Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 4401-4500 න් 9627

3207. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පස්මරුන් දිනූ පසේ බුදුරජුන්හට (ඒ මල්) දොහොතින් ගෙණ පිදීමි.
3208. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3209. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකචම්පකපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
369. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
3210. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි යටිහොයට යමි. (එකල්හි) මම පිපුනු සල්රුකක් බඳු ව බබලන්නා වූ බුදුරජුන් දිටිමි.
3211. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම තිමිරමල් ගෙණ පසේබුදුරජුන්හට මස්තකයෙහි විසුරුවා පිදීමි.
3212. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3213. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිමිරපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
370. සලලපුප්ඵිය ස්ථවිරාවදානය
3214. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. එහි සක්මණෙහි යෙදෙන දෙවියනට දෙවි වූ බුදුරජුන් දිටිමි.
3215. මම සලලමල් නෙලා එම බුදුරජුන්හට දිනිමි. බුදුරජ තෙමේ දිව්‍යමය සුවඳ ඇති ඒ සලල මල් ආඝ්‍රාණය කෙළේය.
3216. ලෝකනායක වූ මහාවීර වූ විපස්සී සම්බුදුරජතෙමේ මා බලා සිටියදී ම එය ආඝ්‍රාණය කෙළේ ය.
3217. (ඉක්බිති) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැඳ නැවත ද ඇඳිලි බැඳ පර්‍වතයට නැංගෙමි.
3218. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3219. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සලලපුප්ඵියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
මන්‍දාරව කක්කාරු භිස කේසරපුප්ඵිය අඞ්කෝලක කදම්බී උද්දාලී ඒකචම්පක තිමිර සලල යයි ගී සාළිසෙක් ම වන්නේ.
සත්තිස්වැනි මන්‍දාරවපුප්ඵිය වර්‍ගය යි.
38. බෝධිවන්‍දන වර්‍ගය
371. බෝධිවන්‍දක ස්ථවිරාවදානය
3220. මම පලාවන් වූ පළොල් රුකක් දැක එකස් කොට ඇඳිලි බැඳ ඒ පළොල් බෝධියට වැන්දෙමි. (පළොල්රුක විපස්සී බුදුරජානන් වහන්සේගේ බෝධිය යි.)
3221-3222. ඇඳිලි බැඳගෙණ සිතින් ද ගරු කොට ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ මැනවින් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනා වූ ආස්‍රව රහිත වූ ලෝවැස්සන් විසින් පුදන ලද කරුණාවට හා ඥානයට සාගරයක් වැනි වූ විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් (මම) ඒ පළොල් බෝධියට වැන්දෙමි.
3223. මම මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධිවන්‍දනාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බොධිවන්‍දනාවෙහි මේ විපාක යි.
3224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිවන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පළමුවැනි බෝධිවන්‍දක ස්ථවිරාවදානය යි.
372. පාටලියපුප්ඵිය ස්ථවිරාවදානය
3225. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පස්මරුන් දිනූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද සේක් බන්‍ධුම නගරයට පිවිසි සේක.
3226. මා විසින් පළොල් මල් තුණත් හිඟෙහි තබන ලද්දේ ය. මම හිස නහනු කැමැත්තෙම් ගංතෙරට ගියෙමි.
3227-3228. බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නා වූ මහනිල් මලක් මෙන් බබලන ඇවිළගත් ගින්නක් බඳු වූ ව්‍යාඝ්‍රරාජයකු මෙන් වූ උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති සිංහරාජයකු බඳු වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
3229. කෙලෙස්මල දෝනා වූ ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් පළොල් මල් තුණ ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
3230. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3231. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
දෙවෙනි පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය යි.
373. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3232. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වානරයෙක් වීමි. එකල්හි කඳු අතුරෙහි වැඩහුන්නා වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3233. සියලු දිගුන් බබුළුවන්නා වූ පිපුණු සල්රුකකට බඳු වූ (දෙතිස්මහපුරිස්) ලකුණින් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සොම්නස් වූ මම-
3234. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිණාගිය සිත් ඇත්තෙම් උපුල් මල් තුණක් අහස්හි විසුරුවා පිදීමි.
3235. මම ඵුස්ස බුදුරජුන්හට ඒ මල් පුදා ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
3236. පැහැදි සිතින් හැකිළී (බුදුනට පිටු නොපා) යන්නෙම් කඳු අතුරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
3237. ඒ සුකෘත කර්‍මය හේතු කොට ගෙණ මම පළමු ජාතිය - එම ආත්මභාවය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
3238. මම තුන්සියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
3239. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය තෙවෙනි යි.
374. පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
3241. යම් කලෙක්හි මහර්ෂී වූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑයේ ද, (එකල්හි) සියලු ජනයෝ එකතුව උන්වහන්සේගේ දේහය ගෙණ යත්.
3242. ශරීරය ගෙණ යද්දී බෙර වයද්දී පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම රතුලොත්මල් පිදීමි.
3243. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධදේහය පිදූ කල මේ විපාක යි.
3244. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3245. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3246. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පට්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
375. සත්තපණ්ණිය ස්ථවිරාවදානය
3247. ලෝකනායක වූ සුමන නම් සම්බුදුරජ තෙමේ ලොව පහළ විය. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රුක්අත්තන මල් පිදීමි.
3248. මෙයින් සියක් දහස්වන කපෙහි යම් රුක්අත්තන මල් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රුක්අත්තන මල් පිදීමෙහි මේ විපාක යි.
3249. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3250. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3251. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සත්තපණ්ණිය ස්ථවිරාවදානය පස්වැනි යි.
376. ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය
3252. නොයෙක් සුවඳ වර්‍ග රැස් කොට සෑයක් (=චිතකයක්) කරණු ලබන කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
3253. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
3254. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3255. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3256. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමුට්ඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය සවැනි යි.
377. චිතකපූජක ස්ථවිරාවදානය
3257. පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැගූ විට මම සල්මල් පිදීමි.
3258. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
3259. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3261. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
378. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
3262. මම සමන්මලින් වසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම ඒ විජිනිපත සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට දුනිමි.
3263. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් විජිනිපතක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විජිනිපත් දනෙහි මේ විපාක යි.
3264. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3266. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය අටවැනි යි.
379. සුමනදාමිය ස්ථවිරාවදානය
3267. (චතුර්මාර්‍ගඥාන ජලයෙන් කෙලෙස් කසට සේදී යන සේ) ස්නානය කළා වූ තපෝගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පෙරටව සිටියෙම් සමන්මල් දමක් කොට දැරීමි.
3268. මෙයින් සිවුඅනූවන කපෙහි යම් (සමන්මල්) දමක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුමන මල්දම දැරීමෙහි මේ විපාක යි.
3269. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3271. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.