Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 1201-1300 න් 9627

1099. මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ශස්ත්‍රයෝ (මා) නො නසත්. දියෙහි මම නො මැරෙමි. ආයාග (දීර්‍ඝශාලා) දානයාගේ මේ විපාකය යි.
1100. ඉදින් මම වැස්ස කැමැති වෙම් නම්, මහාවැසි වසින්නේ ය. දෙවියෝ ද මාගේ වසඟයට පැමිණෙත්. (ආයාගදානමය) පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1101. මම තිස්වරක් සත්රුවනින් යුක්ත වූ සක්විතිරජ වීමි. මට කිසිවෙක් නින්‍දා නො කෙරෙත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1102. (මෙයින්) එක්තිස්වන කල්පයෙහි (මම) යම් දීර්‍ඝශාලාවක් කරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීර්‍ඝශාලාදානයාගේ මේ විපාකය යි.
1103. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
ආයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
39. ධම්මචක්කික ස්ථවිරාවදානය
1104. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණලද නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණලද ධර්‍මචක්‍රයක් තබන ලදී.
1105. මනෝඥ වූ (ස්වර්‍ණ) වර්‍ණ වූයෙම් ම (ස්වර්‍ණසිවිකාදි) යාන ද (සේනාපති මහාමාත්‍යාදි) සෙවාභටයන් ද (හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත) වාහන ද ඇත්තෙම් බබළමි. මා අනුව පවතින්නා වූ බොහෝ දෙන නිරතුරු ව ම මා පිරිවරත්.
1106. මම හැමකල්හි සැටදහසක් තුර්‍ය්‍යයන්ගෙන් පරිවරණය කරමි. පිරිවර කරණ කොට ගෙන බබළමි. පුණ්‍යකර්‍මයාගේ මේ ඵලය යි.
1107. මෙයින් සිවුඅනූවන කල්පයෙහි මම යම් (ධර්‍ම) චක්‍රයක් තැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මචක්‍රදානයාගේ මේ විපාකය යි.
1108. මෙයින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම් වූ ජනාධිපති වූ මහත් බල ඇති සක්විතිරජවරු අටදෙනෙක් (අටවරකට) වූ වාහු ය.
1109. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ධම්මචක්කිකස්ථවිරාවදානය නවවැනි යි.
40. කප්පරුක්ඛිය ස්ථවිරාවදානය
1110. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප්රුකක් තැබීමි.
1111. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ හැම අත්බැව්හි දී ම) මාගේ දොරටුව හොබවමින් කප්රුකක් පිහිටයි.
1112. මම ද මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වේ නම්, ඔහු ද යන අපි හැමකල්හි ඒ කප්රුකින් දුහුල් ගෙන හඳිමු.
1113. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කප්රුකක් තැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කල්පවෘක්‍ෂදානයාගේ මේ විපාකය යි.
1114. මෙයින් සත්වැනි කල්පයෙහි සත්රුවනින් යුත් මහත්බල ඇති සුචෙල නම් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1115. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
කප්පරුක්ඛියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කූංඩ සාගත කසයින් - උදායී මෝඝරාජ ද, අධිමුත්ත ලසුන අයාගී - දම්සක් කප්රුක් දා දැයි. තෙරසිරිත් දසයකි - එක්සිය දොළොස් ගයකින්.
කුණ්ඩධානවර්‍ගය සිවුවැනි යි.
5. උපාලි වර්‍ගය
41. භාගිනෙය්‍ය උපාලි ස්ථවිරාවදානය
1116. දහසක් රහතුන් විසින් පිරිවරණ ලද ඒ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විවේකයෙහි යෙදුනුසේක් එකලා ව වසන්නට යන සේක.
1117. (එකල්හි) ත්‍රිදණ්ඩය දරන්නා වූ අඳුන්දිවිසම් හැන්දා වූ මම ලෝකනායකයන් (=තථාගතයන්) වහන්සේ දිටිමි.
