මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසංඥක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනියි.
118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය
1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.
1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-
1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.
1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.
1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය
1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-
1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.
1750. (මෙසේ සිතන්නා වූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙමේ දැන ගෙණ හෙ තෙමේ මා දුකින් ගොඩ ගණු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
1751. “නුවණැත්තානෙනි, කවර හෙයින් ශෝක කෙරෙහි ද? බිය නො වනු මැනැව. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරජුන් විසින් සියලු දෙනාට කුශලබීජසම්පත්තිය නැවත නැවත දෙන ලදී.
1752. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේ නම්, එසේ ම පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම්-
1753. චිත්තප්‍රසාදය සම වූ කල්හි පින ද සමාන ය. මහත් බවට ගියේ ද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥධාතූන් පුදනු මැනව”.
1754. සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන් කොට) සෑයක් කෙළෙමි. බුදුරජුන්ගේ ඒ උතුම් සෑය පස්වසක් ම පරිචරණය කෙළෙමි.
1755. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ එ ම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට රහත්බවට පැමිණියෙමි.
1756. මෙයින් සත්සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිවු සක්විතිරජකෙනෙක් වූහ.
1757. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
120. ජාතිපූජක ස්ථවිරාවදානය
1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්‍වත සහිත පෘථිවිය කම්පිත වී ය.
1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.
1762. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, සම්පත්තියෙන් සියලු සත්ත්‍වයන් ඉක්මවමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1763. මාගේ චිත්තාචාරයට අනුව පවතින්නා වූ කිරිමවුවරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නො හැක්කාහු වෙත්. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1764. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1765. මෙයින් තෙවන කල්පයෙහි මහත් බල ඇති ජනාධිපති වූ සුපාරිචාරිය නම් සූතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1766. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාතිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ජාතිපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පරිවාර සුමඞ්ගල සරණ ආසන පුප්ඵික, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී, දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
මහාපරිවාරවර්‍ගය දොළොස් වැනි යි.
13. සෙරෙය්‍ය වර්‍ගය
121. සෙරෙය්‍යක ස්ථවිරාවදානය
1767. වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය–
1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්‍යාඝ්‍රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.
1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.
1770. මහාවීර වූ ලෝකනායක සර්‍වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.
1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.
1772. විස්මයජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍ය ය දැක සුගත වු ලෝකනායක වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
1773. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
1774. එක්දහස්පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්තමාල නම් පස්විසි සක්විතිරජකෙනෙක් වූහ.
1775. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළෙසේක් යී.
සෙරෙය්‍යකස්ථවිරාවදානය පළමුවැනි යි.
122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණයෙක් විය.
1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්‍රයන්හි විශාරදයෝ ද වූහ.
1778. (ඒ ශිෂ්‍යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්‍යඤ්ජන ඇත. මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසක් වෙති. ඛ්‍යාමප්‍රභා ඇති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
1779. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්‍යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්‍යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
1780. මම ඒ දිශාවට ද අප්‍රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීමි).
1781. “ශිෂ්‍යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්‍මය අසන්නෙමු” (කියායි).
1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
1783. සියලු ශිෂ්‍යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.
1784. මා විසින් විචාරණ ලද ඔහු යම් සේ බුදුරජුන් දක්නා සුලු වූවාහු නම් එසේ ම විස්තර කළාහු ය. මාගේ හමුයෙහි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනැවින් (වචනයෙන්) දැක්වූහ.
1785. මම ඔවුන්ගේ වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කලුරිය කෙළෙමි.
1786. ඔහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහු ය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහු ය.
1787. මම සුගත වූ මහර්ෂි බුදුරජානන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
1788. සතළිස් දහස්වන කපෙහි නමින් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම් වූ පෘථිවීශ්වර වූ අටතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1790. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵථූපියස්ථවිරාවදානය දෙවැනි යි.
123. පායාසදායක ස්ථවිරාවදානය
1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.
1793. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්‍ය්‍යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:
1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).
1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්‍යවත් සර්‍වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
1797. මෙයින් ඒකානූවන කපෙහි වූ එකල්හි මම යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කිරිබත්දනෙහි මේ විපාකය යි.
1798. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බුද්ධ නම් සක්විතිරජෙක් විය.
1799. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පායාසදායකස්ථවිරාවදානය තෙවැනි යි.
124. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්‍ය්‍යයාගේ (ප්‍රභාව) මෙන් උන්වහන්සේගේ ප්‍රභා විහිදෙයි.
1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජෙක් විය.
1805. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
125. සම්මුඛාත්‍ථවික ස්ථවිරාවදානය
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1809. යම් උතුමකු උපදින කල්හි ගඞ්ගාවෝ නො ගැලුවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1810. යම් උතුමකු උපදින කල්හි අවීචියෙහි ගිනි නො දැල්විනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1811. යම් උතුමකු උපදින කල්හි පක්‍ෂිසමූහයා (ඒ මේ අත) නො හැසිරිනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1812. යම් උතුමකු උපදින කල්හි වාතස්ඛන්‍ධය නො හමා ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1813. යම් උතුමකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1814. යම් උතුමකු උපදින කල්හි සප්තපදවික්‍රමයෝ වූවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.