943. තිසරණ ගෙණ පන්සිල් රැක බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා දුක් කෙළවර කරන්නහු ය.
944. මා උපමා කොට ගෙණ සිල් රැක තෙපි සියල්ලෝ නො බෝ කලකින් ම රහත්බවට පැමිණෙන්නහු ය”.
945. ත්‍රිවිද්‍යා ඇත්තෙම් පරසිත් දන්නා නුවණෙහි දක්‍ෂ වූයෙම් ඍධියට පත් වූයෙම් ද වෙමි. මහාවීරයන් වහන්ස, ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවක තෙම ශාස්තෲන්වහන්සේගේ සිරිපා වඳියි.
946. මම මෙයින් අපරිමේය කල්පයෙහි බුදුරජානන් වහන්සේ සරණ කොට ගියෙමි. දුගතියක් නො දනිමි. (මෙය) සරණගමනයෙහි ඵලය යි.
947. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිසරණගමනිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යි.
තිසරණගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
24. පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය
948. එකල්හි මම චන්‍ද්‍රවතී නගරයෙහි බැළයෙක් (=බැළයට මෙහෙ කරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනා වූ මම පැවිද්ද නො ලබමි.
949. මහත් වූ මෝහාන්‍ධකාරයෙන් වසන ලද (සත්ත්‍වයෝ) (රාග-ද්වේෂ-මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන් වූවෙක් වන්නෙම් ද?
950. මා ලඟ දිය යුතු දැයක් (=දෙයධර්‍මයක්) ද නැත. මම දුඃඛිත වූ බැළයෙක්මි. මම පඤ්චසීලය පරිපූර්‍ණ කරමින් රකින්නෙම් නම් ඉතා යෙහෙකි.
951. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්චශික්‍ෂාපද (=පන්සිල්) ගතිමි.
952. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සම්පූර්‍ණ වූ පන්සිල් රැකීමි.
953. මැරෙණ කල පැමිණි කල්හි දෙවියෝ මා අස්වසත්. (කෙසේද? යත්:) “නිදුකානෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදූ (දිව්‍ය) රථය එළඹ සිටියේ යˮ (කියායි.)
954. අන්තිම සිත (=චුතිචිත්තය) පවත්නාකල්හි මාගේ (පඤ්ච) සීලය සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතු කොට ගෙණ මම තව්තිසාදෙව්ලොවට ගියෙමි.
955. ශක්‍රදේවේන්‍ද්‍රව තිස්වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදු ව දිවසුව අනුභව කෙළෙමි.
956. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණ ය යි) කිය නො හැකිය.
957. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් චුත ව වෛශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
958. බුදුසසුන බබළද්දී වස් එළඹෙන කාලයෙහි මාගේ මවු තොමෝ ද පිය තෙමේ ද පඤ්චශික්‍ෂාපද (පන්සිල්) ගත්තාහු ය.
959. (එය) ඇසීම හා සමග ම වහා මාගේ ශීලය මම සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
960. උත්පත්තියෙන් පස්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජ තෙම (මාගේ) ගුණ දැන (මා) උපසපන් කරවී ය.
961. මම සම්පූර්‍ණ පන්සිල් රැක මෙයින් අපරිමේයකල්පයෙහි (සිට) දුගතියකට නො ගියෙමි.
962. එ ම පන්සිල්හි අනුහසින් ඒ මම සම්පත් අනුභව කෙළෙමි. (ඒ සම්පත්) කල්පකෝටියක් මුළුල්ලෙහි වර්‍ණනා කරන්නේ නමුදු ලේශ මාත්‍රයක් ම වර්‍ණනා කරන්නේ ය.
963. මම පන්සිල් රැක අනුසස් තුණක් ලබමි. (කවර නම් අනුසස් තුණක් ද? යත්-) මම දීර්‍ඝායු ඇත්තෙම් වෙමි. මහත් වූ භෝගසම්පත් ඇත්තෙම් වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙම් ද වෙමි.
964. සියලු දෙනාහට (තමාගේ) අධිමාත්‍ර වූ ශූර භාවය ප්‍රකාශ කරන්නාක් මෙන් කුදුමහත් භවයෙහි (සසරෙහි) හැසිර මම මෙ ම තනතුරු ලබමි.
965. අප්‍රමාණ වූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම්, විපාකය කෙබඳු වන්නේ ද
966. විශේෂ දැකුම් ඇති බැළයකු වූ මා විසින් පන්සිල් මැනැවින් හැසිරෙණ (=රක්නා) ලදී. මම එ ම ශීලය හේතු කොට ගෙණ අද සියලු භව බන්‍ධන මිදුවෙමි.
967. මෙයින් අපරිමේයකල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාක ය යි.
968. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
පඤ්චසීලසමාදානිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
25. අන්නසංසාවක ස්ථවිරාවදානය
969-970. (අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්තොරණක් මෙන් බබළන දෙතිස් මහපුරිස්ලකුණු ඇති ලොව බබුළුවන්නා වූ අපමණ ගුණ ඇති අනුපම (උපමා රහිත) වූ දැමුනා වූ දීප්තිය දරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක අධික වූ ප්‍රීතියක් ලැබීමි.
971. මම බුදුරජානන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඒ මහාමුනීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළසේක.
972. (සත්ත්‍වයාට) උතුම් වූ අස්වැසිලි කරණ ඒ මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
973. මෙයින් සිවු අනූවනකපෙහි වූ එකල්හි යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
974. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘අන්නසංසාවක’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යි.
අන්නසංසාවක ස්ථවිරාවදානය පස්වැනි යි.
26. ධූපදායක ස්ථවිරාවදානය
975. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පැහැදුනු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳ කිළියට සුවඳ දුමක්) දෙනලදී.
976. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියලු දෙනාට ම ප්‍රිය වෙමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.
977. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳදුම්දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.
978. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
ධූපදායක ස්ථවිරාවදානය සවැනි යි.
27. පුලිනපූජක ස්ථවිරාවදානය
979. විපස්සීබුදුරජානන් වහන්සේගේ බුද්ධත්‍වයට උපකාර වූ උතුම් වූ ද්‍රැමමූලයෙහි පරණ වැලි අස් කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
980. මෙයින් එක් අනූවන කපෙහි මම යම් වැලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මෙය වාලුකා (=වැලි) දානයාගේ විපාකය යි.
981. මෙයින් තෙපණස්වන කපෙහි ජනයා අධිපති වන මහත් බල ඇති මහාපුලින නම් වූ සක්විති රජෙක් වීමි.
982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජකො ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
පුලිනපූජකස්ථවිරාවදානය සත්වැනි යි.
28. උත්තරිය ස්ථවිරාවදානය
983. මම එකල්හි චන්‍ද්‍රභාගානදීතීරයෙහි කිඹුලෙක් වීමි. සිය ගොදුරු සෙවීමෙහි නිරත වූ මම නදීතීර්‍ත්‍ථයකට පැමිණියෙමි.
984. එසමයෙහි තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ ගඟ තරණය කරණු කැමැති සේක් නදී තීර්‍ත්‍ථයට පැමිණියහ.
985. බුදුරජානන් වහන්සේ එළෙඹි කල්හි මම ද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙ ම වචනය කීමි. (කෙබඳු වචනයක් ද? යත්:)
986. “මහාවීරයන් වහන්ස, (මා පිට) නගිනු මැනව, මම ඔබ (ගඟින්) එතෙර කරන්නෙමි. (මේ ජලය) මාගේ පිතෘපරම්පරාවෙන් හිමි ස්ථානය යි. මහාමුනීන් වහන්ස, අනුකම්පා කරණු මැනැව.
987. මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජානන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුනුසේක. සතුටු සිතින් පිණා ගියෙම් ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
988. ගඟ පරතෙරෙහි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම එහි දී “(තෝ) නිවණට පැමිණෙන්නෙහි ය” යි මා සැනසී ය.
989. මම එ ම කයින් චුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.
990. මම ශක්‍ර දේවේන්‍ද්‍රව සත්වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වර වූ සක්විතිරජ වීමි.
991. මම විවේකයෙහි යෙදුනෙම් ප්‍රඥා ඇත්තෙම් මැනැවින් සංවරණය වූ ඉඳුරන් ඇත්තෙම් සම්‍යක් සම්‍බුදු රජානන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.
992. යම්හෙයකින් මෙයින් සිවුඅනූවනකපෙහි නරශ්‍රේෂ්ඨයන් වහන්සේ (ගඟින්) එතෙර කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එතෙර කිරීමෙහි මේ විපාකය යි.
993. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරියස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
උත්තරියස්ථවිරාවදානය අටවැනි යි.
