උද්දානය:
උපාලිසෝණ බද්දිය - සන්නිට්ටාපක හත්තිය, සියන් සෙය සක්මන් - සුබද සුඳු යයි දසවත්, එක්සියසුසාළිස් ගයකින් මෙහි කියන ලදී.
උපාලිවර්‍ගය පස්වැනි යි.
6. බීජනි වර්‍ගය
51. විධූපනදායක ස්ථවිරාවදානය
1258. තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.
1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:
1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.
1262. පිරිපුන් වීර්‍ය්‍යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.
1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
විධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
52. සතරංසික ස්ථවිරාවදානය
1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්‍වතයට නුදුරෙහි හුන් වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -
1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:
1267. “උතුම් ධර්‍මය ප්‍රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්‍වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.
1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්‍ම දේශනා කරණ සේක” යනුයි.
1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්‍ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:
1270. “යමකු විසින් (සර්‍වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්‍රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
1271. මෙයින් කල්පලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.
1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ඖරස පුත්‍ර වූ ධර්‍මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.
1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.
1274. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ මම සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)
1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.
1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.
සතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.
53. ශයනදායක ස්ථවිරාවදානය
1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්‍යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.
1279. අහසෙහි ශයනය කරමි. මේ පෘථිවිය (ඊශ්වරත්‍වයෙන්) දරමි. සත්ත්‍වයන් කෙරෙහි මාගේ අධිපතිත්‍වය පවතී. ශයනදානයාගේ මේ විපාකය යි.
1280. මෙයින් පන්දහස්වන කපෙහි මාහාවර නමින් රජවරු ඇට දෙනෙක් වූහ. තුන්දහස්සිවුසියවන කපෙහි මහත් බල ඇති රජවරු සිය දෙනෙක් වූහ.
1281. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ශයනදායකස්ථවිරාවදානය තෙවැනි යි.
54. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
1282. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවෙක් විය. විසිතුරු කළයක් ගෙණ මම එහි සුවඳ පැන් දිනිමි.
1283. බෝධිය නාවනකල්හි මහවැසි වැස්සේ ය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්ද ද විය.
1284. ඒ අසනිවේගයෙන් (=හෙන පහරින්) එහි ම කලුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නෙම් මේ ගාථාව කීමි:
1285. “සර්‍වඥ වහන්සේ ආශ්ච්‍යර්‍ය හ. ධර්‍මය ආශ්ච්‍යර් ය. අපගේ ශාස්තෘසම්පත්තිය ආශ්ච්‍යර් ය. මාගේ සිරුර (සෙණපහරින්) ඇද වැටිනි. එයින් චුත වූ මම දෙව්ලොව සිත් අලවා වසමි.”
1286. පැන නැගුනා වූ මාගේ සත්බුමු විමන උස් ව නැගුනේ ය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්.
1287. මට ආබාධයෝ නො වෙත්. මට ශෝකයෙක් ද නැත. පරිලාභයක් (=තැවීමක්) නො දකිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1288. දෙදහස්අටසියවන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.
1289. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
55. ඕපවය්හ ස්ථවිරාවදානය
1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.
1291. උතුම් ධර්‍මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)
1292. “භාග්‍යවත්හු සපත්තභාරයහ. (= පාත්‍රය සහිත අටපිරිකරබර උසුලන්නෝ ය. උන්වහන්සේට) අජානීය අශ්ව තෙමේ කැප නො වේ. පසැස් ඇත්තා වූ බුදුරජහු ඔබගේ අදහස දැන එය පිළිගත්හ” කියා යි.
1293. ඉක්බිති මම වාතවේගය ඇති ශීඝ්‍ර ව ගමන් යන වාහනයක් වූ සෛන්‍ධවයා අගය කොට (විකුණා) පදුමුත්තර බුදුරජානන් වහන්සේට යෝග්‍ය වූ පිරිකරක් දිනිමි.
1294. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මට රිසි වූ විසිතුරු වූ වාතජවයෝ (සෛන්‍ධවයෝ) උපදිත්.
1295. (ඒ බුදුන් වෙත) යම්කෙනෙක් උපසම්පදාව ලබත් ද, (ඔවුනට) එය ලාභයෙකි. මනා ලාභයෙකි. ඉඳින් බුදුකෙනෙක් ලෙව්හි (පහළ) වන්නෝ නම්, නැවත ද පයිරුපාසානය කරන්නෙමි.
1296. මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි.
1297. මෙය මාගේ පශ්චිමදේහය යි. පැසිම් උපත වේ. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානය (= නිවණ) ට පැමිණියෙම් වෙමි.
1298. සූතිස්දහස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් මහත් තේජස් ඇති සක්විති රජෙක් විය.
1299. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඕපවය්හ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ඕපවය්හ ස්ථවිරාවදානය පස්වැනි යි.
56. සපරිවාරාසන ස්ථවිරාවදානය
1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)
1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:
1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,
1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”
1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.
1305. ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පසිඳුරන් විෂයයෙහි ද සංවෘත වූයෙම් ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
1306. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
සපරිවාරාසන ස්ථවිරාවදානය සවැනි යි.
57. පඤ්චදීපක ස්ථවිරාවදානය
1307. මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනා ව පිහිටා ඍජු වූ දෘෂ්ටි ඇත්තෙම් වීමි.
1308. බෝධිය වට කොට ප්‍රදීපදානයක් දිනිමි. (පහන් පූජාවක් කෙළෙමි). එකෙණෙහි (කර්‍මඵල) අදහමින් පහන් දැල්වීමි.
1309. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ පුණයකර්‍ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන් දරත්. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
1310. පර්‍වතය ද ඉක්මවා බිත්තියෙන් පිටත ද ගල්පව්වෙන් පිටත ද හාත්පස යොදුන් සියක් තැන වූ සියල්ල දර්‍ශනය කරමි.
1311. තුන්දහස්සිවුසියවන කපෙහි සතචක්ඛු යන නම් ඇති මහාතේජස් ඇති මහත් බල ඇති සක්විතිරජවරු වූහ.
1312. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආස්‍රවක්‍ෂයයට පැමිණියෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය (=අන්තිම ආත්මය) දරමි.
1313. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් පඤ්චදීපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චදීපක ස්ථවිරාවදානය සත්වැනි යි.
58. ධ්වජදායක ස්ථවිරාවදානය
1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක:
1317. “මේ ධ්වජපූජායෙන් ද උපස්ථානයෙන් ද යන මේ දෙකින් හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියට නො යයි.
1318. දෙවියන් අතර බොහෝ වූ දිව්‍යසෞභාග්‍යය (=සම්පත්) අනුභව කරන්නේ ය. නොයෙක් සියගණන් වාරයන්හි රටෙහි රජ වන්නේ ය. උග්ගත නම් වූ සක්විතිරජෙක් ද වන්නේ ය.
1319. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභව කොට ගෞතම බුදුරජානන් වහන්සේගේ සස්නෙහි සිත අලවා වාසය කරන්නේ ය” (කියා යි).
1320. උපශාන්ත වූයෙම් උපධි රහිත වූයෙම් ප්‍රධන්විර්‍ය්‍යයෙහි මෙහෙයූ සිතැත්තෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය දරමි.
1321. පණස්එක්දහසක් වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේ ම) පනස්දහස් කපෙහි මේඝ නම් රජෙක් වීමි.
1322. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධ්වජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ධ්වජදායක ස්ථවිරාවදානය අටවැනි යි.
59. පද්ම ස්ථවිරාවදානය
1323. උත්තම ධර්‍මප්‍රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.
1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.
1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:
1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්‍රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්‍යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.