3428. මම මිත්‍රාමාත්‍යයන් රැස් කරවා මේ වචන කීමි. දෑරඟ මිණිරුවන වැනි අතිදුර්‍ලභ වස්තුවක් මා විසින් ලබන ලදි.
3429. බුදුරජානන් වහන්සේ පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමාරහිත වූ ගුණ ඇති සේක. අතුල්‍ය වූ සම වූ අනිකකු නොමැති බැවින් අසම නම් වන සේක. මහ නුවණැති සේක. පස්මරුන් දිනූ සේක. අප්‍රතිපුද්ගල වන සේක. ඒ බුදුරජුන්හට කුමකින් පුදන්නෙමු ද?
3430. එසේ ම ඒ බුදුරජානන් වහන්සේ අසම සමය හ. අදුතිය හ. නරශ්‍රේෂ්ඨය හ. මා විසින් ඒ බුදුරජුන්හට සුදුසු වූ පූජාවක් කිරීම දුෂ්කරය.
3431. නොයෙක් මල් රැස් කොට පුෂ්පමණ්ඩපයක් කරමු. මේ සියලු පූජා බුදුරජුන්හට සුදුසු වන්නීය.
3432. උපුල්, පියුම්, දෑසමන්, යොහොඹු (=කෝඹු), සපු, නා යන මලින් මම මණ්ඩපයක් කරවීමි.
3433. ඡත්‍රයන්ගේ සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පැණවීමි. මාගේ අන්තිම ආසනය අයිරාසියක් අගනේ ය.
3434. මම සත්සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පණවා නිමවීමි. ආහාරපාන ද පිළියෙල කරවා (සුදුසු) කලැයි දැන්වීමි.
3435. කාලය ආරෝචනය කළ කල්හි පදුමුත්තර බුදුරජ තෙමේ ලක්‍ෂයක් රහතුන් සමග මාගේ නිවසට එළඹියේ ය.
3436. මුදුන් සත් දරණ සුපුල් මල්මුවාමඩුවෙහි පුරුෂෝත්‍තම වූ බුදුරජ තෙම ලක්‍ෂයක් රහතුන් සමග වැඩහුන්නේ ය.
3437. ඡත්‍ර ලක්‍ෂයකි. අසුන් ලක්‍ෂයකි. බුදුරජානන් වහන්ස, මේ කැපය, නිවරදය. පිළිගණු මැනව.
3438. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ඒ මහාමුනි වූ පදුමුත්තර බුදුරජ තෙම මා (සසර සයුරින්) එතෙර කරණු කැමැත්තේ එය පිළිගත්තේ ය.
3439. මම එක එක භික්‍ෂුහට වෙන වෙන ම පාත්‍ර දුනිමි. පළමුවෙන් තුබුනු පාත්‍ර ඉවත් කොට හළහ. (හැමදෙනා වහන්සේ ම) ලෝහපාත්‍ර දැරුවාහු ය.
3440. බුදුරජ තෙම දිවරෑ සතක් පුෂ්පමණ්ඩපයෙහි වැඩහුන්නේ ය. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වී ය.
3441. පුෂ්පමණ්ඩපය තුළ දම්සක් පවත්වන කල්හි සුවාසූදහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය වී ය.
3442. සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙම ඡත්‍රච්ඡායායෙහි වැඩහුන්නේ මේ ගාථාවන් වදාළේ ය.
3443. “යම් මාණවකයෙක් මට කිසිවකින් නො අඩු වූ උතුම් දානයක් දුන්නේ ද, මම හේ කවරෙක් දැයි කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
3444. ඇත්තු ද අශ්වයෝ ද රිය ද පාබළ සෙනඟ ද යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3445. හස්තියානය අශ්වයානය දෝලාය පල්ලැක්කිය යන මෙකී යානයෝ නිරතුරුව මොහු වෙත එළඹ සිටිත්. සර්‍වදානයාගේ මේ විපාක යි.
