1666. (එසේ සමීපයට) එළඹ සිටියා වූ මහොත්තම වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ (දැක) බිළාලි අල ගෙණ පාත්‍රයෙහි බැහීමි.
1667. එකල්හි මහාවීර වූ බුදුරජානන් වහන්සේ මා සතුටු කරමින් වැළඳූ සේක. සර්‍වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මේ ගාථාව වදාළ සේක:
1668. “තෙපි සිය සිත පහදවා මට බිළාලි (අල) දුන්නහු ද (ඒ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො පැමිණෙන්නේ ය.”
1669. මෙයින් සූපණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් වූ සක්විති රජෙක් වී ය.
1670. මේ මාගේ අන්තිම (භව) ය වේ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම දේහය දරමි.
1671. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
බිළාලිදායකස්ථවිරාවදානය නවවැනි යි.
110. රේණුපූජක ස්ථවිරාවදානය
1672-1673. රන්වන් වූ සියක්රස් ඇති හිරු වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ වැනි වූ ද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක) නාමල් ගෙණ (එහි) රේණුවලින් විපස්සී බුදුරජානන් වහන්සේ පිදීමි.
1674. මෙයින් එක් අනූවන කපෙහි (යම් නාමල්) රොන් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1675. මෙයින් පන්සාළිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් වී ය.
1676. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රේණුපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
භික්ඛාදායී ඤාණසඤ්ඤදී - හත්‍ථිය පද පූජක මුට්ඨිපුප්ඵිඋදකද - නළමාලී උපට්ඨක බිළාලිදායී රෙණු යී - සසැටක් ගයින් බැඳියේ.
භික්ඛාදායිවර්‍ගය එකොළොස් වැනි යි.
12. මහාපරිවාර වර්‍ගය
111. මහාපරිවාර ස්ථවිරාවදානය
1677. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ එකල්හි අටසැටදහසක් භික්‍ෂූන් සමග බන්‍ධුම නගරයට පිවිසි සේක.
1678. නුවරින් නික්ම ද්වීප චෛත්‍යස්ථානයට ගියෙමි. (එහිදී) කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1679. අසූදහසක් අවශේෂ යක්‍ෂයෝ මා සමීපයෙහි තව්තිසාවැසි දිව්‍යසමූහයෝ ශක්‍රයාට මෙන් (මට) සකසා උවටැන් කෙරෙත්.
1680. මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්‍රයක් ද ගෙණ බුදුරජුන්ට හිස නමා වැන්දෙමි. එම වස්ත්‍රය ද දුනිමි.
1681. අහෝ! බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය ය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය ය. බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පිත වී ය.
1682. ආශ්චර්‍ය්‍යය වූ ලොමු දැහැ ගන්වනා වූ එම විස්මය දැක තාදි ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි.
1683. ඒ මම සිත පහදවා ශාස්තෲන් වහන්සේට වස්ත්‍රය පුදා ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සමග සරණගත ද වීමි.
1684. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුණ්‍යකර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1685. මෙයින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවාහන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1686. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාපරිවාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මහාපරිවාරස්ථවිරාවදානය පළමුවැනි යි.
112. සුමඞ්ගල ස්ථවිරාවදානය
1687. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි බුදුරජානන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගයක් වෙත එළඹි සේක.
1688. භාග්‍යවත් සර්‍වඥ තෙම (එහි) නා (පැන්) බී එයින් ගොඩ නැග (හඳනය පමණක් හැඳීමෙන්) එක සිවුර ඇත්තේ දිශානුදිශාවන් බලමින් එහි වැඩ සිටියේ ය.
1689-1690. (රුක් දෙවි වූ) මම භවනයෙහි හුන්නෙම් එකල්හි සූර්‍ය්‍යයා මෙන් බබලන ස්වර්‍ණයක් මෙන් දිලිසෙන ලෝකනායකයන් වහන්සේ දිටිමි. (දැක) සතුටු වූයෙම් සතුටු සිතින් අත්පොළසන් දිනිමි. (ඒ හේතුවෙන්) නෘත්‍යයෙහි ද, ගීතයෙහි ද, පඤ්චාඞ්ගිකතූර්‍ය්‍යයෙහි ද යෙදුනා වූ මම-
1691. දිව්‍ය වූ හෝ යලි මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් (යසසින්) සියලු සත්ත්‍වයන් ඉක්ම වමි. මාගේ යසස විශාල වේ.
