Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 201-300 න් 9627

193 මේ සියලු තන්හි කැමැති සේ හැසිරෙණ මොහු හැම දෙන ම පෘථිවී කම්පනයෙහි සමත් වූවෝ ද අහසෙහි හැසිරීමෙහි දක්‍ෂ වූවෝ ද උග්‍ර තේජස් ඇත්තාහු ද අභිභවනය කළ නො හැක්කාහු ද සයුර මෙන් අනුන් විසින් නො කැළඹිය හැක්කෝ ද වෙති.
194. ගුණයන් කරණ කොට ගෙණ ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍ය වූ ඇතැම්හු සිටීම ය සක්මන් කිරීම ය යන ඉරියවු දෙකින් යුක්තයෝ ය. ඇතැම්හු හිඳීම්ඉරියවු පමණක් ඇත්තෝ ය. එසේ ම ඇතැම්හු ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.
195. මොහු සව්සතුනට හිතවත් වූවාහු මෛත්‍රී විහරණ ඇත්තාහු ය. සියල්ලෝ ම තමා හුවා නො දක්වන්නෝ ය. කිසිවෙකු හෙළා දක්නෝ ද නො වෙති.
196. සිහරජකු මෙන් නිර්භීත වූවෝ ඇත්රජකු මෙන් බලවත් වූවෝ ව්‍යාඝ්‍රයකු මෙන් ලං විය නො හැක්කෝ මාගේ සමීපයට පැමිණෙත්.
197. විද්‍යාධරයෝ ද, දේවතාවෝ ද, නාග ගන්‍ධර්‍ව රාක්‍ෂස කුම්භාණ්ඩ අසුර ගුරුළු යන මොහු ද ඒ විල ඇසුරෙන් වෙසෙති.
198. ජටා හා තවුස්පිරිකරකත්හි බර උසුලන්නා වූ අඳුන්දිවිසම් පොරවා ගත් ආකාශචාරී වූ සියලු ම ඍෂිහු ඒ විල ඇසුරෙන් වෙසෙති.
199. හැමකල්හි මනා පැවැතුම් ඇති ඔහු ඔවුනොවුනට ගෞරව සහිත වූවාහු ය. සූවිසිදහසක් වූ ඔවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.
200. පියවරින් පියවර තබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත් ව සියල්ලෝ ම මා වෙත එළඹ හිස නමා වඳිත්.
201. ශාන්ත වූ තපෝගුණ ඇති ඒ සිසුන් විසින් පිරිවරණ ලද මම ඒ අසපුවෙහි ධ්‍යාන කරණ සුලු ව ධ්‍යානයෙහි ඇලුනෙම් වෙසෙමි.
202. ඍෂීන්ගේ සිල්සුවඳින් ද මල්සුවඳින් ද යන මේ උභය සුගන්‍ධයෙන් හා ගස්වල පල සුවඳින් ද අසපුව සුවඳවත් වේ.
203. රෑ දාවල් නො දනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නො ඇලීමක් නැත. සිය සිසුනට අවවාද කරන්නා වූ මම වැඩියක් ම ප්‍රීතිය ලබමි.
204. පිපෙන්නා වූ මල්වල ද පැසෙන්නා වූ ගෙඩිවල ද දිව්‍යමය වූ සුගන්‍ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.
205. එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ සප්‍රාඥ වූයේ තවුස්පිරිකරකද ගෙණ වනයට පිවිසියෙමි.
206. උත්පාතශාස්ත්‍රයෙහි ද ස්වපනශාස්ත්‍රයෙහිද ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද මැනවින් හික්මුනේ දඹදිව පවත්නා මන්ත්‍රපද ද දරමි.
207. ලෝකජ්‍යේෂ්ඨ වූ ද නරශ්‍රේෂ්ඨ වූ ද සියල්ල දන්නා වූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමති සේක් හිමවතට එළඹි සේක.
208. පුරුෂෝත්තම වූ ශ්‍රේෂ්ඨ වූ කාරුණික වූ බුදුරජානන් වහන්සේ හිමවතට පිවිස පලඟ බැඳ වැඩහුන් සේක.