3446. සියලු ආභරණයන්ගෙන් සරසන ලද සැටදහසක් රථයෝ නිරතුරුව මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3447. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණ ලද භේරීහු ද මොහුට නිරතුරුව ම වැයුම් කරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3448-3449. මැනැවින් අලඞ්කාර කරණ ලද සයාසූදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්‍ත්‍රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3450. කප්තිස්දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
3451. දහස්වරක් සක්විති රජ වන්නේ ය. (කරවනු ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණය යි) ගිණිය නො හැකිය.
3452. පුණ්‍යකර්‍මයාගේ (විපාකය හා) යෙදී දෙව්ලොව වසන්නා වූ මොහුට දෙව්ලොව කෙළවර කොට රුවන්සැතක් (=ස්වර්‍ණමයකුඩයක්) දැරේ.
3453. යම් කලෙක පිළීපුප්මුවා සෙවෙනි සේයාවක් ඉස්නේ නම් (එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව ම සෙවන කරන්නේ ය.
3454. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ දෙව්ලොවින් සැව පුණ්‍යකර්‍මවිපාකය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
3455. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3456. ශාක්‍යකුලයෙහි වූ ගෞතම බුදුරජ තෙමේ සියල්ල දැන භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්‍ථානයෙහි තබන්නේ ය.
3457. දෙවියන් විසින් ද අසුරයන් විසින් ද ගන්‍ධර්‍වයන් විසින් ද සත්කාර කරණ ලද පිළින්‍දිවච්ඡ නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
3458. එසේ ම හෙතෙමේ මහණුන් හට ද මෙහෙණන් හට ද ගිහියන් හට ද යන සියල්ලනට ප්‍රිය ව ආස්‍රව රහිතව වාසය කරන්නේය” යි.
3459. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද කර්‍මයාගේ විපාකය මට මෙහි දී දැක්වීය. දුනුදියෙන් මිදුනු හීවේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
3460. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි මා විසින් මැනැවින් කරන ලද පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍ය යි. යම් පින්කෙතක පින්කම් කොට අචල වූ නිර්‍වාණපදයට පැමිණියෙම් වෙම් ද එහෙයිනි.
3461. යම් මාණවකයෙක් තෙම කිසිවක් නො අඩු වූ උතුම් දනක් දුන්නේ ද, (එහි) පළමු ප්‍රමුඛයා විය. ඒ දානයාගේ මේ විපාක යි.
3462. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද ඡත්‍රයක් පුදා මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3463. ශීතොෂණයන් නො දනිමි. දැලිකුණු නො තැවරේ. උවදුරු විපත් නැති වේ. හැමකල්හි පුදන ලද්දෙක් වෙමි.
3464-3465. සියුම් සිවි ඇත්තෙම් වෙමි. සිත පිරිසිදු වේ. භවයෙහි සැරිසරන්නා වූ මට මේ ජාතිය හැර (අනෙක් හැම ජාතියක දී ම) ඒ කර්‍මයාගේ බලයෙන් සියලු අලඞ්කාරයන්ගෙන් යුක්ත වූ සියක්දහසක් ඡත්‍ර මාගේ හිසට දරත්.
3466. ඉහාත්මයෙහි මාගේ ඡත්‍රධාරණයක් නැත්තේ මන් ද? මා විසින් කරණ ලද කර්‍ම සියල්ල විමුක්තිඡත්‍රලාභයට (=නිවන් ලැබීමට) හේතු වූ බැවිනි.
3467. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද වස්ත්‍ර දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3468. ස්වර්‍ණවර්‍ණ වූයෙම් රජස් රහිත වූයෙම් ප්‍රභා සහිත වූයෙම් ප්‍රතාපවත් වූයෙම් වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මාගේ සිරුර සිනිඳු වේ.
