නවවැනි බණවර යි.
178. මණිපූජක ස්ථවිරාවදානය
2137. හිමවතැ මොබ පෙදෙසෙක්හි (එක්) නදියක් ගලා බැස්සේය. එකල්හි ඒ ගං ඉවුර සමීපයෙහි පදුමුත්තර බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක.
2138. මැනැවින් විසිතුරු මනරම් වූ මිණිපළඟක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට පිරිනැමීමි.
2139. මෙයින් සිවු අනූවන කපෙහි යම් මිණිපළඟක් පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2140. මෙයින් සොළොස්වන කපෙහි මහබල ඇති සතරංසී නම්වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2141. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මණිපූජකස්ථවිරාවදානය අටවැනියි.
179. තිකිච්ඡක ස්ථවිරාවදානය
2142. මම බන්‍ධුමතී නගරයෙහි රෝගී වූ දුක්සහිත මහාජනයාට සුව ගෙණ දෙන්නා වූ (වෛද්‍යශාස්ත්‍රයෙහි) මැනැවින් හික්මුනු වෛද්‍යවරයෙක් වීමි.
2143. එකල්හි සිල්වත් වූ මහත් ගුණ ඇති රෝගී වූ ශ්‍රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෙහෙතක් දුනිමි.
2144. විපස්සී බුදුරජුන්ගේ උපස්ථායක වූ අසෝක නම් සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්‍රමණයන් වහන්සේ එම බෙහෙතින් ම නීරෝග වූහ.
2145. මම මෙයින් එක්අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත්දනෙහි මේ විපාකය යි.
2146. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම් වූ සක්විතිරජෙක් වීමි.
2147. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිච්ඡකස්ථවිරාවදානය නවවැනියි.
180. සඞ්ඝුපට්ඨාක ස්ථවිරාවදානය
2148. වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම ආරාමිකයෙක් (අරමෙහි උවටැන් කරන්නෙක්) වීමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් සඞ්ඝයාට උවටැන් කෙළෙමි.
2149. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සඟනට උවටැන් කිරීමේ මේ විපාකය යි.
2150. මෙයින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝදක නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
2151. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සඞ්ඝුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සඞ්ඝුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුමුදනිස්සෙණි රත්තික උදපානද සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
කුමුදවර්‍ගය අටළොස් වැනි යි.
19. කුටජපුප්ඵිය වර්‍ගය
181. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
2152. උදා වූ හිරු මෙන් අහසෙහි වඩින්නා වූ දිශා විලෝකනය කරන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජානන් වහන්සේ (දිටිමි).
2153. දිගුපුළුල් ලෙස පැතිරී ගිය පිපුනු කෙළිඳගසක් දැක ඒ ගසින් මල් නෙළා ඵුස්ස බුදුරජානන් වහන්සේට පිදීමි.
2154. මෙයින් දෙ අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2155. මෙයින් සතළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ථිත නම් තුන් සක්විතිරජකෙනෙක් වූහ.
2156. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කුටජපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
182. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
2157. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද සිද්ධාර්‍ත්‍ථ නම් ඒ බුදුරජහු සමාධියට සමවැදුනාහු පර්‍වතය අතුරෙහි වැඩ හුන්හ.
2158. ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගන්නා වූ උතුම් මල් සොයන්නෙම් (ඒ නො දැක) ඉක්බිති ව බඳුවදමල් දිටිමි.
2159. (ඒ මල්) දෝතින් ගෙණ මහාමුනි වූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට එය පිරිනැමීමි.
2160. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2161. මෙයින් තුදුස් වන කපෙහි ජනාධිපති වූ සමුද්දකප්ප නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2162. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බන්‍ධුජීවකස්ථවිරාවදානය දෙවැනියි.
183. කොටුම්බරිය ස්ථවිරාවදානය
2163-2164. පර්‍වත අතුරෙහි (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නා වූ පමණ කළ නො හැකි (ජලය ඇති) සයුර මෙන් අපමණ ගුණ ඇති පැතුරුණා වූ පොළොව මෙන් නිශ්චල අතිශ්‍රේෂ්ඨ ආජානීයයකු මෙන් දිව්‍යසමූහයා විසින් පුදන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සොම්නස් වූයෙම් සතුටු සිතින් නරෝත්තම වූ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2165. කොටුම්බර නම් වස්ත්‍ර වර්‍ගයෙහි ගැවසී තුබුනු මල් සතක් ගෙණ ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට පූජා කෙළෙමි.
2166. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2167. මෙයින් විසිවැනි කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහාතේජස් ඇති එක් සක්විතිරජෙක් වීමි.
2168. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොටුම්බරියස්ථවිරාවදානය තෙවැනි යි.
184. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
2169. ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
2170. මා විසින් උපුල්මල් මිටි පසක් ද හතරක් ද (හෙවත් උපුල් මිටි නවයක්) තබන ලදී. මම (ඒ මල්) ව්‍රතසිද්ධිය සඳහා බුදුරජුන්හට දෙනු කැමැත්තෙම් (තුබූ තැනින්) ගතිමි.
2171. ඇතුළු වීථියෙහි ගමන් කරන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන් (දිටිමි). මම බුදුරැසින් මැනවින් පහස්නා ලද්දෙම් ද වෙමි. ද්විපදෝත්තම වූ ඒ බුදුරජුන් පිදීමි.
2172. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2173. මෙයින් තෙළෙස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උසභ නම් වූ පස් සක්විති කෙනෙක් වූහ.
2174. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චහත්‍ථියස්ථවිරාවදානය සිවුවැනි යි.
185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය
2175. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)
2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභෝග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලෝකබන්‍ධු වූ බුදුරජුන්හට දුනිමි.
2177. එහි අටලක්‍ෂයක් බුද්ධශ්‍රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්‍ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.
2178. ඒ චිත්තප්‍රසාදය හේතුකොටගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.
2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.
186. බෝධිඋපට්ඨාක ස්ථවිරාවදානය
2181. මම අමරවතී නගරයෙහි මිහිඟුබෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියෙම් නිතර උවටැනෙහි යෙදුනෙම් වෙමි.
2182. උදය සවස එළඹ (උවටැන් කොට) ඒ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් එක්දහස් අටසිය කපක් මම දුගතියෙක නො උපනිමි.
2183. මෙයින් එක්දහස් පන්සිය වන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මුරජ නම් සක්විතිරජෙක් වීමි.
2184. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිඋපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිඋපට්ඨාකස්ථවිරාවදානය සවැනියි.
187. ඒකචින්තික ස්ථවිරාවදානය
2185. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුත වේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිට ව යෙත්. (කෙසේ ද යත්:)
2186. “පින්වත, මෙයින් ච්‍යුත ව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ්‍රද්ධාව ලබව.
2187. “තාගේ ඒ ශ්‍රද්ධා තොමෝ මනා සේ පවසන ලද සද්ධර්‍මයෙහි බැසගත්තී හටගත් මුල් ඇත්තී මැනවින් පිහිටියා දිවි ඇතිතාක් නිශ්චල වේවා.
2188. කයින් ද, වචනයෙන් ද, සිතින් ද, බොහෝ කුසල් කොට නිදුක් වූ (ක්ලේශෝපාධි රහිත බැවින්) පිරිසිදු වූ -
2189. (ආත්මභාව සම්පත් හා භවභෝග සම්පත් උපදනා) ඔපධික වූ ඒ බොහෝ කුසල් ද කොට පරිත්‍යාගයෙන් යුතු ව අනෙක් මිනිසුන් ද බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සද්ධර්‍මයෙහි පිහිටුවනු මැනව” කියා යි.
2190. යම් කලෙක නුවණැති දෙවිවරු චුත වන්නා වූ දෙවියා දැන ගණිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි කියා මේ අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.
2191. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි මට සංවේගයෙක් ඇති විය. (කෙසේ ද? යත්:) “මම මෙයින් චුත ව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම් ද” (කියා යි).
2192-2193. වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩනගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය. එකල්හි ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුමන නම් ශ්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවේගයට පත් කෙළේ ය.
2194. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙමි.
2195. ඒ මම එ කී කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් ඒ දෙව්ලොවෙහි උපනිමි. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2196. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචින්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකචින්තිකස්ථවිරාවදානය සත්වැනි යි.
188. තිකණ්ණිපුප්ඵිය ස්ථවිරාවදානය
2197. දෙවි වූ මම අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර කරණ ලද කර්‍මය සිහි කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2198. සිහින් මිදිමල් තුණක් ගෙණ සිය සිත පහදවා නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් කෙරෙහි පිදීමි.
2199. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2200. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති රමුත්තම නම් සිවු සක්විතිරජ කෙනෙක් වූහ.
2201. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.