Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 1501-1600 න් 9627

1329. එහි පියුම් පත් ගැණ (එම පත් ගණනින්) සක්විතිරජ වන්නේ ය. එකල්හි අහසින් මල්වැසි වසින්නේ ය.
1330. (මෙයින්) කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
1331. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ඖරස බුද්ධපුත්‍ර වූයේ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූයේ සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දැන) දුරු කොට ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
1332. සිහිනුවණින් යෙදී මවුකුසින් බිහි ව උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි මම රහත් බවට පැමිණියෙමි.
1333. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදුමස්ථවිරාවදානය නවවැනි යි.
60. අසනබෝධිය ස්ථවිරාවදානය
1334. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම (තිස්ස) බුදුරජානන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1335. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් (උන්වහන්සේගේ පියාබෝරුකින් ඵලයක් ගෙණ) උතුම් බෝධියක් රෝපණය කෙළෙමි.
1336. එය නමින් අසන (=පියා) නම් වූ බෝධිවෘක්‍ෂය යි. ඒ උතුම් බෝරුක පස්වසක් පරිවරණය (=පෝෂණය) කෙළෙමි.
1337. ආශ්චර්‍ය්‍ය වූ ලොමුදහගන්වන්නා වූ පිපුනු පියාබෝරුක දැක ස්වකීයකර්‍මය ප්‍රකාශ කරන්නෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1338. එකල්හි සියල්ල තෙමේ ම දැනගත්තා වූ අග්‍රපුද්ගල වූ ඒ තිස්ස සර්‍වඥ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළසේක:
1339. “යමෙකු විසින් මෙ ම බෝධිය රෝපණය කරණ ලද ද, බුද්ධ පූජාව මැනැවින් කරණ ලද ද, මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. එය ප්‍රකාශකරන්නා වූ මාගේ වචනය අසවු:
1340. හෙතෙම තිස්කපක් දෙවියන් අතුරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේ ය. සූසැටවරක් සක්විතිරජ වන්නේ ය.
1341. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තුෂිත දෙව්ලොවින් ච්‍යුත ව දිව්‍යමනුෂ්‍ය සම්පත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේ ය.
1342. වීර්‍ය්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙම සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
1343. විවේකයෙහි යෙදුනු උපශාන්ත වූ උපධි රහිත වූ මම හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
1344. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි මම ඒ පියා බෝධිය රෝපණය කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිරෝපණයෙහි මේ විපාකය යි.
1345. මෙයින් සූසැත්තෑවන කපෙහි වූ එකල්හි සත්රුවනින් යුත් දණ්ඩසේන නම් සක්විතිරජෙක් වීමි.
1346.මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ සමන්තනෙමි නම් වූ සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
1347. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුණ්ණක නම් සක්විතිරජෙක් වීමි.
1348. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසනබෝධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අසනබෝධිය ස්ථවිරාවදානය දස වැනි යි.
උද්දානය:
විජනී සතරංසි සයන - උදක වාහිය පරිවාර ද, පදීප ධජ පදුම පූජක - බෝධිය දැයි වත් දසෙක් වේ, දෙයනූගයකින් බැඳ - මෙහි එය කියන ලද්දේ.
වීජනීවර්‍ගය සවැනියි.
7. සකචින්තනිය වර්‍ගය
61. සකචින්තනිය ස්ථවිරාවදානය
1349-1350. ඍෂින් විසින් සෙවුනාලද ස්වල්ප වූ ශබ්ද ඇති කැලඹීම් රහිත මහවනයක් දැක දෙවිමිනිසුන්ගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජානන් වහන්සේ උදෙසා වැලිසෑයක් කොට නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරදුන් ඉදිරියෙහි මෙන් මම ඒ සෑය වැන්දෙමි.
1351. ස්වකීය කර්‍මයෙන් සතුටු වූ මම (ඒ පිණින්) සත්රුවනින් යුක්ත ව රටෙහි අධිපති රජ වීමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1352. මෙයින් එක්අනූවන කපෙහි (සෑයට) යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1353. මම අසූවන කපෙහි සත්රුවනින් යුක්ත ව සිවුමහදිවයින්හි අධිපති වූ අනන්තයස නම් සක්විතිරජෙක් වීමි.
1354. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සකචින්තනිය ස්ථවිරාවදානය පළමුවැනියි.
62. අවොපුප්ඵිය ස්ථවිරාවදානය
1355. (සිඛී බුදු රජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නේ අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
1356. තාදීගුණ ඇති සිඛී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙණවුත් අහසෙහි විසිරවීමි.
1357. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණලද එ ම කර්‍මය හේතු කොට ගෙණ ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1358. මෙයින් එක්තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, ඒ හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. මල් පූජාවේ මේ විපාකය යි.
1359. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විතිරජෙක් වීමි.
1360. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවෙපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවොපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
63. පච්චාගමනිය ස්ථවිරාවදානය
1361. මම එකල සින්‍ධූනදීතීරයෙහි හුදු සෙවෙල් අනුභව කරන්නා වූ පාපයන් කිරීමෙන් වැළකුනා වූ සක්වාලිහිණියෙක් වීමි.
1362. (එකල්හි) කෙලෙස්මල නැත්තා වූ අහස්මගෙහි ගමන් කරන්නා වූ බුදුරජු දිටිමි. (දැක) තුඩින් සල්මලක් ගෙනවුත් ඒ විපස්සී බුදුරජානන් වහන්සේට පිදීමි.
1363. “යමෙකුගේ ශ්‍රද්ධාතොමෝ තථාගතයන් වහන්සේ විෂයයෙහි නිශ්චල ව පිහිටියා ද, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියකට නො යේ” යි (විපස්සී බුදුරජ තෙම වදාළේ ය.)
