Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 4801-4900 න් 9627

3532. මාගේ සිහිය ඍජු වේ. මැනවින් සම්බන්‍ධ වූ නහර ඇත්තේ ඒ පුණ්‍යඵලයෙන් මම දිවැස් ලබමි.
3533. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පහන්මලා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3534. ජාත්මත් වෙමි. සම්පූර්‍ණ වූ ශරීරාවයව ඇත්තෙම් වෙමි. බුද්ධිසම්මත ප්‍රඥාඇත්තෙම් වෙමි. ඒ පින්බලෙන් මේ ගුණ ලබමි.
3535. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (ධාන්‍යමාන) ලාස්බඳුන් ද කරඬු ද දී මාගේ ඒ කර්‍මයට සුදුසු දසඅනුසසක් ලබමි.
3536. හැම කල්හි ආරක්‍ෂා සහිත යෙම් සැපයෙන් යුක්තයෙම් මහත් වූ කීර්ති ඇත්තෙම් එසේ ම මනා වූ ගති ඇත්තෙම්, විපත්තීන්ගෙන් වෙන් වූයෙම් සියුමැලි වූයෙම් සියලු උවදුරු බැහැර කරණ ලදුයෙමි.
3537-3538. මහත් ගුණලාභී වූයෙම් සම වූ පා ඇත්තෙම් මාගේ මැනවින් බැහැර කළ සසල ගති ද වෙයි. මිණුම් බඳුන් ද කරඬු ද වර්‍ණ සතරකින් යුත් හස්ත්‍යශ්‍වරත්නයන් ද ලබමි. මාගේ ඒ සම්පත් විනාශ නො වේ. තුම්‍බ නම් වූ ධාන්‍යමාණභාජනදානයෙහි මේ විපාක යි.
3539. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද අඳුන්ගුළා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3540. සියලු ලක්‍ෂණයන්ගෙන් යුක්තයෙම් ආයුෂයෙන් හා ප්‍රඥාවෙන් ද සමන්‍වාගත, සියලු අයාසයන්ගෙන් වෙන් වූ කයක් හැම කල්හි මට ඇත්තේ ය.
3541. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සියුම් දහර ඇති මුවහත් වූ කතුරු දී කෙලෙස් සිඳුනා වූ පිරිසිදු වූ අතුල්‍ය නුවණ ලබමි.
3542. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හඬු දී අතුල්‍ය වූ පිරිසිදු වූ කෙලෙස් සිඳුනා නුවණ ලබමි.
3543. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද නශ්‍යද්‍රව්‍ය දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අටඅනුසසක් ලබමි.
3544. ශ්‍රද්ධාව ද ශීලය ද ලජ්ජාව ද භය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ක්‍ෂාන්තිය ද අටවැනි වූ ප්‍රඥාව ද යන මොහු යි.
3545. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පුටු දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3546. මම උසස් කුලයෙහි උපදිමි. මහත් භොග ඇත්තතෙම් වෙමි. සියල්ලෝ මට ගරුබුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උස්ව පැන නැංගා ය.
3547. කල්ප සියදහසක් මුළුල්ලෙහි චතුරශ්‍රක පර්‍ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දානසංවිභාගයෙහි යෙදුනෙම් ද වෙමි.
3548. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බිසි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3549. සම වූ සිරුරු ඇත්තෙම් වෙමි. (බොහෝ දෙනා විසින්) පුදන ලද්දෙම් වෙමි. මෘදු සිරුරු ඇත්තෙම් වෙමි. මනහර දැකුම් ඇත්තෙම් වෙම්. නැණවත් පිරිවර ද ලබමි. බිසිදනෙහි මේ විපාක යි.
3550. මම පුලුන් පිරවූ මෙට්ට ද සිංහාදීන්ගේ රූ ඇති පලස් ද මැණික් ඇල්ලූ පටවස්ත්‍ර ද වියමනෙන් විසිතුරු එළුලොම් ඇතිරි ද නියඳින් කළ උතුම් වස්ත්‍ර ද නානාවිධකම්බල ද ලබමි.
3551. මොළොක් උතුරුසළු ද මෘදු අඳුන්දිවිසම් ද නොයෙක් අතුරුණු ද ලබමි. භිසිදානයෙහි මේ විපාක යි.
3552. යම් කලෙක පටන් තමා සිහි කෙරෙම් ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන් ම) නො සිස් වූයෙම් ධ්‍යාන නමැති මඤ්චය ඇත්තෙමි හෙවත් ධ්‍යානලාභී වෙමි. භිසිදානයාගේ මේ විපාක යි.
