2930. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
උම්මාපුප්ඵිය පුලින හාස යඤ්ඤ නිමිත්තක සංසාවක නිග්ගුණ්ඩී සුමන පුප්ඵච්ඡත්තක සපරිවාරච්ඡත්ත දැයි එක්සියසතෙක් ගී වෙයි.
උම්මාපුප්ඵිය වර්‍ගය තෙතිස් වනු යි.
34. ගන්‍ධධූපිය වර්‍ගය
331. ගන්‍ධධූපිය ස්ථවිරාවදානය
2931. මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දෑ දිනිමි. සමන් මලින් මුසු එය බුදුරජුන්හට නිසි ද වෙයි.
2932. කසුන් ඇගෑවක් මෙන් බබලන නිලුපුල් මලක් මෙන් දිලියෙන ඇවිලෙන ගින්නක් වැනි වූ-
2933. ව්‍යාඝ්‍රර්‍ෂභයකු මෙන් ද අභිජාත කේශරසිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා පිරිවාරාගෙණ හුන්නා වූ (එම සිදුහත් බුදුරජුන්)-
2934. දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ උත්තරදිශාභිමුඛ ව (උතුරු දෙසට හැරී) ගියෙමි.
2935. සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දැයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියත් නො දනිමි. ගන්‍ධධූප පිදීමෙහි මේ විපාකය යි.
2936. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරාජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ගන්‍ධධූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ගන්‍ධධූපියස්ථවිරාවදානය පළමු වැනි යි.
332. උදකපූජක ස්ථවිරාවදානය
2937. දිලියෙන ගින්න බඳුවූ ද ඇවිළගත් අග්නිය වැනිවූ ද අහසෙහි වඩින්නා වූ රන්වන් වූ සම්බුදු රජුන් දුටිමි.
2938. (දැක) මම අතින් දිය ගෙණ අහසෙහි ඉසීමි. මහාවීර වූ කාරුණික වූ සර්‍වඥ ඍෂි තෙමේ එය පිළිගත්තේ ය.
2939. අහසෙහි වැඩසිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මේ ගාථාව වදාළේය:
2940. “මේ ජලදානය හේතුකොට ගෙණ ද මා කෙරෙහි ප්‍රීතිය උපදවීම හේතුකොට ගෙණ ද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදනෙහි ය”.
2941. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය හේතුකොට ගෙණ ජය පරාජය හැර අවලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
2942. එක්සිය හැටපස් වන කපෙහි සිවුසයුර හා (සිවුමහ දිවයින් කෙළවර කොට ඇති) පෘථිවියෙහි අධිපති වූ ජනාධිපති වූ සහස්සරාජ නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2943. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උදකපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
333. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2944. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2945. වස්නි යුතු (එහෙයින් ම) සුවඳැති ඒ මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
2946. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2947. මෙයින් එක්අනූවන කපෙහි අඳුරු දුරුකරන්නා වූ සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සක්විති රජෙකිම් වීමි.
2948. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුන්නාගපුප්ථිය ස්ථවිරාවදානය තෙවැනි යි.
334. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
2949. (එකල්හි) මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ වෙළෙන්දෙක්) වීමි. තෘණහාරක කර්‍මයෙන් ජීවත් වෙමි. එයින් ම අඹුදරුවන් පෝෂණය කරමි.
2950. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණඳුර නසා ලොව පහළ විය.
2951. එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය. මට (උන්වහන්සේහට) දිය යුතු දෙයක් ද නැත.
2952. මේ මාගේ එක ම සළුව යි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්‍ශය (අපාගතවීම) දුකය. දක්‍ෂිණාවක් (දාන චේතනාමය කුසල් බිජුවටක්) රෝපණය කරන්නෙමි.”
2953. මම මෙසේ සිතා සිය සිත පැහැදැවීමි. (මා සතු) එක ම වස්ත්‍රය ගෙණ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
2954. මම එක ම වස්ත්‍රය දි අත්පොළසන් හඬ පැවැත්වීමි “ඉදින් වීරයන් වහන්ස ඔබ වහන්සේ බුදුවරයෙක් වනසේක් නම් මහාමුනීන් වහන්ස මා සසර සයුරින් එතර කරණු මැන වැ” යි කීමි.
