301. පදුමකේසරිය ස්ථවිරාවදානය
2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
302. සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය
2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්‍ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
303. පරමන්නදායක ස්ථවිරාවදානය
2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.
2727. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාරදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උතුම් ආහාරදානයාගේ මේ විපාක යි.
2728. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පරමන්නදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
304. ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය
2729. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් බෝරුක්මුල්හි සිටියදී ම (නොහොත් බුදුරජුන් බෝරුක්මුල සිටින කල්හි) මෙන් සිතා (සිදුකරණ) විපස්සී බුදුරජුන් පිළිබඳ මහාබෝධි පූජාවක් විය.
2730. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේකි.
2731. විසුළ කෙලෙස් සෙවෙනි ඇති ඒ සම්බුදුරජ තෙම සැකෙවින් ද විතර විසින් ද (දහම්) දෙසමින් මහාජනයා නිවණට පැමිණ වීය.
2732. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණ ඇති උන්වහන්සේගේ ධර්‍මය අසා (එම) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
2733. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මසංඥායෙහි මේ විපාක යි.
2734. මෙහින් තෙතිස්වනු කපෙහි මහත් බල ඇති පෘථිවීශ්වර වූ සුතවා නම් සක්විති රජෙකිම් වීමි.
2735. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය සිව්වැනි යි.
305. ඵලදායක ස්ථවිරාවදානය
2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.
2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.
2738. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
2739. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
306. සම්පසාදක ස්ථවිරාවදානය
2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්‍ෂේත්‍රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.
307. ආරාමදායක ස්ථවිරාවදානය
2748. මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපණය කරණ ලදී. ගණසා සෙවනලු රුක්හි පක්‍ෂීන් (කැදලිතුළට වී) සන්සුන් වන (සවස්) කල්හි.
2749. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ (කෙලෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. දැක ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
2750. මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ගෙඩි ද මල් ද (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාද ඇත්තෙම් ම එම වන (අරම) පිරිනැමීමි.
2751. පැහැදි සිතින් බුදුරජුන්හට යම් ඒ ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵලවර්‍ග නොහොත් කුශල විපාකය උපදී.
2752. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආරාමදානයාගේ මේ විපාක යි.
2753. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2754. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරාමදායක ස්ථවිරාවදානය සත්වැන්න යි.
308. අනුලේපදායක ස්ථවිරාවදානය
2755. මම අත්‍ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.
309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
310. පබභාරදායක ස්ථවිරාවදානය
2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.
2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.
2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.
2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.
පදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.
32. ආරක්ඛදායක වර්‍ගය
311. ආරක්ඛදායක ස්ථවිරාවදානය
2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාව ද දෙන ලදි.
2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.
2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
312. භෝජනදායක ස්ථවිරාවදානය
2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්‍ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.
2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.
2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.
2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.
2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.
2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්‍ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්‍රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.