2778. සුළඟින් සැලෙන සම්මාසම්බුදු සිවුර දැක උන්වහන්සේගේ ගමන ද දැක බුදුරජුන් කෙරෙහි එකෙණෙහි මට සතුට උපන.
2779. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධසංඥාවෙහි (=බුද්ධානුස්සතියෙහි) විපාක යි.
2780. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගතසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
314. සත්තපදුමිය ස්ථවිරාවදානය
2781. මම ගං ඉවුරෙහි නේසාද නම් බමුණෙක් ව පියුම්වලින් අසපුව හැමද වෙසෙමි.
2782. වනහිසින් වඩින ලොවට ගුරු වූ රන්වන් වූ සිදුහත් බුදුරජුන් දැක මට ප්‍රීතිය පහළ විය.
2783. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත පෙරගමන් කොට අසපුව ද පිළිගන්වා උතුම් නෙළුඹුමලින් පිදීමි.
2784. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2785. මෙයින් එක්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පාදපාවර නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2786. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තපදුමිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
315. පුප්ඵාසනදායක ස්ථවිරාවදානය
2787. නුදුරෙන් වඩින්නා වූ රන්වන් වූ සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නා වූ) පස්මරුන් දිනූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
2788. උන්වහන්සේට පෙරගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදි.
2789. එකල්හි මම හටගත් ප්‍රීති සිත් ඇත්තෙම් ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ඒ (ප්‍රසාදමය) පුණ්‍යකර්‍මය මුහුකුරුවා ලීමි.
2790. පස්මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, ඒ සියලු ම කුශලය හේතු කොට ගෙණ ශාසනයෙහි පිරිසිදු (රහත්) වූවෙක් වෙමි.
2791. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසනදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පාසනදානයාගේ මේ විපාක යි.
2792. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුෂ්පාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුෂ්පාසනදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
316. ආසනත්‍ථවික ස්ථවිරාවදානය
2793. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් පිළිබඳ උත්තම නම් සෑයක් විය. එකල්හි මම ජනසඤ්චාර විරහිත (පාළු) මහවෙනෙහි මංමුළා වූයෙම් (ඒ මේ අත) ඇවිදීමි.
2794. වනයෙන් නික්ම (යන) මා විසින් ශ්‍රේෂ්ඨ (=බුද්ධ) ආසනය දක්නා ලදි. (උතුරුසළුව) සකස් කොට ඇඳිලි බැඳ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙමි.
2795. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන්හට දවහල මුළුල්ලෙහි ස්තුති කොට සොම්නස් වූයෙම් සොම්නස් වූ සිතින් ම මේ වචන කීමි:
2796. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මහාවීරයන් වහන්ස, මුබත් සර්‍වඥ වෙහු ය” කියා යි.
2797. මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සිඛී බුදුරජුන්හට ස්තුති කොට බුද්ධාසනය වැඳ උතුරුදිගට මුහුණ ලා නික්මුනෙමි.
2798. මෙයින් එක්තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තුති කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තුති කිරීමෙහි මේ විපාක යි.
2799. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අතුල්‍ය නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2800. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආසනත්‍ථවික ස්ථවිරාවදානය සවැනි යි.
317. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2801. මනා දැකීම් ඇති මහාවීර වූ සිදුහත් බුදුරජතෙම අමාදහම් දෙසමින් ශ්‍රාවක සඞ්ඝයා විසින් පිරිවරණලදු ව උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
2802. ඒ මිහිරි බසින් මහාජනයාට සඞ්ග්‍රහ කෙරෙයි. දෙවි මිනිසුන් අතුරෙහි පැතිරී ගිය දෙසුම් හඬ ද මහත් විය.
2803. මෙසේ සිදුහත් බුදුරජුන්ගේ මහත් ශබ්දයෙහි සිත පහදවා ලෝකනායක වූ බුදුරජුන් වැන්දෙමි.
2804. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ මිහිරි හඬෙහි) යම් ශබ්දසංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
2805. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනි යි.
318. තිරංසිය ස්ථවිරාවදානය
2806. ශ්‍රේෂ්ඨජන්ම ඇති කේශරසිංහයකු වැනි වූ ද, පර්‍වතයෙහි (දිලියෙන) ගිනිකඳක් වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන්නා වූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දිටිමි.)
2807. බුද්ධාලොකය ද, සූර්‍ය්‍යාලෝකය ද එසේ ම චන්‍ද්‍රාලෝකය ද, දැක මට ප්‍රීතිය පහළ විය.
2808. මේ තුන් එළිය දැක අඳුන් දිවිසම එකස් කොට ශ්‍රාවකොත්තම වූ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙම්.
2809. ලොව්හි ලොවඳුරු දුරු කරන්නා වූ එළිය පතුරුවන්නෝ තිදෙනෙක් වෙති: චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද ලෝකනායක වූ බුදුරජ ද යන මේ තිදෙනා යි.
2810. මා විසින් (මෙසේ) උපමා දක්වා මහාමුනි වූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2811. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බුදුගුණ වැණුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදු ගුණ පැවසීමෙහි මේ විපාක යි.
2812. මෙයින් එක්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඤාණධර නම් සක්විති රජෙක් වීමි.
2813. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිරංසිය ස්ථවිරාවදානය අටවැනි යි.