2955. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කෙළේය:
2956. “මේ එකම වස්ත්‍රදානය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
2957. ශක්‍රදේවේන්‍ද්‍ර ව සතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. තෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
2958-2959. කරණු ලබන ප්‍රදෙශරාජ්‍ය ( මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය. ඔබ භවයෙහි මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරි සරන්නෙහි නම් රූපසම්පන්න වූ ගුණවත් නො මැඩලියහෙන සිරුරු ඇති (අනුන් විසින්) ගෙණ අවසන් කොට නොලිය හැකි අපමණ වූ වස්ත්‍ර සම්පත් සිත් වූ පරිදි ලබනෙහිය.”
2960. ධීර වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෙම වචනය වදාරා ආකාශයෙහි යන හංසරාජයකු මෙන් අහස් නැගුනේය.
2961. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, එකල්හි මාගේ භොග සම්පත්තියෙහි අඩුබවක් නැති. එක වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.
2962. පියවරක් පාසා (පියවිළි අයුරින්) මට වස්ත්‍ර පහළ වේ වස්ත්‍රය (වියන්) යට සිටිමි. මාගේ හිස මතුයෙහි නිරතුරුව ම වියනක් වේ.
2963. වන සහිත වූ ද පර්‍වත සහිත වූ ද චක්‍රවාට පර්‍වතය පටන් කොට ඇති ඒ සියල්ල මම කැමැති වන්නෙම් නම් වස්ත්‍රයෙන් වසන්නෙමි.
2964. ඒ එක් වස්ත්‍රයක් පිදීමෙහි විපාකය වශයෙන් කුදු මහත් භවයන්හි සැරිසරන්නෙම් ඒ කුදු මහත් භවයන්හි ස්වර්‍ණවර්‍ණීව ම සැරිසරමි.
2965. එක වස්ත්‍රයක් දීමෙන් ලද ඒ විපාකය කිසි තැනෙක්හි අවසන් බවට නො යයි. මේ මාගේ අන්තිම ජාතියයි. මෙහිදු ඒ කුසලය මට විපාක දෙයි.
2966. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර වූ එකල්හි යම් වස්ත්‍රදානයක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. එක් වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.
2967. මවිසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැමි සිඳ ගත් හස්තිරාජයකු මෙන් ආස්‍රව රහිතවූයෙම් වෙසෙමි.
2968. සිවුපිළිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි යී.
ඒකදුස්සදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
335. ඵුසිතකම්පිය ස්ථවිරාවදානය
2969. එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරන ලදුයේ සඞ්ඝාරාමයෙහි විසීය.
2970. ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ අටලක්‍ෂයක් රහතුන් සමග අරම්දොරින් නික්මෙයි.
2971. (එකල) අඳුන්දිවිසම් පෙරෙවි වැහැරි සිවුරු දරන්නා වූ මම වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) දිය ගෙණ සම්බුදුරජුන් වෙත එළඹියෙමි.
2972. මම තුටු වූයෙම් සිය සිත පහදවා කළ ඇඳිලි ඇත්තෙම් වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) ජලය ගෙණ බුදුරජුන් (උදෙසා) උඩ ඉසීමි.
2973. ඒ කර්‍මයෙන් පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ මාගේ කුශල කර්‍මය පසසා අභිමත තන්හි වැඩි සේක.
2974-2975. මම එකල්හි යම් සුවඳ දැයකින් බිඳු පන්දහසක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) මම දෙදහස් පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. දෙදහස් පන්සිය වරක් සක්විති රජ වීමි. ශේෂ වූ කර්‍මයෙන් රහත්බවට පැමිණියෙමි.
2976. යම් කලෙක් හි ශක්‍රදේවේන්‍ද්‍රයා වෙම් ද, යම් කලෙක් හි මිනිස් ලොව රජ වෙම් ද, මට ඒ නම ම විය. මම ‘ඵුසිත’ නම් වෙමි.
2977. දෙවි වූ ද මනුෂ්‍ය වූ ද මාගේ හාත්පස බඹයක් පමණ (සුවඳ) වැසි බිඳු වස්නේයි.
2978. මා විසින් භවයෝ නසන ලදහ. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආස්‍රවයන් ප්‍රහීණ කෙළෙම් වෙමි.(සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාකයි.
2979. මාගේ සිරුරින් සඳුන් සුවඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ අඩහඬසනක් (දුනු දෙසියපණසක්) තන්හි පැතිරේ.
