68. අම්බදායක ස්ථවිරාවදානය
1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.
1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.
1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.
1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.
1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)
1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.
1408. සත්දහස්සත්සියවන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
1409. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අම්බදායකස්ථවිරාවදානය අටවැනියි.
69. සුමන ස්ථවිරාවදානය
1410. මම එකල්හි නමින් සුමන නම් වූ මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙලෙස් රජස් රහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නෙහොත් පූජාවනට ගෙයක් වැනි වූ සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි.
1411. දෝතින් උතුම් සමන් මල් ගෙණ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1412. මේ මල්පූජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1413. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1414. සවිසිවන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
1415. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුමනස්ථවිරාවදානය නවවැනියි.
70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන් ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
1419. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
1421. තිස්කපක් සම්පූර්‍ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1422. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සකචින්තිය ආවොපුපඵිය - පච්චාගමනීය ද, පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්‍ථදායකය, අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
සකවින්තනියවර්‍ගය සත්වැනියි.
8. නාගසමාල වර්‍ගය
71. නාගසමාල ස්ථවිරාවදානය
1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.{*}
1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.
1426. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
නාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.
72. පදසඤ්ඤක ස්ථවිරාවදානය
1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.
1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්‍රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.
1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.
1430. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.
73. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
1431. ගසක් මුදුනෙහි ලැගුනු බුදුරජානන් වහන්සේගේ පවුල් සිවුර දැක ඉක්බිති එයට ඇඳිලි බැඳ මම ඒ පවුල්සිවුර වැන්දෙමි.
1432. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ය යන හැඟීමෙහි මේ විපාකයයි.
1433. මෙයින් සිවුවැනි කපෙහි සිවුමහ සයුර කෙළවර කොට ඇති පොළවට අධිපති වූ සතුරුරජුන් ජයගත්තා වූ මහත් බලඇති දුමසාර නම් සක්විති රජෙක් වී ය. (=වීමි)
1434. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
බුද්ධසඤ්ඤකස්ථවිරාවදානය තෙවැනියි.
74. භිසාලුවදායක ස්ථවිරාවදානය
1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).
1439. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
භිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.
75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්‍රශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්‍ෂාවක් දෙනලදී.
1441. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකය යි.
1442. මෙයින් සතළිස්වන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය (=වීමි).
1443. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ඒකසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනියි.
76. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
1444. හිමවතට නුදුරු තන්හි පියුම්මලින් ගැවසීගත් නානා පක්‍ෂින්හට වාසස්ථාන වූ මහාජාතස්සරයක් (ඉබේ හට ගත් මහවිලක්) විය.
1445. මම (තවුසෙක්ව) ඒ විලෙහි නා පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහි දී) අහස්මගෙහි යන ශ්‍රමණයනට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1446. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩසිටි සේක.
1447. මම අඟකින් තෘණ (කපා) ගෙණ නිසීදනයක් (තණඇතිරියක් කොට) දිනිමි. තිස්ස බුදුරජානන් වහන්සේ එහි වැඩහුන් සේක.
1448. සිය සිත පහදවා ලෝකනායක වූ බුදුන් වැන්දෙමි. (ඉක්බිති) මහාමුනීන් වහන්සේ සිහි කරමින් (සිරුරෙන්) හැකිළුනෙම් පසුබැස ගියෙමි.
1449. එම චිත්තප්‍රසාදය හේතු කොටගෙන මම නිර්‍මාණරති දෙව් ලොව උපනිමි. දුගතියක් නො දනිමි. මෙය තණඇතිරිය පිදීමේ විපාකයයි.
1450. මෙයින් දෙවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිග නම් සක්විතිරජෙක් විය.
1451. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණ්ණසන්‍ථරදියක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තිණ්සන්‍ථරදායකස්ථවිරාවදානය සවැනියි.
77. සුචිදායක ස්ථවිරාවදානය
1452. තිස්දහස්වන කපෙහි උතුම් දෙතිස් මහපුරිස්ලකුණු ඇති නමින් සුමේධ නම් වූ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
1453. තාදිගුණ ඇති කසුන්වන් වූ ද්විපදෙන්‍ද්‍ර වූ ඒ බුදුරජානන් වහන්සේ ට සිවුරු මසනු පිණිස මා විසින් හිදි (කටු) පසක් දෙනලදි.
1454. ඒ හිදිකටුදන හේතු කොට ගෙන ම සියුම් අර්‍ත්‍ථයක් විශේෂයෙන් දක්නා සුලු වූ තියුණු වූ ශීඝ්‍ර වූ පහසු වූ නුවණ මට උපන්නේ ය.
1455. සත්රුවනින් යුත් මහත් බල ඇති ද්විපදාධිපති නම් වූ සිවුරජ කෙනෙක් වූහ.
1456. මාගේ කෙලෙස් දවනලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි පශ්චිමශරීරය දරමි.
1457. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූවිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සූවිදායක ස්ථවිරාවදානය සත්වැනියි.
78. පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය
1458. එකල්හි මම සියුමැලි වූ සුව සේ වැඩුනු සිටුපුත්‍රයෙක් වීමි. පළොල්මලක් ඔඩොක්කුවෙහි ලා එය ගෙණ ගියෙමි.
1459-1460. අතුරු අවුණෙහි (වීථියෙහි) වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස්ලකුණු ඇති නරශ්‍රේෂ්ඨ වූ (අනාථ) නාථ වූ සියල්ල අවබෝධ කළ තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් ඒ මලින් පිදීමි. උන්වහන්සේට නමස්කාර ද කෙළෙමි.
1461. එකල්හි මෙයින් දෙඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
1462. මෙයින් තෙසැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විතිරජෙක් වීමි.
1463. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පාටලිපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
79. ඨිතඤ්ජලිය ස්ථවිරාවදානය
1464. මම පෙර මහවනයෙහි මුවවැද්දෙක් වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
1465. නුදුරු තන්හි සිය පන්ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.