209. දිලියෙන මහනෙල්මලක් මෙන් ද ආලොකවත් ගින්නක් මෙන් ද මනහර ප්‍රභා සහිත වූ බුදුරජානන් වහන්සේ එහි දී දිටිමි.
210. දිලියෙන පහන් රුකක් මෙන් ද, අහසෙහි විදුලිය මෙන් ද මනා ව පිපී ගිය සල්රුකක් මෙන් ද බුදුරජානන් වහන්සේ දිටිමි.
211. මේ “අග” සඞ්ඛ්‍යාත පව් නැති මහාවීර වූ දුක් කෙළවර කරන්නා වූ බුදුරජානන් වහන්සේ ය. මේ දර්‍ශනය ලැබ සියල්ලෝ දුකින් මිදෙත්.
212. මම දෙවියනට දෙවි වූ උන්වහන්සේ දැක “බුදු කෙනෙක් දෝ! බුදු කෙනෙක් නොවෙත් දෝ” යි ලක්‍ෂණ පරීක්‍ෂා කෙළෙමි. “ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැ” යි දකිමි.
213. උතුම් ශ්‍රී පාදයෙහි දහසක් දැවි ඇති චක්‍ර ලක්‍ෂණයෝ පෙණෙත්. උන්වහන්සේගේ මහාපුරුෂලක්‍ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.
214. එකල්හි මම මුස්න ගෙණ හැමද මල් ගෙණවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
215. චතුරෝඝයන් තරණය කළා වූ ආශ්‍රව රහිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ පුදා අඳුන්දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.
216. ආශ්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ සම ඤාණයකින් යුක්ත ව වැඩවිසූ සේක් නම්, ඒ ඤාණය කියන්නෙමි. කියන්නා වූ මාගේ ඒ වචනය අසවු.
217. අමිතෝදය වූ හෙවත් අපමණ වූ දියුණුව ඇති බුදුරජානන් වහන්ස, මේ ලෝකවාසී සත්‍වයා නඟාලුව මැනව. ඔවුහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා සැකය නැමැති සැඩපහර තරණය කෙරෙත්.
218. ඔබවහන්සේ ලෝකයාට ශාස්තෘ වනසේක. උතුම්බැවින් ජයකොඩිය ද වනසේක. (ප්‍රකටාර්‍ත්‍ථයෙන්) ධ්වජය ද වනසේක. (යාග) ස්තම්භය ද වනසේක. උතුම් වූ පිහිට ද වනසේක. මොහඳුර නසන ප්‍රදීපය ද වනසේක. දෙපා ඇතියනට උතුම් ද වනසේක.
219. සමුදුරෙහි ජලය නැළියකින් හෝ මිනුමට හැකි වුව ද ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය මිනුමට නො හැක්කේ මැයි.
220. පොළොව තරාදිතටුවක තබා දරනු හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය දරන්නට නො හැක්කේ මැ යි.
221. අහස රැහැනකින් හෝ අඟලෙන් හෝ මිනිය හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය පමණ කරණු නො හැක්කේ මැයි.
222. බුද්ධඥානය තෙම මහසමුදුරෙහි අපමණ වූ ජලය ද, අපමණ වූ මහ පොළොව ද, ඉක්මවා යයි. බුදු නැණ හා සම කරන්නට උපමාවශයෙන් (කිසිවක්) නො යෙදේ.
223. පසැස් ඇතියානන් වහන්ස, දෙවියන් සහිත ලෝකයෙහි යම් පමණ සත්‍වකෙනෙකුන් පිළිබඳ ව සිත පවතී නම් එපමණ වූ මේ සත්‍ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නමැති දැලෙහි ඇතුළට පිවිසියාහු වෙති.
224. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ යම් නුවණක් කරණ කොට ගෙණ හුදු උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියාහු ද එම ඤාණය කරණ කොට ගෙණ අන්‍ය තීර්‍ත්‍ථකයන් මඩින්නෙහි ය.