3469. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද සියක්දහසක් වස්ත්‍ර මාගේ මස්තකයෙහ් දරත්. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
3470. කෝසෙය්‍යවස්ත්‍රය කම්‍බල වස්ත්‍රය කොමුපිළීය කපුපිළීය යන මේ වස්ත්‍ර ඒ කර්‍මයාගේ ඵලයෙන් මම සියලු තන්හි දී ම ලබමි.
3471. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද පාත්‍ර දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දසයක් අනුභව කරමි.
3472. රන්තලි ද මිණිතලි ද රිදීතලි ද පියුම්රාමිණිමුවාතලි ද හැම කල්හි පරිභෝග කරමි.
3473. උවදුරු රහිත වූයෙම් විපත් රහිත වූයෙම් හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ආහාරපාන වස්ත්‍ර සයනාසන ලබන්නෙක් ද වෙමි.
3474. මාගේ භෝගයෝ විනාශ නො වෙත්. මම නැවතුනා වූ සිත් ඇත්තෙම් වෙමි. හැම කලුහි ධර්‍මය කැමැති වෙමි. කෙලෙස් නැති වූයෙම් ආස්‍රව රහිත වෙමි.
3475. දෙව්ලොව්හි ද මිනිස්ලොව්හි ද මෙකී ගුණයෝ මා අනුව ම ගියාහු ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙන් සියලු තන්හි දී මා අතහැර නො දමන්නාහුය.
3476. මම විසිතුරු බන්‍ධනයන්ගෙන් බැඳුනු මැනවින් කළ බොහෝ පිහිය ද බුද්ධශ්‍රෙෂ්‍ඨයන් වහන්සේට හා එසේ ම සඞ්ඝයාට ද පුදා,
3477. සූර වූයෙම් සසල නො වූයෙම් විසාරද බැව්හි කෙළ පැමිණියෙම් වෙමි. හැම කල්හි (කෙලෙස් වසඟව යා නො දී) දැඩි කොට ගත් සිත් ඇත්තෙම් නුවණ හා වීර්‍ය්‍ය ඇත්තෙම් ද වෙමි.
3478. මම සියුම් වූ අතුල පිරිසිදු වූ කෙලෙස් සිඳීමේ නුවණ ද ඒ පුණ්‍යකර්‍ම බලයෙන් සියලු තන්හි දී ලබමි.
3479. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද පහන්සිත් ඇත්තෙම් කොරොස් නො වූ රළු නො වූ තියුණු කළ බොහෝ අවි මැනැවින් දී,
3480-3481. මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි. කල්‍යාණ චිත්තය ද, වීර්‍ය්‍යය ද, ක්‍ෂාන්තිය ද, මෙත් අවිය ද, තණ්හානමැති හුල සිඳුනා ලද බැවින් අනුත්තර වූ ප්‍රඥාශස්ත්‍රය වූ විදුරුසම නුවණ ද ඒ කුශලකර්‍ම බලයෙන් ලබමි.
3482. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද හිදි (කටු) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි:
3483. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් හැම කල්හි සැක නැත්තෙම් කුකුස් සිඳුනෙම් මනා රූ ඇත්තෙම් භෝගසම්පත් ඇත්තෙම් තියුණු පැණවත් වූයෙම් ද වෙමි.
3484. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුර නසන්නා වූ වීදුරු අගක් මෙන් සියුම් නුවණ වේ.
3485. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තියසැත් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3486. බොහෝ දැසිදස්සන් ද ගවයන් හා අශ්වයන් ද බැළයන් ද ආරක්‍ෂකයන් ද නැවෑමියන් ද මේවඩුවන් ද සූදයන් ද මම (භවයෙහි) සියලු තන්හිදී ම ලබමි.
3487. ශෝභන වූ විජිනිපත් ද (තල්පතින් කළ) වටාපත් ද බුදුරජුන් කෙරෙහි ද (උතුම් සඟගණ කෙරෙහි ද දි) මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3488. ශීතොෂ්‍ණයන් නො දනිමි. (සිරුරෙහි හෝ සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපකර දරථයක් නො දනිමි.
