2604. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
276. පොත්‍ථකදායක ස්ථවිරාවදානය
2605. මහර්ෂී වූ බුදුරජුන් හා ධර්‍මය හා සඞ්ඝයා හා ඇරබ අනුත්තර දක්‍ෂිණාර්‍හ බුදුරජුන් කෙරෙහි මා විසින් නියඳ වතක් දෙන ලදී.
2606. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍රදානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුමුතුරුණු සඳහා දුන්) ඒ නියඳ වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
2607. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පොත්‍ථදායක ස්ථවිරාවදානය සවැනි යි.
277. චිතකපූජක ස්ථවිරාවදානය
2608. මම චන්‍ද්‍රභාගා ගං ඉවුරෙහි යටි ගං බලා යමි. (එහි දී) මාලුව මල් සතක් ගෙණ (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
2609. මෙයින් සිවුඅනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
2610. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් යුත් පටිජග්ග යන නම් ඇති සත් සක්විති රජකෙනෙක් වූහ.
2611. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
278. ආලුවදායක ස්ථවිරාවදානය
2612-2613. හිමවත් පව්වෙහි සුදර්‍ශනීය වූ මහාසින්‍ධු නම් නදියකි. පැහැපත් වූ ඉතා සන්හුන් බැව්හි යෙදුනු සුදස්සන නම් රහතන් වහන්සේ දැක විස්මිත වූ සිත් ඇත්තෙම් පහන් සිතින් යුතුව සියතින් ම උන්වහන්සේට අල (කැබැල්ලක්) පිළිගැන් වීමි.
2614. මෙයින් එක්තිස්වන කපෙහි යම් ආලුව දානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලුව (=අල) දනෙහි මේ විපාකය යි.
2615. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලුවදායක ස්ථවිරාවදානය අටවැනි යි.
279. ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය
2616. එකල්හි මනා ව්‍රත ඇති සියල්ල තෙමේ ම අවබෝධ කරගත් නමින් රෝමස නම් බුදුවරයෙක් විය. මා විසින් පැහැදි සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදි.
2617. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පියුමක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුණ්ඩරීකදානයාගේ මේ විපාක යි.
2618. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුණ්ඩරීක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය නවවැනි යි.
280. තරණිය ස්ථවිරාවදානය
2619. මා විසින් ලොවැස්සන්ගේ ගමනාගමනය පිණිස පහන් සිත් ඇත්තේ විසම වූ මහමගෙහි සියතින් ම හෙයක් (=ඒ දණ්ඩක්) කරවන ලදී.
2620. මෙයින් එක්අනූවන කපෙහි මා විසින් යම් හෙයක් කරවන ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හෙය දීමෙහි මේ විපාක යි.
2621. මෙයින් පස්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝගධ නම් සක්විති රජෙක් වීමි.
2622. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුවණ්ණ තිල මුට්ඨි - චඞ්ගොටබ්භඤ්ජ අඤ්ජලී පොත්‍ථක චිත මාලුව - එක පුණ්ඩරීක සෙතු දස දෙසාළිස් ගයකින් - මෙම වග නිම කරණ ලදි.
ස්වර්‍ණබිම්බොහන වර්‍ගය අටවිසිවනු යි.
29. පණ්ණදායක වර්‍ගය
281. පණ්ණදායක ස්ථවිරාවදානය
2623-2624. මම පර්‍ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනෙම් පන්සලක හුන්නෙම් වෙමි. මුළු ලොවට වෙදකු වැනි වූ ලොව බබුළුවන්නා වූ සිද්ධාර්‍ත්‍ථ සර්‍වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා තවන ලද) කොළයක් මා විසින් දෙන ලදි.
2625. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පර්‍ණදානයාගේ මේ විපාක යි.
2626. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පර්‍ණදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
282. ඵලදායක ස්ථවිරාවදානය
2627. සිනේරු පර්‍වතය මෙන් ශාන්ත වූ මහමෙර මෙන් ස්ථිර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹියේ ය.