3553. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කන්වයින් (=කොට්ට) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් අනුභව කරමි.
3554. ලොම් පිරවූ ද පියුම්රොන් පිරවූ ද රත්සඳුන් සුඹුළු පිරවූ ද බිම්බොහන (=කොට්ට) හැම දා ම හිස තබමි.
3555. අෂ්ටාඞ්ගික වූ උතුම් මාර්‍ගයනට ද සතර ශ්‍රාමණ්‍යඵලයනට ද (පැමිණ) එහි හැමකල්හි ප්‍රත්‍යවේක්‍ෂාඥානය එළවා වෙසෙමි.
3556. දීමෙහි ද (කායචිත්ත) දමථයෙහි ද සංයමයෙහි හෙවත් සංහුන්බව්හි ද අප්‍රමාණධර්‍ම (සිවුබඹවිහරණ) යන්හි ද රූපාවචර ධ්‍යානයන්හි ද යන තෙල ධර්‍මයන්හි හැමකල් නුවණ මෙහෙයා වෙසෙමි.
3557. මම වතාවත්හි ද ගුණයන්හි ද පිළිවෙත්හි ද අචාරක්‍රියාවන්හි ද හැමකල් නුවණ පිහිටුවා වෙසෙමි.
3558. සක්මන්හි ද පදහන්වැරෙහි ද බෝපැකිදහම්හි ද යන මෙහි නුවණ එළවා කැමැති සේ වෙසෙමි.
3559. ශීල සමාධි ප්‍රඥා අනුත්තරවිමුක්ති යන තෙල දහම්හි නුවණ මෙහෙයා මම සුවසේ වෙසෙමි.
3560. ඵලකපීඨ බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දී මාගේ ඒ කර්‍මයට ද සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
3561. රන්මුවා මිණිමුවා වූ ද දළමුවා හරමුවා වූ ද බොහෝ උතුම් පර්‍ය්‍යඞ්කයන් ලබමි. ඵලපීඨදානයාගේ මේ විපාක යි.
3562. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාපුටු දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
3563. බොහෝ යානයන් ලබමි. පාපුටු දනෙහි මෙ ද විපාකයෙකි. දැසිදස්සෝ ද බිරියෝ තදන්‍ය අනුජීවීහු ද මට මැනවින් පරිවරණය කෙරෙත්. මෙ ද පාපුටු දනෙහි විපාකයෙකි.
3564. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඇඟ ගල්වන තෙල් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3565. මාගේ නීරෝග බව ද රූමත් බව ද වහා ධර්‍මය වැටහෙන බව ද ආහාරපානලාභී බව ද ආයුපඤ්චමකය (ආයු-වර්‍ණ-සැප-බල-ප්‍රඥා) ද වෙයි.
3566. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ගිතෙල් ද තලතෙල් ද දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3567. හැම කල්හි බල ඇත්තෙම් රූමත් වූයෙම් ඔදවැඩිසිරුර ඇත්තෙම් නීරෝග ද පැහැපත් ද වෙමි. ගිතෙල් හා තලතෙල් දීමෙහි මේ විපාක යි.
3568. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මුවදෝනා ඔසුවක් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3569. පිරිසිදු කණ්‍ඨය (=උගුර) ඇත්තෙම් මිහිරි ස්වර ඇත්තෙම් කාශශ්‍වාසාදියෙන් තොර වෙමි. හැමකල්හි ම මාගේ මුවින් උපුල්මල් සුවඳ විහිදේ.
3570. බුදුරජුන් කෙරෙහි ද ගණපාමොක් සඟගණ කෙරෙහි ද සමෘද්ධ වූ දිහි දී උතුම් වූ කායගතාසති සඞ්ඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි.
3571. බුදුරජුන් කෙරෙහි ද සඟගණ කෙරෙහි ද වර්‍ණගන්‍ධරසයෙන් යුත් මී දී මම අනුපම වූ අතුල්‍ය වූ විමුක්තිරසය බොමි.
3572. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඵලයුෂාදි ප්‍රකෘති රසයක් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ (සෝවාන් ආදි) සිවු ඵලයන් අනුභව කරමි.
3573. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආහාරපාන දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ දස අනුසසක් අනුභව කරමි.
