97. ලද දෙයින් සතුටු වන තැනැත්තේ ගැටුම් නැති ව හැසිරිය හැකි සිවු දිග ඇත්තේ නොහොත් සිව්දිගෙහි පැතිර වූ මෙත්සිත් ඇත්තේ කිසිවකු හා නො ගැටෙන්නේ වේ. (සිංහාදීන්ගෙන් හා කාමච්ඡන්‍දාදියෙන් ද වූ) කායචිත්ත උපද්‍රවයන් ඉවසන සුලු ව ලොමුදහගැණීම් නැත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
98. ඇතැම් පැවිද්දෝ ද යලි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමෙන් තෘප්ත කළ නො හැක්කෝ වෙත්. (ඒ ගතියට පිළිකුල් කරන්නේ) අන්‍යපුත්‍රයන් කෙරෙහි කළකිරුණේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
99. කොළ වැටුනු කොබෝලීලගසක් මෙන් (මාර්‍ග) වීර්‍ය්‍යයෙන් යුත් පුද්ගලතෙමේ (කෙස් රැවුල් ආදි) ගිහි ලකුණු හැරදමා කාමාදි ගිහිබැඳුම් සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
100. ධෛර්‍ය්‍යවත් වූ (අර්‍පණා-උපචාර-සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ස්ථානෝචිතප්‍රාඥමිත්‍රයකු ඉදින් ලැබේ නම්, සියලු කරදර මැඩ සිහියෙන් යුතු ව ඔහු සමග සතුටු ව හැසිරෙන්නේ ය.
101. ධෛර්‍ය්‍යයවත් වූ යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ප්‍රාඥමිත්‍රයකු ඉදින් නො ලැබේ නම්, යම් සේ රජතෙමේ ජයගත් රට (උවදුරු සහිත ය යි සිතා) හරණේ ද, එසේ ම මහ අරන්හි ඇත් රජකු මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
102. ඒකාන්තයෙන් මිත්‍රසම්පත්තියට පසසමු. තමාට වඩා ගුණධර්‍මයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූවෝ ද සම වූවෝ ද සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. නිවරදබොජුන් ඇත්තේ මෙබඳු මිතුරන් නො ලැබ (කුහන ලප නාදියෙන් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
103. රන්කරුවකු විසින් මැනවින් නිමා කළ දීප්තිමත් රන්වළලු (එක්තැන් වූ කල) දෑතෙහි ගැටෙන අයුරු ද (එසේ එක්තැන් නො වී වෙන ම පවත්නා කල නො ගැටී ශබ්දවිරහිත ව පවත්නා අයුරු ද) දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
104. මෙසේ දෙවැන්නකු සමග සල්ලාපයෙහි යෙදීම ද ඇලීම ද යන දෙක ම මතු (ඇති වන අධිගමයට අන්තරාය කර ය යි) මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
105. වස්තුකාමක්ලේශකාමයෝ විචිත්‍රයහ. මධුරයහ. සිත් අලවන සුල්ලහ. විවිධ ස්වභාව ඇති රූපයන්ගෙන් සිත කලඹත්. කාමගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
106. පඤ්වකාමය නොයෙක් ව්‍යසන එළවන්නකි. ක්ලේශාශුචි වැගිරෙන බැවින් ගඩෙකි. (අවැඩ සිදුකරණ බැවින්) උවදුරකි. (නීරෝග බව පැහැරගන්නා බැවින්) රෝගයකි (හදවත විදින බැවින්) උලකි. (දෙලොව භය උපදවන බැවින්) බියකි. කාමගුණයන්හි ඇති මේ බිය දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
107. සීතය ද උෂ්ණය ද බඩගින්න ද පවස ද අව් සුළං දෙක ද ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්‍පයන් ද යන මේ සියල්ල මැඩ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
108. මැනවින් හටගත් ග්‍රීවා ඇති ගෝමර ඇත්තා වූ උදාර වූ ඇත් රජෙක් හස්ති සමූහයා හැර දමා කැමැති තාක් කල් අරණෙහි වෙසේ ද, එමෙන් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
