3090. මම තුන්සියක් වර දිව්‍යරාජ්‍යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.
343. ධජදායක ස්ථවිරාවදානය
3093. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය (=ස්කන්‍ධොපධි සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්‍වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
3094. මැනැවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
3095. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
3096. මා ලත් ප්‍රදේශ රාජ්‍යය (මෙ පමණයයි) ගිණිය නො හැකිය. පෙර තමා විසින් මොනොවට කළ ස්වකීය කර්‍මඵලය අනුභව කරමි.
3097. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
3098. අද මම කැමැත්තෙම් නම් කඳු වන සහිත වූ ලෝකය කොමුපිළියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කළ කමේ විපාක යි.
3099. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධජදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
344. තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය
3100. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් ඇත. එහි දී ගස් මුදුනක එල්බුනු පවුල් සිවුරක් (පාංශුකූල චීවරයක්) දිටිමි.
3101. මම එකල්හි සතුටු වූයෙම් කටුකිහිරි මල් තුණක් කඩා සොම්නස් සිතින් පවුල් සිවුර පිදීමි.
3102. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. කටුකිහිරි මල් තුණක් පිදීමෙහි මේ විපාක යි.
3103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කිණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය සිවුවැනි යි.
345. නළාගාරික ස්ථවිරාවදානය
3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍යරාජ්‍ය කරවීමි.
3107. මම සත්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හැකි ය.
3108. පැනනැංගා වූ මාගේ භවනය දේදුන්නක් මෙන් උස් ව නැගුනේ ය. දහසක් ටැම් ඇති අනුපම වූ ඒ විමානය පැහැ විහිදුවන්නේ ය.
3109. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් ද්විවිධ (දිව්‍ය-මනුෂ්‍ය) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වීමි.
3110. වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. එසේ ම උපශාන්තයෙමි. උපධී රහිතයෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3111. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළාගාරික ස්ථවිරාවදානය පස්වැනි යි.
346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්‍වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්‍වත අතුරෙහි විසී ය.
3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්‍රව විරහිත බුදුරජුන් දිටිමි.
3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
347. පදුමපූජක ස්ථවිරාවදානය
3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.
3119. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
348. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
3121. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයෙක් ඇත. එහි උපතිස්ස නම් බුදුරජතෙම එළිමහන්හි සක්මන් කෙළේය.
3122. එකල්හි මම මහවනයෙහි මුවවැද්දෙක් වීමි. දෙවියනට දෙවි වූ සියල්ල තෙමේ ම අවබෝධ කළ පස්මරුන් දිනූ ඒ බුදුරජුන් දැක-
3123. එකල්හි මම පැහැදි සිතින් ඒ බුදුරජුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දිනිමි.
3124. දේවාතිදේව වූ බුදුරජුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරජුන් වැඳ උතුරු දෙස බලා ගියෙමි.
3125. එසේ ගිය නොබෝ වෙලාවකින් සිංහයෙක් මා පෙළී ය. සිංහයා විසින් බිම හෙළන ලද මම එහි කලුරිය කෙළෙමි.
3126. ආස්‍රව රහිත වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි ම මා විසින් කළ කර්‍මය (හේතුකොට ගෙණ) මම දුනුයෙන් මුදන ලද වේගවත් හීයක් මෙන් දෙව්ලොව ගියෙමි.
3127. එහි (මාගේ) පුණ්‍යකර්‍මයෙන් නිර්මිත ශෝභන ප්‍රාසාදයක් විය. එහි සහස්‍ර භාග ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. (මුදුන්වල එල්ලෙන) ධජ බහුල ය. නිල්මුවා පැහැ ඇත්තේ ය.
3128. උදා වූ හිරු මෙන් ඒ ප්‍රාසාදයාගේ රශ්මිය ද පැතිරෙයි. මම එහි දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරන ලදුයෙම් කාමකාමීව සතුටු වීමි.
3129. ඒ කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් සැවැ මිනිසත්බවට පැමිණ ආස්‍රවක්‍ෂයට (=රහත්බවට) පැමිණියෙම් වෙමි.
3130. මම මින් සිවුඅනූවන කපෙහි නිසීදනයක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණමිටෙහි මේ විපාක යි.
3131. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය අටවැනි යි.
349. තින්‍දුකඵලදායක ස්ථවිරාවදානය
3132. පර්‍වත අතුරෙහි වැඩහුන්නා වූ කිණිහිරි රුකක් මෙන් බබලන කෙලෙස් රජස් නැති ඕඝ තරණය කළ ආස්‍රව රහිත වූ වෙස්සභූ බුදුරජුන් දිටිමි.
3133. පල ගත් තිඹිරි ගසක් දැක පල කිණිති සහිත ව කඩා පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම වෙස්සභූ බුදුරජුන්හට දිනිමි.
3134. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරිපල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3135. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තින්‍දුකඵලදායක ස්ථවිරාවදානය නවවැනි යි.
350. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
3136. එකල්හි රේවත නම් සර්‍වඥ තෙම ගඞ්ගාතීරයෙහි වැඩ විසීය. කෙලෙස් රජස් විරහිත වූ පීතවර්‍ණ් රස් ඇති උදා හිරු බඳු වූ ඒ බුදුරජුන් දිටිමි.
3137. කඹුරුඋදුන ලා පිරිසිදු කළ ස්වර්‍ණයක් මෙන් ද, ඇවිලෙන කිහිරඟුරු මෙන් ද ඕසධී තාරකාව මෙන් ද බබලන (ඒ බුදුරජුන් දැක) මම එක් වරක් ඇඳිලි කෙළෙමි.
3138. මෙයින් සිවු අනූවන කපෙහි මම යම් ඇඳිලි බැඳීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාක යි.
3139. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පදුමී උප්පල මාලි ධජ කිඞ්කිණික නළ චම්පක පදුම මුට්ඨි තින්‍දුක ඒකඤ්ජලී ගී සසැටකැයි ගිණුවෝ ගැණුම් දත් නුවණැත්තෝ
ඒකපදුමියවර්‍ගය පන්තිස් වැනි යි.
36. සද්දසඤ්ඤක වර්‍ගය
351. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
3140-3141. මම පෙර මහාවනයෙහි මුවවැද්දෙක් වීමි. එහි දී දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද චතුස්සත්‍යය දේශනා කරමින් මහාජනයා සසර සයුරින් ගොඩ නඟන සම්බුදු රජුන් දිටිමි. කොවුල් හඬට බඳු මිහිරි වචන ඇසීමි.
3142. බ්‍රහ්මස්වරය ඇති ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
3143. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
3144. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
352. යවකලාපිය ස්ථවිරාවදානය
3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.
3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.
3147. එසේ වැඩ හුන්නා වූ නිර්‍මල වූ මහාධ්‍යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.
3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.
3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.
353. කිංසුකපූජක ස්ථවිරාවදානය
3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.
3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.