2845-2846. “කුමර සව්සත්නට හිංසා නො කිරීම මට රිසියේ. එසේ ම සොරකමින් දුරාචාරයෙන් මත්පැන් පීමෙන් වැලැක්මත්, සමචරියාවෙහි ඇල්ම ද, බහුශ‍්‍රැත බව හා කෘතඥ බව ද, (මට රිසියේ). මේ ධර්‍මයෝ මෙලොව්හි ද පරලොව්හි ද ප‍්‍රශංසා කටයුත්තෝ වෙත්.
2847. මේ ධර්‍මයන් වඩා සව්සත්නට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (=ප‍්‍රතිපත්තිය) වඩව”.
2848. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහස් නැග නික්ම ගියේ ය.
2849. පළමු ම සිත පිරිසිදු කොට පසුව සිත පැහැද වීමි. මම ඒ චිත්තප‍්‍රසාදයෙන් තුසිත දෙව්ලොව උපනිමි.
2850. මෙයින් සිවුඅනූවක කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන් කෙරෙහි) සිත පැහැද වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුන් සිහි කොට සිත පැහැදැ වීමෙහි මේ විපාක යි.
2851. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යඤ්ඤසාමික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යඤ්ඤසාමික ස්ථවිරාවදානය සිවුවැනි යි.
325. නිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය
2852. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන රන්වන් මුවකු දිටිමි.
2853. ඒ රන්වන් මුවා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. ඒ සිත් පැහැදීමෙන් අන් බුදුරුවන් සිහි කෙළෙමි.
2854. “අතීතයෙහි යම් බුදුකෙනෙක් වූවාහු ද වර්‍තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත් ද, ඒ තෙකල්හි වූ බුදුවරු මේ ස්වර්‍ණමෘගරාජයා මෙන් බබලත්” යයි සිහි කෙළෙමි.
2855. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනකුන් සිතින් සිහිපත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ බුදුවරුන් සිහිපත් කිරීමෙහි මේ විපාක යි.
2856. මෙයින් සත්විසිවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අරඤ්ඤසත්ත නම් රජෙකිම් වීමි.
2857. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
326. අන්නසංසාවක ස්ථවිරාවදානය
2858. අතුරු අවුණෙහි (අන්තරාපනයෙහි) වඩින්නා වූ කසුන් ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස් ලකුණු යුත් රන්වන් බුදුරජුන් (දිටිමි).
2859. සර්‍වාර්‍ත්‍ථයන් සිදු කළ කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජය ගත් සිදුහත් බුදුරජුන් වැඩම කරවා මහාමුනි වූ සර්‍වඥයන් වහන්සේ වැළඳ වීමි.
2860. එකල්හි ලොව්හි කාරුණික වූ බුදුරජ තෙම මාවෙත ආලොකය පැතිර වීය. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2861. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාක යි.
2862. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්තසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අන්තසංසාවක ස්ථවිරාවදානය සවැනි යි.
327. නිග්ගුණ්ඩිපුප්ඵීය ස්ථවිරාවදානය
2863. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් ච්‍යුත ව යේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ විවිධ ශබ්දකෙනෙක් නිකුත් ව යෙත්:{*}
2864. ‘පින්වත, මෙයින් සැව මනුෂ්‍යයන්ගේ ස්වභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ‍්‍රද්ධාව ලබනු මැනව (1)
2865-2867. තාගේ ඒ ශ‍්‍රද්ධා තොමෝ (තථාගත) ප‍්‍රවිදිත වූ (කුශල) සද්ධර්‍මයෙහි නිශ්චය විසින් බැස ගන්නා ලද්දී හටගත් මුල් ඇත්තී (තොප) දිවි ඇති තාක් නොසැලුනී වේවා. කයින් කුසල්, වචනයෙන් කුසල් බොහෝ කොට - සිතින් ව්‍යාපාද රහිත ක්ලේශෝපධි රහිත කුසල් කොට - තවද දන් දීමෙන් ඒ ඔපධික (අත්බැව් සපුවට හා සම්පත් භවයට හිතවූ) පින් බොහෝ කොට - අන් මිනිසුන් ද කුශලධර්‍මයෙහි, බ‍්‍රහ්මචර්‍ය්‍යයෙහි පිහිටුවනු මැනව”. (2)
2868. යම් කලක දෙවිවරු ච්‍යුත වන දෙවියකු දනිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි (3) (ඔහුට) මෙබඳු අනුකම්පාවෙන් අනුමෝදනය කෙරෙත්.
2869. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි “මම මෙයින් සැව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යෙම් දැ” යි මට සංවේගයක් ඇතිවිය.
2870. වඩන ලද (ශ‍්‍රද්ධාදි) ඉඳුරන් ඇති ශ‍්‍රමණයෙක් තෙම මාගේ සංවේගය දැන මා එයින් උදුරණු කැමැත්තේ මවෙත ආයේ ය.