29. ඒකඤ්ජලික ස්ථවිරාවදානය
994. 995. ඇතුළු වීථියෙහි වඩින්නා වූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂ්ඨ සාර්‍ත්‍ථවාහකයකු වූ මනුෂ්‍ය වීරයකු වූ (සත්ත්‍වයා නිවන්පුරයට පමුණුවන බැවින්) විනායක වූ නො දැමුනු අය දමනය කරන්නා වූ තාදිගුණ ඇති මහාවාදී වූ මහාප්‍රාඥ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ දැක මම පැහැදුනෙම් සොම්නස් සිත් ඇත්තෙම් දෑත් එක් කොට එක්වරක් ඇඳිලි කෙළෙමි.
996. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිම්. අඤ්ජලි කර්‍මයාගේ මේ විපාකය යි.
997. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
ඒකඤ්ජලිකස්ථවිරාවදානය නවවැනි යි.
30. ඛොමදායක ස්ථවිරාවදානය
998. එකල්හි මම බන්‍ධුමතීනගරයෙහි වෙළෙඳෙක් වීමි. එම වණික් කර්‍මයෙන් ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන ශීලාදී පුණ්‍ය) බීජසම්පත් ද රෝපණය කරමි.
999. වීථියට පිළිපන් ශාස්තෘ වූ විපස්සී බුදුරජානන් වහන්සේට පින් පිණිස කොමුපිළියක් මා විසින් දෙන ලදී.
1000. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (මම) යම් කොමු පිළියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කොමුපිළිදනෙහි මේ විපාකය යි.
1001. මෙයින් සත්විසිවන කපෙහි සිවුමහදිවයිනෙහි අධිපති වූ සප්ත රත්නයන්ගෙන් යුක්ත වී සින්‍ධවසන්‍දන නම් එක් සක්විතිරජෙක් වීමි.
1002. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛොමදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
ඛොමදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුභූති උපවාන ද - සරණ හා සිල් ගත්තේ ද, අහර ද දුම් ද දුන්නෝ - යලි උත්තරිය තෙරිඳු ද. ඇඳිලි බැඳ කෙ මුදුන් - තෙරුන් යී වත් දසයකි, එක්සිය අසූපස් ගය - කින් එය මෙහි කියවින.
සුභූති වර්‍ගය තෙවැනියි.
සතරවෙනි බණවරයි
4. කුණ්ඩධාන වර්‍ගය
31. කුණ්ඩධාන ස්ථවිරාවදානය
1003. සතියක් (නිරෝධසමාත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තමා ම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගල වූ (පදුමුත්තර) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹීමි.
1004. මම (නිරෝධසමාපත්තියෙන්) නැගී සිටි මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කලැයි දැන මහත් වූ කෙසෙල්කැණක් ගෙන ආයෙමි.
1005. ලෝකනායක වූ මහාමුනි වූ භාග්‍යවතුන් වහන්සේ එ ම ඵලය (කෙසෙල්කැණ) පිළිගෙන මාගේ සිත පහදවනසේක් වැළඳූ සේක.
1006. (තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තර වූ සත්ත්‍වයන් (සසර කතරින් එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහකයකු වැනි වූ බුදුරජානන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ මෙ ම ගාථාවන් වදාළ සේක.
1007. “මෙ ම පර්‍වතයෙහි රැස් වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම්, (ඔහු ද) අරණෙහි මේ ධර්‍මය ඇසීමට සුදුසු අනිකුත් භූතයෝ ද මාගේ වචනය අසත්වා.
1008. ඒ යමෙක් කේශරසිංහයකු මෙන් සර්‍වඥ වූ මට උවැටන් කෙළේ ද, මම ඔහු (කවරෙක් දැ යි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නා වූ මාගේ වචනය අසවු.
1009. ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේ ය. සූතිස් වරක් සක්විති රජ වන්නේ ය.
1010. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1011. සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රෝශ කොට එ ම පාපකර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩාධාන යන) නමක් ද ලබන්නේ ය.
1012. හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ නමින් කුණ්ඩධාන නම් ඖරස (බුද්ධ) පුත්‍ර වූ ශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
1013. මම ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ධ්‍යාන කරණසුලු වූයෙම් ධ්‍යානයෙහි ඇලුනෙම් ශාස්තෲන් වහන්සේ සතුටු කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
1014. අග්‍රශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද භික්‍ෂුසංඝයා විසින් පෙරටු කරණලද සර්‍වඥ තෙම බික්සඟන මැද හිඳ ලහ ගැන්වී ය.
1015. සිවුරු එකස් කොට ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දී මම පළමු කොට ම (ලහ) ගතිමි.