225. ඒ ‘සුරුචි’ නම් තවුස් තෙමේ{*} මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තුති කොට පොළොවෙහි අඳුන්දිවිසම එලා හිඳ ගත්තේ ය.
226. මේරූ පර්‍වතරාජයා මහසමුදුරෙහි යොදුන් අසූසාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණ ම (යොදුන් අසූසාරදහසක්) සමුදුරෙන් උඩට නැග ඇත්තේ ය යි කියනු ලැබේ.
227. දිගුපුළුලිනුදු එපමණ ම උඩට නැගුනු මේරුපර්‍වතය කෙළලක්‍ෂ ගණනින් අණුභේදයෙන් සුණු කරණ ලද්දේ–
228. (එම අණු) ලක් (=අලගු) තබන කල්හි දු ක්‍ෂය වීමට පැමිණියයි. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ මැ යි.
229. යමෙක් සියුම් ඇස් (=සිදුරු) ඇති දැලකින් දිය වට කරන්නේ ද, එවිට ජලයෙහි යම් කිසි ප්‍රාණි කෙනෙක් වෙත් නම්, (ඔහු) එම දැල තුළට වදින්නාහු ය.
230. මහාවීරයන් වහන්ස, එසේ ම යම් කිසි පෘථග්ජන තීර්‍ත්‍ථක කෙනෙක් දෙසැට මිසදිටු නමැති දැලට පිවිසියාහු දෘෂ්ටිපරාමර්‍ශනයෙන් මුළා වූවාහු වෙද්ද.
231. ආවරණයක් නැති ව දක්නාසුලු වූ පිරිසිදු නුවණින් තෙල තීර්‍ත්‍ථකයෝ ඔබ වහන්සේගේ නුවණ දැල තුළට පිවිස්වන ලදහ. ඔවුහු ඔබ නැණ නො ඉක්මවත්.
232. පස්මරුන් දිනූ මහා යශස් ඈති අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට දිශාවලෝකනය කළසේක.
233-234. අනවමදර්ශී නම් බුදුරජානන් වහන්සේගේ නිසභ නම ශ්‍රාවක තෙමේ සන්සිඳුනු සිත් ඇති (අටලෝ දහම්හි නො සැලෙන) තාදිගුණ යුත් ශුද්ධ වූ ෂඩභිඥා ඇති ධ්‍යාන කරණ සුලු වූ ලක්‍ෂගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ බුදුරජානන් වහන්සේගේ සිත දැන ඒ ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියේ ය.
235. එහි අහසෙහි සිටියා වූ උන්වහන්සේලා (බුදුරජානන් වහන්සේ) ප්‍රදක්‍ෂිණා කළාහු ය. බදැඳිලි ඇති ව නමදිමින් සර්‍වඥයන් වහන්සේ වෙතට බැස්සාහු ය.
236. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පස්මරුන් දිනුවා වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා අතර වැඩහිඳ සිනා පහළ කළසේක.
237. මහර්ෂි වූ සර්‍වඥයන් වහන්සේගේ ‘වරුණ’ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට ගෙණ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ගෙන් මෙසේ විචාළේ ය:
238. ‘භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘ වූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද? ඒ සර්‍වඥ බුදුවරයෝ කරුණු රහිත ව සිනා පහළ නො කරති.’
239. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙ ම ගාථාව වදාළසේක:-
240. ‘යම් තවුසෙක් තෙම මා මලින් පිදී ද, මාගේ (සර්‍වඥතා) ඥානයට නැවත නැවත ස්තුති කෙළේ ද, ඒ තවුසා (කවරෙක් දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.’
241. බුදුරජානන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක් වූහ. සද්ධර්‍මය අසනු කැමැත්තා වූ ඔහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
242. දසදහස්සක්වළ මහර්ධි ඇති යම් දේවතාවෝ වෙත් ද, ඔහු සද්ධර්‍මය අසනු කැමැත්තාහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
243. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සෙනග නිතර මොහු පිරිවරාගන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ ඵලය යි.
