294. “ශෝකය නැමැති හුල දුරු කරන්නා වූ (ඇද දමන්නා වූ) අමෘතය (නිවණ) මා විසින් අවබෝධ කර ගන්නාලදී. ඔබ ද එය අවබෝධ කර ගන්න. අපි බුදුරජානන් වහන්සේ සමීපයට යමු”.
295. හික්මුනා වූ ඒ මාගේ යහළු තෙමේ මැනවැයි පිළිවදන් දී අතින් අත ගෙණ ඔබවහන්සේගේ සමීපයට පැමිණියේ ය.”
296. ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහි (අපි) දෙදෙන ම පැවිදි වන්නෙමු. ඔබවහන්සේගේ අවවාදය ලැබ ආශ්‍රව රහිත ව වසමු.
297. කෝලිත තෙමේ ඍද්ධියෙන් ශ්‍රේෂ්ඨ ය. මම ප්‍රඥාවේ පරතෙරට ගියෙමි. දෙදෙන ම එක් ව සසුන හොබවමු.
298. කෙළවරට නො පත් බලාපොරොත්තු ඇත්තෙම් කුතීර්‍ත්‍ථයන්හි හෙවත් නො යා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබවහන්සේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්‍ණ වි ය.
299. පොළොවෙහි පිහිටා වෘක්‍ෂයෝ (සුදුසු) කාලයෙහි පිපෙත්. දිව සුවඳ හමත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්.
300. මහාවීරයන් වහන්ස, ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, එසේ ම ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත්මඟ නුවණින්) පිපෙන්නට (සුදුසු) කාලය සොයමි.
301. භවසංසාරයෙන් මුදවන්නා වූ විමුක්තිය නැමැති පුෂ්පය සොයන්නෙම් දැන් එම විමුක්තිපුෂ්පලාභයෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමි.
302. පසැස් ඇත්තානන් වහන්ස, බුද්ධක්‍ෂේත්‍රය යම් පමණ වේ නම්, ඒ සියලු තන්හි (කෝටිලක්‍ෂයක් සක්වළ) සම්මා සම්බුදුරජානන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබවහන්සේගේ පුත්‍රයාට (=ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.
303. ඔහුගේ ශිෂ්‍යයෝ ද සුවිනීතයෝ ය. පිරිස ද මැනවින් හික්මුනේ ය. උතුම් ශික්‍ෂාවෙහි දමනය වූවෝ හැම කල්හි ඔහු ඒ ශාරිපුත්‍රයන් පිරිවරත්.
304. ධ්‍යාන කරණ සුලු වූ ධ්‍යානයෙහි ඇලුනාවූ ධෛර්‍ය්‍යවත් වූ ශාන්ත සිත් ඇති සන්සුන් වූ නැණවත් මෞන නම් වූ නුවණින් යුත් භික්‍ෂූහු හැම කල්හි ඔහු පිරිවරත්.
305. අල්පෙච්ඡ වූ ප්‍රාඥ වූ ධෛර්‍ය්‍යවත් වූ ස්වල්පාහාර ගන්නා වූ ලොල් නො වූ ලාභ අලාභ දෙකෙහි සම ව සතුටු වන්නා වූ භික්‍ෂූහු ඔහු පිරිවරත්.
306. අරණෙහි වසන්නා වූ (=ආරණ්‍යක) ධූතාඞ්ගධාරී වූ ධ්‍යාන කරන්නා වූ රූක්‍ෂචීවරධාරී (=ගොරෝසු සිවුරු දරන්නා) වූ විවේකයෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යවත් වූ (භික්‍ෂූහු) හැමකල්හි ඔහු පිරිවරත්.
307. සිවුමගට පැමිණියෝ ද රහත් පෙලෙහි සිටියෝ ද යට තුන් පෙලෙන් යුතු වූවෝ ද යන මේ ආර්‍ය්‍ය භික්‍ෂූහු අටදෙන නිවණ බලාපොරොත්තුවෙන් හැම කල්හි ඔහු පිරිවරත්.
