තිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
189. ඒකචාරිය ස්ථවිරාවදානය
2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
2203. සංවේගයට පත් ශෝක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පින අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකචරියස්ථවිරාවදානය නවවැනි යි.
190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්‍ද නම් ශ්‍රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්‍ද නම්) ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුටජ බන්‍ධුජීවී - කොටුම්බරික හත්‍ථිය ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
කුටජපුප්ඵියවර්‍ගය එකුන්විසිවැනි යි.
20. තමාලපුප්ඵිය වර්‍ගය
191. තමාලපුප්ඵිය ස්ථවිරාවදානය
2214. මට කප්රුකක් (දිව්‍යවෘක්‍ෂයක්) වැනි විමනක් මැනවින් මැවින. එහි ස්වර්‍ණමය වූ සුවාසූදහසක් ස්තම්භයෝ වූහ.
2215. තමළු මලක් ගෙන පහන් සිතින් ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් හට පිදීමි.
2216. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2217. මෙයින් විසිවෙනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති චන්‍දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
2218. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාලපුප්ඵිය ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තමාලපුප්ඵියස්ථිවිරාවදානය පළමුවැනි යි.
192. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
2219. වන වැසි තවුසෙක් බුදුරජානන් වහන්සේට (සෙවෙනියක් කරණු පිණිස) යම් තෘණයක් කපා ද, ඒ සියලු තෘණ දක්‍ෂිණාවර්‍ත වැ පොළොවෙහි වැටින.
2220. මම් ඒ තෘණ ගෙන වැඩ වසන ඒ උතුම් බිම ඇතිරීමි. ඒ කල්හි මම තල්පත් තුණක් ද ගෙණ අවුත්,
2221. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් හට තෘණයෙන් සෙවෙනියක් කොට දිනිමි. දෙවිමිනිස්සු (සමවතින් හුන්) ශාස්තෲන් වහන්සේට සතියක් මැ එය දැරූහ.
2222. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එ දවස් යම් තණ (සෙවෙනියක්) දිනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණ (සෙවෙනි) දනෙහි මේ විපාකය යි.
2223. මෙයින් පන්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහද්ධන නම් වූ සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්‍ථරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණසන්‍ථරදායකස්ථවිරාවදානය දෙවැනි යි.
193. ඛණ්ඩඵුල්ලිය ස්ථවිරාවදානය
2225. මහවෙනෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයක් විය. එය එ කල්හි ඇතුන් විසින් බිඳින ලදුයේ වැඩුනු ගස් ඇත්තේ ද විය.
2226. ඒ තිලෝගුරු වූ බුදුරජානන් වහන්සේගේ ගුණයෙන් සතුටු වූ මම (ඒ සෑයෙහි) විසමතැන් සම කොට සුණුපිඬු දිනිමි. (සුණුපිරියම් කෙළෙමි.)
2227. මෙයින් දෙයානූවන කපෙහි වූ එ දවස යම් පිළිසකරක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුණු පිඬු දනෙහි මේ විපාකය යි.
2228. සත්සැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ජිතසේන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2229. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛණ්ඩඵුල්ලියස්ථවිරාවදානය තෙවැනි යි.
194. අසෝකපූජක ස්ථවිරාවදානය
2230. එකල්හි රම්‍ය වූ තීවරා පුරයෙහි රාජෝද්‍යානයක් විය. මම එහි රජුගේ සහචර වූ උයන්පල්ලෙක් වීමි.
2231. නමින් පදුම නම් වූ ප්‍රභාසහිත සම්බුදු වරයෙක් විය. හෙළ පියුමෙහි සෙවන වැඩහුන් ඒ බුදුරජුන් නො හළේය.
2232. පිපුනු දැකුම්කලු අශෝක ගසක් දැක (එයින්) මල්පොකුරක් පදුම නම් වූ බුදුරජානන් වහන්සේට පිදීමි.
2233. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2234. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2235. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසෝකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අසෝකපූජකස්ථවිරාවදානය සිව්වැනි යි.
195. අඞ්කෝලක ස්ථවිරාවදානය
2236. පිපුනු රුකඟුන ගසක් දැක එහි උතුම් මල් කොපු සහිතව ම නෙලා ඒ මල් ගෙණ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජුන් වෙත ගියෙමි.
2237. එ සමයෙහි මහාමුනි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු විවෙක සුවයෙන් හුන්හ. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා ඒ මල් ගුහාවෙහි විසිර වීමි.
2238. මෙයින් සිව්අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද , (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකය යි.
2239. මෙයින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් විය.
2240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලකස්ථවිරාවදානය පස්වැනි යි.
196. කිසලයපූජක ස්ථවිරාවදානය
2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්‍යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයැ” යි සිතීමි.
2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.
197. තින්‍දුකදායක ස්ථවිරාවදානය
2248. මම ජවවේගයෙන් යුත් ගිරිදුර්‍ගයන්හි හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2249. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ත්‍රිභවාන්තගත සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කිහිපදිනක් ම සෙවීමි.
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුහු මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මා වෙත වැඩියහ.
2251. සතුට උපදවා ඒ තිඹිරිගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. ශ්‍රේෂ්ඨ සර්‍වඥ වූ භාග්‍යවත්හු එය පිළිගත්හ.
2252. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
2253. සත්පණස්වන කපෙහි සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2254. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තින්‍දුකදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
198. මුට්ඨිපූජක ස්ථවිරාවදානය
2255. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරර්‍ෂභ වූ සුමේධ නම් භගවත්හු පශ්චිම ජනානුකම්පාවෙන් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩුහ.
2256. (දවසෙක) සක්මන්හි යෙදෙන ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති ඒ බුදුරජුන්හට ගිරිනිල් මල්මිටක් පිදීමි.
2257. ඒ චිත්තප්‍රසාදයෙන් කළ කුසලමූලයෙන් මෙහෙයන ලදුයෙම් කප් තිස්දහසක් මුළුල්ලෙහි දුගතියක නූපනිමි.
2258. දෙදහස් තුන්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුනෙල නම් සක්විති රජෙක් වීමි.
2259. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මුට්ඨිපූජකස්ථවිරාවදානය අටවැනි යි.
199. කිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
2260. සියල්ල තමන් ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ අපරාජිත වූ සුමඞ්ගල බුදුරජහු විහාරයෙන් නික්ම නුවරට පිවිසියහ.
2261. කොට නිම වූ සියලු බුදුකිස ඇති සර්‍වඥ මුනීහු පිඬු පිණිස හැසිර නුවරින් නික්ම වනතුරෙහි වුසූහ.
2262. (ඒ දවස්) පහන් සිත් ඇත්තෙම් සතුටු වූයෙම් කිඞ්කණිපුෂ්පයන් ගෙණ සියල්ල තමන්ම දතුවා වූ මහර්ෂී වූ බුදුරජුන්හට එළැවීමි.
2263. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2264. මෙයින් සඅනූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අපිලාපිය නම් සක්විති රජෙක් වීමි.
2265. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණලදී.