3338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3339. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදු සසුන කරණ ලදි.
3340. අනවතප්ත මහවිල් තෙර දී පැණ විචාරණ ලද සෝණකෝටිවිස ස්ථවිර තෙමේ බික්සඟන ඉදිරියෙහි විසඳීය.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝණකෝටිවීස ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සෝණකෝටිවීස ස්ථවිරාවදානය නවවැනියි.
390. පුබ්බකම්මපිලෝතිකාවදානය
3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්තවිල සමීපයෙහි වූ සිත්කලු ගල්තලාවෙක්හි,
3342. මහත් වූ භික්‍ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහි දී තමන්වහන්සේ ගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.
3343. මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලද ද මාගේ (ඒ කර්‍මය) අසවු. විපාකාවශේෂකර්‍මය බුදුබැව් ලැබූ කල්හි ද විපාක දේ.
3344. පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්‍දා නොකටයුතු වූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්‍දා කෙළෙමි.
3345. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.
3346. ඒ කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිව්‍රාජිකාව නිසා මා විසින් නින්‍දා වචන ලබන ලදි.
3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් වීය. උන්වහන්සේට නින්‍දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.
3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්‍ඝකාලයක් නිරයෙහි සැරි සැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්‍දා ලැබීමි.
3349. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.
3351. මහත් ඍද්ධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම ඍෂිතෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක නින්‍දා නො කටයුතු වූ ඔහුට නින්‍දා කෙළෙමි.
3352. ඉක්බිති මම ශිෂ්‍යයන්හට “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි කීමි. මාණවකයෝ ද මා කී වචනයට සතුටු වූවාහු ය.
3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි මහජනයාට කීහු.
3354. ඒ කර්‍මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්‍ෂුහු සුන්‍දරිකා පිරිවැජිය නිමිති කොට නින්‍දා ලැබූහ.
3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීමි. ගිරිදූර්‍ගයක හෙළීමි. ගලකින් ද තැළීමි.
3356. ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. (ඉන් නැගුනු) ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළී ය.
3357. පෙර මම කුල දරුවෙක් ව මහමගෙහි ක්‍රීඩා කරමින් මග (වඩිනා) පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් (උන්වහන්සේ දෙසට) ලීමි.
3358. ඒ කර්‍මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවී ය.
3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.
3360. ඒ කර්‍මවිපාකයෙන් ගිරිබ්‍බජ නම් උතුම් නගරයෙහි දී (මත් වී) භ්‍රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.
3361. මම පෙර පෘථිවීශ්වර වූ රජෙක් වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
3362. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා) ප්‍රදුෂ්‍ය විය. කර්‍මය නැති නො වේ.
3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේ ද, එකල්හි සියලු ශාක්‍යයෝ ද නැසුනාහු ය.
3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්හට යව කවු බුදිවු, හැල් නො බුදිවු යී නින්‍දා කෙළෙමි.
3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වේරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්‍මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.
3367. (පෙර) මල්ලයුද්ධයක් පවත්නා කල්හි මල්ලපුත්‍රයකු පෙළීමි. ඒ කර්‍මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවේදනාවක් විය.
3368. මම පෙර වෙදෙක් වීමි. (ධනලෝභයෙන්) එක් සිටුපුතකු විරේක කරවීමි. ඒ කර්‍මයෙන් මට ලෝහිතපක්‍ඛන්‍දිකා (=ලේ අතීසාර) රෝගය වැළඳුනේ වේ.
3369. (පෙර) ජෝතිපාල මාණවක වූ මම එකල්හි කාශ්‍යප බුදුරජානන් වහන්සේට “මුණ්ඩයාට (හිස මුඩු කළහුට) සම්බෝධි ඥානයක් කොයින් ද? සම්බෝධි ඥානය ඉතා දුර්‍ලභය”යි කීමි.
3370. ඒ කර්‍මවිපාකයෙන් උරුවේලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කරක්‍රියා කෙළෙමි. ඉන් පසු සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.
3371. පූර්‍වකර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නො මගින් බුදුබව සොයන්නෙම් මම ඒ නො මගින් උතුම් සම්‍යක් සම්බෝධියට නො පැමිණියෙමි.
3372. පින්පව් ගෙවා ලූයෙම් කෙලෙස් තැවුල් බැහැර කෙළෙම් ශෝක රහිත වූයෙම් උපායාස රහිත වූයෙම් ආස්‍රව රහිත වූයෙම් පරිනිර්‍වාණයට පත්වන්නෙමි.
3373. සියලු අභිඥාබලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් තෙරෙහි දී බික්සඟන හමුයෙහි මෙසේ වදාළ සේක.
මෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලෝතික නම් වූ ධර්‍මදේශනාව වදාළ සේකි.
පුබ්බකම්මපිලෝතික නම් වූ බුද්ධාවදානය දසවැනි යි.
උද්දානය:
අවණ්ට ලබුජ උදුම්බර පිලක්‍ඛු ඵාරු වල්ලී කදලී පනස කෝටිවීසක පුබ්බකම්මපිලෝති සම්බුදුසිරිත ද වේ මෙහි ගී එක් අනූවක් පඬුවන් ගණන ලද වේ.
අවණ්ටඵල වර්‍ගය එකුන්සාළිස්වැනි යි.
40. පිළින්‍දවච්ඡ වර්‍ගය
391. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
3374. මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි නිරවුල් වූ අපමණ භොග සම්පත් ද විය.
3375. මම එකල්හි පහයෙහි විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
3376. මා විසින් බොහෝ භෝගසම්පත්තීහු ලබන ලදහ. මාගේ ඇතුළුනුවර සමෘද්ධය. පෘථිවීශ්‍වර වූ ආනන්‍ද රජතෙමේ ද (බුදුරජුන් ප්‍රධාන සඞ්ඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
3377. සර්‍වඥ තෙමේ ලෝ වැඩ සඳහා පහළ වන්නේ වේ. මේ ඒ සර්‍වඥතෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෲන් වහන්සේට දනක් දෙන්නෙමි.
3378. පදුම නම් රාජපුත්‍රයා විසින් බුදුරජානන් වහන්සේ කෙරෙහි උතුම් වූ දානයක් දෙන ලදි. (ඒ දනෙහි) හස්තිරාජයන් ද, පර්‍ය්‍යඞ්කයන් ද හේත්තු වන පුවරු ද යන බොහෝ දේ වෙයි.
3379. මම ද උතුම් වූ සඞ්ඝයා කෙරෙහි දනක් දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
3380. යම් යම් දෑ දීමෙහි සුඛවිපාක නන් අයුරින් සිතා මාගේ අදහස් පුරා ලන පරිෂ්කාරදානය දිටිමි.
3381. ගණවරොත්තම වූ සඞ්ඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
3382. එකෙණෙහි කුලුපොත්තන් (=බටවලින් කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍ර කරවීමි. ඡත්‍ර ලක්‍ෂයක් එක්රැස් කෙළෙමි.
3383. වස්ත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි.
3384. වෑ ද කුඩා පිහි ද, හිදි ද, නියකපන සැත් ද, ඊට සුදුසු ලෙස කරවා ඡත්‍රයෙහි එල්බවීමි.
3385. පවන්අතු ද, විජිනිපත් ද, මොණරපියාපත් ද, සෙමරවල් ද, පෙරහන්කඩ ද, තෙල්බඳුන් ද, එයට සුදුසු ලෙස කරවීමි.
3386. හිදිගුලා ද, අස්බහන් ද, යලි කාබහන් ද, (පාත්‍රාධාරාදි) මැනවින් කළ ආධාරක ද එයට සුදුසු ලෙස කරවීමි.
3387. පරිභෝගයට ගන්නා බඳුන් ද, එසේ ම ලොහොතලි ද බෙහෙත් පුරවා ඡත්‍ර යට තැබීමි.
3388. වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල් ය, වැල්මී ය, තිප්පිලි ය, ගම්මිරිස් ය, අරළු ය, හිඟුරු ය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
3389. වහන් ද, මිරිවැඩි ද, එසේම දිය පිස්නාවන් ද, මැනවින් කළ සැරයටි ද, එයට සුදුසු ලෙස කරවීමි.
3390. බෙහෙත් අඳුන් නාළිකා ද (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලහ ද, දම්කොතුරු (=ඩබරා) ද කෙසි (යතුරු) ද පස්වණින් මසා කළ කෙසිගුලා හෙවත් යතුරු කොපු ද,
3391. අයෝගපට්ට ද, දුම් (බොන) කෝව ද පහන් එල්ලන කොකු ද තිඹ නම් මානපාත්‍ර ද කරඬු ද එයට සුදුසු ලෙස කරවීමි.
3392. අඬු ද, කතුරු ද, යලිදු මල හරනා හඬු (=කන්හැඳි) ද බෙහෙත් පහි ද එයට සුදුසු ලෙස කරවීමි.
3393. දික්හඟලා පුටු ද, කුඩා පුටු ද, පලඟ ද මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයයට තැබීමි.
3394. එළුලොම් පිර වූ බිසි ද, පුලුන් පිර වූ බිසි ද, යලිදු පුටු බිසි ද මැනවින් කරන ලද මෙට්ට ද එයට සුදුසු ලෙස කරවීමි.
3395. (ඇඟ ඉළීමට ගන්නා) කුරුඳුගල් ද, මී ඉටි ද (තල) තෙල් ද එසේ ම ඇඟ ඉළීමට ගන්නා (ඉරි ඇඳ කෙරොස් කළ) අත්වන අඟුරු කබල ද (මට කළ) ගල්පතුරු ද, පුවරු ද, හිඳි ද, ඇඳ අතුරුණු ද,
3396. සෙනසුන් ද, පාබිසි ද, යහන්දඬු ද, දැහැටි ද, දත් කටු ද, හිසෙහි ගල්වන ගන්‍ධ (තෛලාදිය) ද,
3397. ගිනිගානා දඬු ද, පිදුරු පුටු ද, පාත්‍රයන් වහන පියන් හා තලි ද, දිය ගන්නා පිණිස යොදන කිණිසි ද, සුණුවර්‍ග ද පඬුඔරු ද,
3398. මුසුන් ද, දියබඳුන් ද, එසේ ම වැසිසළු ද, හිඳිනා ඇතිරි ද, කස්පිළිසන් පටි ද, යලි හඳනාකඩ ද,
3399. උතුරුසඟසිවුරු හා සඟලසිවුරු ද, නශ්‍ය කරණ යුගහැඳි ද, මුවදෝනා බඳුන් ද, ඇඹුල් කාඩි ද, ලුණු ද, බොහෝ වූ මී ද, දිහියෙන් කළ පානවර්‍ග ද,
3400. දුම් නඟනා ද්‍රව්‍ය ද, ඉටි ද, මහලුපිළී ද, මුව පිස්නා හා හූ දැයි (මෙසේ) දිය යුතු යමක් ඇත් ද, යමක් ශාස්තෲන් වහන්සේටත් කැප ද.
3401. මේ සියල්ල රැස් කරවා මහර්ෂි වූ බුදුරජුන්ගේ පියා වූ ආනන්‍ද රජු වෙත එළඹියෙමි. එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
3402. (අප දෙදෙන) එක්ව ඉපද එක්ව ම වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිත ද එක්ව ම පවතී. (දෙදෙනා පිළිබඳ සුවදුක් දෙක) දෙදෙනාට ම සාධාරණ ය. (දෙදෙනා ම ඔවුනොවුනට) අනුව පවතින්නෝ වෙමු.
3403. සතුරන් මඩින්නා වූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත් තොප විසින් මැඩලිය යුතු දුකක් ඇත. ක්‍ෂත්‍රියයානෙනි, ඉදින් හැකිවෙහි නම් ඒ දුක දුරු කරන්නෙහිය කියා යි.
3404. ඔබගේ දුක මාගේ දුකය, දෙදෙනාගේ ම සිත එක්බඳුය, ඉදින් තාගේ දුක මා අයත් නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම් එය අවසන් වීය යි දැන ගණුව.
3405. මහරජතුමනි, මාගේ දුරු කළ නො හැකි දුක දැනගණු මැනව, එය ඔබවහන්සේගේ බැහැර කළ නො හැකි එක් වරයක් වෙයි. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් කියනු මැනව.
3406. විජිතය යම් තාක් ඇද්ද, මාගේ ජීවිතය යම් තාක් ඇද්ද, ඉදින් මෙකී දෙයින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නො වූයෙම් ම (එය) දෙන්නෙමි.