308. යම්, පිරිසිදු වූ සෝතාපත්තිමාර්‍ගඵලයට පැමිණියෝ ද සකෘදාගාමීහු ද අනාගාමීහු ද රහත්හු ද වෙත් නම්, ඔහු හැම කල්හි ඔහු පිරිවරත්.
309. (සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂ වූ ද (සප්ත) බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනාවූ ද, බොහෝ වූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි ඔහු පිරිවරත්.
310. (සතර වැදෑරුම්) ඍද්ධිපාදයන්හි දක්‍ෂවූවෝ ද, සමාධි භාවනාවෙහි ඇළුනෝ ද (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝ ද ඔහු හැමකල්හි පිරිවරත්.
311. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද ෂඩභිඥා ඇත්තෝ ද ඍද්ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝ ද ඔහු හැම කල්හි පිරිවරත්.
312. මහාවීර වූ බුදුරජානන් වහන්ස, මැනවින් හික්මුනා වූ ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති ඒ මෙබඳු වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ ඔහු හැමකල්හි පිරිවරත්.
313. සංයත වූ කෙලෙස් තවන ගුණ ඇති එම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ ද හෙතෙම බිය රහිත සිහරදකු මෙන් ද චන්‍ද්‍රයා මෙන් ද බබලන්නේ ය.
314. වෘක්‍ෂයෝ පොළොවෙහි පිහිටා වැඩෙත්. මහත්බවට ද පැමිණෙත්. ඒ වෘක්‍ෂයෝ ඵල ද දක්වත් (=ඵල දරත්).
315. (එසේම) ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, ඔබවහන්සේ පොළොව සමාන වනසේක. ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘතඵලය (නිවණ) ලබත්.
316-317. සින්‍ධු ය, සරස්වතී ය, චන්‍ද්‍රභාගී ය, ගඞ්ගා ය, යමුනා ය, සරභූ ය, මහී ය, යන මේ ගඞ්ගාවෝ වෙත් ද, ගලා බස්නා වූ මේ ගඞ්ගාවන්ගේ ජලය සාගරය පිළිගණී. (සයුරට වැටීමෙන් පසු සින්‍ධු ජලය ගඞ්ගා ජලය යන) පළමු නම් අත්හරියි. සාගරය ලෙස ම ප්‍රකට වේ.
318. එසේ ම මේ කුල සතරට අයත් වූවෝ ඔබවහන්සේගේ සමීපයෙහි පැවිදි ව පළමු නම හරිත්: බුද්ධපුත්‍රයෝ ය යි ප්‍රකට වෙත්.
319. යම් සේ අහසෙහි ගමන් කරන්නා වූ නිර්‍මල වූ චන්‍ද්‍රයා සියලු තාරකාසමූහය ස්වකීයප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළා ද,
320. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ දෙවිමිනිසුන් විසින් පිරිවරණ ලද සේක් මේ සියලු දෙන ඉක්මවා හැම කල්හි ඔබවහන්සේ ම බබලනසේක.
321. ගැඹුරු දියෙහි නැගුනු රළහු වෙරළ නො ඉක්මවත්. ඒ සියලු ම රළහු වෙරළෙහි හැපෙත්. කැඩී ගිය ඒ රළහු (වෙරළෙහි ම) විසිරී යත්.
322. එසේ ම ලෝකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නොයෙක් ලබ්ධි ඇති තීර්‍ත්‍ථක වූ බොහෝ දෙනා ද ධර්‍මය දෙසනු කැමැත්තාහු ඒ බුදුරජානන් වහන්සේ නො ඉක්මවත්.
323. පසැස් ඇත්තානන් වහන්ස, ඉදින් (යමෙක් ඒ ඒ ලබ්ධි ගෙණ විරුද්ධවාදයෙන් වාද කිරීමට) ඔබ කරා පැමිණෙත් ද, ඔහු ඔබවහන්සේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.
324. දියෙහි හටගත් කුමුදු ද මඳාලා නම් ජලජපුෂ්ප ද අනිකුත් බොහෝ ජලජපුෂ්පයෝ ද යම් සේ දියෙන් ද මඩින් ද තැවරී පවතිත් ද,
325. එසේ ම ලෝකයෙහි උපන්නා වූ බොහෝ සත්ත්‍වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයන්ගෙන් පීඩිත වූවෝ වැඩෙත්.
