1466. එකල්හි මාගේ හිස මත සෙනක් වැටින. ඉක්බිති මැරෙණ කල්හි ද මම නැවත ඇඳිලි කෙළෙමි.
1467. මෙයින් දෙයානූවන කපෙහි එකල්හි යම් ඇඳිලි (බැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඤ්ජලිකර්‍මයාගේ මේ විපාකය යි.
1468. සූපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විතිරජෙක් වීමි.
1469. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඨිතඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ඨිතඤ්ජලියස්ථවිරාවදානය නවවැනියි.
80. තිපදුමිය ස්ථවිරාවදානය
1470. සියලු ධර්‍මයන්ගේ පරතෙරව ගිය දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ නුවරින් නික්මුනු සේක.
1471. එකල්හි මම හංසවතීනගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (මල් රැසෙහි) උතුම් මල් වී ද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත්) මල් තුණක් ඇරගතිමි.
1472. අතුරු අවුණෙහි පෙරමගට එන කෙලෙස් රජස් විරහිත බුදුරජානන් වහන්සේ දිටිමි. එකල්හි ඒ මම බුදුරජානන් වහන්සේ දැක මෙසේ සිතීමි:
1473. “රජුට පිරිනමනලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජන ද? ඉදින් ප්‍රයෝජනයක් වතොත් මම ගමක් හෝ ග්‍රාමක්‍ෂේත්‍රයක් හෝ ලබන්නෙමි.
1474. නොදැමුනවුන් දමනය කරන්නාවූ ප්‍රාඥ වූ සියලු සතුනට සැප එළවන්නා වූ බුදුරජානන් වහන්සේ (මේ මලින්) පුදා අමෘතධනය (=නිවණ) ලබන්නෙමි” යි කියා යි.
1475. මම මෙසේ සිතා සියසිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුණක් ගෙණ අහසෙහි දැමීමි.
1476. මා විසින් උඩට ඉසිනලද කෙණෙහි ඒ කුසුමයෝ අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහි වූ එහි නැටි උඩුකුරු ව මල් අධෝමුඛ ව අහසෙහි නැවතුනාහු ය
1477. යම් කිසි මිනිස් කෙනෙක් එය දැක (සිටියාහු ද ඔහු) ප්‍රීතිඝෝෂා පැවැත්වූවාහු ය. (එසේ ම) අහසෙහි දෙවියෝ ද, සාධුනාද පැවැත්වූහ.
1478. “බුදුරජානන් වහන්සේගේ බලයෙන් ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය වූ දෑ පහළ විය. අපි සියල්ලෝ (උන්වහන්සේට ඒ) මල්පිදීමේ බලයෙන් ධර්‍මය අසන්නෙමු” ය කියායි.
1479. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන් රැස් වීමට ගෙයක් වැනි වූ වීථියෙහි වැඩසිටි ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක:
1480. “යම් ඒ මාණවකයෙක් තෙම රත්පියුම්වලින් බුදුරජානන් වහන්සේ පිදී ද, මම හේ කවරෙක් දැයි ප්‍රකාශ කරන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
1481. මෙතෙම කප් තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
1482. එකල්හි තුන්සියක් යොදුන් උස ඇති එක්සියපණස් යොදුන් පුළුල ඇති මහාවිත්‍ථාරික නම් (සඳලුසහිත) විමනෙක් පහළ වන්නේ ය.
1483. එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්‍ෂයක් වෙති. කුළුගෙවලින් යුක්තයහ. මහාසයනයන්ගෙන් නිමවන ලදහ.
1484. නෘත්‍යගීතයන්හි දක්‍ෂ, වාදනයෙහි ද හුරුපුරුදු කෙළලක්‍ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහු ය.
1485. දිව්‍යාප්සරා සමූහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැම කල්හි දිව්‍යමය වූ ලෙහෙවන් මල්වැසි වසී.