1692. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. සර්‍වඥයන් වහන්ස! නුඹ වහන්සේ තමා තුටු කොට අනුනුදු තුටු කරණ සේක්වා.
1693. මනා ව්‍රත ඇත්තේ (තථාගතයන් වහන්සේ) පිරිවරා ගෙණ හිඳ (උන්වහන්සේ ද) සතුටු කොට මම බුදුරජානන් වහන්සේට උවැටැන් කොට තුසිත භවනයෙහි උපනිමි.
1694. මෙයින් එක්දහස් හයසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකවින්තිත නම් එකොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1695. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුමඞ්ගලස්ථවිරාවදානය දෙවැනි යි.
113. දුතියසරණගමනීය ස්ථවිරාවදානය
1696. දෙව්රජුන් දෙදෙනකුගේ සංග්‍රාමයක් එළඹ සිටියේ ය. (පෙරමුණෙහි) රැස් වූයේ විය. මහත් ඝෝෂාව ද පැවැත්තේ ය.
1697. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ තුන්ලෝ දත් ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ මහා ජනයා සංවේගයට පත් කළේ ය.
1698. එකෙණෙහි සියලු දෙවිවරු සතුටු වූවාහු බැහැර කරණ ලද යුදඇඳුම් හා ආයුධ ඇත්තාහු බුදුරජානන් වහන්සේට වැඳ එකඟව සිටියාහු ය.
1699. බුදුරජානන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. හට ගත් අනුකම්පා ඇත්තේ මහාජනයා (දුක්ගිනි හැර) නිවූ සේක. (කෙසේ ද? යත්:)
1700. එක ප්‍රාණියකු දු නසන්නා වූ ප්‍රදූෂ්‍ය සිත් ඇති මනුෂ්‍යතෙමේ එම ප්‍රදූෂ්‍යචිත්තය හේතු කොට ගෙණ අපායෙහි උපදී.
1701. යුදපෙරමුණෙහි බොහෝ ප්‍රාණීන් නසන්නා වූ ඇතකු මෙන් සිය සිත නිවවු. නැවත නැවත නො නසවු” (යි කියා යි).
1702. දෙ-යක් රජුන්ගේ ම සේනාවෝ විස්මයට පත්වූහ. තාදීගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණ කොට ගියහ.
1703. පසැස් ඇති බුදුරජ තෙම ජනසමූහයාට කරුණු අවබෝධ කරවා (පවින්) ගොඩ ගත්තේ ය. දෙවියන් විසින් බලනු ලබන්නේ ම උතුරුදිගට මුහුණ ලා වැඩියේ ය.
1704. පළමු කොට ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ සරණ ගියෙමි. (ඒ හේතුවෙන්) මම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියෙහි නූපන්මි.
1705. තිස්දහස්වන කපෙහි රාජ්‍යධුරවහනයෙහි ශ්‍රේෂ්ඨ වූ මහා දුන්‍දුභි නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1706. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක යි.
සරණගමනීයස්ථවිරාවදානය තෙවැනි යි.
114. ඒකාසනිය ස්ථවිරාවදානය
1707. එකල්හි නමින් වරුණ නම් වූ දිව්‍යරාජයෙක් ව මම බල වාහන සහිත ව බුදුරජුන් හට උවැටැන් කෙළෙමි.
1708. අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙණ උතුම් බෝරුක වෙත එළඹියෙමි.
1709. වාදිතයෙන් ද, නෘත්‍යයෙන් ද, කුළුතාලම් ආදියෙන් ද යුක්ත වූයේ බුදුරජානන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය වෙත එළඹි යෙමි.
1710. මම ඒ බෝධියට උවැටැන් කොට පලඟ බැඳ ගෙණ එහි කලුරිය කෙළෙමි.