2628-2629. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළු දමනු යන ගෙඩි දැයි ඒ සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නා වූ සිදුහත් බුදුරජුන් හට පැහැදි සිතින් මා විසින් දෙන ලදි.
2630. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරු දනෙහි මේ විපාක යි.
2631. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකජ්ඣ නම් සක්විති රජෙකිම් වීමි.
2632. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
283. පච්චුග්ගමනිය ස්ථවිරාවදානය
2633-2634. වනයෙහි (එකලාව) හැසිරෙන්නා වූ සිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ ආජානියයකු මෙන් ද බබලන්නා වූ කුඹුක් ගසක් මෙන් ද (ක්ලේශ රෝගයෙන් පෙළෙන) සකල ලෝකයාට වෛද්‍යවරයකු මෙන් ද ලොව බබුළුවන්නා වූ නරශ්‍රේෂ්ඨ වූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
2635. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන්හට පෙර ගමන් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාක යි.
2636. මෙයින් සත්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙකිම් වීමි.
2637. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පච්චුගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
284. ඒකපුප්ඵිය ස්ථවිරාවදානය
2638. මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙකිම් වීමි. (එහි) දී පීතවර්‍ණ රස් ඇති (උදාවන) හිරු වැනි වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
2639. සර්‍වලෝකහිතෛෂී වූ නරශ්‍රේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදි.
2640. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2641. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
285. මඝවපුප්ඵිය ස්ථවිරාවදානය
2642. නර්‍මදා නදී තීරයෙහි පස් මරුන් දිනූ බුදුවරයෙක් විය. නො කැළඹුනා වූ පහන් සිත් ඇති හෙතෙම සමාධියට සමවැදුනේ විය.
2643. පහන් වූ සොම්නස් වූ මම අපරාජිත වූ එම සර්‍වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන් හට මඝව නම් වූ මලින් පිදීමි.
2644. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2645. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඝවපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනි යි.
286. උපට්ඨාකදායක ස්ථවිරාවදානය
2646. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
2647. මම (උපස්ථායකයකු) කැඳවා සර්‍වලෝක හිතෛෂී වූ ඒ සිදුහත් බුදුරජුන් හට මා විසින් (ඒ) උපස්ථායකයා දෙන ලදී.
2648. මහාමුනි වූ සර්‍වඥ තෙමේ (උපස්ථායකයා) පිළිගෙණ (ආපසු මට පාවා දුනි) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්‍රාචීන දිශාභිමුඛව (=නැගෙනහිරට මුහුණ ලා) වැඩියේ ය.
2649. මෙයින් සිවුඅනූවනු කපෙහි උපස්ථායකයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (උපස්ථායකදානයෙහි) උවැටැනෙහි මේ විපාක යි.
2650. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙකිම් වීමි.
2651. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපට්ඨාකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපට්ඨාකදායක ස්ථවිරාවදානය සවැනි යි.
287. අපදානිය ස්ථවිරාවදානය
2652. මම මහර්ෂී වූ බුදුරජුන්හට තථාගතයන්ගේ අපදානය පැවැසීමි. පහන් වූයෙම් සියතින් ශ්‍රීපාදයන් ද හිස නමා වැන්දෙමි.
2653. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගතාපදානයක් පැවසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අපදාන කීර්‍තනයෙහි (=තථාගතචරිතය පැසසීමෙහි) මේ විපාක යි.
2654. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අපදානිය ස්ථවිරාවදානය සත්වැනි යි.
288. සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය
2655. මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භේදයක් ඇති විය.
2656. මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
2657. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හේතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
2658. මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2659. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය අටවැනි යි.
289. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
2660-2661. මාගේ නම වෙටම්බරී ය. එකල්හි මාගේ පියතෙම මේ ලෝකාග්‍රනායක වූ බුදුවරු මට දහම් දෙසන්නාහු යයි කියා මාගේ අත ගෙණ බුදුරජුන් වෙත පැමිණ වීය. මම පහන් වූයෙම් සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.
2662. මෙයින් එස්තිස්වන කපෙහි වූ එකල්හි බුදුවරුන්හට පරිචරණය (=වතාවත්) කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාක යි.