2016. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කක්කාරුපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
155. මන්‍දාරවපූජක ස්ථවිරාවදානය
2017. දිව්‍යපුත්‍රයෙකු වූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලින් ද ඒ බුදුරජුන් පිදීමි.
2018. සත්දිනක් මුළුල්ලෙහි ම තථාගතයන් කෙරෙහි (පිදූ ඒ) දිව මල් වියනක් (මෙන්) විය. සියලු ජනයෝ එක් ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහු ය.
2019. මෙයින් එක් තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2020. මෙයින් දසවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
2021. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපූජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මන්‍දාරවපූජකස්ථවිරාවදානය පස්වැනි යි.
156. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
2022. හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්‍වතයෙක් විය. ඒ පර්‍වතපාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
2023. උදා වූ සඳු වැනි ව (බබලන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙණ සත් පසේ බුදුවරයන් කෙරෙහි පිදීමි.
2024. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2025. මෙයින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2026. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
157. තිණසූලක ස්ථවිරාවදානය
2027. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් විය. එහි සියල්ල තෙමේ ම දැනගත් ලොව හා නො ගැටුනු එක් සිඛී නම් පසේබුදුවරයෙක් වැඩ වෙසෙයි.
2028. බෝලිද්ද මල් ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි. (ඒ හේතුවෙන්) එකුන්සියදහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො ගියෙම් වෙමි.
2029. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් සක්විති රජෙක් වීමි.
2030. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසූලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
තිණසූලකස්ථවිරාවදානය සත්වැනි යි.
158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2031. මන්ත්‍රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්‍වතාන්තරයෙහි වෙසෙයි.
2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.
2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්‍රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.
2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.
2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්‍රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.
2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
159. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
2038. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුනු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
2039. වැල්ලෙහි සෑයක් කොට ඒ මල් නෙලා ශුභ වූ සුවඳ කැවුනු සුගන්‍ධවත් ඒ මල් බුදුරජුන්හට පිරිනැමීමි.
2040. මෙයින් පෙර දෙයානූවන කපෙහි යම් මලෙකින් බුදුරජුන් පිදිම් ද, (ඒ පිණින්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි ඵලය යි.
2041. මෙයින් එකානූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති තමෝනුද නම් සක්විති රජෙක් වීමි.
2042. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුන්නාගපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
160. කුමුදදායක ස්ථවිරාවදානය
2043. හිමවතට නුදුරෙහි රත්පියුම්වලිනුත් උපුල්වලිනුත් ගැවසී ගත් හෙළපියුමින් වැසුනු මහත් වූ ස්වයංජාත (තෙමේ ම හටගත්) විලෙක් විය.
2044. එකල්හි සිල්වත් වූ බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ ය යි දැන ගැණීමෙහි දක්‍ෂ වූ කුකුත්‍ථ නම් පක්‍ෂියෙක් වීමි.
2045. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනි වූ මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
2046. ජලයෙහි හටගත් කුමුදුමලක් කඩා බුදුරජුන් වෙත එළැවීමි. මහාමුනි වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
2047. මම ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2048. මෙයින් එක්දහස්හයසිය වන කපෙහි මහත් බල ඇති වරුණ නම් ජනාධිපති වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
2049. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමුදදායකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
බන්‍ධුජීවි තම්බපුප්ඵි - වීථිකක්කාරුපුප්ඵිය මන්‍දාරව කදම්බී සූලික නාගපුප්ඵිය පුන්නාගකුමුදී දසවත් සපණස්ගයින් දැක්වින.
බන්‍ධුජීවක වර්‍ගය සොළොස් වැනි යි.
17. සුපාරිචරිය වර්‍ගය
161. සුපාරිචරිය ස්ථවිරාවදානය
2050. ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති නමින් පදුම නම් බුදුරජහු තමන් විහරණය කළ උපවනයෙන් නික්ම (අවුත්) දහම් දෙසූහ.
2051. බුදුරජුනට නුදුරෙහි යක්‍ෂසමාගමයෙක් විය. එකල යම් කරුණකින් ඔහු එහි පැමිණියාහු ද (ඒ කරුණු සපුරනුවෝ) බුදුරජුන් දෙස සාවධාන වැ බලා හුන්හ.
2052. (මම) බුදුරජුන්ගේ කට හඬ ද දහම් අමා දෙසුම ද දැන, පහන් සිත් ඇත්තෙම් අත්පොළසන් දී ඔබට උවටැන් කෙළෙමි.
2053. ශාස්තෘන් වහන්සේට මැනැවින් කරණ ලද උපස්ථානයාගේ විපාකය බලනු මැනව. ඒ පිනෙන් මම තිස්දහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො වන්මි.
2054. දෙදහස්නවසිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
2055. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපාරිචරියස්ථවිරාවදානය පළමුවැනි යි.
162. කණවේරපුප්ඵිය ස්ථවිරාවදානය
2056. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව නගරයට පිළිපන් සේක.
2057. මම එකල්හි රජුගේ සාධුසම්මත වූ අන්තඃපුරපාලකයා වීමි. පහයෙහි හුන් මම් ඒ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
2058. කණවේරමල් ගෙණ භික්‍ෂුසංඝයා විෂයෙහි ඉස්සෙමි. එයින් වැඩි කොටස බුදුරජුන්හට වෙන් කොට විසුළෙමි. (පිදීමි).
2059. මෙයින් සිවුඅනූවක කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2060. මෙයින් සත්අනූවන කපෙහි සතුරුවනින් යුත් මහත් බල ඇති මහිද්ධික නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2061. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවේරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණවේරපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
163. ඛජ්ජදායක ස්ථවිරාවදානය
2062. මම පෙර තිස්ස බුදුරජානන් වහන්සේට පොල් ද අභිසම්මත ඛාද්‍ය (රස කැවිලි) ද දිනිමි.
2063. මම මහර්ෂි වූ තිස්ස බුදුරජානන් වහන්සේට එය දී කැමති සේ භවසම්පත් ලබනුයෙම් කැමැති දෑ කරණ සුල්ලෙම් ප්‍රමුදිත වෙමි.
2064. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ නාළිකෙරඵලදානයාගේ විපාකය යී.
2065. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති ඉන්‍දසම නම් සක්විති රජෙක් වීමි.
2066. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛජ්ජදායකස්ථවිරාවදානය තෙවැනි යි.
164. දෙසපූජක ස්ථවිරාවදානය
2067. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
දෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
165. කණිකාරච්ඡදනිය ස්ථවිරාවදානය
2072. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සියල්ල මැනැවින් දත් වෙස්සභූ බුදුරජුහු දිවාවිහරණය පිණිස මහවනයට බැස ගත්හ.
2073. එකල්හි මම කිණිහිරි මල් නෙලා ඡත්‍රයක් තනා මල් වියනක් කොට බුදුරජුන් පිදීමි.
2074. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි විපාකය යි.
2075. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සෝණ්ණාභ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2076. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණිකාරච්ඡදනියස්ථවිරාවදානය පස්වැනි යි.