1486. එකල්හි බිත්තියෙහි වූ ඇණවල ද නාදැතිවල ද උළුවසුවල ද තොරන්හි ද චක්‍රප්‍රමාණ වූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහු ය.
1487. එකල්හි මල් පෙත්තෙන් පෙත්ත වැසෙන සේ වූ මේ විමානය තුළ (ඒ මලින් ම කළ ඇතිරි) අතුරා (පොරෝණා) පෙරොවා හෝනාහු ය.
1488. භවනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෝ දිවසුවඳ පතුරුවත්.
1489. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
1490. (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට උවදුරු රහිත වූයේ උපද්‍රව නැත්තේ පශ්චිමභවය පැමිණි කල්හි නිවන පහස්නේ ය - අවබෝධ කරන්නේය” කියායි.
1491. මා විසින් බුදුරජානන් වහන්සේ මැනැවින් දක්නාලදී. වණික් කර්‍මය මැනැවින් යොදන ලදී. තුන්පියුමක් පුදා දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ යන ත්‍රිවිධසම්පත්තිය අනුභව කෙළෙමි.
1492. අද නිර්‍වාණධර්‍මයට (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) පැමිණියා වූ සර්‍වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනා වූ මාගේ හිස මතුයෙහි මැනැවින් පිපුනු ලෙහෙවන් පියුමක් පවත්නේ ය.
1493. පදුමුත්තර බුදුරජහු මාගේ කර්‍මය ප්‍රකාශ කරන කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.
1494. මෙයින් සියක්දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියුම් තුණ පිදීමේ මේ ප්‍රතිථලය යී.
1495. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
1496. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තිපදුමියස්ථවිරාවදානය දසවැනි යි
උද්දානය:
නාගසමාල පදසඤ්ඤන - බුද්ධසඤ්ඤක ආලුවදායක, ඒකසඤ්ඤ තිණදද - සූචි පාටලීපුප්ඵිය, ඨිතඤ්ජලී තිපදුමී වත්දස - පන්සැත්තෑ ගයෙක් වේ.
නාගසමාලවර්‍ගය අටවැනි යි.
9. තිමිර වර්‍ගය
81. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
1497. මම චන්‍දභාගා නදීතීරයෙහි යටිහොයට (=ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගණිමින්) යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නො කැළඹුනු සිත් ඇති බුදුරදුන් දැක-
1498. මම එහි සිත පහදවා මෙසේ සිතීමි: “මේ (සර්‍වඥ) තෙම (සසරසයුරින්) එතෙර වූයේ (සෙස්සන් ද) එතෙර කරවන්නේ ය. මේ (සර්‍වඥ) තෙමේ දාන්ත වූයේ (සෙස්සන් ද) දමනය කරන්නේ ය.
1499. තෙමේ අස්වැසුනේ (සෙස්සන් ද) අස්වසන්නේ ය. තෙමේ ශාන්ත වූයේ (සෙස්සන් ද) ශාන්ත කරන්නේ ය. තෙමේ මිදුනේ (සෙස්සන් ද) මුදවන්නේ ය. තෙමේ නිවුනේ (සෙස්සන් ද) නිවණට පමුණුවන්නේ ය” කියායි.
1500. මම මෙසේ සිතා සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට තිමිරමල් (=විහිදි නිල් රැසින් වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්‍ගයක්) බුදුරජානන් වහන්සේගේ මත්තෙහි විසිරවීමි.
1501. ඇඳිලි බැඳ පැදකුණු කොට බුදුරජානන් වහන්සේගේ ශ්‍රී පාදයන් වැඳ බටහිරදිගට ගියෙමි.
1502. නොබෝ වේලාවක් ගියා වූ මා සිංහයෙක් පෙළී ය. මම ප්‍රපාතය අනු ව යන්නෙම් එහි ම වැටුනෙමි.
1503. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1504. සපණස්වන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් මහත් බල ඇති සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
1505. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තීමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තීමිරපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
82. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
1506. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. පැහැදුනු සිතින් (යුතු ව) ශාස්තෲන් වහන්සේගේ ශ්‍රීපාදයන් වැඳීමි.
