කිංසුකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
354. සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය
3153. සිඛී බුදුරජානන් වහන්සේගේ තබන ලද පියවර දැක මම අඳුන්දිවිසම එකස් කොට ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.
3154. පිපුනු කටුකරඬු රුකක් දැක කිණිති සහිතව මල් ගෙණ පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍රලක්‍ෂණය පිදීමි.
3155. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාක යි.
3156. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටකකොරණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
355. දණ්ඩදායක ස්ථවිරාවදානය
3157. එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බගන්නා දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
3158. ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ මනා ව්‍රත ඇති සංඝයා වැඳ සැරයටිය ද දී උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
3159. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
3160. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දණ්ඩදායකස්ථවිරාවදානය පස්වැනියි.
356. අම්බයාගුදායක ස්ථවිරාවදානය
3161. සියල්ල තෙමේ ම අවබෝධ කොටගත් පස්මරුන් දිනූ සතරංසි නම් පසේබුදුතෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬුපිණිස එළඹියේ ය.
3162. මම පිරිසිදු සිත් ඇති ඒ පසේබුදුරජුන් දැක උන්වහන්සේට පැහැදි සිතින් ම අඹ කැඳක් දුනිමි.
3163. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹකැඳ පිදීමෙහි මේ විපාක යි.
3164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගුදායකස්ථවිරාවදානය සවැනියි.
357. සුපුටකපූජක ස්ථවිරාවදානය
3165. දිවාවිහරණයෙන් නික්මුනු ඒ විපස්සී බුදුරජානන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක් මාගේ සමීපයට එළඹි සේක.
3166. ඉක්බිති සතුටු වූ සොම්නස් වූ මම තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුපළාවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
3167. මෙයින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණුපළා දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ලුණු) පළාදනෙහි මේ විපාක යි.
3168. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපුටකපූජකස්ථවිරාවදානය සත්වැනියි.
358. මඤ්චදායක ස්ථවිරාවදානය
3169. ලොවට දෙටු වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින් ම මා විසින් එක් මඤ්චකයෙක් දෙන ලදි.
3170. (එයින්) හස්තියානයන් ද, අශ්වයානයන් ද, දිව්‍යමය යානයන් ද ලැබීමි. ඒ මඤ්චදානයෙන් ම ආස්‍රවක්‍ෂයට ද පැමිණියෙම් වෙමි.
3171. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
3172. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායකස්ථවිරාවදානය අටවැනියි.
359. සරණගමනිය ස්ථවිරාවදානය
3173. එකල්හි ආජීවකයෙක් වූ මම ද, භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුතෙම මට සරණ දුන්නේ ය.
3174. මෙයින් එක්තිස්වන කපෙහි මට යම් සරණයක් දුන්නේ ද (ඒ සරණගතවීම් හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ විපාක යි.
3175. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනියස්ථවිරාවදානය නවවැනියි.
360. පිණ්ඩපාතික ස්ථවිරාවදානය
3176. තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ (උන්වහන්සේට) පිණ්ඩපාතදානයක් දුනිමි.
3177. මහත් වූ ගුණ ඝෝෂ ඇති තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ මම (ආපසු) තුසිත දෙව්ලොවට ගියෙමි.
3178. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණ්ඩපාතදානයාගේ මේ විපාක යි.
3179. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිණ්ඩපාතිකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සද්දසඤ්ඤී යවසික කිංසු කොරණ්ඩපුප්ඵිය ආලම්බන අම්බයාගු සුපුටී මඤ්චදායක සරණ පිණ්ඩපාත ද ගී සාළිසෙක් මෙහි වේ.
සද්දසඤ්ඤකවර්‍ගය සතිස්වැනියි.
37. මන්‍දාරවපුප්ඵිය වර්‍ගය
361. මන්‍දාරවපුප්ඵිය ස්ථවිරාවදානය
3180-3181. මඞ්ගල නම් මාණවක වූ මම මදාරා මල් ගෙණ තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ සමාධියෙන් වැඩ හුන් විපස්සී බුදුරජුන්ගේ මස්තකයෙහි දැරීමි. (එය බුදුරජුන්හට මල්කුඩයක් මෙන්) සතියක් දරා සිට නැවත දෙව්ලොව ගියෙමි.
3182. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3183. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
මන්‍දාරවපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
362. කක්කාරුපුප්ඵිය ස්ථවිරාවදානය
3184. (මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණ ශ්‍රීමත් වූ ගෞතමයන් වහන්සේ දැක) කැකිරිමල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
3185. මෙයින් දෙයානූවන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3186. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කක්කාරුපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
363. භිසමුළාලදායක ස්ථවිරාවදානය
3187. සියලු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. විවේකය කැමැති සප්‍රාඥ වූ උන්වහන්සේ මාගේ සමීපයට පැමිණිසේක.
3188. පස්මරුන් ජයගත් මහාකාරුණික වූ ඒ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම නෙළුඹුඅල හා දඬු ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3189. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹල දනෙහි මේ විපාක යි.
3190. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භිසමුළාලදායකස්ථවිරාවදානය තෙවෙනියි.
364. කේසරපුප්ඵිය ස්ථවිරාවදානය
3191. එකල්හි (මම) හිමවත් පව්වෙහි විද්‍යාධරයෙක් වීමි. (එහිදී) මහත් යශස් ඇති කෙලෙස් රජස් නැති සක්මන් කරන්නා වූ බුදුරජුන් දිටිමි.
3192. දොඹමල් තුණක් හිස මත තබාගෙණ වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
3193. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3194. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කේසරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කේසරපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනියි.
365. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
3195. එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ විසී ය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අපරාජිත වූ බුදුරජානන් වහන්සේ දැක-
3196. එකල්හි පිපුණු රුකඟුන ගසක් දැක මම ඒ මල් නෙලා පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ පිදීමි.
3197. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3198. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
366. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
3199-3200. මම උතුම් පහයෙක හිඳ ඇතුල් වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ දෙතිස් ලකුණෙන් විසිතුරු වූ කසුන් ඇගෑයක් බඳු ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙණ පිදීමි.
3201. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ (හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3202. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනියි.
367. උද්දාලපුප්ඵිය ස්ථවිරාවදානය
3203. අනෝම නම්{*} සම්බුදුරජ තෙමේ ගංඉවුරෙහි වැඩ විසීය. මම එකල්හි ඇසල මල් ගෙණ පස්මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.
3204. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3205. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උද්දාලපුප්ඵියස්ථවිරාවදානය සත්වැනියි.
368. ඒකචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
3206. උපසන්ත නම් සම්බුදු රජ තෙමේ කඳු අතුරෙහි වෙසේ. (මම) එක් සපුමලක් ගෙණ නරෝත්තම වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.