3489. මාගේ ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය ද්වේෂාග්නිය මෝහාග්‍නිය දෘෂ්‍ට්‍යග්‍නිය යන සියලු අග්නීහු නිවී ගියහ.
3490. මොණරපියාපත් ද, සෙමෙරවලිග ද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි දී මම සන්හිඳුනු කෙලෙස් ඇත්තෙම් කෙලෙස් රහිත ව වෙසෙමි.
3491. බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි පෙරහන් දී මාගේ කර්‍මයට සුදුසු වූ පඤ්චාසංසයක් අනුභව කරමි:
3492. මම සෙසු සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැමකල්හි සොරුන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ බලයෙන් මැඩලිය නොහෙන්නේ වෙමි.
3493. අවියකින් හෝ විසකින් හෝ වෙහෙසකුදු නො කෙරේ. ඒ පුණ්‍යවිපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නො ගෙවී) අතරතුර මරණයකුදු නැත.
3494. බුදුරජුන් කෙරෙහි ද, උතුම් සඟගණ කෙරෙහි ද තෙල්ගුලා දී මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3495. මනහර රූ ඇත්තෙම් මනෝඥ හඬ ඇත්තෙම් මැනවින් සමාධිගත සිත් ඇත්තෙම් නො කැළඹුනු සිත් ඇත්තෙම් සියලු ආරක්‍ෂාවන්ගෙන් රැකුනෙම් ද වෙමි.
3496. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හිදිගුලාවක් දී මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3497. චිත්තසුඛය ද කායසුඛය ද ඉරියාපථ සුඛය ද යන මේ ත්‍රිවිධගුණයන් ඒ පුණ්‍යඵලයෙන් මම ලබමි.
3498. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද අස් (=අංස) කඩ දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3499. චේතෝපරියඤාණය (පරසිත් දන්නා නුවණ) ලබමි. දෙවෙනි භවය ද සිහි කෙරෙමි. මම ඒ පුණ්‍යඵලයෙන් හැම භවයෙහි ම මනා ඡවි ඇත්තෙම් වෙමි.
3500. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ දෙරෙහි ද කාබාන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
3501. සමාධීන්හි කම්‍පා නොවෙමි. (එසේ ම) සමාධීන්හි වශී වෙමි. නො බෙදුනු පිරිස් ඇත්තෙම් වෙමි. හැමකල් අනුන් විසින් පිළිගත යුතු වචන ඇත්තෙම් වෙමි.
3502. එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොව හෝ මිනිස්ලොව හෝ මා අනුව ම එති.
3503-3504. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (පාත්‍ර තබන) ආධාරකයන් දී පස්අයුරකින් ගත් දායාද ඇත්තෙම් හෙවත් අනුසස් පසක් ලදුයෙම් වෙමි: කිසිවකින් කම්පා නො වෙමි. මි විසින් අසන ලද යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරණ ලද්දෝ නො නැසෙත්. මැනවින් නිශ්චිත වූවාහු වෙත්.
3505. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පරිභෝග භාජනයන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3506. මම රන්මුවා වූ ද මිණිමුවා වූ ද යලි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද බඳුන් ලබමි.
3507. භාර්‍ය්‍යාවෝ ද දාසිදාසයෝ ද හස්‍ති අශ්‍ව රථ පාබළ සෙනඟ ද පතිව්‍රතාස්ත්‍රීහූ ද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්.
3508. විද්‍යාවන්ට ද මන්ත්‍රපදයනට ද විවිධ ආගමධර්‍මයනට ද සියලු ශිල්පයනට ද කන් යොමු කරමි. එ සිප්හු හැම කල්හි පරිභෝගයෝ වෙත්.
3509. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තලි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3510. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද යළි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද තලි මම ලබමි.
3511. ලබුපලමුවා තලි ද යලි පොකුරුපත් ද මිහි බොන සක් ද යන තලි මම ලබමි.
