166. සප්පිදායක ස්ථවිරාවදානය
2077. ලෝවැස්සන්ගේ පූජාසත්කාර පිළිගැණීමට සුදුසු වූ මහාවීර වූ ඵුස්ස නම් භාග්‍යවත්හු මහජනයා නිවමින් වීථියෙහි වඩිති.
2078. පිළිවෙළින් භාග්‍යවත්හු මා වෙතට වැඩියහ. ඉක්බිති මම පාත්‍රය ගෙණ ගිතෙල් පුරවා දිනිමි.
2079. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ගිතෙල් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2080. මෙයින් සපණස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සම්මෝදක නම් සක්විති රජෙක් වීමි.
2081. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සප්පිදායකස්ථවිරාවදානය සවැනි යි.
167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2082. මම චන්‍ද්‍රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.
2084. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2085. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමුද්ධර නම් සක්විති රජෙක් වීමි.
2086. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵියස්ථවිරාවදානය සත්වැනි යි.
168. දුස්සදායක ස්ථවිරාවදානය
2087. මම එකල්හි රම්‍ය වූ තීවරා නගරයෙහි රාජපුත්‍රයෙක් වීමි. මම පඬුරක් කොට දුන් වස්ත්‍රයක් ලැබ උපශාන්ත වූ බුදුරජුන්හට පිළිගැන්වීමි.
2088. භාග්‍යවත් තෙමේ (ඒ වස්ත්‍රය) ඉවැසීය. එය අතින් ස්පර්‍ශ කෙළේ ය. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා (=පිළිගෙණ) අහසට නැංගේ ය.
2089. බුදුරජුන් අහසෙහි වඩින කල්හි දුහුල් වස්ත්‍රයෝ පසුපසින් දිවෙත්. එහිදී බුදුරජහු අපගේ අග්‍රපුද්ගලයන් වහන්සේ යි සිත පැහැදැවීමි.
2090. මෙයින් සිවු අනූවන කපෙහි වූ එ දවස් යම් වස්ත්‍රයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකය යි.
2091. මෙයින් සත්සැටවන කපෙහි වූ එ දවස් මහත් බල ඇති මනුජේන්‍ද්‍ර වූ පරිසුද්ධ නම් සක්විති රජෙක් වීමි.
2092. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දුස්සදායකස්ථවිරාවදානය අටවැනි යි.
169. සමාදපක ස්ථවිරාවදානය
2093. බන්‍ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.
2096. මෙයින් එක් අනූවන කපෙහි වූ එදවස යම් මාලකයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාලකදානයාගේ මේ විපාකය යි.
2097. එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.
2098. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සමාදපකස්ථවිරාවදානය නවවැනි යි.
170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
2099. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්‍ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්‍වඥයන් වහන්සේ දිටිමි.
2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්‍ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
සුපාරිචරියවර්‍ගය සතළොස් වැනි යි.
18. කුමුද වර්‍ගය
171. කුමුදමාලිය ස්ථවිරාවදානය
2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.
2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.
2106. ද්වීපදෝත්තම වූ නරාසභ වූ අත්‍ථදස්සී භාග්‍යවත්හු නෙළූ මල් දැක මා වෙත වැඩියහ.
2107. දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ එළඹ සිටි තථාගතයන් වෙත පැමිණ මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
2108. එකල්හි (එහි රැස් වූ) ඒ පිරිස හිමවත කෙළවර දක්වා විය. එතෙක් දුර මල්වියන් ඇති සේක් තථාගතයන් වහන්සේ වැඩි සේක.
2109. එක්දහස් අටසියවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2110. මෙයින් පසළොස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ සහස්සරථ නම් ඒ සත් සක්විතිරජ කෙනෙක් වූහ.
2111. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදමාලියස්ථවිරාවදානය පළමුවැනි යි.
172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
2113. ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
2119. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති සුප්පසන්ත නම් සක්විතිරජෙක් වීමි.
2120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රත්තිපුප්ඵියස්ථවිරාවදානය තෙවැනි යි.
174. උදපානදායක ස්ථවිරාවදානය
2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්‍යාත) කර්‍මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
175. සීහාසනදායක ස්ථවිරාවදානය
2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්‍රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.
176. මග්ගදත්තික ස්ථවිරාවදානය
2129. ද්විපදෝත්තම වූ නරර්‍ෂභ වූ අනෝමදස්සී භාග්‍යවත්හු දිට්ඨධම්මසුඛය (=දිටුදැමියෙහි සිරුරු සුවය) පිණිස එළිමහනෙහි සක්මන් කළහ.
2130. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මම උන්වහන්සේ) වැඳ මල් විසුරුවාලීමි. සක්මන් කිරීම සඳහා ඒ බුදුරජහු පා එසෙ වූ කල්හි (ඒ පියුම් උපුල් ආදී) මල් (විසිරී) උන්වහන්සේගේ හිස මතුයෙහි බබළමින් සිටියි.
2131. මෙයින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහබල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
2132. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදත්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදත්තිකස්ථවිරාවදානය සවැනියි.
177. ඒකදීපිය ස්ථවිරාවදානය
2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකයයි.
2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්‍ද්‍රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.