3574. මම ආයු ඇත්තෙම් බල ඇත්තෙම් නුවණැත්තෙම් සිවිපැහැ ඇත්තෙම් යසස් ඇත්තෙම් සැප ඇත්තෙම් ආහාරපාන ලබන්නෙම් පැණ ඇත්තෙම් පැණ ඇත්තෙම් ශූරයෙම් ද වෙමි. හැමකල්හි භවයෙහි සැරිසරන්නෙම් මේ ගුණ ලබමි.
3575. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද (සුවඳ) දුම් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ දසඅනුසසක් ලබමි.
3576-3577. මම කුදුමහත් භවයෙහි සැරි සරන්නෙම් සුවඳවත් සිරුරු ඇත්තෙම් කීර්තිමත් වූයෙම් යශස් ඇත්තෙම් ශීඝ්‍ර තීක්‍ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තෙම් විපුල ජවන ප්‍රඥා ඇත්තෙම් ඒ පුණ්‍යකර්‍ම බලයෙන් ම දැන් නිර්‍වාණසඞ්ඛ්‍යාත ශාන්තිසුඛයට පැමිණියෙම් ද වෙමි.
3578. ඒකාන්තයෙන් බුදුජාණන් වහන්සේ ගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
3579. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3580. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද මා විසින් සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙසේ ආයුෂ්මත් පිළින්‍දිවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිළින්‍දිවච්ඡස්ථවිරාවදානය පළමුවැනි යි.
392. සෙල ස්ථවිරාවදානය
3581. මම හංසවතී නගරයෙහි විථීස්‍වාමියෙක් (වීදියක ප්‍රධානයෙක්) වීමි. මාගේ ඤාතීන් කැඳවා මේ වචනය කීමි.
3582. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුදුරජ තෙම ලොව පහළ විය. හේ සකල ලෝකයාගේ සත්කාර පූජාවට භාජන විය.
3583. කැත්හු ද නියම්ගම්වැස්සෝ ද බමුණුමහසල්හු ද පහන්සිත් ඇත්තාහු මුළුව අධිකාර කළහ.
3584. ඇතරුවෝ ද බලඇණිවල නියුක්තයෝ ද රිය පදවන්නෝ ද පයින් ගමන් කරන්නෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3585. (ක්‍ෂත්‍රියනට දාව ශුද්‍රස්ත්‍රින්ගේ කුසින් උපන්) උග්‍ගයෝ ද ක්‍ෂත්‍රියයෝ (=රාජපුත්‍රයෝ) ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3586. අරක්කැමියෝ ද සළුවඩන්නෝ ද දියවඩන්නෝ ද මල්කරුවෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3587. රජකයෝ ද පෙහෙරු ද සොම්මරු ද කරණවෑමියෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3588. හීවඩුවෝ ද ලියනවඩුවෝ ද සොම්මරු ද ලීවඩුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3589. එසේ ම කඹුරෝ ද රන්කරුවෝ ද ඊයම්වැඩ කරන්නෝ ද ලෝකරුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
3590. බැළයෝ ද ගැත්තෝ ද යන බොහෝ දස් කම්කරුවෝ තමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3591. දිය ගෙණෙන්නෝ ද දර ගෙණෙන්නෝ ද ගොවියෝ ද තණ ගෙණෙන්නෝ ද තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3592. මල් ගෙණ එන්නෝ ද මල් ගොතන්නෝ ද කොළ එකතු කරන්නෝ ද ගෙඩිවර්‍ග ගෙණ එන්නෝ ද යන ඔහු තමතමන්ගේ බල පමණින් මුළුව අධිකාර කළහ.
3593. ගණිකාවෝ ද කළදැස්සෝ ද පූවෙළෙඳියෝ ද මාළුවෙළෙඳියෝ ද යන ඔහු තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
3594. “එවු, සියල්ලෝ එක්රැස් ව එකට ගනබන්‍ධනය කරමු. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි පින්කමක් කරන්නෙමු” (යයි මම ඔවුනට කීමි).
3595. එකෙණෙහි ඔහු මාගේ වචනය අසා සමූහ වශයෙන් රැස් වූහ හෙවත් ගණවශයෙන් බැඳුනාහු ය. බික්සඟනට උවටන්හලක් ද මැනවින් කරවූහ.
3596. ඔද වැඩි සිතැත්තෙම් සතුටු සිතැත්තෙම් ඒ ශාලාව නිමවා එකී හැම දෙනා සමඟ බුදුරජුන් වෙත එළඹියෙමි.
