුදිගට මුහුණ ලා ගියෙමි. (=පැදකුණු කෙළෙමි).
441. සංක්‍ෂිප්ත ව අසා විස්තරවශයෙන් කීමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසා සියලු ශිෂ්‍යයෝ සතුටු වූහ.
442. ඔහු ස්වකීය දෘෂ්ටිය හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැද වූහ. මම සංක්‍ෂිප්ත කොට ද දෙසමි. එසේ ම විස්තරවශයෙන් ද දෙසමි.
443. විජම්නය (=අභිධර්‍මක්‍රම) දන්නා වූ මම දශකථාවස්තුවෙහි විශුද්ධීන් සියල්ලනට අවබෝධ කරවා ආශ්‍රව රහිත ව වෙසෙමි.
444. මෙයින් කප් පන්සියයකින් පෙර සතරමහදිවයිනෙහි අධිපති වූ සත්රුවනින් යුත් සුප්පකාසක නම් සිවුසක්විතිරජකෙනෙක් වූහ.
445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ ශාසනය ද කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
පස්වැනි වූ පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරාවදානය යි.
6. උපාලි ස්ථවිරාවදානය
446-447. හංසවතීනගරයෙහි රැස් කොට තැබූ අසූ කෙළක් ධනය ඇති සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වෛදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක් වි ය.
448. (හිසැ එක් සිළුවක් ඇති) ඒකසිඛයෝ ද පරිව්‍රාජකයෝ ද ගෞතමඍෂිශ්‍රාවකයෝ ද (තැනින් තැන හැසිරෙණ) චරකයෝ ද තවුසෝ ද එකල්හි පොළොවෙහි හැසිරෙත්.
449. ඔහු ද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකැයි කියා මා පිරිවරත්. බොහෝ දෙන මා පුදත්. මම කිසිවෙකු නො පුදමි.
450. යම් තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නො වනසේක් ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තද වූයෙම් පිදිය යුත්තකු නො දකිමි.
451. රෑදාවල් (බොහෝ හවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝකනායක බුදුරජතෙම සියලු අඳුරු දුරු කොට ලොව පහළ වි ය.
452. බුදුසසුන පැතුරුණු කල්හි මැනවැයි සම්මත වූ කල්හි අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුරජතෙම හංසවතී නගරයට එළඹියේ ය.
453. පසැස් ඇත්තා වූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස ධර්‍මදේශනා කළසේක. එකල්හි පිරිස ද හාත්පස යොදුනක් (තන්හි පැතුරුනේ) වි ය.
454. මිනිසුන් අතර සුනන්‍ද නමින් සම්මත වූ ඒ තවුස් තෙමේ එකල්හි යම් තාක් බුදුපිරිස ද, ඒ තාක් තැන මල්වලින් වැසී ය.
455. පුෂ්ප මණ්ඩපයෙහි සිටි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළලක්‍ෂයක් (ප්‍රාණීන්ට) ධර්‍මාභිසමය වි ය.
456. පස්මරුන් දිනූ බුදුරජ තෙම දිවා රෑ සතක් (=සතියක්) උතුම් දහම්වැසි වස්වා අටවැනි දිනය පැමිණි කල්හි සුනන්‍දට මෙසේ පැවැසී ය.
457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහි ද මිනිස්ලොවෙහි ද සැරිසරන්නේ භවයන්හි සියල්ලනට උතුම් ව සැරිසරන්නේ ය.
458. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
459. ඒ ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද (=කොටස් හිමියෙක්) වූ (දහම් අසා සෝවාන් ආදිමාර්‍ගඵල පිළිවෙළින් රහත් වූ බැවින් ‘බුදුරජුන්ගේ ඖරස පුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලුවාක් වැනි වූ පුණ්ණමන්තානීපුත්ත නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
460. එකල්හි සම්බුදුරජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලය ද දක්වමින් සුනන්‍ද තවුසාට මෙසේ පැවැසී ය.
461. ජනයෝ කරණලද ඇඳිලි ඇත්තාහු “බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍යකර්‍ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේ ය” යි සුනන්‍ද තවුසාට නමස්කාර කෙරෙත්.
462. බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි දී මට ද (මේ) අදහස වි ය. යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ දැකිය හැකි වෙම් නම්, මම ද එබඳු පින්කමක් කරන්නෙමි (කියායි).
463. මම මෙසේ සිතා මා විසින් ඒ සඳහා කෙබඳු පිනක් කට යුතු දැ යි සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයෙහි (රත්නත්‍රයයෙහි) මම කවර පින්කමක් කෙරෙම් ද?
464. (මධුරස්වරයෙන් සරභඤ්ඤවසයෙන් ග්‍රන්‍ථයන් හදාරණ හෙයින්) පාඨික නම් වූ මේ භික්‍ෂූ තෙමේ බුද්ධශාසනයෙහි සියලු මධුරස්වරපාඨකයන් අතුරෙහි ද විනයයෙහි ද අග්‍රස්ථානයෙහි තබන ලදී. මම ඒ තනතුර පැතීමි.
465. මාගේ මේ අපමණ සම්පත් සයුර මෙන් නො කැලඹිය හැකි ය. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවීමි.
466. නගරයට නැගෙනහිරින් සෝභන නම් වූ උයනකි. (එය) ලක්‍ෂයකින් විකිණ ගෙණ සංඝාරාමයක් කරවීමි.
467. කුළුගෙවල් ද ප්‍රාසාදයන් ද මණ්ඩපයන් ද සඳලු සහිත ගෙවල් ද දොර නො ලූ ගුහාවන් ද සක්මන්මළු ද මැනවින් කොට සංඝාරාමය නිමවීමි.
468. උසුමෙන් ඩහ ගන්වන ගෙය ද ගිනිහල ද යලි පැන්කළ තබන ගෙය ද නහනගෙය ද කොට මම භික්‍ෂු සංඝයාට දිනිමි.
469. දික්හඟළාපුටු ද (කුඩා) පුටු ද පරිභෝගභාජන ද ආරමිකයනට දෙන බෙහෙත් ද යන මේ සියල්ල මම දිනිමි.
470. සන්හුන් සිත් ඇති අකම්ප්‍ය ගුණ ඇත්තවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නො කෙරේවා යි ආරක්‍ෂා තබවා දැඩි කොට පවුරක් කරවීමි.
471. ලක්‍ෂයක් (ධන) වියදමින් ඒ සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස්බවට පමුණුවා බුදුරජානන් වහන්සේට පිරිනැමීමි.
472. “මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයන් වහන්ස, ඔබවහන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, මෙය ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තානන්වහන්ස, මෙය පිළිගත මැනවි” (යි දැන්වීමි).
473. පූජාසත්කාරයන් පිළිගැණීමට සුදුසු වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස දැන එය ඉවසූසේක.
474. මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේගේ ඉවසීම දැන මම භෝජනය පිළියෙල කරවා කාලය ආරෝචනය කෙළෙමි.
475. කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝකනායකයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් මාගේ ආරාමයට වැඩිසේක.
476. සුදුසු කාලය දැන වැඩහුන්නාවූ උන්වහන්සේ ආහාර පානයෙන් තෘප්ත කෙළෙමි. (යලි) සුදුසු කලැයි දැන වළඳා අවසන් වූ උන්වහන්සේට මේ වචනය කීමි:
477. ‘සෝභන නම් වූ (මේ) ආරාමය ලක්‍ෂයක් මිල දී ගන්නා ලදී. එපමණ ම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලදී. බුදුරජාණන් වහන්සේ එය පිළිගන්නා සේක්වා.
478. මෙ ම ආරාමදානයෙන් ද චිත්තප්‍රණිධීන්ගෙන් ද භවයෙහි උපදින්නා වූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.”
479. බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙණ බික්සඟන මැද හිඳ ඒ අරමෙහි අනුසස් දක්වන මෙම වචනය වදාළේ ය.
480. “යමෙක් තෙම මැනැවින් කොට නිමවනලද සංඝාරාමය බුදුරජානන් වහන්සේට පූජා කෙළේ ද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
481. ඇත්සේනාව ද අස්සේනාව ද රථසේනාව ද පාබළ සේනාව ද යන මේ සිවුරඟ සේනා නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාමදානයෙහි විපාකය යි.
482. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනවින් අලඞ්කාර කළ භේරීහු ද නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම දානයෙහි විපාකය යි.
483-484. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්වනලද මිණිකොඬොල් ඇති මහත් වූ දිගු ඇස් ඇති සතුට උපදවන ලීලා විලාස ඇති මනා වූ ශරීරාවයව ඇති සිහින් ඉඟ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. සඞ්ඝාරාම පූජාවෙහි මේ විපාකය යි.
485. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ශක්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
486. දෙව්රජ විසින් ලැබිය යුතු සියල්ල ලබන්නේ ය. සියලු සම්පත් ඇත්තෙක් ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
487. දහස්වරක් රටෙහි සක්විතිරජ වන්නේ ය. මහත් වූ පෘථිවීරාජ්‍යය (ලබනවාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නො හැක්කේ ය.