326. යම් සේ ජලයෙහි හටගන්නා වූ පියුම දිය මැද වැඩේ ද, එය දියෙන් නො ම තැවරෙයි. පියුම පිරිසිදු මැයි.
327. එසේ ම ලොව පහළ වූ මහාවීර වූ බුදුරජානන් වහන්ස, ඔබවහන්සේ පියුමක් මෙන් ලෝකයා හා නො තැවරෙණසේක.
338. යම් සේ ජලජපුෂ්පයෝ බක්මාසයෙහි බෙහෙවින් පිපෙත් ද ඒ මාසය නො ඉක්මවත් ද, (ඒ මස) මල් පිපීමට සුදුසු කාලය වේ.
329. එසේ ම ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේ පුබුදු වූ සේක. ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ (අර්‍හත්ඵලඥානයෙන්) පුබුදු වූවාහු ය. යම් සේ ජලජ වූ පියුම් පිපෙන කාලය නො ඉක්මවා ද, එසේ ම ඔහු අවවාදානුශාසනය නො ඉක්මවත්.
330. (යම් සේ) මැනවින් පිපුනා වූ ශාලවෘක්‍ෂරාජයා දිවසුවඳ වහනය කෙරේ ද, අනික් සල්රුක් විසින් පිරිවරණ ලද ශාලවෘක්‍ෂරාජයා ම හොබනේ වේ ද,
331. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදුනැණින් පුබුදු වූ සේක. භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද සේක් ශාලවෘක්‍ෂරාජයකු මෙන් ශෝභමාන සේක.
332. යම් සේ හිමවත්පර්‍වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේ ද, නාගයනට ද අසුරයනට ද දෙවතාවනට ද වාසස්ථාන වේ ද,
333. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ ප්‍රාණින්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධය වනසේක. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද, ෂඩභිඥා ඇත්තෝ ද, ඍද්ධියෙන් පරතෙරට ගියෝ ද ඔබවහන්සේ ඇසුරු කෙරෙත්.
334 මහාවීරයන් වහන්ස, කාරුණික වූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණලද ඔහු ධර්‍මරතියෙන් ඇලෙති. (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.
335. යම් සේ කේශරසිංහයෙක් ගුහාවෙන් නික්ම සිවුදිග බලා තෙවරක් සිංහනාද කෙරේ ද,
336. කේශර සිංහයාගේ ගර්‍ජනයෙන් සියලු සිවුපාවෝ තැති ගණිත්. ඒ එසේ ම ය. ජාතිමත් වූ සිංහ තෙමේ හැම කල්හි සිවුපාවුන් තැති ගන්වයි.
337. මහාවීරයන් වහන්ස, (එසේ) ගර්‍ජනා කරන්නා වූ ඔබවහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. ඉන් අවබෝධයට සුදුස්සෝ ධර්‍මය අවබෝධ කෙරෙත්. මාරපාක්‍ෂිකයෝ තැති ගණිත්.
338. මහාමුනීන් වහන්ස, නාද කරන්නා වූ (=දහම් දෙසන) ඔබවහන්සේගේ නාදයෙන් සියලු තීර්‍ත්‍ථකයෝ තැති ගණිත්. (ඒ තීර්‍ත්‍ථකයෝ) කවුඩුරැළක් මෙන් තැති ගන්නාහු කේශරසිංහයා කෙරෙන් පලායන සිවුපාවුන් මෙනි.
339. යම් කිසි ගණප්‍රධාන කෙනෙක් ලෙව්හි ශාස්තෘ ය යි කියනු ලැබෙත් ද, ඔහු පිරිසට පරම්පරාගත වූ ධර්‍මය දේශනා කෙරෙත්.
340. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සත්ත්‍වයනට එසේ පරම්පරාගත ධර්‍ම දේශනා නො කරණ සේක හුදෙක් බෝධිපාක්‍ෂික වූ සත්‍යයන් තමන්වහන්සේ ම අවබෝධ කොට ගෙණ,-
341. (සත්ත්‍වයන්ගේ) අධ්‍යාශයයන් හෙවත් චරියාවන් ද ථාමගත වූ කෙලෙස් ද දැන (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ බලදුබලබව ද (ධර්‍මාවබෝධයට) භව්‍ය අභව්‍ය (=සමත් අසමත්) පුඟුලන් ද දැන (සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ) මහා මෙඝයක් (=සිවුදිගට ම වසින්නා වූ මහ වැසිවලාවක්) මෙන් ධර්‍මදේශනා නමැති සිංහනාදයෙන් ගර්‍ජනා කරණසේක.
342-343. නානාලබ්ධීන්ට ගැති ව වසන්නා වූ සක්වළගල කෙළවර කොට පිරී හුන් පිරිස වන්නී ය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේ ය යි) දැන, (සුදුසු) උපමා කීමෙහි සමත් බුදුරජානන් වහන්ස, (ඔබවහන්සේ) එක ම ප්‍රශ්නයක් (විසඳා) කියමින් ම (සක්වළගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක සිඳින සේක.
344. උපතිස්ස නමැති සැරියුත්මහතෙරුන් වැනියන්ගෙන් මේ පොළොව පිරී තිබේ නම්, ඒ සියල්ලෝ ම බදැඳිලි ඇත්තාහු ලෝකනායක වූ බුදුරදුන් ගුණ කියන්නාහ.
345. ඔහු කපක් මුළුල්ලෙහි ද නානාප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු, එම ගුණ පමණ කරන්නට නො හැක්කාහු ය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තෝ ය.
346. ස්වකීයශක්තිය පරිදි මා විසින් බුදුරජානන් වහන්සේ වර්‍ණනා කරණ ලදහ. කල්පකෝටි සඞ්ඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි ගුණ කීර්‍තනය කරන්නාහු නමුත් මෙසේ ම කීර්‍තනය කෙරෙත්.
347. ඉදින් මනා ව හික්මුනා වූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එ ම ගුණ) මනින්නට සිතන්නේ නම්, හෙතෙම වෙහෙසට ම පැමිණෙන්නේ ය.
348. මහායශස් ඇත්තානන් වහන්ස, ශාක්‍යපුත්‍රයානන් වහන්ස, (මම) ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් අංශ්‍රව රහිත ව වෙසෙමි.
349. තීර්‍ත්‍ථකයන් මඩිමි. බුදුසසුන පවත්වමි. අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි ධර්‍මසේනාපති වෙමි.
350. ම විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණලද කර්‍මය මෙහි දී ඵලය දැක්වී ය. මැනවින් විද හරණා ලද ඊපහරක් මෙන් ඒ කර්‍මඵලය මාගේ කෙලෙස් දැවී ය.
351. යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම්, (එම) බර කරණකොට ගෙණ දුකින් පෙළුනෙක් වන්නේ ය. එසේ ම බරින් බරට පත් වූවෙක් ද වෙයි.
352. මම (රාග – දෝස – මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර ඔසොවා ගත්තකු මෙන් භවය නමැති බරින් බර වූයෙම් වෙමි.
353. මා විසින් මාගේ (ඒ භව) භාරය බහා තබන ලදී. සියලු (නව) භවයෝ විධවංසනය කරණ ලදහ. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණලදී.
354. සම්පූර්‍ණ බුද්ධක්‍ෂේත්‍රයෙහි බුදුරජානන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමානයෙක් නො පෙණේ.
355. සමාධියෙහි අතිශයින් දක්‍ෂ වෙමි. ඍද්ධියෙහි පරතෙරට ගියෙම් වෙමි. මම අද කැමැති වන්නෙම් නම්, ඍද්ධිමය රූප දහසක් මවන්නෙමි.
356. අනුපූර්‍වවිහාර පිළිබඳ වසඟබව ඇති සර්‍වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම නිරෝධය (=නිරොධසමාපත්තියට සමවැදීම) යි.
357. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සම්‍යක් ප්‍රදහනයෙහි යෙදුනෙම් බෝධ්‍යඞ්ගභාවනාවෙහි ඇලුනෙම් ද වෙමි.