3407. දේවයන් වහන්ස, ඔබ විසින් මෙසේ ගර්‍ජනා කරන ලදි. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේ ය. අද ඔබ සියලු ධර්‍මයන්හි පිහිටියෙක් දැයි දන්මි.
3408. (ඇති) යමකු දෙන්නා වූ මා (ඔබ) දැඩි ලෙස පෙළනෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? ඔබ විසින් පතන ලද්ද මට කියව.
3409. මහරජතුමනි, මම අනුත්තර වූ බුද්ධශ්‍රෙෂ්‍ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. මෙය වැරදුනහොත් මාගේ ජීවිතය නහමක් වේවා.
3410. මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. දැරඟමිණක් බඳු බුදුරජ තෙම කිසිවෙකුට නො දිය යුත්තෙකි.
3411. දේවයන් වහන්ස, ඔබ විසින් තමාගේ දිවි වුව ද දෙමැයි ගර්‍ජනා කරණ ලදුයේ නො වේ ද? ජීවිතය දෙන්නහු විසින් බුදුරජුන් දීම සුදුසුය.
3412. බුදුරජ තෙම (වෙන් කොට) තැබිය යුතු ය. සර්‍වඥ තෙම කිසිවකුට නො දිය යුතු වේ. මා විසින් බුදුරජුන් දෙමැයි පිළිවදන් නො දෙන ලදි. අපමණ වූ ධනය ඉල්ලනු මැනව.
3413. අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහි දී විචාරන්නෙමු. (එවිට අධිකරණ නායකයෝ) ඇති පරිදි (කරුණු) කියන්නාහු ය. එය එසේ (අධිකරණයෙන් ම) විචාරමු.
3414. රජුගේ අත ගෙණ විනිශ්චයට ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මේ වචනය කීමි:
3415. විනිසකරුවෝ මබස අසත්වා, කිසිවක් නො තබා මට රජ තෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරීය.
3416. මට වර දුන් ඔහුගෙන් මම බුදුරජුන් ඉල්ලීමි. මට බුදුරජ තෙම මැනවින් දෙන ලදී. නො එසේ නම් මාගේ සැකයෙකි.
3417. තාගේ වචනය ද පෘථිවිපාලක වූ රජුගේ වචනය ද අසමු. දෙදෙනාගේ ම වචන අසා මෙහි සැක දුරු කරමු.
3418. දේවයන් වහන්ස, කිසිවක් තබා නො ගෙණ සියල්ල ම ගතයුතු සේ කොට සියල්ල ඔබවහන්සේ විසින් මොහුට දෙනලද ද? ජීවිතය ද පැවරී ද?
3419. (මෙ තෙම) දුකට පැමිණියෙක් ව උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක් ම දෙමැයි) සර්‍වග්‍රාහික කොට (වරයක්) දුනිමි.
3420. දේවයන් වහන්ස, පරාජය ඔබවහන්සේට ය. බුදුරජ තෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේ ම සැක පසිඳින ලදි. සත්පුරුෂධර්‍මය වූ පරිදි ධර්‍මයෙහි පිහිටුව.
3421. රජ තෙම එහි ම සිටගෙණ විනිසකරුවනට මෙය කීය. සගයෙනි, මට ද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් ලබමි.
3422. තාගේ අදහස් සම්පූර්‍ණ කොට ගෙණ තථාගතයන් වළඳවා ආනන්‍ද රජුහට නැවත බුදුරජුන් දෙන්නෙහි ය.
3423. විනිසකරුවනට ද රජතුමාට ද වැඳ සතුටු වූයෙම් ප්‍රමුදිත වූයෙම් බුදුරජුන් වෙත එළඹියෙමි.
3424. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
3425. පසැස් ඇතියාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.
3426. ලොවැස්සන්ගේ පූජාසත්කාරයන් පිළිගන්නා වූ තුන්ලොව ම මැනවින් දතුවා වූ පසැස් ඇත්තා වූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (ඒ ආරාධනය) ඉවසීය.
3427. මම ආරාධනය පිළිගත් බව දැන ශාස්තෲන් වහන්සේ වැඳ සතුටුව ඔදවැඩි සිත් ඇත්තෙම් සිය නිවසට එළඹියෙමි.