2871. එකල්හි සුමන නම් වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ‍්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවිග්න (උත්සාහවත්) කෙළේය.
[දොළොස්වන බණවර යි.]
2872. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි. ඒ වීරයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙම් වෙමි.
2873. (එකි) කුශල මූලයෙන් මෙහෙයන ලද මම ඒ දෙව්ලොව ම උපන්මි. නැවත මවුකුසෙහි වසනෙම් මවු විසින් දරණ ලදිමි.
2874. මම ඒ මිනිසත් බැවින් සැව තව්තිසා දෙව්ලොව උපන්මි. එකල්හි මම මෙදෑතුරෙහි දොම්නසක් නො දක්මි.
2875. තව්තිසා දෙව්ලොවින් සැව මවුකුසක උපන්මි. මවුකුසින් බිහිව මම කලූ-සුදු හෙවත් පව්-පින් දැනගතිමි.
2876. මම උපතින් සත්හැවිරිදි වයස් ඇත්තෙම් ම අරමට පිවිසියෙමි. තාදී ගුණ ඇති භාග්‍යවත් වූ ගෞතම ශාක්‍යපුත‍්‍රයන් වහන්සේගේ-
2877. පැතුරුනා වූ බොහෝ දෙනාට අයත් වූ ප‍්‍රචවන සඞ්ඛ්‍යාත ඒ ශාසනයෙහි ශාස්තෘහුගේ ශාසනය පිළිපදින භික්‍ෂූන් දිටිමි.
2878. එහි සැවැත් නම් නුවර කොසොල් නම් රජෙක් විය. හේ ඇතු යෙදූ රියෙන් උතුම් බෝධිය වෙත එළඹියේ ය.
2879. මම ඒ රජුගේ ඇතා දැක පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. මම ද ඇඳිලි බැඳ සභාරැස්වීමට ගියෙමි.
2880. උපතින් සත්හැවිරිදි වූයෙම් ම සසුන් වන්මි. (එකල) යමෙක් බුදුරජුන්හට උවටැන් කෙළේ ද ඒ මේ ආනන්‍ද නම් ශ‍්‍රාවක තෙමේ යි.
2881. (සිටි පියෙහි ම සිට පද සැටදහසක් වුව ද බුදුරජුන් වදාළ නියායෙන් ම දැන ගැණුමෙහි සමත් බැවින්) ගතිමත් වූ ද, (බුද්ධ වචනය ඉගෙණ ගැණුම්හි වීර්‍ය්‍යය ද, සජ්ඣායනය කිරීමෙහි වීර්‍ය්‍යය ද, සිත්හි ලා දැරුම්හි වීර්‍ය්‍යය ද, ශාස්තෲන් වහන්සේට උවටන්හි වීර්‍ය්‍යය ද, අන් හැම දෙනට ම වඩා අධිකව ඇති බැවින්) ධෘතිමත් වූ ද, (අන් හැම දෙනට ම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින්) ස්මෘතිමත් වූ ද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි ම සිට බුදුවදන් උගත් බැවින්) බහුශ‍්‍රැත වූ ද, ඒ මහානුභාව ඇති ආනන්‍ද ස්ථවිර තෙම රජුගේ සිත පහදවමින් දම් දෙසීය.
2882. මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එහි ම සිටි රහත් බවට ද පැමිණියෙමි.
2883. (ඉක්බිති) සිවුර එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ මේ වචනය කීමි:
2884. මම ශාස්තෘ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්ධාසනයෙහි) සිඳුවරමල් ගෙණ තැබීමි.
2885. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ (කුශල) කර්‍මය කරණකොට ගෙණ ජය-පරාජය දෙක හැර නිශ්චල ස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
2886. පස්විසිදහස් කපෙක අබ්බුද - නිරබ්බුද වූ ගණන් විසින් මහා ආයු ඇති ව කපකට අට අට බැගින් මනුජාධිපති වූ ක්‍ෂත‍්‍රිය රජහු වූහ.
2887. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිග්ගුණඩිපුප්ඵිය ස්ථිවිරාවදානය සත්වැනි යි.
328. සුමනාවේලිය ස්ථවිරාවදානය
2888. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
2889. මම එකල්හි සුණු පිඩක් සමන් මල්දම් සහිත කොට බුද්ධාසනය ඉදිරියෙහි නගා ලීමි.
2890. “තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරකු විසින් මේ මල් පුදන ලදදැ” යි සියලු දෙනා එක්ව උතුම් මල් දෙස බලත්.
2891. මම ඒ චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ නිර්‍මාණරතී දිව්‍යාලෝකයෙහි උපන්මි. පෙර තමා විසින් කරණ ලද පුණ්‍යකර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
2892. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හැම තන්හි ම) සියලු දෙනාට ප‍්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාක යි.