358. ශ්‍රාවකයකු විසින් ලැබියයුතු සියල්ල මා විසින් ලබන ලදී. බුදුරජානන් වහන්සේ හැර මට සමාන වූවෙක් විද්‍යාමාන නො වේ.
359. සමාපත්තික්‍රමයන්හි දක්‍ෂ වූයෙම් (ලෞකික) ධ්‍යානයන්ට ද (ලෝකෝත්තර වූ) විමෝක්‍ෂයන්ට ද ශීඝ්‍ර ව සමවදිනෙම් බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනෙම් ශ්‍රාවකගුණයන්ගේ පරතෙරට ගියෙම් වෙමි.
360. පෝෂිත වූ හෝ පවිත්‍ර වූ ශ්‍රාවක ගුණයෙන් ද බුද්ධියෙන් ද බුද්ධ ගෞරවයෙන් වූ ශ්‍රද්ධාවෙන් ද යුත් මාගේ සිත හැමකල්හි සබ්‍රම්සරුන් කෙරෙහි යෙදුනේ ය.
361. උදුරා හළ විෂ (දළ) ඇති සර්‍පයකු මෙන් ද, සිඳුනු අං ඇති ගවයකු මෙන් ද, බැහැර කළ (ගෝත්‍රමදාදි) මානදර්‍ප ඇත්තෙම් සංඝයා වෙත ආදරබහුමානයෙන් එළඹෙමි.
362. ඉදින් මාගේ ප්‍රඥාතොමෝ මූර්තිමත් වන්නී නම්, මහපොළොව ඊට සම නො වන්නී ය. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නුවණට පැසසීමේ ඵලයයි මේ.
363. තාදිගුණ ඇති ගෞතම බුදුරජානන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍මචක්‍රය මම මැනැවින් ඒ අනු ව පවත්වමි. (අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ) නුවණට පැසසීමේ මේ ඵලය යි.
364. කිසි කලෙකත් පවිටෙක් කුසීතයෙක් පසුබට වීර්‍ය්‍ය ඇත්තෙක් අල්පශ්‍රැතයෙක් ආචාර විරහිතයෙක් මාගේ ආශ්‍රයට නො පැමිණේවා.
365. බහුශ්‍රුත වූ ද, නුවණැති වූ ද, සිවුපිරිසුදුසිල්හි මැනැවින් හික්මුනා වූ ද චිත්තසමථයෙහි යෙදුනා වූ ද පුද්ගලයා මාගේ හිස මත පවා සිටීවා.
366. මෙහි රැස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්, පින්වත්නි, තෙපි අල්පේච්ඡයෝ ද, ලද දෙයින් සතුටු වන්නෝ ද, ධ්‍යාන ඇත්තෝ ද, ධ්‍යානයෙහි ඇලුනෝ ද වවු යන (මේ වචනය) තොපට කියමි.
367. මම යම්කෙනකුන් පළමුකොට දැක කෙලෙස්රජස් නැති නිර්‍මල වූවෙක් වීම් ද, ඒ ධෛර්‍ය්‍යවත් වූ මාගේ ආචාර්‍ය්‍යතෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ ය.
368. මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්‍මසේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියෙම් ආශ්‍රව රහිත ව වෙසෙමි.
369. යම් අස්සජි නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්‍ය්‍ය වී ද, උන්වහන්සේ සම දිසාවක වෙසෙත් නම්, මම එ දෙසට හිස හරවා නිදම්.
370. ශාක්‍යසිංහ වූ ගෞතම බුදුරජානන් වහන්සේ මාගේ (කුශල) කර්‍මය පූර්‍වෙනිවාසානුස්මaපූර්වේනිවාසානුස්මෘතිඥානයෙන් සිහි කොට භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රශ්‍රාවකස්ථානයෙහි තැබූසේක.
371. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. සියලු භවයෝ සමූහනනය (=විනාශ) කරණ ලද්දාහු ය. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිත ව වෙසෙමි.
372. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් වි ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු ය. බුදුරජානන් වහන්සේගේ අනුසාසනය කරණලදී.