3597. ලෝකනාථ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ, ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මේ වචන කීමි:
3598. වීරයන් වහන්ස, මුනීන් වහන්ස, මේ තෙසියක් පමණ වූ පුරුෂයෝ එක්රැස් ව මොනොවට කරණ ලද උවටන්හල ඔබවහන්සේට පිළිගන්වත්.
3599. පසැස් ඇති බුදුහු බික්සඟනට පෙරටුවැ සිට (එය) පිළිගෙණ තෙසියක් දෙනා ඉදිරියෙහි මේ ගාථාවන් වදාළහ.
3600. “මේ තෙසියදෙන ද එහි ප්‍රධාන තෙමේ ද (එක් ව ඔවුනොවුනට) අනුවර්‍තතී වූහ. එසේ ම තෙපි සියල්ලෝ (මේ පුණ්‍යය) කොට සම්පත් අනුභව කරන්නාහු ය.
3601. අන්තිම භවය පැමිණි කල්හි නිරුත්තර ශීතිභාවය වූ අජර වූ අමර වූ ශාන්ත වූ නිවණ ද සාක්‍ෂාත් කරන්නහු ය” .
3602. ශ්‍රමණයන් අතුරෙහි උතුම් වූ සර්‍වඥ වූ බුදුරජහු මේ දැක්වූ අයුරින් වදාළහ. මම බුදුරජුන්ගේ වචනය අසා සොම්නස පැවසීමි.
3603. මම කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. දේවාධිපති ව පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
3604. මම දහස්වරක් සක්විතිරජ වීමි. දිව්‍යරාජ්‍යය කරන්නා වූ මට මහදෙවිවරු ද වැන්දාහු ය.
3605-3606. මේ මිනිස්රජයෙහි පිරිස සබඳකම් ඇත්තෝ ම වූ හ. අන්තිම භවය පැමිණි කල්හි අසූකෝටියක් තැන්පත් ධනය ඇති වාසෙට්ඨ නම් බමුණෙක් විය. මම ඒ වාසෙට්ඨ බමුණාගේ පුත්‍ර වීමි. සෙල යනු මගේ නම යි. ෂඩ්විධ වේදාඞ්‍ගයෙහි පරතෙරට ගියෙම් ද වෙමි.
3607-3608. ස්‍වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුව ජඞ්ඝාවිහාරය කරන්නා වූ (=සක්මන් කරණ) මම් දළමඩුළු හා තවුස්පිරිකර බරින් යුත් පිළියෙල කරණ ලද පූජොපහාර ඇති කේණිය නම් තවුසා දැක “ආවාහයෙක් හෝ වේ ද, විවාහයෙක් හෝ වේ ද, තා විසින් රජතෙමේ හෝ නිමන්‍ත්‍රණය කරණ ලදුයේ වේ දැ” යි මේ වචන කීමි.
3609. මම දෙවියන් ය යි සම්මත බමුණන් කෙරෙහි පූජාවක් කරණු කැමැත්තෙමි. රජුට නිමන්ත්‍රණය නො කෙළෙමි. මාගේ යාගයෙක් ද නැත.
3610-3611. මාගේ ආවාහයෙක් ද නැත. (එසේ ම) මාගේ විවාහයෙක් ද නැත. ශාක්‍යයනට සතුට ඇති කරන්නා වූ, දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රෙෂ්‍ඨ වූ, සියලු ලෝවැස්සනට හිත පිණිස (හැසිරෙන්නා වූ) හැම සත්නට සුව එළවන්නා වූ ඒ බුදුහු අද මා විසින් නිමන්ත්‍රණය කරණ ලදහ. මේ පිළියෙල කිරීම උන්වහන්සේ සඳහා ය.
3612. තිඹිරි පල බඳු පැහැ ඇති, පමණ නො කළ හැකි ගුණ ඇති, උපමාවිෂයාතික්‍රාන්‍ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජහු සෙට දවසට පවරණ ලදහ.
3613. උදුන් මුවෙහි ලා තැවූ ස්‍වර්‍ණයක් මෙන් (පැහැපත්) කිහිරඟුරු මෙන් (දිලියෙන) විදුලියක් වැනි වූ මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
3614. කඳුමුදුනක පෙනෙන ගිනිසිළක් වැනි වූ පුණුරැසිදිනයෙහි සඳු වැනි වූ බටගසින් හටගත් ගින්නක බඳු පැහැ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
3615. බිය නැති බිය ඉක්මවූ භවයා කෙළවර කරන්නා වූ මෝනෙය්‍ය ගුණ ඇත් සිහරජකු වැනි මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
3616. දක්‍ෂ වූ බුද්ධගුණහේතුයෙන් අනුන් විසින් මැඩලිය නොහෙන හස්තිරාජයකු වැනි වූ මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
3617. සද්ධර්‍මාචාරයෙහි දක්‍ෂ වූ අසදෘශ වූ වෘෂභොපම වූ මහාවීර වූ ඒ බුද්ධශ්‍රෙෂ්‍ඨයානෝ මා විසින් පවරණ ලදහ.