1507. මම අනන්තගුණසාගරයක් වූ තිස්ස බුදුරජානන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි හටගත්{*}) නාඞ්ගලිකී පුෂ්ප (ලාඞ්ගලිකී = ලියනඟලා මල්) සතක් අහසෙහි දැමීමි.
1508. සතුටු සිත් ඇත්තෙම් බුදුරජුන් විසින් අනුගමනය කළ ආර්‍ය්‍ය මාර්‍ගයට පහන්සිත් ඇත්තෙම් පුදා සියතින් ඇඳිලි කෙළෙමි.
1509. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1510. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිසිඛ නම් සක්විතිරජවරු තිදෙනෙක් වූහ.
1511. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ගතසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි
83. නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය
1512. මම (රුක්ඛමූලිකඞ්ගය සමාදන් ව) රුක්මුල්හි හුන්නෙම් තදින් රෝගී වූයෙම් මහවෙනෙහි අතිශය දුඃඛිතභාවයට පත්වූයෙම් වෙමි.
1513. තිස්ස බුදුරජානන් වහන්සේ අනුකම්පා උපදවා මා වෙත එළඹිසේක. මම වැදහොත්තේ ම සිරසෙහි ඇඳිලි කොට-
1514. පහන්සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සියලු සත්නට උතුම් වූ බුදුරජානන් වහන්සේ වැඳ මම එහි කලුරිය කෙළෙමි.
1515. මෙයින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තම වූ සර්‍වඥ කෙනෙකුන් වැන්දෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධවන්‍දනාවෙහි මේ විපාකය යි
1516. මෙයින් පස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහාසිඛ නම් වූ සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1517. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය තෙවැනි යි.
84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය
1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහානුභාව ඇති ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ප්‍රසිද්ධ භික්‍ෂු තෙමේ හිමවතට එළඹියේ ය.
1519. එකල්හි මම අප්‍රාමාණ්‍ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්‍රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.
1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.
1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්‍රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.
1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්‍යකර්‍මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.
1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1525. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
85. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1526. මම පෙර හිමවත්පව්වෙහි වාසය කෙළෙමි. අඳුන්දිවිසම් උතුරුසළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
1527. සියගණන් රැස් ඇති හිරු වැනි වූ පිපුනු සල්රුකක් වැනි වනගත වූ ස්වර්‍ණවර්‍ණ ඇති බුදුරජානන් වහන්සේ දැක -
1528. ඒ විපස්සී බුදුරජානන් වහන්සේ ගේ රශ්මියෙහි සිත පහදවා මම ඇඳිලි බැඳ උක්කුටික ව හිස නමා වැන්දෙමි.
1529. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්‍ය) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රශ්මිසංඥාවෙහි (පැහැදී පිදීමේ) මේ විපාකය යි.
1530. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
රංසිසඤ්ඤකස්ථිවිරාවදානය පස්වැනි යි.
86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1531. වැහැරි සිවුරු දරන්නා වූ මම හිමවත්පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණ ලා හුන්නෙමි.
1532. එකල්හි හිමවත්පව්වෙහි දී ධ්‍යානයෙහි ඇලුනා වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක ඇඳිලි බැඳ (බුදු) රැස්හි සිත පැහැදවීමි.
1533. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි (බුද්ධරශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධ) රශ්මිසංඥාවෙහි (සිත පැහැදවීමේ) මේ විපාකය යි.
1534. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය සවැනි යි.
87. ඵලදායක ස්ථවිරාවදානය
1535. කුර සහිත අඳුන්දිවිසම් දරන්නා වූ මම පලතුරු ගත් අත් ඇත්තෙම් හිමවත්පව්වෙහි දී ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක පලතුරු දිනිමි.
1536. මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
1537. මෙයින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරුදානයාගේ මේ විපාකය යි.