1888. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ මුඛය හා නේත්‍ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇතිසේක.”
1889. (ඉක්බිති) මහාප්‍රාඥ වූ මනා නුවණැති සර්‍වඥ තෙමේ අහසින් බැස සඟළ සිවුර අතුරා පර්‍ය්‍යඞ්කයෙන් (අසරමිණිය ගොතා) වැඩහුන්නේ ය.
1890. වුරුණු සඳුන් ගෙණ බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස්සහිත වූයෙම් සර්‍වඥයන් වහන්සේට පිදීමි.
1891. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට අභිවාදනය කොට සතුට උපදවා උත්තරදිශාභිමුඛ ව ගියෙමි.
1892. එක්දහස්අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1893 මෙයින් එක්දහස්හාරසියවන කපෙහි නමින් රෝහිත නම් වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1894. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්‍දනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චන්‍දනපූජකස්ථවිරාවදානය තෙවැනි යී.
අටවැනි බණවරයි.
134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
1895. මන්ත්‍රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්‍ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
1896. අග්‍රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්‍වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
1897. උපධි විරහිත ලෝකනායක වූ සර්‍වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්‍රමාණ සත්ත්‍වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීය.
1898. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්‍යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.
135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්‍වතයක් විය. එම පර්‍වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
1904. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්‍මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
1908. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
1910. ස්වකීය බ්‍රාහ්මණධර්‍ම සඞ්ඛ්‍යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්‍වඥතාඥානයට පිදීමි.
1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
1914. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
137. අත්‍ථසන්‍දස්සක ස්ථවිරාවදානය
1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්‍ෂීණාස්‍රව වූ බලප්‍රාප්ත වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
1916. ත්‍රිවිද්‍යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්‍වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්‍වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
1920. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අත්‍ථසන්‍දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.
138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්‍රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
1924. මෛත්‍රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
1927. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්‍ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
1933. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.
140. පියාලඵලදායක ස්ථවිරාවදානය
1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්‍මයකුදු මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
1937. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1940. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
තුදුස්වැනි සෝභිත වර්‍ගය යි.
උද්දානය:
සෝභිත සුදස්සන - චන්‍දන පුප්ඵඡදන රහෝ චම්පකපුප්ඵී - අත්‍ථසන්‍දස්සක සහ ඒකපසාදි සාලද - ඵලදායකැයි වත්දස එය දෙසැත්තෑගකින් - පිඬු කොට මෙහි කියනලදී.
සෝභිත වර්‍ගය තුදුස් වැනි යි.
15. ඡත්ත වර්‍ගය
141. අතිඡත්තිය ස්ථවිරාවදානය
1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.
1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.
1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.
142. ථම්භාරෝපක ස්ථවිරාවදානය
1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.
1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.
1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.
1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.
143. වේදිකාරක ස්ථවිරාවදානය
1950. ලෝකනායක වූ පියදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මුතුමුවාවේදිකාවක් කෙළෙමි.
1951. මිණියෙන් පිරිවර කොට උතුම් වේදිකාවක් (පිළක්) කෙළෙමි. මම ඒ වේදිකාපූජාව කොට එහි කලුරිය කෙළෙමි.