1711. ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහි ද පැහැදුනේ එම පහන් සිතින් නිර්‍මාණරතී දෙව්ලොව උපන්නෙමි.
1712. මිනිසුන් අතුරෙහි ද දෙවියන් අතුරෙහි ද කුදුමහත් භවයෙහි (ඉපිද) පවත්නා වූ මා සැටදහසක් තූර්‍ය්‍යයෝ හැම දා පිරිවරත්.
1713. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සුබාහු නම් සූතිස් රජකෙනෙක් වූහ.
1714. මා විසින් ත්‍රිවිධාග්නීහු නිවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1715. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
එකාසනියස්ථවිරාවදානය සිවුවැනි යි.
115. සුවණ්ණපුප්ඵිය ස්ථවිරාවදානය
1716. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී භාග්‍යවත් තෙමේ වැඩහුන්නේ ජනසමූහයාට අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
1717. මම තාදිගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්‍මය අසා රන්මල් සතක් බුදුරජානන් වහන්සේට පිදීමි.
1718. එකල්හි යම් තාක් පිරිස වී ද, ඒ තාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්ධරශ්මිය ද ස්වර්‍ණරශ්මිය ද මිශ්‍ර ව ආලෝකය මහත් විය.
1719. ඔදවැඩි සිත් ඇති සොම්නස් සහිත වූ හටගත් සතුට ඇති ප්‍රීතිය උපදවන්නා වූ ඔවුනට මෙලොව සුව ගෙණ දෙන්නා වූ මම-
1720. බුදුරජානන් වහන්සේ අයැද මනා ව්‍රත ඇති උන්වහන්සේ වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. භවනයෙහි හුන් මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ තුෂිත භවනයෙහි උපන්මි.
1722. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1723. මෙයින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුවණ්ණපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
116. චිතකපූජක ස්ථවිරාවදානය
1725-1726. මම ඇමැතියන් සහිත වූයෙම් පිරිවරජනයා සමග වූයෙම් රාජායතනයෙහි වසමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් චිතකය වෙත ගියෙමි. එහි තූර්‍ය්‍යවාදනය කර සුවඳ මල් ඉස්සෙමි.
1727. මම සෑයෙහි පූජාව කොට චිතකය ද වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ස්වකීය භවනයට ගියෙමි.
1728. භවනයෙහි හුන්නා වූ මම චිතකපූජාව සිහි කෙළෙමි. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කුශලකර්‍මය හේතු කොට ගෙණ-
1729. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභව කොට ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1730. මෙයින් එක් තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාකය යි.
1731. මෙයින් එක් තිස්වන කපෙහි නමින් උග්ගත නම් වූ මහත් බල ඇති සොළොස්සක්විති රජකෙනෙක් වූහ.
1732. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජකස්ථවිරාවදනය සවැනියි.
117. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
1733. යම් කලෙක්හි විපස්සී බුදුරජතෙම ආයුඃසංස්කාරය අත්හළේ ද, (එකල්හි) සයුරු මෙවුල් කොට ඇති (සයුරෙන් වට වූ) පෘථිවිය කම්පිත වී ය.
1734. විසිතුරු මලින් සැරසූ මාගේ දිගුවිසල් භවනය ද තථාගතයන් වහන්සේගේ ආයුඃසංස්කාරය හරණා කල්හි කම්පිත වී ය.
1735. මාගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැණීම ද ඇති විය. කුමක් සඳහා ආලොකය මහත් වූයේ ද? උත්පාතය (=මහාභූතවිකාරය) වූ යේ ද?
1736-1737. වෛශ්‍රවණ තෙම මෙහි පැමිණ මහාජනයා සන්සිඳවී ය. (කෙසේ ද? යත්:) එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත. යම් බුදුකෙනෙකුන් උපදනා කල්හි මහාපෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය (කියායි).
1738. මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1739. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධසංඥාවක් (බුද්ධය යන හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (බුදුරජානන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙහි) මේ විපාකය යි.
1740. මෙයින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නමින් සමිත නම් වූ ප්‍රතාපවත් රජෙක් වීමි.
1741. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.