2980. පුණ්‍යකර්‍මයට අනුකූල ව මා සිරුරින් හමන දිවසුවඳ ආඝ්‍රාණය කොට “ඵුසිත තෙම මෙහි පැමිණියේ ය”යි ජනයෝ දනිති.
2981. අතු කොළ දර තණ යන මේ දෑ හැම ලෙසින් ම මාගේ අදහස දැනගෙන (මෙන් මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.
2982. මෙයින් කල්පලක්‍ෂයකට පෙර සඳුන් දිය පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාක යි.
2983. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඵුසිතකම්පිය ස්ථවිරාවදානය පස්වැනි යි.
336. පභඞ්කර ස්ථවිරාවදානය
2984. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් මහවනයෙහි විය.
2985. සෑය වදිනු සඳහා යාමට කිසිවෙක් සමත් නො වීය. චෛත්‍යය තණ දර ලිය යන මෙයින් ගැවසී ගත් බිඳීගිය එකක් විය.
2986. එකල්හි මම පියමුතුන් පරපුරෙහි ආ සිරිත අනුව වනකාර්මිකයෙක් (වනයෙහි මෙහෙ කරන්නෙක්) වීමි. වනයෙහි තෘණ ලතාවන්ගෙන් ගැවසී ගත් බිඳ වැටුණු එම සෑය ද දිටිමි.
2987. මම බුදුරජුන්ගේ (දා නිදන් කළ) ඒ සෑය දැක ගරු සිතක් ඉපද වීමි: “බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මේ සෑය වෙනෙහි බිඳ වැටුනේ සිටුනා වෙයි.
2988. බුද්ධස්තූපය නො සෝධා අන්‍යකර්‍ම කරන්නේ නම් හොඳ නොහොඳ දන්නවුනට ඒ නොමැනව, නුසුදුසුය” (යී සිතීමි).
2989. මම චෛත්‍යයෙහි වූ තණ ද දර ද වැල් ද පිරිසිදු කොට අටවරක් වැඳ (පිටුනොපා) ඇකිළී ගියෙමි.
2990. මැනවින් කළ එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (සිතින් කළ පැතුම්) හේතු කොටගෙන ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
2991. එහි මට මැනවින් කරණ ලද විමානය රුවන්මුවා ය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුල් ය.
2992. මම තෙසිය වරක් දෙව්රජය කරවීමි. පස්විසි වරක් සක්විති රජ වීමි.
2993. මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භොග ලැබීමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. (චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
2994. සිවිකාව (දෝලාව) කින් හෝ ඇතු පිටින් හෝ වනයෙහි ගමන් කරන්නා වූ මම යම් යම් දිශාවකට යෙම් ද වනය ම මට පිහිට සලසයි.
2995. එහි මම කණු හෝ කටු හෝ ඇසින් නො දකිමි. පුණ්‍ය කර්‍මයාගේ විපාකය හා යෙදුනේ (එම කණු කටු) තුමූ ම ඉවත් වෙති.
2996. කුෂ්ට ගණ්ඩ කිලාස ද, අපස්මාර (=මී මැස්මොර) විතච්ඡිකා නම් කුෂ්ට විශේෂය ද, දද කැසිලි ද මට නැත.(චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
2997. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුනු) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිරුරෙහි හටගත්තා වූ ස්වල්පමාත්‍ර පිළිකා බිඳකුදු නො දනිමි.
2998. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කළ කල්හි (ලද) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද භව දෙකෙහි පමණක් සැරි සරමි.
2999. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මම හැම තන්හි රන්වන් වූයෙම් ද පැහැපත් වූයෙම් ද වෙමි.
3000. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: නො කැමැති දෑ බැහැර වේ. කැමැති දෑ එළඹ සිටී.
3001. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත් වූ පිරිසිදු එකක් වේ.
3002. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: එක අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
3003. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සෑය පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
3004. ප්‍රතිසම්භිදාවෝ -පෙ- සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පභඞ්කර ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
පභඞ්කර ස්ථවිරාවදානය සවැනි යි.
337. තිණකුටිදායක ස්ථවිරාවදානය
3005. මම බන්‍ධුමතී නගරයෙහි අනුන්ගේ බැළ මෙහෙ කිරීමෙහි යෙදුනෙම් අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නෙම් අනුන්ගේ බැළමෙහෙකරුවෙක් වීමි.
3006. මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය, මට පිනක් ද නැත: