1016. ඒ කර්‍මය හේතු කොට ගෙන දසදහසක් සක්වළ කම්පනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
1017. නිර්‍වාණසඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධුරවාහකයා (=ගැල් උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිමශරීරය දරමි. (=අන්තිම ආත්මයෙහි සිටිමි).
1018. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
කුණ්ඩධානස්ථවිරාවදානය පළමුවැනි යි.
32. සාගත ස්ථවිරාවදානය
1019. එකල්හි මම් නමින් සෝභිත ය යි (ප්‍රකට) බමුණෙක් වීමි. ස්වකීය ශිෂ්‍යන් විසින් පිරිවරණ ලදුයෙම් ආරාමයට ගියෙමි.
1020. එකල්හි පුරුෂෝත්තම වූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේ ය.
1021. දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි. (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කළෙමි. (කෙසේ ද ? යත්:)
1022. “යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම්, ඒ සියලු වෘක්‍ෂයෝ පොළොවෙහි වැඩෙත්. එසේ ම බුද්ධිමත් සත්ත්‍වයෝ සර්‍වඥශාසනයෙහි වැඩෙත්.
1023. සප්‍රාඥ වූ මහර්ෂි වූ බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) බොහෝ ජනයා විෂයයෙහි (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහයෙක් වන සේක. ඔබ වහන්සේ නො මගින් නගා (සත්ත්‍වයාට) මග කියන සේක.
1024. (එසේ ම ඔබ වහන්සේ) දැමුනුසේක් දැමුනවුන් විසින් පිරිවරණ ලද සේක. ධ්‍යාන කරණ සුලු වූයේ ධ්‍යානයෙහි අලුනවුන් විසින් ද, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සේක් නිවණ කරා මෙහෙයූ සිත් ඇත්තවුන් විසින් ද උපශාන්ත වූවන් විසින් හා තාදීගුණ යුක්ත වූවන් විසින් ද (පිරිවරණ ලදහ).
1025. පිණින් හා නුවණින් යුත් පිරිස කරණ කොට ගෙන අලංකාර වූ සේක් හොබනාහ. හිරු උදා වන කල්හි මෙන් ඔබවහන්සේගේ ප්‍රභාව පැතිරේ”යී.
1026. මහාර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ පහන් සිත් ඇති (මා) දැක බික්සඟන මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේ ද? යත්:)
1027. “යම් බමුණෙක් තෙමේ සතුටු සිත් උපදවා මා වර්‍ණා කෙළේ ද, හෙතෙමේ කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
1028. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුත ව ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
1029. මැනැවින් කරණ ලද එම පුණ්‍යකර්‍මය කරණ කොට ගෙණ රහත්බව ලබන්නේ ය. (නමින්) සාගත නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ යී.”
1030. පැවිදි ව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග්දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
1031. මෙසේ වසන්නා වූ මම තේජෝධාතූන්හි දක්‍ෂ වූයෙම් (සියලු ආශ්‍රවයන්) ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
1032. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාගතස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළසේක් යී.
සාගතස්ථවිරාවදානය දෙවැනි යි.
33. මහාකාත්‍යායන ස්ථවිරාවදානය
1033. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් වී ය. (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීමි.
1034. ස්වර්‍ණමය වූ ඡත්‍රයක් ද වල්විදුනාවක් ද ගෙන ලෝකබන්‍ධු වූ තාදිගුණ ඇති බුදුරජානන් වහන්සේට නගා තැබීමි.
1035-1036. එකල්හි භූමිය ඇසුරු කළා වූ යම් තාක් දෙවියෝ වූ නම්, ඒ සියල්ලෝ ම රැස් වූහ. (කුමකට ද යත්:) “ස්වර්‍ණමයඡත්‍රයාගේ විපාකය වදාරන්නේ ය. එසේ වදාරන්නා වූ බුදුරජානන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු. සම්මාසම්බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමු”යි යනුවට ය.
1037. සියලු දත යුතු දෑ තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් ස්වර්‍ණාසනයෙහි හිඳ මෙ ම ගාථාවන් වදාළසේක.
1038. “යමකු විසින් ස්වර්‍ණරත්නමය වූ (සත් රුවනින් කරණ ලද,) මෙ ම අසුන පුදන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ වචනය අසවු.
1039. (හෙතෙමේ) තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේ ය.
1040-1041. මිනිස්ලොව ට අවුත් උග්‍රතේජස් ඇති නමින් ප්‍රභාස්වර නම් වූ සක්විති රජෙක් වන්නේ ය. (මෙ ම) ක්‍ෂත්‍රිය තෙමේ උදා වූ සූර්‍ය්‍යයා මෙන් දිවා රෑ දෙකෙහි ම හාත්පස අටරියනක් (තැන්) බබුළුවන්නේ ය.
1042. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1043. කුශල මූලයෙන් මෙහෙයන ලද්දා වූ මෙතෙමේ තුසීපුරයෙන් චුත ව නමින් කච්චායන නම් වූ බමුණෙක් වන්නේ ය.
1044. හෙතෙම පසු ව පැවිදි ව ආශ්‍රව රහිත වූ රහත් නමක් වන්නේ ය. ලොව බබුළුවන්නා වූ ගෞතම බුදුරජ තෙමේ (ඔහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය. (කෙසේ ද? යත්:)
1045. මෙතෙම සැකෙවින් විචාරණ ලද ප්‍රශ්නය විතර විසින් කියන්නේ ය. ඒ ප්‍රශ්නය (විතර විසින්) කියන්නේ ද (අසන්නාගේ) අදහස සම්පූර්‍ණ කරන්නේ”යී.
1046. ආඪ්‍යකුලයෙහි උපන්නා වූ මන්ත්‍රයන්හි පරතෙරට ගියා වූ බ්‍රාහ්මණයෙක් වූ (මම) ධනධාන්‍යන් ඇත හැර දමා අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
1047. මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හි දු විස්තර වශයෙන් කියමි. ( විචාරන්නා වූ) ඔවුන්ගේ අදහස් සම්පූර්‍ණ කරමි. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්සේ සතුටු කරමි.
1048. මා විසින් තුටු කරණ ලද මහාවීර වූ සියල්ල තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ (ගෞතම බුදුරජතෙම) බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1049. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
මහාකාත්‍යායනස්ථවිරාවදානය තෙවැනි යි.
34. කාළුදායි ස්ථවිරාවදානය
1050-1051. මම එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට මැනැවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද ගෙන (එහි) ගියෙමි.
1052. මහාවීර වූ බුදුරජ තෙමේ මනා භෝජනය (කිරිබත) වැළඳී ය. ඒ මල් ද ගෙන මහාජනයාට දැක්වී ය. (කෙසේද? යත්:)
1053. (මේ) ලෝකයෙහි ඉෂ්ට වූ මන වඩන්නා වූ ප්‍රිය වූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නා) පුෂ්පයෝ වෙති. යමෙක් තෙමේ මට මේ මල් දුන්නේ ද, ඔහු විසින් ඉතා දුෂ්කර (පින්කමක්) කරණලදි.
1054. යමෙක් මට මල් නගා දුන්නේ ද, උතුම් වූ ආහාරය දුන්නේ ද ඔහු (කවරෙක් දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු. (කෙසේ ද යත්?)
1055-1056. හෙතෙමේ අටළොස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. එකෙණෙහි ඔහුගේ පුණ්‍යවිපාකයෙන් දිව්‍යමය සුගන්‍ධයෙන් යුතු උපුල් ද පියුම් ද බෝලිද්ද ද ඔහු මත අහසෙහි වියනක් කොට දරන්නේ ය.
1057. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. පන්සියවරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වෙසෙන්නේ ය.
1058. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1059. කුශලමූලයෙන් මෙහෙයන ලද ස්වකීය කර්‍මයෙන් සන්තුෂ්ට වූ හෙතෙමේ ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නා වූ නෑ සබඳ කම් ඇත්තෙක් වන්නේ ය.
1060. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
1061. ලෝකබන්‍ධු වූ ගෞතමබුදුරජානන් වහන්සේ පැමිණ (සිවු) පිළිසිඹියාවන් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිත වූ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන සේක.