109. යමක් හේතු කොට ගෙණ ලෞකික සමාපත්තියට පැමිණේ නම්, ගණසඞ්ගණිකාවෙහි ඇලුනහුට ඒ සමාපත්තිය සිදු නො වේ. පසේ බුදුරජානන් වහන්සේගේ මේ වචනය අසා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
110. මිසදිටු නමැති හුල් ඉක්මවූයේ ගති නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්‍ග ද ඇත්තේ අනිකෙකුගේ මාර්ගෝපදේශකත්‍වයක් නො මැති ව ලබනලද ප්‍රත්‍යෙකබෝධිඥානය ඇත්තේ වෙම් ද, එහෙයින් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
111. ලොල් නො වූයේ කුහක නො වූයේ රසතෘෂ්ණා රහිත වූයේ ගුණමකු නො වූයේ නසනලද රාගාදි කසට හා මෝහ ඇත්තේ තුන්ලොව මැඩගෙණ සිටින තෘෂ්ණාවෙන් තොර වූයේ ව කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
112. අවැඩ දක්නාසුලු වූ කායදුශ්චරිතාදියෙහි යෙදෙන පවිටු මිතුරන් දුරු කරන්නේ ය. ඒ ඒ තන්හි ඇලුනා වූ ප්‍රමාදයෙන් යුත් එබඳු මිතුරන් තෙමේ නො සෙව්නේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
113. බහුශ්‍රුත වූ පැමිණ අධිගම ඇති වැටහෙනපැණැති උසස් මිතුරකු භජනය කරන්නේ ය. මෙලෝ පරලෝ වැඩ දැන සැක දුරු කොට සිටියේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
114. ලෙව්හි ක්‍රීඩාව ද රතිය ද කාමසුඛය ද නො සලකා හැර එහි අපේක්‍ෂා නැත්තේ සිරුර සැරසීමෙන් ද තොර වූයේ සත්‍යවාදී වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
115. තමතමනට අයත් අඹුදරුවන් ද දෙමාපියන් ද අධික ලෙසින් වූ ධනධාන්‍ය ද බන්‍ධූන් ද යන මේ කාමවස්තූන් හැර දමා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
116. “මේ පස්කම් සුවය ඇලෙන තැනකි. මෙහි ඇති සැපත ද ස්වල්ප ය. මෙහි ආස්වාදය ටික ය. දුක ම වැඩි ය. නුවණැත්තේ මෙය මත්ස්‍යයන් බඳින්නා වූ බිලියක් මෙනැ” යි සලකා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
117. දැල පළාගෙණ ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ, දැවීගිය තැන නො නැවතෙන ගින්න යම්සේ ද, එසේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
118. යටට හෙළන ලද බැලුම් ඇත්තේ ගණසඞ්ගණිකාවෙහි ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ රක්නා ලද පසිඳුරන් ඇත්තේ රැකගත් සිත ඇත්තේ අරමුණු විෂයෙහි කෙලෙස් වැගිරෙන ගතියෙන් තොර වූයේ කෙලෙස්ගින්නෙන් නො දැවෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
119. කොළ හැලුනු පරසතුරුකක් මෙන් ගිහිසලකුණු හැරදමා කසාවත් හැඳගත්තේ ගිහිගෙන් නික්ම කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
120. ලොල් නො වූයේ රසයෙහි ගිජුබවක් නැත්තේ පෝෂණය කළ යුතු අනිකෙකු නැත්තේ ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩිනේ ක්‍ෂත්‍රිය කුලාදි යම් කිසි තැනක කෙලෙස්වසයෙන් නො ඇලුනු සිත් ඇත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
121. පඤ්චනීවරණයන් සිතින් ම හැරදමා සියලු කෙලෙසුන් දුරු කොට දෘෂ්ටිනිශ්ශ්‍රිත නො වූයේ කාමරාගසඞ්ඛ්‍යාත තෘෂ්ණාදෝෂය සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
122. (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි දී ම දුක ද තෘතීයධ්‍යානෝපචාරයෙහි දී ම සුඛය ද හරණා බැවින්) පළමු කොට ම සැප ද දුක ද ගැණ නො බලා එසේ ම සොම්නස් දොම්නස් දෙක ද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්‍ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදු වූ උපේක්‍ෂාවෙන් යුත් (චතුර්‍ත්‍ථධ්‍යාන) සමථය ලබා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
123. නිවණට පැමිණීම සඳහා ඇරඹු වීර්‍ය්‍යය ඇත්තේ නො ම හැකුළුණු සිත් ඇත්තේ කුසීත පැවැත්මෙන් තොර වූයේ වීර්‍ය්‍යයෙන් ප්‍රතිපක්‍ෂ කෙලෙසුන් කෙරෙන් ඉවත් වූයේ (මාර්‍ගක්‍ෂණයෙහි) ස්ථිර කාය ශක්තියෙන් හා ඥානශක්තියෙන් ද යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
124. කායවිවේක චිත්තවිවේක දෙක සිස් නො කරණුයේ නිරතුරු ධර්‍මයනට අනුව හැසිරෙන්නේ ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
125. අප්‍රමාද වූයේ නිවණ පතනුයේ කෙළතොලු නො වූයේ බහුශ්‍රුත වූයේ සිහි ඇත්තේ අවබෝධ කරගන්නා ලද ධර්‍මය ඇත්තේ (ආර්‍ය්‍යමාර්‍ගයෙන්) ගතිනියත වූයේ සම්‍යක් ප්‍රදහන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
126. ශබ්දයන් විෂයයෙහි තැති ගැණිමකට පත් නො වන සිංහයකු මෙන් ද, දැලක නො බැඳෙන වාතය මෙන් ද, දිය නො තැවරෙණ පියුම් පතක් මෙන් ද වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
127. දාඨාබලය ඇති මෘගයන් බලාත්කාරකමින් මැඩපවත්වා හැසිරෙණ සුලු කේශර සිංහයෙකු මෙන් (ගමින්) දුර වූ සෙනසුන් සෙවුනේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
128. ප්‍රත්‍යනීක ක්ලේශයන්ගෙන් මිදුනා වූ මෛත්‍රිය ද, උපේක්‍ෂාව ද කරුණාව ද, මුදිතාව ද ඒ ඒ සුදුසු කල්හි සෙවුනේ සකල ලෝකවාසී සත්ත්‍වයන් සමග විරුද්ධ නො වන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
129. රාග ද්වේෂ මෝහයන් හැර (මාර්‍ගයෙන්) දශසංයෝජනයන් සිඳ මරණාසන්නයෙහි තැති නො ගන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
130. මිත්‍රයෝ කිසියම් ලාභයක් සඳහා ම යම් යම් අය භජනය ද සේවනය ද කෙරෙත්. එසේ ලාභාපෙක්‍ෂාවක් නො මැති ව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්‍ලභ වෙති. මිනිස්සු ආත්මාර්‍ත්‍ථකාමී කල්පනාවන් ගෙන් හා අපිරිසිදු කායවාඞ්මනඃ කර්‍මයන්ගෙන් යුක්ත වූවාහු ය. (එබැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
131. වෙසෙසින් පිරිසිදු සිල් ඇති එසේ ම අතිපරිශුද්ධ ප්‍රඥාව ද ඇති එකඟ සිත් ඇති නිදි වැරීමෙහි යෙදුනා වූ විදර්‍ශක වූ (දශකුශල චතුස්සත්‍ය නවලෝකොත්තර) ධර්‍මයන් වෙසෙසින් දක්නාසුලු වූ මාර්‍ගාඞ්ඟ බොද්ධ්‍යඞ්ගයන් හා එක් ව යෙදුනා වූ ආර්‍ය්‍යධර්‍මයන් විශේෂයෙන් දන්නාවූ,
132. සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත සඞ්ඛ්‍යාත විමෝක්‍ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්‍වඥශාසනයෙහි ශ්‍රාවක බවට නො පැමිණෙද්ද ඔහු පරෝපදේශ රහිත ව තුමූ ම (චතුස්සත්‍යය) අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
133. පුරණලද මහත් බෝධිසම්භාරධර්‍ම ඇති බොහෝ වූ ධර්‍මකාය සම්පත් ඇති සිතට අධිපති වූ සකල සංසාරඕඝය තරණය කළා වූ සොම්නස් සිත් ඇති පරමාර්‍ත්‍ථ ධර්‍මයන් දක්නාසුලු වූ සිංහයන් වැනි වූවෝ ද කඟවෙහෙණකුගේ අඟ වැනි වෙති.