3618. අප්‍රමාණ වර්‍ණ ඇති අපරිමිත යශස් ඇති විචිත්‍ර වූ සකල ලක්‍ෂණ යුක්ත ශක්‍රයා වැනි වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
3619. (ධ්‍යානයන්හි) වශී වූ ශ්‍රාවක සමූහයා ඇති ප්‍රතාපවත් වූ තේජස් ඇති (ගුණයෙන් කිසිවකුටත්) ලංවිය නො හැක්කා වූ මහාවීර වූ බ්‍රහ්මොපම වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
3620. පැමිණියා වූ නිර්‍වාණ ධර්‍මය ඇති දශබලධාරී වූ බලයන් ඉක්ම වූ මහත් බලයන්ගේ පවා පරතෙරට ගිය මහපොළොව වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
3621. සිල් නැමැති රල යුත් ධර්‍මඥානයෙන් කැළඹුනු සයුර වැනි මහාවීර වූ ඒ බුදුරජතෙම මා විසින් පවරණ ලදහ.
3622. නො ලං විය හැකි, බලයෙන් මැඩලිය නො හෙන, නිශ්චල වූ උස්ව නැංගා වූ, වැඩෙන මහමෙර වැනි, මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදි.
3623. අනන්තඥාන ඇත්තා වූ අසමසම වූ අතුල්‍ය වූ ශ්‍රෙෂ්‍ඨත්‍වයට ගියා වූ ආකාශය වැනි වූ මහාවීර වූ ඒ බුදුජහු මා විසින් පවරණ ලදහ.
3624. බියෙන් තැති ගත්තවුනට පිහිට වූ, සරණයන්නවුනට ආරක්‍ෂා ස්ථාන වූ (සත්‍වලෝකයට) අස්වැසිල්ලක් වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණය කරන ලදහ.
3625. බුද්ධිමත්නට වාසස්ථානයක් වූ සුව සොයන්නවුනට පින්කෙතක් වූ (ගුණරුවන් පිරුණු) රත්නාකරයක් වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණය කරණ ලදහ.
3626. (කෙලෙස් තැවුල් නැති කොට) ලොව අස්වසන්නා වූ (දුක් දොම්නස් නසා) සතුට ඇති කරන්නා වූ (සෝවන් ආදී) ශ්‍රමණ්‍යඵලදායක වූ (අමාවැසි වස්වන) මහාමේඝයක් වැනි වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරන ලදහ.
3627. ලොවට ඇසක් වැනි වූ මහාතේජස් ඇති සියලු අඳුරු දුරු කරණ සූර්‍ය්‍යා වැනි වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
3628. ආලම්බනවිමුක්තිවිෂයයෙහි ස්‍වභාව කෘත්‍ය මේ මේ ය යි දක්නා වූ චන්‍ද්‍රයා වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
3629. (ලෝකයෙහි ගුණයෙන්) වැඩී සිටි (යශසින්) උස් ව නැගි (මහපුරිස්) ලකුණින් අලඞ්කාර වූ අපමණ ගුණ ඇති මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් නිමන්ත්‍රණ කරන ලදහ.
3630. යමකුගේ ඤාණය පමණ කළ නො හැකි ද, යමකුගේ ශීලය උපමා විෂයාතික්‍රාන්ත ද, යමකුගේ විමුක්තිය අසදෘශ ද, ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
3631. යම් කෙනෙකුන්ගේ නුවණ අසදෘශ ද, යම්කෙනෙකුන්ගේ බලය අචින්‍ත්‍ය ද, යම් කෙනෙකුන්ගේ පරාක්‍රමය ජ්‍යෙෂ්‍ඨ ද, ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
3632. යම් කෙනෙකුන් විසින් රාගය ද ද්වේෂය ද මෝහය ද යන සියලු විෂයෝ නසන ලදහු ද, ඖෂධයක් වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
3633. කෙලෙස්ලෙඩ ද බොහෝ දුක් ද සියලු (මෙහො) අඳුරු ද දුරු කරන්නා වූ වෙදකු වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.