373. මේ සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
මේ අයුරින් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
පළමුවැනි වූ ශාරිපුත්‍රස්ථවිරාවදානය යි.
2. මහාමෞද්ගල්‍යායන ස්ථවිරාවදානය
374. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදු ව හිමවතෙහි විසූහ.
375. එකල්හි මම නමින් වරුණ නම් වූ නාගරාජයෙක් වීමි. කැමැති රූපයන් මවනසුලු වූයෙම් ඍද්ධිවිකුර්‍වණය කරමි. මම මහසයුර නිවාස කොට ඇත්තේ වීමි.
376. නිතර සිය පිරිවර වූ නාගසමූහයා හැර මම තූර්‍ය්‍යවාදනයන් පැවැත්වීමි. එකල්හි නාමෙණෙවියෝ (අනෝමදස්සී) බුදුරජානන් වහන්සේ පිරිවරා ගෙණ වාදනය කළාහු ය.
377. (මනුෂ්‍ය - නාග) තූර්‍ය්‍යයන් වාදනය කරණු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝ ද දිව්‍යතූර්‍ය්‍යයන් වාදනය කළාහු ය. මේ දෙපිරිස ගේ තුර්‍ය්‍යශබ්දය අසා බුදුරජානන් වහන්සේ ඒ බව දත් සේක.
378. බුදුරජානන් වහන්සේට ආරාධනා කොට ස්වකීය නාගභවනයට එළඹියෙමි. මම අසුන් පණවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
379. රහතුන් දහසක් විසින් පිරිවරණලද බුදුරජානන් වහන්සේ සියලු දිසාවන් බබුළුවමින් මාගේ භවනයට එළඹිසේක.
380. එකල්හි මම (එසේ) වැඩහුන් භික්‍ෂුසංඝයා සහිත වූ මහාවීර වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
381. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ මහාවීර වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ අනුමෝදනාව කළසේක. මේ ගාථාවෝ ද වදාරණ ලදහ:-
382. “යමෙක් තෙම ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ද සංඝයා ද පිදී නම්, හෙතෙම ඒ සිත පැහැදවීම් හේතුවෙන් දෙව්ලොවට යන්නේ ය.
383. තවද සත්සත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසියක් වරෙක පෘථිවීරාජ්‍යය කරමින් පොළොවෙහි වෙසෙන්නේ ය.
384. පස්පණස්වරක් සක්විතිරජ වන්නේ ය. එකල්හි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහු ය.
385. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (=ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් පසු ව) ඔක්කාක කුලයෙහි උපන්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය.
386. හෙතෙම (=චරණ නාගරාජ තෙම) නිරයෙන් චුත ව මිනිසත් බවට යන්නේ ය. නමින් කෝලිත නම් වූ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
387. හෙතෙමේ පසු ව කුශලමූලයන් විසින් මෙහෙයන ලදුයේ පැවිදි ව ගෞතම බුදුරජානන් වහන්සේගේ ද්විතීය ශ්‍රාවකයා වන්නේ ය.
388. පටන් ගන්නා ලද වීර්‍ය්‍යඇත්තේ ඍද්ධියෙහි කෙළ පැමිණියේ සියලු ආශ්‍රවධර්‍මයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව ක්ලේශ–පරිනිර්‍වාණයෙන් පිරිනිවන් පාන්නේ ය.”
389. පාපමිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව ද පියා ද නැසීමි.
390. මම නිරයෙහි හෝ නැතහොත් මිනිසුන් අතර හෝ යම් යම් යෝනියක උපදිම් නම්, (එකී) පාපකර්‍මයෙන් යුක්ත වීම නිසා බිඳීගිය හිස් ඇත්තෙම් මැරෙමි.
391. මෙය මාගේ සසරෙහි අවසානය යි. අන්තිම ආත්මභාවය වේ. මේ ආත්මයෙහි දී ද මැරෙණ කල්හි මට මෙබන්දක් වන්නේ ය.
392. ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනේ සමාධිභාවනාවෙහි ඇලුනේ සියලු ආශ්‍රවයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව වෙසෙමි.