134. සන්හුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති තමා තුළ ම ගැඹුරු වූ ප්‍රඥාවගේ පැතිරීම් ඇති (අනුන් ලවා චතුස්සත්‍ය ධර්‍මාවබෝධය කරවිය නො හැකි) (අන්‍යයන්ට) ප්‍රතිෂ්ඨාධාර වූ මෙ ලොව අන්‍යයන් පිණිස බබලන්නා වූ මේ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.
135. ජනෙන්‍ද්‍ර වූ ප්‍රහීණ කරණලද සියලු නීවරණ ඇත්තාවූ ගනරන් පැහැ ඇත්තාහු ලෝකයාට අසහාය ප්‍රදීප වූවෝ වෙති. නිසැක ව ම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්‍ෂිණාර්‍හ වූ ඒ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.
136. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එ ම ධර්‍මය අසා ඒ වූ පරිදි නො කෙරෙත් නම්, ඔහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
137. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නා වූ මීවද වැනි ය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම්, ඔහු තුමූ චතුස්සත්‍යය දක්නා වූ සප්‍රාඥයෝ වෙති.
138. ගෘහාභිනිෂ්ක්‍රමණය කොට කෙලෙසුන් දිනූ පසේ බුදුවරයන් විසින් වදාළා වූ ගාථාවෝ උදාර වෙති. ශාක්‍යසිංහ ගෞතම බුදුරජුන් වහන්සේ විසින් ඒ ගාථා (ලෝකයාගේ) ධර්‍මාවබෝධය පිණිස දේශනා කරණ ලද හ.
139. ඒ පසේබුදුවරයන් විසින් දේශනා කරණලද මේ ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නො ඇලීම ද ඉතා වැඩීම පිණිස ස්වයම්භූ ශ්‍රේෂ්ඨ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලදහ.
ප්‍රත්‍යෙකබුද්ධාවදානය සමාප්තයි.
3.
යලි ස්ථවිරාවදානය අසවු.
1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය
140. හිමවතට නුදුරෙහි ‘ලම්බක’ නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී පර්‍ණශාලාවක් (=පන්සලක්) ද මැනවින් මවන ලදි.
141. නො ගැඹුරු ඉවුරු ඈති මනා වූ කුඩා තොටුපළවල් ඇති මනෝඥ වූ සුදෝසුදුවැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි වි ය.
142. බොරළු රහිත වූ ගැඹුරු ඉවුරු නැති මිහිරි ජලයෙන් යුත් දුර්‍ගන්‍ධ විරහිත වූ කුඩා ගඟ එහි මාගේ අසපුව හොබවමින් ගලා බසී.
143. කිඹුල්ලු ද මෝරු ද ගැටකිඹුල්ලු ද කැසුබුවෝ ද එහි වූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි හැසිරෙත්.
144. පෙටියෝ ද ලූල්ලු ද වලයෝ ද මොද්දු ද රෙහෙරු ද මගුරෝ ද (යන මත්ස්‍යයෝ) පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
145. එ ම ගඟ දෙපසෙහි (හැම කල්හි) මල් පිපුනා වූ ද පල ගත්තා වූ ද වෘක්‍ෂයෝ දෙතෙරෙහි නැමුනාහු මාගේ අසපුව හොබවත්.
146. අඹ සල් මදට පළොල් නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු මාගේ අසපුවෙහි හාත්පස දිව්‍යමය සුවඳ පතුරුවත්.
147. පිපුනු මල් ඇති සපු සලල කොළොම් නා දොඹ වැටකේ යන මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හාත්පස දිව්‍යමය සුවඳ වහනය කරත්.
148. මාගේ අසපුවෙහි යොහොඹු වැල් ද හෝපලු රුක් ද භගිනිමාලා නම් වෘක්‍ෂයෝ ද මල් පිපී ගියාහු ය. එසේ ම රුකඟුණු රත්කරවු යන වෘක්‍ෂයෝ ද සුපුෂ්පිත වූවාහු ය.
149. වැටකේ කඳල ගෝධුක බෝලිද්ද යන මොහු ද මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
150. කිණිහිරි ය සිහින් මිදි ය පියා ය කුඹුක් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
151. දොඹ ය ගල්දොඹ ය කොබෝලීල ය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිවසුවඳ වහනය කරත්,
152. ඇසල ය කෙළිඳ ය කොළොම් ය මුහුනමල් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
153. ආළක ය ඉසිමුග්ග (වනමුං) ය කෙසෙල් ය ලප්නාරං ය යන මේ ගස් සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
154. (අසපුව අසල වූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කේසරපද්මයෝ හටගණිත්. ඇතැම් පිපුනු පද්මයෝ ගිලිහුනු පත් හා කෙසරු ඇත්තෝ වෙත්.
155. පද්මයෝ කැකුළු ව හට ගණිත්, නෙළුඹුඅල (මඩ අතුරින් ඇත්දළ මෙන්) වැඩී යෙත්. පත්‍ර ගැවසුනු ‘සිඞ්ඝාටක’{*} නම් පැළෑටි හැමකල්හි එ ම විලෙහි බබලත්.
156. විල අසල පිරීගිය නයිත ය, ආම්‍රගන්‍ධි ය, උස් වූ බඳුවද ය යන මේ ගස්හු හැම කල්හි දිවසුවඳ හමවත්.
157. පෙටියෝ ය, ලූල්ලු ය, වලයෝ ය, මොද්දු ය, රෙහෙරු ය, අඟුලුවෝ ය, මගුරෝ ය යන මත්ස්‍යයෝ ද හැම කල්හි තඩාගයෙහි වසත්,
158. කිඹුලෝ ය, සුංසුමාරයෝ ය, තන්තිගාහයෝ ය, රක්ඛසයෝ ය, ඔගුහයෝ ය, අජගරයෝ ය යන මොවුහු හැම කල්හි මෙම තඩාගයෙහි වසත්,
159. පරෙවියෝ ය, රවිහංසයෝ ය, සක්වාලිහිණියෝ ය, නදීචරයෝ ය, කොකිලයෝ ය, ගිරවු ය, සැළලිහිණියෝ ය යන මේ පක්‍ෂීහු ඒ පිල ඇසුරෙන් ජීවත් වෙති.
160. වලිකුකුළෝ ය, රන්වන් කකුළුවෝ ය, පියුම් වෙනෙහි විල්ලිහිණියෝ ය, කිරල්ලු ය, ගිරාමලිත්තෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
161. හංසයෝ ය, කොස්වා ලිහිණියෝ ය. මොනරු ය, කොවුලෝ ය, කුකුළෝ ය, හුණපුපුලෝ ය, ජීවඤ්ජීවයෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
162. බකමුහුණෝ ය, පොට්ඨසීසයෝ ය, කබරුස්සෝ ය, උකුස්සෝ ය, මහාකාලයෝ ය යන බොහෝ පක්‍ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
163. තිත්මුවෝ ය, වල්ඌරෝ ය, වෘකයෝ ය, සිවල්ලු ය, රේරුමුවෝ ය, සුග්ගපොතයෝ ය යන බොහෝ මෘගයෝ එම පිල ඇසුරු කොට ජීවත් වෙති.
164. සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, කර බානා වලස්සු ය, තෙතැනකින් මද වැහෙන ඇත්තු ය යන මොහු ඒ විල ඇසුරු කොට වෙසෙත්.
165. කිඳුරෝ ද, වඳුරෝ ද, තවද වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝ ද, දාසයෝ ද, වැද්දෝ ද එම විල ඇසුරු කොට වෙසෙත්.
166. තිඹිරි ය, පියල් ය, මීගස් ය, ඇද්දෙමට ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරු ව ඵල දරත්.
167. මිහිරි ඵලයන්ගෙන් යුත් කොසුම්භ ය, සලල ය, බක්මී ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරු ව ම ඵල දරත්.
168. අරළු ය, නෙල්ලි ය, අඹ ය, ජම්බු ය, බුළු ය, ඩෙබර ය, බදුලු ය, බෙලි ය යන මෙකී වෘක්‍ෂයෝ ඵල දරති.
169. ආලු ය, කලම්බ ය, බීළාලී (කිරිබදු) ය, තක්කල ය, ජීවක ය, සුතක ය යන බොහෝ අලවර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.
170. අසපුවට නුදුරෙහි මැනවින් මැවූ පිරිසිදු සිසිල් දියඇති මනා තොටින් යුත් මනහර වූ තඩාගයෝ වූහ.
171. සුදුනෙළුම් රතුනෙළුම් හා උපුල් මලින් අනාකුල වූ තඩාගයන්ගෙන් දිවසුවඳ හමයි.
172. මෙසේ සුපුෂ්පිත වූ ඵල දැරුවා වූ සර්‍වාඞ්ගසම්පූර්‍ණ වනයෙහි මැනවින් කරණලද රම්‍ය වූ ආශ්‍රමයෙහි මම එකල්හි වෙසෙමි.
173. සිල්වත් වූ ව්‍රතසම්පන්න වූ ධ්‍යාන කරණසුලු වූ හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ පඤ්චාභිඥා බලයට පැමිණියා වූ ‘සුරුචි’ නම් තවුසෙක් වීමි.
174. සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත් කීර්‍තතිමත් බ්‍රාහ්මණයෝ වූහ.
175. නිඝණ්ඩු කෙටුභ සහිත අඞ්ගලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද, වේදත්‍රයයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද, පරතෙරට ගියාහු වෙදපදපාඨකයෝ වූහ. එසේ ම ව්‍යාකරණයෙහි ද දක්‍ෂයෝ වූහ.
176. උල්කාපාත භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාතශාස්ත්‍රයෙහි ද, ශුභාගුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහි ද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන් ගේ ලකුණු දන්නා ශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූවාහු ය. එසේ ම පෘථිවිය පිළිබඳ වූ ද අහස පිළිබඳ වූ ද ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්‍ෂයෝ වූහ.
177. අල්පෙච්ඡ වූ අල්පාහාර වූ ලොල්බව නො මැති මුහුකුරා ගිය නුවණැති ඔහු ලාභ අලාභ දෙකින් ම එක සේ සතුටු වූවාහු හැම කල්හි මා පිරිවරත්.
178. ධ්‍යාන වඩන්නා වූ ධාන්‍යායෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යසම්පන්න වූ ශාන්ත වූ එකඟ වූ සිත් ඇති අකිඤ්චනභාවය (පළිබෝධ විරහිත බව) කැමැති වන්නා වූ ඒ තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
179. පඤ්චාභිඥාවන්හි පරතෙරට පත් පරම්පරානුගත ගෝචරයෙහි ඇලුනාවූ අහසින් යාම ඊම් කරන්නා වූ ස්ථිරගති ඇති එම තවුසෝ හැමකල්හි මා පිරිවරත්.