244. සැට දහසක් තූර්‍ය්‍යයෝ ද අලඞ්කාර, කළ භේරීහු ද, මොහුට නිතර (වැයීමෙන්) උවටැන් කරන්නාහු ය. මෙය බුද්ධපූජාවෙහි ඵලය යි.
245-246. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්බනලද මිණිකොඬොල් ඇත්තා වූ දිග ඇසිපිහාටු ඇත්තා වූ සිනා සහිත වූ මනා වූ ශරීරාවයව ඇති සිහින් කටිප්‍රදේශ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
247. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලෙව්හි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් රටෙහි සක්විති රජවන්නේ ය.
248. ශක්‍රදේවේන්‍ද්‍ර ව දහස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (කරන්නා වූ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් විසින් අපමණ ය.
249. අන්තිම (රහත් වන) භවය පැමිණිකල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. “සාරී” නම් බැමිණියගේ කුසින් දරන්නී ය.
250. මේ තැනැත්තේ මවගේ නාමගෝත්‍රයෙන් ප්‍රකට වන්නේ ය. නාමයෙන් ශාරීපුත්‍ර නම් වූ තීක්‍ෂණප්‍රඥා ඇත්තෙක් වන්නේ ය.
251. අසුකෙළක් (ධනය) හැරදමා අකිඤ්චන (=ධනය නැත්තෙක්) ව පැවිදි වන්නේ ය. මොක්‍ෂපදය සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
252. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මතුයෙහි “ඔක්කාක” කුලයෙහි උපදින ගෝත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන සේක.
253. උන්වහන්සේගේ ධර්‍මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.
254. හිමවතින් පටන් ගත් මේ ‘භාගීරථී” ගඞ්ගා තොමෝ මහ සමුදුර පුරවමින් සයුරට පැමිණෙන්නී ය.
255. එසේ ම මේ ශාරීපුත්‍රතෙමේ ස්වකීය (කුලපරම්පරාවෙහි පවත්නා වූ) ත්‍රිවේදයෙහි විශාරද වූයේ ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්‍ත්‍වයන් සන්තර්‍පණය කරන්නේ ය.
256. හිමාලපර්‍වතයෙහි පටන් මහා ජලස්කන්‍ධය දරන්නා වූ සයුර තෙක් මේ අතරෙහි යම් පමණ වැලිරැසක් ඇද්ද, එ ද ගණන් වසයෙන් අසඞ්ඛ්‍ය වේ.
257. ඒ වැලිරැස ද සම්පූර්‍ණයෙන් ගිණිමෙන් මෙ පමණ ය යි ප්‍රමාණ කරන්නට හැකි වන්නේ නුමුදු ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
258. අලගු තබන කල්හි දු ගඞ්ගා නම් නදියෙහි වැලි අවසන් වන්නේ ය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ මැ යි.
259. මහසයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සඞ්ඛ්‍යා කළ හැකි නො වේ. එසේ ම ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
260. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම සම්මා සම්බුදුරජාණනන් වහන්සේ සතුටු කොට ප්‍රඥාවෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි තෙරට ගොස් අග්‍රශ්‍රාවක යෙක් වන්නේ ය.
261. තාදිගුණ ඇති (=අටලෝ දහම්හි නො සැලෙන) (සර්‍වඥ වූ) ශාක්‍යපුත්‍රයන් වහන්සේ විසින් පවත්වනලද ධර්‍මචක්‍රය දහම්වැසි වස්වමින් මැනවින් ඒ අනු ව පවත්වන්නේ ය.
262. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ මේ සියල්ල වෙසෙසින් නුවණින් දැන භික්‍ෂුසංඝයා මධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේ ය.
263. “අනවමදර්ශී” බුදුරජානන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍යකර්‍මයක් මැනවින් කරණ ලදි. ආශ්චර්‍ය්‍යයෙකි. ‘යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වී ද, උන්වහන්සේ විෂයයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සකලගුණසමූහයෙහි පරතෙරට ගියේ වෙමි.
264. අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශලකර්‍ම ඵලය මේ පශ්විමාත්මභාවයෙහි දී දැක්වී ය. දක්‍ෂ දුනුවායෙකු විදි හීයෙහි වේගය මෙන් සුමිදුනෙමි. මම කෙලෙස් දැවීමි.
265. හේතුප්‍රත්‍යයයන්ගෙන් සකස් නො වූ නිශ්චල වූ නිර්‍වාණපදය සොයන්නෙම් සියලු තීර්‍ත්‍ථකයන් පරීක්‍ෂා කරන්නෙම් එකල්හි මම භවයෙහි සැරිසැරිමි.
266. ලෙඩකින් පෙළෙන්නා වූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස ඖෂධයක් සොයන්නේ යම්සේ සියලු වනය පරීක්‍ෂා කරන්නේ ද,
267. (එසේ) අසංස්කෘත වූ අමෘතපදය වූ නිර්‍වාණය සොයන්නා වූ මම අවිච්ජින්න ව (=නො කඩ කොට පිළිවෙළින්) පන්සියයක් අත්බැව්හි ඍෂි ප්‍රවුජ්‍යාවෙන් පැවිදි වීමි.
268. මම තවුස් දළමඬුලු බරින් බර වූයෙම් අඳුන්දිවිසමින් කළ උතුරුසළු පොරවන්නෙම් අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
269. බුදුසසුනෙහි හැර ඉන් පිට සසුනක ශුද්ධියක් නැත. බුද්ධිමත් වූ කිසියම් සත්ත්‍වකෙනෙක් වෙත් නම් ඔහු සර්‍වඥශාසනයෙහි දී පිරිසුදු වෙති.
270. එය (=ඒ පිරිසිදු වීම) ම විසින් කරණ ලද්දක් ම ය (=මගේ අත්දැකීමක් ම ය). ‘මෙය මෙසේ විය. මෙසේ වී ය’ යි කියන ආරංචියක් නො වේ. මම නිවණ සොයන්නෙම් වැරැදි තීර්‍ත්‍ථයන්හි හැසුරුනෙමි.
271. යම් සේ හර කැමැත්තා වූ පුරුෂයෙක් තෙම කෙසෙල්ගසක් කපා පළන්නේ ද, හෙතෙම එහි හරයක් නො ලබන්නේ ය. ඒ කෙසෙල්ගස හරයෙන් හිස් වූවක් ම ය.
272. එසේ ම ලෝකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නානාදෘෂ්ටි ගත් බොහෝ දෙන ද නිවණින් හිස් වූවෝ ම වෙති. හරයෙන් හිස් වූ කෙසෙල්ගස මෙනි.
273. අන්තිමජාතියෙහි මම බ්‍රාහ්මණකුලයෙහි උපන්නෙක් වීමි. මහත් වූ භෝගස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
(පළමුවැනි බණවර යි.)
274. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ ත්‍රිවේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් වි ය. මම ඔහුගේ සමීපයෙහි වසමි.
275. මහාවීරයන් වහන්ස, “අස්සජි” නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වි ය. එකල්හි ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙණ සේක.
276. මැනවින් පිපි පියුමක් වැනි වූ අතිශ්‍රේෂ්ඨ වූ සන්සුන් සිත් ඇති සප්‍රාඥ වූ මෞන ධර්‍මවිෂයයෙහි එකඟ සිත් ඇති ඒ අස්සජි ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.
277. මනා ව දැමුනා වූ පිරිසිදු සිත් ඇති ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ වීර වූ උන්වහන්සේ දැක හෙතෙම රහත් කෙනෙක් වන්නේ ය යි මට සිතක් උපන.
278. දුටුවන් පහදවන්නේ ඉරියවු පවත්වයි. මනා රූ ඇත්තේ ය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ ය. උතුම් දමනයෙන් දැමුනේ ය. නිවන් දක්නාසුලු වූවෙක් වන්නේ ය.
279. මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම එය කියන්නේ ය. එකල්හි මම නැවත විචාරමි.
280. මම අමෘතපදය ගැණ විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ පසුපස ගියෙමි.