2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ වචනයෙන් හෝ වැලි සිතින් හෝ මා විසින් කළ නින්‍දාවක් නො දනිමි.
2894. මම එම සුචරිතයෙන් ද, චිත්තප‍්‍රණිධි හේතුයෙන් සියලු දෙනා විසින් පුදන ලද්දෙම් වෙමි. (තවුසනට) ආක්‍රෝශ නො කිරීමෙහි මේ විපාක යි.
2895. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2896. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙකිම් වීමි.
2897. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනාවේලිය ස්ථවිරාවදානය අටවැනි යි.
329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය
2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ සත්ත්‍වයන් නිවණට පමුණුවන්නා වූ සත්‍යය දේශනා කරන්නා වූ භාග්‍යවත් වූ සිද්ධාත්‍ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත‍්‍රයක් (=මල්කුඩයක්) නගා ලීමි.
2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත‍්‍රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්‍ථි බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:
2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”
2902. ලෝකනායක වූ සිද්ධාත්‍ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.
2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත‍්‍රය ද යෙයි.
2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්‍රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත‍්‍ර පූජාවෙහි මේ විපාක යි.
2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.
330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය
2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.
2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.
2909. සැරසූ ඡත‍්‍රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.
2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ‍්‍රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.
2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
2912. “යමකු විසින් අලඞ්කාර කරණ ලද මනරම් වූ මේ ඡත‍්‍රය දෙන ලද ද, ඒ චිත්තප‍්‍රසාදයෙන් හෙතෙම දුගතියට නො යයි.
2913. හේ දෙව්ලොවෙහි සත්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
2914. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
2915. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධපුත‍්‍රයෙක් ව සියලු ආස‍්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන රහත් ව පිරිනිවෙන්නේ ය.”
2916. වදාරණ ලද ඒ අභීත වචන බුදුරජුන්ගේ හඬ යයි දැන මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැඩියක් ම සතුට ඉපද වීමි.
2917. මිනිස් අත්බව හැර දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම් වූ උතුම් විමනෙක් පහළ විය.
2918. විමානයෙන් නික්මෙන්නා වූ මට සේසතක් දැරෙයි. එකල්හි (පෙර කඳ පිළිවෙළ) සිහි ලැබීමි. පූවකර්‍මයාගේ මේ විපාක යි.
2919. දෙව්ලොවින් සැවැ මිනිසත් බවට ද පැමිණියෙමි. මින් සත්සිය වන කපෙහි සවරක් සක්විති රජ වීමි.
2920. ඒ මිනිසත් බැවින් සැවැ දෙව්ලොවට පැමිණියෙමි. පිළිවෙළින් (එහි) හැසිරැ නැවත මිනිසත් බවට පැමිණියෙමි.
2921. මවුකුස්හි පිළිසඳ ගත් මට සේසතක් දැරූහ. මම උපතින් සත්හැවිරිදි වූයෙම් සසුන් වන්මි.
2922. වේදපාරප්‍රාප්ත වූ ඒ සුනන්‍ද නම් බමුණු තෙමේ පළිඟු ඡත‍්‍රයක් ගෙණ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේට දුන්නේ ය.
2923. මහාවීර වූ ද මහාකථක වූ ද ශාරීපුත්‍රස්ථවිර තෙමේ අනුමෝදනා කෙළේය. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි.
2924. ඈඳිලි බැඳගෙණ සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහි කොට රහත් බවට පැමිණියෙමි.
2925. මම ඒ අස්නෙන් නැගිට දොහොත් මුදුනේ තබා ආදරයෙන් බුදුරජුන් වැඳ මෙම වචන කීමි:
2926. මෙයින් සියක් දහස් වන කපෙහි ලොව්හි හැමට ම උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළා වූ (ත‍්‍රිවිධ) ලෝකය මැනවින් දත් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජතෙම (ලොව පහළ විය.)
2927. මා විසින් විසිතුරු වූ මනාව අලඞ්කාර කරණ ලද ඡත‍්‍රයක් උන්වහන්සේට දෙන ලදී. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග‍්‍රපුද්ගල වූ සර්‍වඥතෙම දොහොතින් එය පිළිගත්තේ ය.
2928. බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය යි. ධර්‍මය ආශ්චර්‍ය්‍ය යි. අපගේ ශාස්තෘ සම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය යි. මම එක ඡත‍්‍රයක් දීම හේතුකොට ගෙණ දුගතියක නො උපන්මි.
2929. මවිසින් කෙලෙස් දැවින. සියලු භව නැසින. සියලු ආස‍්‍රව පරිඥානයෙන් දැන රහත් ව වෙසෙමි.