22. හත්‍ථි වර්‍ගය
211. හත්‍ථිදායක ස්ථවිරාවදානය
2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට රාජවාහනයෝග්‍ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.
2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්‍ත්‍ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්‍වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්‍රදානයක් දෙන ලදී.
2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.
2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්‍ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හත්‍ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
212. පානධිදායක ස්ථවිරාවදානය
2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.
2325. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්‍යකර්‍ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.
2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය
2329. එසමයෙහි භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්‍ය්‍යසත්‍යයන් දේශනා කෙරෙයි.
2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්‍මය ඇසීමි.
2331. මම උන්වහන්සේගේ ධර්‍මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.
2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්‍මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්‍ය්‍යසත්‍ය සංඥාවෙහි මේ විපාකය යි.
2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.
2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.
2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)
2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්‍රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,
2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.
2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.
2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
216. සණ්ඨිත ස්ථවිරාවදානය
2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්‍ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.
2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්‍රවක්‍ෂය විය. (රහත් වීමි.)
2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්‍ෂත්‍රියෙක් වීමි.
2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.
217. තාලවණටදායක ස්ථවිරාවදානය
2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
2355. මම පෙර උපාධ්‍යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්‍රයකුදු ඉගෙණ ගතිමි.
2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ගණප්‍රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
2357. ලොව පහළ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්‍රය (පියවිළි කොට) අතුරණ ලදී.
2358. (ඒ මත වඩනා) ලෝකයට ප්‍රදීපයක් වැනි වූ නිර්‍මල චන්‍ද්‍රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
219. සප්පිදායක ස්ථවිරාවදානය
2362-2363. මම ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුයෙම් උතුම් ප්‍රාසාදයෙහි හුන්නෙම් රෝගී මහණකු දැක ස්වකීය ගෘහයට පමුණුවා ගතිමි. මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ වැඩහුන්නා වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් ගිතෙල් දෙන ලදී.
2364. පැහැදි මුහුණු හා ඉඳුරන් ඇති සංසිඳුනු කාය - චිත්ත දරථ ඇති උන්වහන්සේ දැක ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිටගෙණ ප්‍රශංසා කෙළෙමි.
2365. අතිශයින් පහන් බැව් ඇති ඍද්ධියෙහි කෙළපැමිණි ප්‍රාඥ වූ ඒ සර්‍වඥතෙම අහසෙහි (යන) හස් රජකු මෙන් අහසට නැංගේය.
2366. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2367. මෙයින් සත්ළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතිදේව නම් සක්විති රජෙක් වීමි.
2368. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සප්පිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
220. පාපනිවාරිය ස්ථවිරාවදානය
2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.
2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.
2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.
2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
හත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.
හස්තිවර්‍ගය දෙ විසි වැනි යි.
23. ආලම්බණදායක වර්‍ගය
221. ආලම්බනදායක ස්ථවිරාවදානය
2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්‍රාණීන් කෙරෙහි ද ආධිපත්‍යය පවත්වමි.
2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
222. අජිනදායක ස්ථවිරාවදානය
2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්‍ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්‍මය කරණ කොට ගෙණ-
2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.