1364. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමෙක් විය. (සක්වා) ලිහිණියෙකු වූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරනලදී.
1365. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1366. සතළොස්වනකපෙහි සුවාරුදස්සන නම් එකනම ඇති මහාබලවත් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1367. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පච්චාගමනියස්ථවිරාවදානය තෙවැනියි.
64. පරප්පසාදක ස්ථවිරාවදානය
1368. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂි වූ කෙලෙස්සතුරන් ජය ගන්නාසුලු වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජු දැක කවරෙක් (නම්) නො පහදී ද?
1369. ප්‍රමාණ කළ නො හැකි හිමවත්පව්ව යම්සේ ද, තරණය කළ නො හැකි සාගරය යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ධ්‍යානය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් (නම්) නො පහදී ද?
1370. විසිතුරු වන අරම් නමැති මුදුන්මල්කඩ ඇති පොළොව යම් සේ ප්‍රමාණ නො කට හැකි ද, බුදුරජානන් වහන්සේගේ ශීලය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නො පහදී ද?
1371. නො කැලඹිය හැකි සයුර යම් සේ ද, පමණ කළ නො හැකි අහස යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ඤාණය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?
1372. සේන නම් වු බ්‍රාහ්මණ තෙමේ මේ සිවු ගයින් පස්මරුන් දිනූ සිද්ධත්‍ථ නම් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කොට -
1373. සිවු අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේ ය. සුගතීන්හි බොහෝ වූ මනා සම්පත් අනුභව කෙළේ ය.
1374. මෙයින් සිවුඅනූවන කපෙහි ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
1375. තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උග්ගත නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
1376. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පරප්පසාදකස්ථවිරාවදානය සිවුවැනියි.
65. භිසදායක ස්ථවිරාවදානය
1377. (එක් කපක වූ) බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් නමින් වෙස්සභූ නම් විය. පුරුෂෝත්තම වූ ඒ බුදුරජ තෙම මහවනයට පිවිස එහි විසී ය.
1378. නෙළුඹල ද නෙළුඹුදඬු ද ගෙණ බුදුරජානන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන් වූයෙම් සියසොඬින් එය බුදුරජානන් වහන්සේට පිදීමි.
1379. උතුම් නුවණැති වෙස්සභූ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් පරාමර්‍ශනය කරන (=පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නො දනිමි. එයට වැඩි සැපයක් නම් කොයින් ද?
1380. සියලු භවයෝ නසන ලදහ. මාගේ මේ අන්තිම භවය වේ. එකල හස්තිරාජයකු වූ මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරනලදි.
1381. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදානයාගේ මේ විපාක ය යි.
1382. තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමෝධාන නමින් මනුජාධිපති වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1383. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යි.
භිසදායකස්ථවිරාවදානය පස්වැනියි.
66. සුචින්තිත ස්ථවිරාවදානය
1384. (මම) විශිෂ්ට ජන්ම ඇති කේශරසිංහ රාජයෙකු වැනි දුර්‍ගයන්හි හැසිරෙන නේසාදයෙක් (=වැද්දෙක්) වීමි. මෘග සමූහයා මරාගෙණ කඳු අතරෙහි ජීවත් වෙමි.
1385. සර්‍වඥ වූ වාදීවර වූ ඒ අත්‍ථදස්සී භාග්‍යවත්තෙම මා (පවින්) නගා සිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩියේය.
1386. පසදමෘගයකු (තිත්මුවකු) මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙමේ පිඬු සිඟමින් (එතැනට) වැඩියේය.
1387. උතුම් මස්ගෙණ (මම) ඒ ශාස්තෲන් වහන්සේට දිනිමි. මහා වීර වූ බුදුරජානන් වහන්සේ එකල්හි සිත නිවමින් අනුමෝදනා කළසේක.
1388. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා එහි කලුරිය කෙළෙමි.
1389. මේ මස්දෙන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් (=ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද, එක්දහස් පන්සිය කපක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
1390-1391. අවශේෂ කල්පයන්හි ද මා විසින් කුසල් රැස් කරණ ලදි. එම මාංශදානයෙන් ද බුදුගුණ සිහි කිරීමෙන් ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අට දෙනෙක් වූහ. මෙයින් කල්ප සදහසකින් පෙර වරුණ නමින් රජවරු දෙදෙනෙක් වූහ.
1392. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතස්ථවිරාවදානය සවැනියි.
67. වත්‍ථදායක ස්ථවිරාවදානය
1393. (මම) පක්‍ෂියෝනියෙහි උපන්නේ මනා පැහැ ඇති ගුරුළු රජෙක් වීමි. එකල්හි ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නා වූ බැහැර කළ කෙලෙස් රජස් ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1394. (දැක) ගුරුළු වෙස හැර මාණවක වෙසක් දැරීමි. තාදිගුණ ඇති ද්විපදෝත්තම බුදුරජානන් වහන්සේ ට මා විසින් එක් වස්ත්‍රයක් දෙනලදි.
1395. ලෝකයෙහි අසහාය නායක වූ ශාස්තෘ වූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මේ ගාථාව දෙසීය:
1396. “මේ වස්ත්‍රදානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද ගුරුළු අත්බව හැර දෙව්ලොව සිත් අලවා වසන්නේය.”
1397. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ වස්ත්‍රදානය පසසා උතුරු දිගට මුහුණ ලා වැඩියේය.
1398. භවයෙහි උපදින කල්හි මට වස්තුසම්පත් (ඇති) වේ. අහසෙහි වියනත් ඇති වේ. වස්තුදානයාගේ මේ විපාකය යි.
1399. සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපති වූ මහත් බල ඇති අරුණක නම ඇති සක්විති රජවරු සත්දෙනෙක් වූහ.
1400. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
වත්‍ථදායකස්ථවිරාවදානය සත්වැනියි.