1062. වීර්‍ය්‍යය වැඩූ, නිවණ කෙරෙහි මෙහෙයූ සිත් ඇති, උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙමේ නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
1063. රාගය ද ද්වේෂය ද මෝහය ද මක්ඛය (ගුණමකුබව) ද විනාශ කරණ ලද්දේ ය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
1064. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ප්‍රඥාවත් වූ මම බුදුරජානන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිත වූ බුදුරජ තෙමේ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1065. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
කාළුදායි ස්ථවිරාවදානය සිවුවැනි යි.
35. මෝඝරාජ ස්ථවිරාවදානය
1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
1067. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.
1069. “යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසි සත්ත්‍වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්‍රහ්මලෝකවාසි සත්ත්‍වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්‍වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)
1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්‍රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.
1071. රූපීසත්ත්‍වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්‍වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.
1073. ලෝකවාසි සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්‍ධකාර ඇත්තෝ වෙත්.
1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්‍ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.
1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්‍ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.
1077. අසසෙහි සිටියා වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.
1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්‍රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.
1079. හෙතෙමේ තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.
1080. ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි අසඞ්ඛ්‍යවාරගණනක් ප්‍රදේශරාජ්‍යය කරවන්නේ ය.
1081. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (හෙතෙමේ) ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
1082. ගැඹුරු වූ සියුම් වූ අර්‍ත්‍ථ නුවණින් දැනගන්නේ ය. (හෙතෙමේ) නමින් මෝඝරාජ ය යි බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
1083. (සසර කතරින් සත්ත්‍වයන් එතෙර කරණ බැවින්) අග්‍ර සාර්‍ත්‍ථවාහයකු වැනි වූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත වූ කොට නිමවූ කට යුතු ඇති ආශ්‍රව රහිත වූ (ඔහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
1084. මිනිස්යෙදුම් හැර භවබැඳුම් සිඳ සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවශයෙන් දැන ආශ්‍රව රහිත ව වෙසෙමි.
1085. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෝඝරාජස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
මොඝරාජස්ථවිරාවදානය පස්වැනි යි.
36. අධිමුත්ත ස්ථවිරාවදානය
1086. මනුෂ්‍යොත්තම වූ අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදි සිතින් යුතු ව භික්‍ෂු සඞ්ඝයාට උපස්ථාන කෙළෙමි.
1087. ඍජු ගුණ යුත් එකඟ සිත් ඇති සංඝරත්නය පවරා මඩුවක් කරවා උතුම් සඞ්ඝයාට උක් වැළඳවීමි.
1088. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, සියලු සත්ත්‍වයන් අභිභවනය කරමි. මේ (එ ම) පුණ්‍යකර්‍මයාගේ ඵලය යි.
1089. කල්ප එක්දහස්අටසියයකට පෙර වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක් දනෙහි මේ විපාකය යි.
1090. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
අධිමුත්තස්ථවිරාවදානය සවැනි යි.
37. ලසුණදායක ස්ථවිරාවදානය
1091. මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ලුහුණු (ආහාර කොට ගෙණ) ජීවත් වෙමි. මාගේ භෝජනය ලුහුණු ය.
1092. මම (ලුහුණු) කදක් පුරවාගෙණ සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු වූයෙම් සතුටු සිතින් ම සඞ්ඝයාට ලුහුණු දුන්නෙමි.
1093. මම විපස්සී නරශ්‍රේෂ්ඨයන් (බුදුරජානන්) වහන්සේ සසුනෙහි නිරත වූ සඞ්ඝයාට ලුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
1094. මෙයින් එකානූවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් ලුහුණු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලුසුණදානයාගේ විපාකය යි.
1095. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුණදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
ලසුණදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
38. ආයාගදායක ස්ථවිරාවදානය
1096. කථා කරන්නවුන් අතුරෙන් උතුම් සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටු වූයෙම් සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.
1097. මම එකල්හි වඩුවන් සමග කථා කොට මුදල් දී සතුටු වූයෙම් සතුටු සිතින් දීර්‍ඝ භෝජනශාලාවක් කරවීමි.
1098. (ඒ හේතුවෙන්) මම අටකපක් නො කඩා කොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්‍ය - මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.