3512. වතාවත් ගුණයෙහි ද ආචාරක්‍රියාවන්හි ද පිළිපැදුම යන මේ ගුණ ඒ පුණ්‍යකර්‍ම බලයෙන් මම ලබමි.
3513. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බෙහෙත් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දසයක් ලබමි.
3514. ආයු ඇත්තෙම් බල ඇත්තෙම් වීරගුණ ඇත්තෙම් සිවිපැහැ ඇත්තෙම් කීර්තිමත් වූයෙම් සැප ඇත්තෙම් උවදුරු රහිතයෙම් විපත් රහිතයෙම් හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ඒ පුණ්‍යකර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රියවිප්‍රයෝග දුකෙක් නැත.
3515. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාවහන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි:
3516. හස්‍ති අශ්ව යාන ද දෝලා ද පල්ලැක්කි දැයි මේ යානයෝ සැටලක්‍ෂයක් මා හැම කල්හි පිරිවරත්.
3517. භවයෙහි සැරිසරන්නා වූ මට පියවරක් පාසා මිණියෙන් කරන ලද්දා වූ ද කම්බිලි යෙන් කරණ ලද්දා වූ ද රනින් කරණ ලද්දා වූ ද රිදියෙන් කරන ලද්දා වූ ද පාදුකාවෝ (=පාවහන්) නිපදිත්.
3518. ඔහු කර්‍මනියාමය අනුව පවිටු ආචාරයන්ගේ ශෝධන සඳහා පවතිත්. ඒ පුණ්‍යබලයෙන් මම මේ ගුණ ලබමි.
3519. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මිරිවැඩි දී කැමැති තාක් ඍද්ධිමය මිරිවැඩි නැගී වෙසෙමි.
3520. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දියපිස්නා දී මාගේ කර්‍මයට සුදුසු වු අනුසස්පසක් ලබමි.
3521. ස්‍වර්‍ණවර්‍ණ වූ රජස් රහිත වූ ප්‍රභාසහිත වූ ප්‍රතාපවත් වූ මාගේ සිරුර සිනිඳු ද වේ. දැලිකුණු ද නො තැවරේ. ඒ පුණ්‍යඵලයෙන් මම මේ ගුණ ලබමි.
3522. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සැරයටි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
3523. මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැන්මෙක් නැත. සියලු ආරක්‍ෂාවන්ගෙන් රැකුනෙම් හැම කල්හි බලාත්කාරයෙන් නො මැඩලිය හැක්කෙක් වෙමි. පැකිලීමකුත් නො දනිමි. මාගේ සිත භ්‍රාන්ත නො වෙයි.
3524. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඔසු අඳුන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3525. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද මහත් ඇස් ඇත්තෙම් වෙමි. සියලු රෝගයන්ගෙන් වෙන් වූ නො කැලැඹුණු පහන් ඇස් ඇත්තෙම් වෙමි.
3526. අනුත්තර වූ දිවැස ද පැණැස ද ලබමි. මම ඒ පුණ්‍යඵලයෙන් මේ ගුණ ලබමි.
3527. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද යතුරු දී දහම් දොර හරණා නුවණ නැමැති කෙසිදු ලබමි.
3528. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කෙසිගුලා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දෙකක් අනුභව කරමි. මම භවයෙහි සැරිසරන්නෙම් ක්‍රෝධ රහිතයෙම් ආයාස රහිතයෙම් ද වෙමි.
3529. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආයෝගපට්‍ට (එලී සිටින පුවරු හෝ පටි) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3530. සමාධීන්හි කම්පා නො වෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නො බිඳෙන පිරිස් ඇත්තෙම් වෙමි. හැම කල්හි පිළිගත යුතු වචන ඇත්තෙම් ද වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මට භෝගසම්පත් උපදී.
3531. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දුම්නළ දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුනක් අනුභව කරමි.