1118. අඳුන්දිවිසම එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ බුදුරජානන් වහන්සේ වැඳ ලෝකනායකයන් වහන්සේට ස්තුති කෙළෙමි:
1119-1120. “යම් බඳු අණ්ඩජ වූ සංසේදජ වූ, ඕපපාතික වූ, ජලාබුජ වූ සත්ත්‍වයෝ ද, හැමකල්හි අහසෙහි හැසිරෙන සියලු කාකාදිපක්‍ෂීහු ද යන සංඥී වූ හෝ අසංඥී වූ යම් කිසි ප්‍රාණභූතකෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
1121. උතුම් වූ හිමවත්පව්වෙහි පර්‍වතයන්හි හටගන්නා (මලයජ) සඳුන් (ආදී) යම් ගන්‍ධයෝ වෙත් නම්, ඒ සියලු සුගන්‍ධයෝ ඔබ වහන්සේගේ සීල (සුගන්‍ධ) යෙහි කලාවකට ද නො යෙදෙත්. (= සම නො වෙත්).
1122. මේ දෙවියන් සහිත ලෝකයා මොහඳුරට වැදුනේ වෙයි. ඔබ වහන්සේගේ ඤාණය බබලන කල්හි (ඔහු) වනසන ලද (මෝහ) අඳුර ඇත්තෝ වෙත්.
1123. යම් සේ සූර්‍ය්‍යයා අස්තගත වූ කල්හි සත්ත්‍වයෝ අඳුරට ගියාහු වෙත් ද, එසේ ම බුදුරජානන් වහන්සේ නූපන් කල්හි ලෝකයා අඳුරට ගියේ වේ.
1124. යම් සේ උදා වන්නා වූ සූර්‍ය්‍යයා හැම කල්හි අඳුරු දුරු කෙරේ ද, එසේ ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ හැම කල්හි අඳුර නසනසේක.
1125. දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වූ ඔබ වහන්සේ වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති සේක. (එසේ ම) ඔබ වහන්සේ ප්‍රීතිජනක වූ කර්‍මයෙන් බොහෝ ජනසමූහයා සතුටු කරණසේක” (කියායි).
1126. මහාමුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අනුමෙව (= සියල්ලට සතුටු ව) අහසෙහි (යන) හංසරාජයකු මෙන් ආකාශයට පැනනැගුනු සේක.
1127. අහසට පැනනැගී ශාස්තෘ වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහසෙහි සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
1128. “යමකු විසින් උපමාවන්ගෙන් යුක්ත සේ මාගේ මේ නුවණ පසසන ලද ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
1129. හෙතෙමේ අටළොස්වරක් ශක්‍රදිව්‍යරාජයා වන්නේ ය. තුන්සිය වරක් පෘථිවිරාජ්‍යය කරමින් පොළොවෙහි වාසය කරන්නේ ය.
1130. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
1131. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රනාමයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1132. (එකල) කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්‍යලෝකයෙන් චුත ව ජාතියෙන් හීන වූයේ උපාලි නම් වන්නේ ය.
1133. හෙතෙමේ පසු ව පැවිදි ව පව් දුරු කර සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත වූයේ පිරිනිවන් පාන්නේ ය.
1134. මහායශස් ඇති ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතමබුදුරජ තෙමේ සතුටු වූයේ විනය පිටකය අවබෝධ කළ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
1135. මම ශ්‍රද්ධාවෙන් පැවිදි වූයෙම් කොට නිමවන ලද කටයුතු ඇත්තෙම් ආස්‍රව රහිත වූයෙම් සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව වෙසෙමි.
1136. භාග්‍යවත් තෙමේ මට අනුකම්පා කෙළේ ය. මම විනයයෙහි විශාරද වෙමි. ස්වකීය කුශලකර්‍මයෙන් පිණා ගියෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
1137. ප්‍රාතිමෝක්‍ෂ(ශීල)යෙහි ද පසිඳුරන් විෂයෙහි ද මැනැවින් සංවෘත වූයෙම් හුදු මැණික් ආකාරයක් වැනි සියලු විනය (ධර්‍මය) දරමි.
1138. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෘ තෙමේ මාගේ ගුණ දැන භික්‍ෂුසඞ්ඝයා මද මා (විනයප්‍රශ්නයන්හි තියුණු නුවණ ඇත්තවුන් අතුරෙහි{*}) ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1139. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් (භාගිනෙය්‍ය) උපාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
භාගිනෙය්‍ය උපාලිස්ථවිරාවදානය පළමුවැනි යි.
42. සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය
1140. {†}මම තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සුණින් ආලේප කොට සක්මනක් කරවීමි.
1141. මම නානාවර්‍ණ පුෂ්පයන්ගෙන් සක්මන අතුරා වැසීමි. අහසෙහි වියනක් ද කොට (බඳවා) උතුම් වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.
1142. මනා ව්‍රත ඇති බුදුරජානන් ඇඳිලි බැඳ වැඳ මම එකල්හි භාග්‍යවතුන් වහන්සේ ට දීර්‍ඝශාලාව පිළිගැන්වීමි.
1143. ලෝකයෙහි අනුත්තර වූ භාග්‍යවත් වූ පසැස් අත්තා වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන අනුකම්පාවෙන් (එය) පිළිගත්තේ ය.
1144. දෙවියන් සහිත ලෝකයෙහි දක්‍ෂිණේය වූ සර්‍වඥ වහන්සේ (එය) පිළිගෙණ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළසේක:
1145. “ඒ යමෙක් සතුටු සිතින් මට දීර්‍ඝශාලාවක් කරවී ද, මම ඔහු කවරෙක් දැ යි ප්‍රකාශ කරන්නෙමි. (එය) ප්‍රකාශ කරන්න වූ මාගේ වචනය අසවු.
1146. පුණ්‍යකර්‍මයන්ගෙන් යුක්ත වූ මොහුට මැරෙණ අවස්ථාවෙහි දහසක් අසුන් යෙදූ අශ්වරථයක් එකෙණෙහි එළඹෙන්නේ ය.
1147. මේ පුරුෂ තෙමේ ඒ යානයෙන් දෙව්ලොවට යන්නේ ය. කුශලවිපාකය එළඹ සිටි කල්හි දෙවියෝ සතුටු වෙත්.
1148. රන්සුණුඅලෙව් දුන් උතුම් කුළුගෙවලින් යුක්ත වූ මාහැඟි වූ ශ්‍රේෂ්ඨ සඳලු සහිත විමනක වසන්නේ ය.
1149. කල්ප තිස්දහසක් දිව්‍යලෝකයෙහි සිත් අලවා වසන්නේ ය. පස්විසිකපක් ශක්‍රදේවේන්‍ද්‍රයා වන්නේ ය.
1150. සත්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. ඒ සියල්ලෝ යසෝධර යන සමාන නං ඇත්තාහු එක ම නම ඇත්තෝ වෙත්.
1151. (දිව්‍ය - මනුෂ්‍ය යන) ද්විවිධසම්පත් අනුභව කොට පින් ද රැස් කොට අටවිසිවන කපෙහි සක්විතිරජ වන්නේ ය.
1152. එහි විශ්වකර්‍මයා විසින් මවන ලද උතුම් විමනකි. දශවිධ ශබ්දයන්ගෙන් වෙන් නො වූ ඒ පුරයෙහි අධිපති ව වසන්නේ ය.
1153. මෙයින් අපරිමේයකල්පයෙහි පෘථිවිය පාලනය කරන්නා වූ මහර්ධි ඇති නමින් ඔක්කාක නම් වූ රජෙක් රටෙහි වන්නේ ය.
1154. සියලු සොළොස්දහසක් ස්ත්‍රීන්ට උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති ඒ (=ප්‍රසිද්ධ වූ) කැත්දූ තොමෝ පුතුන් (4, දූන් 5) නව දෙනෙකුන් වදන්නී ය.
1155. කැත්දූ තොමෝ පුතුන් නව දෙනෙකුන් වදා මැරෙන්නී ය. (ඉක්බිති) අන්‍ය වූ ප්‍රියාවක් තොමෝ මෙහෙසිබව කරන්නී ය.
1156. ඒ කන්‍යා තොමෝ ඔක්කාකරජ සතුටු කොට වරයක් ලබන්නී ය. වරයා ලැබූ ඒ කන්‍යාතොමෝ පුතුන් රටින් පිටුවහල් කරවන්නී ය.
1157. පිටුවහල් වී ඒ සියල්ලෝ උතුම් පර්‍වතයට (=හිමවතට) යන්නාහු ය. සියල්ලෝ ජාතිභේදය වන බියෙන් සොහොයුරියන් සමග සංවාසය කරන්නාහු ය.
1158. (එයින්) එක් (පියා නම්) කන්‍යාවක් තොමෝ ව්‍යාධිය (කුෂ්ටරෝගය) කින් වැලඳගන්නා ලද්දී වන්නී ය. ක්‍ෂත්‍රිය කුමාරවරු “ජාතිසම්භේදය නො කරාවා”යි ඇය වළක දමා (උඩින්) වසත්.
1159. (රාම නම්) රජෙක් තෙම (ඇය ඒ වළින්) ගොඩට ගෙණ ඇය සමග (අඹු සැමියන් ලෙස) වසන්නේ ය. එකල්හි ඔක්කාක කුලයෙහි වූ ජාතිසම්භේදය වන්නේ ය.
1160. ඔවුන්ගේ ප්‍රජා තොමෝ (දරුමුනුබුරු පරපුර) ජාතිවශයෙන් කෝලිය නම් වන්නී ය. එහි (ඔහු) මිනිසුන් සතු අනල්ප වූ භොග සම්පත් අනුභව කරන්නාහු ය.
1161. එම කයින් ච්‍යුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේ ය. එහි ද මනහර වූ උතුම් විමානයෙක්හි (සැප) විඳින්නේ ය.
1162. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් ච්‍යුත ව මිනිසත්බවට පැමිණ සෝණ නම් වන්නේ ය.
1163. බුදුසසුනෙහි පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ, නිවණ කෙරෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වීර්‍ය්‍යය කරමින් සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
1164. අනන්ත (දැය) දක්නාසුලු වූ ශාක්‍යකුලජ්‍යේෂ්ඨවූ (දත යුතු සියල්ල) විශේෂයෙන් දත්තා වූ ගෞතම බුදුරජ තෙමේ (මොහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (කියායි).
1165. උතුම් දමනයෙහි දැමුනෙමි. මා විසින් සිත මැනැවින් පිහිටුවා ගන්නාලදී. (එසේ ම) මා විසින් සියලු බර බහා තබනලදී. ආස්‍රව රහිත ව (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවුනෙම් වෙමි.
1166. (සිරුරෙන් රැස් විහිදෙන බැවින් හෝ අඞ්ගිරස් නම් රුසිහුගේ පරපුරෙහි වූ බැවින්) අංගීරස නම් වූ (සතර අගතියට හෝ සතර අපායට නො යන බැවින්) මහානාග වූ ශ්‍රේෂ්ඨ ජන්ම අත්තා වූ කේශරසිංහයකු වැනි වූ (සර්‍වඥ තෙමේ) භික්‍ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.
1167. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෝටිකණ්ණ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය දෙවැනි යි.
43. කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය
1168. සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.
1169. සියල්ලෝ නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි (භික්‍ෂුසංඝයාට ද ශාස්තෲන් වහන්සේට ද) වස්ත්‍ර සෙනසුන් ද පාන හා භෝජන ද (යන) ආමිසය දෙත්.
1170. මම ද බුදුරජානන් වහන්සේ ද අනුත්තර වූ සංඝයා ද පවරා, දෙවියන්ට දෙවි වු තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ ට දනක් දෙමි.
1171. මා විසින් මෙහෙයන ලද්දා වූ ඒ මනුෂ්‍යයෝ ද තථාගතයන් වහන්සේ ද නිරුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය වූ සියලු භික්‍ෂුසංඝයා ද පැවරූහ.
1172. කොඳුපලස් අතුරණ ලද්දා වූ ද, පුලුන්ඇතිරි හා ඝන පුප් එළුලොම්ඇතිරි අතුරණ ලද්දා වූ ද, කොමුඇතිරියෙන් හා කපුඇතිරියෙන් අතුරණ ලද්දා වූ ද, ස්වර්‍ණමය වූ (පාදයන්හි ව්‍යාලරූප නගා කළ) සියක් දහසක් අගනා මහාර්‍හ වූ බුදුන්ට යෝග්‍ය අසුනක් පැණවීමි.
1173. දෙවියන්ට ද දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් මාගේ ගෙදොරට එළඹි සේක.
1174. ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙරගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටු ව ස්වකීය ගෘහය (තුළට) වැඩම කරවීමි.
1175. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් භික්‍ෂූන් සියක් දහස ද ලෝකනායක වූ බුදුරජුන් ද කිරිබතින් සන්තර්‍පණය කෙළෙමි.
1176. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
1177. “යමකු විසින් කොඳුපලස් අතුරණ ලද ස්වර්‍ණමය වූ මේ අසුන දෙන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ (වචනය) අසවු:
1178. හෙතෙමේ සූසැත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
1179. දහස්වරක් ප්‍රදේශරාජ්‍යය කරමින් පොළොවෙහි වසන්නේ ය. එක්පණස්වරක් සක්විතිරජ ද වන්නේ ය.
1180. සියලු භවයෝනීන්හි උසස් කුල ඇත්තේ වන්නේ ය. කුශල මූලයන් විසින් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව නමින් භද්දිය නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).