180. සදොර සංවරණය කරගත් තෘෂ්ණාවෙන් තොර සුරැකි ඉඳුරන් ඇති ගිහියන් සමග නො ගැටෙන ධෛර්‍ය්‍යවත් ඒ මාගේ ශිෂ්‍යයෝ ලං විය නො හැක්කෝ වෙත්.
181. දුරාසද වූ ඒ මාගේ ශිෂ්‍යයෝ පලඟ බැඳීමෙන් ද, හිඳීමෙන් ද, සිටීමෙන් හා සක්මන් කිරීමෙන් ද රාත්‍රිය ගෙවත්.
182. ලං විය නොහැක්කා වූ මාගේ ඒ ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නො ඇලෙත්. ගැටිය යුතු දෙයෙහි නො ගැටෙත්. මුළා විය යුතු දෙයෙහි මුළා නො වෙත්.
183. ඉදුහබල ආදියෙන් කිසිවෙකු විසිනුත් ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ නිරතුරු ව ම විකුර්‍වණඍද්ධිය විමසමින් පවතිත්. පෘථිවිය ද කම්පා කෙරෙත්.
184. ඒ මාගේ ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම්, ධ්‍යානක්‍රීඩාව ම කෙරෙත්. දුරාසද වූ ඔහු මහ දඹ රුකෙන් ගෙඩි ගෙණෙත්.
185. ලං විය නොහැක්කා වූ ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් ප්‍රත්‍යය සෙවීම පිණිස අපරගෝයානයට යෙත්. ඇතැම් කෙනෙක් පූර්‍වවිදෙහයට ද ඇතැම් කෙනෙක් උතුරුකුරුදිවයිනට ද යෙත්.
186. අහසින් යන්නා වූ මාගේ ශිෂ්‍යයෝ පළමු කොට (පිරිකර) කද යවති. ඔහු පසු ව යෙත්, සූවිසිදහසක් වූ ඔවුන් විසින් අහස්තලය වසන ලද්දේ වේ.
187. ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් (ඵලාඵලපත්‍රාදිය) ගින්නෙන් පිස කති. ඇතැම්හු නො පිසා අමුවෙන් ම කති. ඇතැම්හු දත්වලින් ම පොතු ගලවා කති. කිසිකෙනෙක් ගලින් කොටාගෙණ කත්. ඇතැම්හු ස්වයංපතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.
188. ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ ශුද්ධිය කැමැති වන්නාහු දියෙන් තමා තෙමීම කරන්නාහු උදැහැන ද සවස ද දියෙහි ගිලෙති.
189. දුරාසද වූ මාගේ ශිෂ්‍යයෝ දික් වූ කිසිලි ලොම් හා නිය ඇත්තාහු මල බැඳුනු දත් ඇත්තාහු දූලි වැකුනු හිස් ඇත්තාහු සීලසුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූහ.
190. එකල්හි උග්‍රතපස් ඇති ජටාධර වූ තවුසෝ උදෑසන ම රැස් ව (ඔවුනට ලැබුනු) කුදුමහත් ලාභයන් ගැණ කථා කොට අහසෙහි යෙති.
191. එසේ යන්නා වූ මොවුන්ගේ (වැහැරි සිවුරුවලින් හටගත්) මහා ශබ්ද පවතී. අඳුන් දිවිසම්හඬින් දෙවියෝ සොම්නස් වූවාහු වෙති.
192. අහසෙහි හැසිරෙන්නා වූ එම ඍෂීහු දිසානුදිසාවන්ට ගමන් කෙරෙති. ස්වකීය ශරීරබලයෙන් හා ධ්‍යානබලයෙන් යුත් ඔහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම්, ඒ ඒ තැනට ම යෙති.