Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 4101-4200 න් 9627

3007. මාගේ ගතිය පිරිසිදු කර ගන්නට මේ කාලය යි. මට (අෂ්ටදුෂ්ටක්‍ෂණ විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙල විය. පින් නො කළ සතුනට නිරයෙහි පහස දුකය” කියා යි.
3008. මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වා ගෙණ වනයට පිවිසියෙමි.
3009. මම එකල්හි තණ ලී වැල් ද ගෙණවුත් ත්‍රිදණ්ඩකයෙහි (=කතිර සිටිනසේ එකට බැඳි දඬු තුණෙහි) තබා තෘණකුටියක් කෙළෙමි.
3010. මම සඞ්ඝයා පිණිස කළ තෙල කුටිය පිළිගන්වා එදවස්හි ම කර්‍මස්වාමියා වෙත එළඹියෙමි.
3011. මම මැනවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සඞ්ඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කළ විමානයක් මැවුනේ විය.
3012. එහි කොටස් දහසකි. ගෝලාකාර මුදුන් සියයකි. ධජ බහුලය. නිල්වන්ය. ඒ මාගේ විමානයෙහි සියක් දහසක් ශිඛර පහළ වූහ.
3013. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් එළඹ සිටී.
3014. භයක් හෝ තැති ගැණීමක් ලොමුදහ ගැණුමක් හෝ නො වේ. ඔවුන් (භයාදිය) මම නො දනිමි. මෙය තෘණකුටි දානයෙහි විපාක යි.
3015. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිස් වලස්සු ද මේ සියලු වනමෘගයෝ මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
3016. සර්‍පයෝ ද භූතයෝ ද නාගයෝ ද කුම්භාණ්ඩයෝ ද රකුසෝ ද යන ඔහු ද මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
3017. මට පවිටු සිහින පෙණුමක් ගැණ මම නො දනිමි. මාගේ සිහිය එළඹ සිටියා ය. තෘණකුටිදානයෙහි මේ විපාක යි.
3018. ඒ තෘණකුටිදානය හේතු කොට ගෙණ ම සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය ද ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.
3019. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
3020. ප්‍රතිසම්භිදාවෝ ... සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
තිණකුටිදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
338. උත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය
3021. එකල්හි (මම) හංසවතී නගරයෙහි වේදහදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි.
3022. මැනවින් හික්මුනු ජාතිමත් (=කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුයෙම් ජලස්නානය පිණිස නුවරින් නික්මුනෙමි.
3023. සියලු (දතයුතු) ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජ තෙමේ රහතුන් සමග නගරයට පිවිසියේ ය.
3024. රහතුන් විසින් පිරිවරන ලද විරාගයෙන් කරණ ලද්දාක් බඳු මනෝඥ රූප ඇති (බුදුරජුන්) දැක සිත පැහැදවීමි.
3025. හිසෙහි ඇඳිලි බැඳ මනා ව්‍රත ඇති (බුදුරජුන්හට) වැඳ පහන් සිත් ඇත්තෙම්. සොම්නස් සහිත වූයෙම් මම උතුරු සළුව පිදීමි.
3026. මම සළුව දොහොතින් ගෙණ උඩට දැමීමි. සළුව බුදුපිරිස යම්තාක් ද ඒ තාක් (පැතිරී වියනකින් මෙන් බුදුපිරිස) වැසීය.
3027-3028. එකල්හි පිඬු පිණිස හැසිරෙන්නා වූ ගෘහයෙන් නික්මෙන්නා වූ මහා භික්‍ෂුසඞ්ඝයාගේ ආදිම වූ බුදුරජුන්හට සෙවෙනියක් (=වියනක්) කරමින් මා සතුටු කරවමින් (ඒ සළුව) අහසෙහි සිටියේය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේ ම මට අනුමෝදනා කෙළේය:
3029. “පහන් සිත් ඇත්තේ සොම්නස් සහිත වූයේ යමෙක් මට සළුවක් පිළිගැන්වූයේ ද මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
3030. මෙතෙම කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පණස් වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
3031. පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් යුතු වූයේ දෙව්ලොව වසන්නහුට හාත්පස සියක් යොදුන් වස්ත්‍ර සෙවෙනියක් (=වියනක්) වන්නේ ය.
3032. සතිස් වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන්නා වූ) මහත් ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
3033. පුණ්‍යකර්‍මවිපාකයෙන් යුක්ත ව භවයෙහි සැරිසරන්නා වූ මොහුට සිතින් පතන සියල්ල එකෙණෙහි නිපැදෙන්නේ ය.
