2663. මෙයින් තෙවිසිවන කපෙහි මහත් බල ඇති සමණුපට්ඨාක නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2664. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය නවවැනි යි.
290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය
2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.
2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.
2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.
2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.
2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.
පර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.
30. චිතකපූජක වර්‍ගය
291. චිතකපූජක ස්ථවිරාවදානය
2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්‍රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.
293. ඡත්තදායක ස්ථවිරාවදානය
2681. එකල්හි මාගේ පුත්‍ර තෙමේ කසාවත් හැඳගත් පැවිද්දෙක් විය. හෙතෙම ශ්‍රාවක බෝධිය (රහත් බව) ට පැමිණියේ ලෝකයා විසින් පුදනු ලැබුවෙක් ව පිරිනිවන් පෑයේ ය.
2682. මම සිය පුතු සොයමින් පසුපසින් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත පැමිණියෙමි.
2683. මම එහි ඇඳිලි බැඳගෙණ සෑය වැඳ එකල්හි ශ්වේතච්ඡත්‍රයක් ද ගෙණ (සෑයට) නැංවීමි.
2684. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඡත්‍රපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
2685. මෙයින් පස්විසිවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2686. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඡත්තදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
2687. හිරු උදාවන්නටත් පෙර ප්‍රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
295. ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය
2691. මා විසින් (භික්‍ෂුසඞ්ඝයා) අරම් දොරින් නික්මෙන (මඩසහිත) මගෙහි ගවහිස් කබලක් අතුරණ ලදි. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්‍මයේ විපාකය විඳිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකය යි.
2692. ආජානීය අශ්වයෝ ද වාතවේගයෙන් දුවන වාතජව අශ්වයෝ ද සෛන්‍ධව (සින්‍ධුදේශයේ උපන්) අශ්වයෝ ද යන මේ සියලු ශීඝ්‍රවාහන (සම්පත්) අනුභව කරමි. ගව හිස් කබල (සඞ්ඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමෙහි මේ විපාකය යි.
2693. පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයි. මා විසින් සරු කෙතෙහි උතුම් පින්කමක් කරණ ලදි. සඞ්ඝයා විෂයයෙහි කරණ ලද උපකාරය සසඳන විට අනික් සත්කාරයක් (එයින්) කලාවකට ද නො අගී.
2694. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගමන් පහසුව ඇතිවන සේ සඞ්ඝයා සඳහා ගෙරි හිස් කබල) ඇතිරීමේ මේ විපාකය යි.
2695. පන්සැත්තෑවන කපෙහි මහත් බල ඇති අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජෙක් වීමි.
2696. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගෝසීසනික්ඛේපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය පස්වැනි යි.
296. පාදපූජක ස්ථවිරාවදානය
2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.
297. දෙසකිත්තක ස්ථවිරාවදානය
2701. එකල්හි මම උපසාළ්හක නම් බමුණෙක් වීමි. මහවනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වූ පරම පුරුෂ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ
2702. බුදුරජුන් දැක සිරිපා වැන්දෙමි. පහන් සිත් ඇති මා දැන බුදුරජ තෙම අතුරුදහන් විය.
2703. වනයෙන් නික්ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩියා වූ) ඒ දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2704. මෙයින් දෙයානූවන කපෙහි (බුදුරජුන් වැඩියා වූ ඒ) යම් දෙසකට පැසසූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දෙසකිත්තක ස්ථවිරාවදානය සත්වැනි යි.
298. සරණගමනිය ස්ථවිරාවදානය
2706. මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2707. මම සම්බුදුරජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (=අටලෝදහමින් නොසැලෙන) බුදුවරයන් වහන්සේ සරණ ද ගියෙමි.
2708. මම මෙයින් එක්අනූවන කපෙහි බුදුරජුන් සරණ කොට ගියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ සරණගමනයෙහි විපාකය යි.
2709. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනිය ස්ථවිරාවදානය අටවැනි යි.
299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්‍රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2712. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නවවැනි යි.
300. අනුසංසාවක ස්ථවිරාවදානය
2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
චිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
චිතකපූජක වර්‍ගය තිස්වනු යි.
යලි වර්‍ග උද්දානය:
කණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන, තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද. පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී, සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි, පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා, අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
තෙවෙනි සියය නිමියේ ය.
31. පදුමකේසර වර්‍ගය