Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 2401-2500 න් 9627

1952. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හේතුවෙන්) අහසෙහි මිණිරුවන්හු දරත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1953. මෙයින් සොළොස්කප්සියෙහි මහත් බල ඇති මණිප්පභාස නම් දෙතිස් සක්විති රජකෙනෙක් වූහ.
1954. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය තෙවැනි යි.
144. සපරිවාරිය ස්ථවිරාවදානය
1955. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුහු ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
1956. මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දා නිදන් කළ) මහත් සෑයෙක් විය. අති උතුම් දාගෙයට (සැදැහැතියෝ) දිවාරෑදෙක්හි උවැටැන් කෙරෙත්.
1957. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එහි) සඳුන් වේදිකාවක් කෙළෙමි. එකල්හි සෑයට සුදුසු වූ සඳුන් දුම් ද දින.
1958. භවයෙහි දිවඅත්බව්හි හෝ මිනිසත්බව්හි හෝ උපදනා කල්හි මාගේ ලාමක බවක් නො දකිමි. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.
1959. මෙයින් එක්දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති සමත්ත නම් වූ ඒ සියලු සක්විති රජවරු අටදෙනෙක් වූහ.
1960. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සපරිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සපරිවාරියස්ථවිරාවදානය සිවුවැනි යි.
145. උම්මාපුප්ඵිය ස්ථවිරාවදානය
1961. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්‍ර වූ ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහාචෛත්‍ය පූජාවක් විය.
1962. සිදුහත් බුදුරජුන්ට පූජාව පවත්නා කල්හි (මම) දියබෙරලිය මල් ගෙණ සෑයට පිදීමි.
1963. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1964. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම් වූ පස්අසූ සක්විති රජකෙනෙක් වූහ.
1965. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් උම්මාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උම්මාපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
146. අනුලේපදායක ස්ථවිරාවදානය
1966. මම අනෝමදස්සී බුදුරජානන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩල වූ) වේදිකාවක් කරවීමි. (එසේ ම) මම සුණුයෙන් අලෙව් පිඬු දී (මතියෙන්) මටහම් කෙළෙමි.
1967. ශාස්තෘ වූ අනෝමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනැවින් කරණ ලද ඒ කර්‍මය දැක භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාව වදාළේ ය.
1968. (මෙතෙම) මේ සුණුවම් හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේය (කියායි).
1969. (මම) පහන් වූ මුව පැහැ ඇත්තෙම් වෙමි. එකඟ වූයෙම් සන්හුන් වූයෙම් සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1970. මෙයින් නො අඩුව කප් සියයක් සම්පූර්‍ණ වූ කල්හි සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
1971. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අනුලේපදායකස්ථවිරාවදානය සවැනි යි.
147. මග්ගදායක ස්ථවිරාවදානය
1972. පසැස් ඇති බුදුරජ තෙම කුඩා ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති ඒ සිද්ධාර්‍ත්‍ථ සම්බුදුරජුන් දිටිමි.
1973. උදැල්ල හා කූඩය ද ගෙණ ඒ මග සම කොට ශාස්තෲන් වහන්සේ වැඳ සියසිත පැහැද වීමි.
1974. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාර්‍ගදානයාගේ මේ විපාකය යි.
1975. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුප්පබුද්ධ නම් වූ නරශ්‍රේෂ්ඨ වූ එක් සක්විති රජෙක් වීමි.
1976. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් මග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදායකස්ථවිරාවදානය සත්වැනි යි.
148. ඵලකදායක ස්ථවිරාවදානය
1977. පෙර දැවකම්හි මැනැවින් හික්මුනු වඩුවෙක් වීමි. (මම) සඳුන් පුවරුවක් කොට ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දුනිමි.
1978. (ඒ හේතුවෙන්) රනින් නිම වූ මේ විමන බබලයි. හස්තියාන ද අශ්වයාන ද දිව්‍යමය යාන ද එළඹ සිටියේ වෙයි.
1979. ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද රිසි පමණ උපදිත්. මාහට තහවුරු රුවන් වෙයි. සඳුන් පුවරු දීමෙහි මේ විපාකය යි.
1980. මම මෙයින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුවරු දනෙහි මේ විපාකයි.
1981. සත්පණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
1982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ඵලකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඵලකදායකස්ථවිරාවදානය අටවැනි යි.
149. වටංසකිය ස්ථවිරාවදානය
1983. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත වූ නමින් සුමේධ නම් වූ (සර්‍වඥ තෙම) විවෙක සුව වඩනුයේ මහවනයට පිවිසියේ ය.
1984. ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුනු සලල ගසක් දැක කඩා මල්කඩක් ගොතා බුදුරජානන් වහන්සේට පිදීමි.
1985. තිස් දහස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
1986. එකුන්විසිවන කප්සියෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1987. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වටංසකියස්ථවිරාවදානය නවවැනි යි.
150. පල්ලඞ්කදායක ස්ථවිරාවදානය
1988. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් සහ ඇතිරි සහිත පලගක් මා විසින් දෙන ලදී.
1989. එකල්හි එය සත්රුවනින් යුත් පලගෙක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යඞ්ක) උපදී.
1990. තිස්දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පලගක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
1991. විසිදහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1992. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පල්ලඞ්කදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පල්ලඞ්කදායකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
ඡත්ත ථම්භ වේදී පරිවාර උම්මපුප්ඵි අනුලේප මග්ගදායී ඵලකදායී වටංසක පල්ලඞ්කදායී වත් දස සපණස්ගයින් බැඳියේ.
ජත්තවර්‍ගය පසළොස්වැනි යි.
16. බන්‍ධුජීවක වර්‍ගය
151. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
1993-1994. (උපක්ලේශ විරහිත) චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, (කෙළෙස් කිලිටි නො මැති බැවින්) පිරිසිදු වූ පැහැදුනා වූ, (කෙළෙස් මඩින්) නො කැලඹුනා වූ, නන්‍දීභව සඞ්ඛ්‍යාත තෘෂ්ණාව හා භවය (ඵල විශේෂයෙන් හාත්පසින් ම) ක්‍ෂය කරණ ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැති කළ ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතුරෙන් උතුම් ද වූ වෙනෙහි ධ්‍යාන කරන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛී බුදුරජුන් දුටිමි.
1995. මම බඳුවදමල් නූලකින් එල්වා ඒ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1996. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1997. මෙයින් සත්වැනි කපෙහි මනුජේන්‍ද්‍ර වූ වැඩුනු යසස් ඇති මහබලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
1998. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බන්‍ධුජීවකස්ථවිරාවදානය පළමුවැනි යි.
152. තම්බපුප්ඵිය ස්ථවිරාවදානය
1999. අනුනට බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. (ඒ හේතුවෙන්) භයජනක අරමුණුවලින් තැති ගැණුනෙම් වනයට පලාගියෙමි.
2000. පොකුරු බැඳී (=වලුබර) වැනැවින් සැදුණු පිපුණු ගසක් දැක (එහි) තඹවන් මල් ගෙණ බෝධිය සමීපයෙහි ඉසීමි.
2001. ඒ උතුම් පළොල්බෝමුල හැමද ඒ බෝමුලෙහි පලඟ බැඳ (අසරමිණිය ගොතාගෙණ) හුනිමි.
2002. (අපරාධ කොට) මා පලාගිය මග සොයා යන්නෝ මාගේ සමීපයට පැමිණියාහුය. මම එහි ඔවුන් දැක උතුම් බෝධිය සිහිපත් කෙළෙමි.
2003. මම පැහැදි සිතින් බෝධිය වැඳ (යන්නෙම්) බොහෝ තල්රුක් පමණින් ගිණිය යුතු (ගැඹුරු) වූ භයානක ගිරිදුර්‍ගයෙක්හි පතිත වීමි.
2004. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාක යි.
2005. මම මෙයින් තෙවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුසඤ්ඤත නම් සක්විතිරජෙක් වීමි.
2006. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් තම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තම්බපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
153. වීථිසම්මජ්ජක ස්ථවිරාවදානය
2007. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, රන්වන් රැස් ඇති හිරු මෙන් ද, පණුරැසි දින සඳු මෙන් ද, නික්මෙන්නා වූ බුදුරජුන් දිටිමි.
2008. අටසැටදහසක් වූ සියල්ලෝ ක්‍ෂීණාස්‍රවයෝ වූහ. (ඔහු) ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් පිරිවැරූහ.
2009. බුදුරජුන් නික්මෙන කල්හි (මම) ඒ වීථිය හැමද එහි පිරිසිදු සිතින් ධජයක් එසවීමි.
2010. මෙයින් එක්අනූවන කපෙහි යම් ධජයක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
2011. මෙයින් සිවුවන කපෙහි සර්‍වාකාරයෙන් සම්පූර්‍ණ වූ සුධජ ය යි ප්‍රසිද්ධ රජෙක් වීමි.
2012. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වීථියසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වීථිසම්මජ්ජකස්ථවිරාවදානය තෙවැනි යි.
154. කක්කාරුපූජක ස්ථවිරාවදානය
2013. දිව්‍යපුත්‍රයෙක් වූ මම සිඛී බුදුරජුන් පිදීමි. කැකිරි මලක් ද ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි.
2014. මෙයින් එක් තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2015. මෙයින් නවවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සත්තුත්තම නම් සක්විති රජෙක් වීමි.