3034. කෝසෙය්‍ය ද, කම්බිලි ද, කොමුපිළී ද, කපුපිළී ද, යන අනගි වස්ත්‍ර මේ මිනිස් තෙම ලබන්නේ ය.
3035. මේ මිනිස් තෙම සිතින් පතන සියල්ල ලබන්නේ ය. එක වස්ත්‍රයක් පිදීමේ විපාකය හැම කල්හි අනුභව කරන්නේ ය.
3036. කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කරන්නේ ය” කියායි.
3037. මහර්ෂි වූ බුදුරජුන් සඳහා මා විසින් මැනවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. මම එක සළුවක් පුදා (ඒ හේතුවෙන්) නිවණට පැමිණියෙම් වෙමි.
3038. මඩුවක හෝ රුක්මුලක හො හිස්ගෙයක හෝ වසන්නා වූ මට හාත්පස බඹයක් තන්හි රෙදි වියනක් දරයි.
3039. මම නො විනවන (=වචනයෙන් පිළියෙල නො කරවන) ලද සිවුරු හදිමි. ප්‍රත්‍යය ද (ලබමි.) ආහාර පාන ද ලබන්නෙක් වෙමි. උතුරුසළුදනෙහි මේ විපාක යි.
3040. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
3041. ප්‍රතිසම්භිදාවෝ ද ... සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරෙය්‍යදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය අටවැනි යි.
339. ධම්මසවණිය ස්ථවිරාවදානය
3042. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසරසයුරින්) එතෙර කෙළේ ය.
3043. මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයෙම් වැහැරි සිවුරු සලමින් අහසෙහි යමි.
3044. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මතුයෙහි යන්නට නො හැකි වෙමි. එකල්හි පර්‍වතයක හැපුනු පක්‍ෂියකු මෙන් ගමන් නො ලැබීමි.
3045. මාගේ ගමනට මෙබඳු අවහිර වීමක් පෙර නො වූ විරූ ය. (පෙර) ජලයෙහි කිමිදගෙණ මෙන් මෙසේ අහසෙහි යමි.
3046. “උදාර වූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේ ය. ඒකාන්තයෙන් හේ කවරෙක් දැයි සොයන්නෙමි. මම එයින් අභිවෘද්ධියක් ලබන්නෙම් නම් මැනවි” (යයි සිතීමි.)
3047. මම අහසින් බස්නෙම් අනිත්‍යය දේශනා කරන්නා වූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. එකල්හි මම එය උගතිමි.
3048. අනිත්‍යසංඥාව ඉගෙණ මාගේ අසපුවට ගියෙමි. එහි ආයු ඇතිතාක් වැස මම කලුරිය කෙළේ වෙමි.
3049. චුතිය වන්නා වූ අවස්ථාවෙහි ඒ ධර්‍මශ්‍රවණය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3050. මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍යරාජ්‍යය ද කෙළෙමි.
3051. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය.
3052. පියාගේ ගෘහයෙහි වැඩ හිඳ වැඩූ ඉඳුරන් ඇති ශ්‍රමණ තෙම ගාථායෙකින් අනිස බව (අනිත්‍යතාව) දක්වමින් වදාළේය.
3053. කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍යසංඥාව සිහි කරමි. (එහෙත් සසර) කෙළෙවර වූ අමෘත පදය වූ නිවණ නො පිළිවිඳිමි.
3054. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැති වීම ස්වභාවය කොට ඇත්තාහ. උපද නිරුද්ධ වෙත්. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම (අනුත්පාදනිරෝධය) සැප යි”.
3055. මේ ගාථාව අසන්නා හා ම පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
3056. මම උත්පත්තියෙන් සත්හැවිරිදි වූයෙම් රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්‍වඥ තෙම මාගේ ගුණ දැන මා උපසම්පදා කෙළේය.
3057. ලදරු වියෙහි ම වූ මම කරයුතු දෑ අවසන් කෙළෙමි. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සස්නෙහි අද මා විසින් කටයුතු කිම?
3058. මෙයින් සියදහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සද්ධර්‍මශ්‍රවණයෙහි මේ විපාක යි.
3059. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කෘතයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවණීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක්යී.
ධම්මසවණිය ස්ථවිරාවදානය නවවැනි යි.
340. උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය
3060. මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙළමි.
3061-3062. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්‍වඥ තෙම තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති ශුද්ධ වූ ෂඩභිඥා අති සිය දහසක් ක්‍ෂීණාස්‍රවයන් සමග මාගේ අභිවෘද්ධිය ගැණ සොයමින් මා සමීපයට පැමිණියේ ය.
3063. මම දෙවියනට දෙවි වූ තමා ම සියල්ල අවබෝධ කළ ලෝකනායක වූ බුදුරජුන් දැක එකල්හි පියුම නටුයෙන් කඩා අහසෙහි දැමීමි:
3064. “වීරයන්වහන්ස, ඉදින් ඔබ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ වෙහි නම් පදමයෝ තුමූ ම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා යී” (කියායි).
3065. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ මහාවීර වූ බුදුරජ තෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් ඒ පදමයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
3066. මම මැනැවින් කරණ ලද කර්‍මය හා චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3067. එම දෙව්ලොවෙහි මට කරණ ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. එය සැටයොදුන් පුළුල්ය. තිස්යොදුන් උසය.
3068. ශක්‍ර දේවේන්‍ද්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම පන්සැත්තෑ වරක් සක්විතිරජ වීමි.
3069. කරවන ලද මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය. පෙර තමා විසින් මැනැවින් කරණ ලද ස්වකීය කර්‍ම (විපාක) ය අනුභව කරමි.
3070. ඒ එක පියුම පිදීමෙන් (එහි විපාක) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය සාක්‍ෂාත් කෙළෙමි.
3071. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආස්‍රව රහිත ව වෙසෙමි.
3072. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි පුෂ්ප (පද්ම) පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයි.
3073. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ගන්‍ධධූප උදක පුන්නාග ඒකදුස්සික ඵුසිත පහඞ්කර කුටිද උත්තරීයක ස්වර්‍ණ ඒකපදුමී එහි පිඬුකළ ගී එක්සිය සුසාළිසැයි දන්නේ.
ගන්‍ධධූපිය වර්‍ගය සූතිස් වැනි යි.
35. ඒකපදුමිය වර්‍ගය
341. ඒකපදුමිය ස්ථවිරාවදානය
3074. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්‍වඥ තෙමේ කුදු මහත් භවයන් ප්‍රකාශ කරණුයේ බොහෝ ජනයා සසර සයුරින් එතෙර කෙළේය.
3075. එකල්හි මම පක්‍ෂීන්හට උත්තම වූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංසක්‍රීඩා කරමි.
3076. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්‍රිවිධලෝකයන් මැනැවින් දැනවදාළ පදුමුත්තර බුදුරජ තෙම එකෙණෙහිම එම ස්වයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩියේ ය.
3077. මම දෙවියනට දෙවි වූ ස්වයම්භූ වූ ඒ බුදුරජුන් දැක මනරම් වූ සියපත් පියුමක් නටුවෙන් කඩා-
3078. බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් තුඩින් ගෙණ ඔසවා අහසෙහි වැඩ සිටි එම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
3079. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මාහට මේ අනුමෝදනාව කෙළේය:
3080. “මේ එක ම පියුම පිදීම් හේතුවෙන් ද, චිත්ත ප්‍රණිධි හේතුවෙන් ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි විනිපාත සඞ්ඛ්‍යාත දුගතියකට නො යන්නෙහි ය”.
3081. පදුමුත්තර නම් වූ සර්‍වඥ තෙමේ මේ අනුමෝදනා වදාරා මාගේ කර්‍මය පිළිබඳ තොරතුරු පවසා වැඩියේය.
3082. මෙයින් පෙර ලක්‍ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3083. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපදුමිය ස්ථවිරාවදානය පළමු වැනි යි.
342. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3084. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වඳුරෙක් වීමි. කඳු අතුරෙහි වැඩහුන් කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3085. දස දික් බබුළුවන පිපී ගිය උතුම් සල්රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක තුටු වීමි.
3086. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිනාගියෙමි. උපුල් මල් තුණක් මතුයෙහි නගා පිදීමි.
3087. විපස්සී බුදුරජුන්හට මේ මල් පුදා ගෞරව සහිතව ගොස් උතුරුදිග බලා ගියෙමි.
3088. පැහැදි සිතින් හැකිළී යන්නෙම් ගලතුර වැටී ජීවිතක්‍ෂයට පැමිණියෙමි.
3089. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.