281. මම වීථිය තුළට පැමිණ උන්වහන්සේ වෙත එළඹ ‘වීරයන් වහන්ස, ඔබ වහන්සේ කිනම් ගෝත්‍ර ඇති සේක් ද? නිදුකානන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වන සේක්දැ’ යී විචාළෙමි.
282. මා විසින් විචාරණලද උන්වහන්සේ කේශරසිංහයකු මෙන් නිර්භීත ව මෙසේ ප්‍රකාශ කළ සේක:- බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි.’
283. ‘අනුජාත (බුද්ධ) පුත්‍රයානෙනි, මහා සශස් ඇත්තානෙනි, මහා වීරයානෙනි, ඔබගේ ඒ බුදුරජානන් වහන්සේගේ ශාසනධර්‍මය කෙබඳු ද? පින්වත, මට යහපත් ලෙස ශාසනය පවසනු මැනව.’
284. මාවිසින් විචාරණලද හෙතෙමේ ගැඹුරු වූ සියුම් වූ තෘෂ්ණා නැමැති හුල නැති කරන්නා වූ සියලු දුක් දුරු කරන්නා වූ අමෘත පද සඞ්ඛ්‍යාත ධර්‍මය මෙසේ පැවැසී ය:-
285. “හේතුප්‍රභව වූ හෙවත් හේතූන් නිසා ඇති වන්නා වූ යම් ඵලධර්‍ම කෙනෙක් ඇත් නම්, එ ම (එල) ධර්‍මයන්ගේ හෙතුධර්‍ම ද, තථාගතයන් වහන්සේ වදාළසේක. (එසේ ම උන්වහන්සේ) එකී හේතුධර්‍මයන්ගේ වැළැක්ම (=නිරෝධය) ද (හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵලනිරෝධය ද) වදාළසේක. මහාශ්‍රමණ වූ බුදුරජානන් වහන්සේ මෙබඳු කථා ඇති සේක”.
286. ඒ මම ප්‍රශ්නය (මෙසේ) විසඳු කල්හි ප්‍රථමඵලයට හෙවත් සෝවාන්ඵලයට පත් වීමි. එම බුද්ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිත වූ නිර්‍මල වූවෙක් වීමි.
287. (අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තම වූ ධර්‍මය (ආර්‍ය්‍ය මාර්‍ගඥානයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෙම් මෙ ම ගාථාව කීමි:–
288. “ඉදින් මෙපමණක් වුවත් ධර්‍මය මෙය මැ යි. ඔබ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කෙළෙහි ය. බොහෝ වූ කල්ප නහුත ගණනක් අප විසින් නො දක්නාලදු ව ඉක්මගිය ඒ නිර්‍වාණපදය ඔබ වහන්සේ ප්‍රතිවේධ කළ සේක.
289. ඒ මම ධර්‍මය සොයන්නෙම් කුතීර්‍ත්‍ථයන්හි හැසුරුණෙමි. සෙවිය යුතු ඒ අර්‍ත්‍ථය ම විසින් ලබන ලදී. මට පමා නො වන්නට කාලය වේ.”
290. මම අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද්දෙම් වෙමි. මම නිශ්චල වූ අමෘතපදයට (=සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (=කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.
291. මනා ව හික්මුනා වූ මාගේ මිත්‍ර තෙමේ දුර දී ම සන්හුන් ඉරියවු වලින් යුතු වූ මා දැක මෙ ම වචනය කී ය:
292. “ඔබ පහන් වූ මුහුණ හා නෙත් ඇත්තේ ය. මුනිභාවය ම පෙණේ. කිම, අමෘතය (=නිවණ) අවබෝධ කෙළේ ද? අච්‍යුත සඞ්ඛ්‍යාත නිර්‍වාණ පදය අවබෝධ කෙළේ ද?
293. බ්‍රාහ්මණය, උත්තම දමථයෙන් (තෙමසක් හෙණ්ඩු ආදියෙන්) හික්මවනලද ඇතකු මෙන් පහන් පැහැයට සුදුසු ව එන්නේ ය. (ඔබ) සන්සිඳුනේ ද?”