319. කන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය
2814-2815. එකල්හි (මම) සින්‍ධුනදීතීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන බතක් නොසෙවුනෙම් වීමි. සින්‍ධු ගං ඉවුර දිගේ ගමන් කරන්නා වූ මම පිපුණු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2816. මම එකල්හි කඳලගෙඩියමල් සතක් නටුවෙන් කඩා හිරුගොත්හි වූ බුදුරජුන්ගේ හිසමත නගාලීමි.
2817. සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟ වූ සිත් ඇති ස්වර්‍ණවර්‍ණ වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ දුරාසද වූ (=ගුණයෙන් කිසිවකු විසින් ලංවිය නො හැක්කා වූ)
2818. ප්‍රඥාවත් වූ වැඩූ සැදැහැ ඈ ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ඒ බුදුන් ඇඳිලි බැඳ වැන්දෙමි.
2819. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කන්‍දලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
320. කුමුදමාලිය ස්ථවිරාවදානය
2821-2822. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ පස්මරුන් දිනූ විශිෂ්ට ජන්ම ඇති සිංහයකු වැනි වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි). දැක කුමුදුමල් ගෙණ (එයින්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. මෙයින් එකානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2824. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ආරක්ඛ ද භෝජන ද ගතසඤ්ඤී පදුමිය පුප්ඵාසනී සන්‍ථවික සද්දසඤ්ඤී තිරසිංක කන්‍දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
ආරක්‍ෂාදායක වර්‍ගය දෙතිස්වනු යි.
33. උම්මාපුප්ඵිය වර්‍ගය
321. උම්මා පුප්ඵීය ස්ථවිරාවදානය
2825. අරමුණෙහි පිහිටු වූ සිතැති සමවතට සමවන් පස්මරුන්ගෙන් නො පැරදුනු සමාධියෙන් හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2826. (දැක) දියබෙරලිය මල් ගෙණ බුදුරජුන් පිදීම. හැම මල් සමසිස් උඩුහුරු නටු ඇති ව යටිමිණි ව සිටියේ ය.
2827. ඉතා විසිතුරුව අහසෙහි මල් ඇතිරියක් මෙන් සිටි කල්හි (ඒ පිළිබඳව ඇති වූ) එම චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ මෙම තුසිත දෙව් ලොව උපනිමි.
2828. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2829. මෙයින් පස්පණස්වන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්නච්ඡදන නම් සක්විති රජෙක් වීමි.
2830. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මෙ අයුරින් ආයුෂ්මත් උම්මාපූප්ඵීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උම්මාපුප්ඵීයස්ථවිරාවදානය පළමුවැනි යි.
322. පුලිනපූජක ස්ථවිරාවදානය
2831. බබලන කුඹුක් ගසක් වැනි වූ ද, ශ්‍රේෂ්ඨ ආජානීයයකු බඳු වූ ද, ඕසධී තාරකාව මෙන් දිලියෙන ප‍්‍රභාශ්වර වූ නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
2832-2833. (දැක) මම ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේ වැන්දෙමි. බුදුරජුන් පැසසීමි. සිය පින්කමින් තුටු වූයෙම් පිරිසිදු වැලි ගෙණ ඔඩොක්කුවෙහි ලා ගෙණ ගොස් විපස්සී බුදුරජුන් වැඩි මගෙහි දැමීමි.
28334. ඉක්බිති වෙසෙසින් පහන් වූ සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දහවල් වසන තන්හි තාදීගුණ ඇති තථාගතයන්හට පූජාවක් ලෙස විසුළෙමි.
2835. මෙයින් එක්අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැලි ඉසීමෙහි මේ විපාක යි.
2836. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනපූජකස්ථවිරාවදානය දෙවැනි යි.
323. හාසජනක ස්ථවිරාවදානය
2837. ශාස්තෲන් වහන්සේගේ පසුල් සිවුර ගස්මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
2838. ආපසු හැරී නැවත එය දැක්මෙන් මට සතුට පහළ විය. (ඉක්බිති) මුදුනෙහි ඇඳිලි බැඳ වඩාත් සිත පැහැද වීමි.
2839. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ පසුල් සිවුර පිළිබඳ) යම් පහන් හැඟීමක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධචීවරය පිළිබඳ පහන් හැඟීමෙහි මේ විපාක යි.
2840. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හාසජනකස්ථවිරාවදානය තෙවැනි යි.
324. යඤ්ඤසාමික ස්ථවිරාවදානය
2841. උපතින් සත්හැවිරිදි වූ මම වේදයෙහි පරතෙර පතුයෙම් කුල පරපුර දැරීමි. මා විසින් යාගයක් අරඹන ලදී.
2842. එකල්හි මා විසින් අසූසාරදහසක් සිවුපාවෝ මරණ ලැබෙත්, (ඒ සිවුපාවෝ) යාගය පිණිස යූපස්ථම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
2843-2844. උදුන්මුවැ පහළ ස්වර්‍ණයකට බඳු වූ ද උදාවන හිරු වැනි වූ ද පසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ ද කිහිරඟුරු මෙන් බබළන පැහැපත් මුහුණු ඇත්තේ සතුටු වූ තුන්ලෝවාසීන් විසින් පුදන ලද (තිලොවට) හිත වූ මුදුන් පමුණුවා ගත් සියලු අභිමතාත්‍ථි ඇති සිදුහත් බුදුරජ තෙම (එතැනට) එළඹ මේ වචන වදාළේය: