Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 901-1000 න් 9627

845. ‘වීරයන්වහන්ස, මා විසින් මේ අසුන ඔබවහන්සේට සුදුසු කොට පණවනලදී. මාගේ සිත සතුටු කරමින් මල්අසුනෙහි වැඩහිඳිනු මැනව, (කියායි).
846. භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ රෑ දාවල් සතක් (=සතියක්) මුළුල්ලෙහි අභීතකේශරසිංහරාජයකු මෙන් එ ම මල්අසුනෙහි වැඩහුන් සේක.
847. මම ද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝක යෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ සමාධියෙන් නැගිට,
848. මාගේ කර්‍මය ප්‍රකාශ කරණ සේක් මෙ ම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුද්ධානුස්සතිභාවනාව වඩව.
849. මෙ ම බුද්ධානුස්සතිය වඩා අධ්‍යාශය සම්පූර්‍ණ කරන්නෙහි ය. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දිව්‍යලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහි ය.
850. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. දහස් වරක් රටෙහි සක්විතිරජ වන්නෙහි ය.
851. (තමා ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය (මෙපමණ ය යි) ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එ ම සියල්ල තෝ විඳින්නෙහි ය. (මෙය) බුද්ධානුස්මෘතියෙහි ඵලය යි.
852. කුදු මහත් භවයෙහි හැසිරෙන්නේ මහත් වූ භෝගසම්පත් ලබන්නෙහි ය. ඔබගේ (ඒ) භෝගසම්පත්තියෙහි අඩු බවක් (නම්) නැත. මේ බුද්ධානුස්මෘතියෙහි ඵලයයි.
853. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකවංසයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
854. අසූකෙළක් (ධනය) ද බොහෝ දස්කම්කරුවන් ද හැරදමා ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.
855. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් සුභූති නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
856. (ඒ ගෞතම බුදුරජානන් වහන්සේ) භික්‍ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ ඒ සුභූති තෙරුන් දක්‍ෂිණේයගුණයෙහි ද එසේ ම නො ඇලී විසීමෙහි ද යන මේ කරුණු දෙකෙහි අග්‍රස්ථානයෙහි ලබන සේක (කියායි.)
857. ප්‍රාඥ වූ දීපඞ්කර නමැති බුදුරජානන් වහන්සේ මෙ ම වචනය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැන නැංගේ ය.
858. ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැම කල්හි සතුටු වූයෙම් උතුම් වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.
859. මැනැවින් කරණලද එම කර්‍මයන් හා චිත්තප්‍රණිධීන් ද හේතු කොට ගෙණ මම මනුෂ්‍යශරීරය හැරදමා තව්තිසාදෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
860. මම ශක්‍ර දේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස්වරක් සක්විති රජ වීමි.
861. මහත් වූ ප්‍රදේස රාජ්‍යය (ලැබූ වාරගණන මෙතෙකැයි) ගණනින් ගණිය නො හැකි ය. උතුම් සම්පත් අනුභව කෙරෙමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.
862. මම කුදු මහත් භවයෙහි සැරිසරන්නෙම් මහත් වූ භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.
863. මෙයින් කල්පලක්‍ෂයකින් පෙර වූ එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. බුද්ධානුස්මෘති භාවනාවෙහි මේ විපාකය යි.
864. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යි.
සුභූතිස්ථවිරාවදානය පළමුවැනි යි.
22. උපවාන ස්ථවිරාවදානය
865. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
866. මහාජනයා එක් රැස් ව තථාගතයන් වහන්සේ පුදා මැනැවින් සෑයක් කොට සර්‍වඥදේහය (එයට) නැගූහ.
867. එහි ශරීරය පිළිබඳ ආදාහනකෘත්‍යය කොට ධාතු ගෙණාවාහු ය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එ ම ධාතු නිදන් කොට) බුද්ධස්තූපයක් කළාහු ය.
868. (එ ම ස්තූපයෙහි) පළමු නිම්වළල්ල රන්මුවා ය. දෙවැන්න මිණිමුවා ය. තෙවැන්න රිදීමුවා ය. සිව්වැන්න පළිඟුමුවා ය.
869. එසේ ම පස්වැනි නිම්වළල්ල පියුම්රාමිණිමුවා ය. සවැන්න මැසිරි ගල්මුවා ය. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්‍වරත්නමය ය.
870. ජඝනය (=යට කොටස) මිණිමුවා ය. වේදිකාව රුවන්මුවා ය. (මෙසේ) සෑය සර්‍වස්වර්‍ණමය ය. යොදුනක් උසට පැන නැංගේ ය.
871. එකල්හි එහි දෙවියෝ එක් රැස් ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) “තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරමු.
872. (ඒ පදුමුත්තරබුදුරජානන් වහන්සේගේ) ධාතු වෙන් වෙන් ව නැත. මුළු සිරුර ම එකට කැටි ව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහි ම කංචුකයක් කරන්නෙමු ය” (කියා යි).
873. දෙවියෝ (එ ම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහු ය. (ඉක්බිති) එ ම සෑය දෙයොදුනක් උස ය. (එහි ආලොකයෙන්) අඳුර ද දුරු කෙරෙයි.
874. එකල්හි නාගයෝ එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේද? යත්:) “ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද බුදුරජානන් වහන්සේට සෑය කළාහු ය.
875. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වෙති. තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරවන්නෙමු” (කියා යි).
876. ඉඳුනිල් ද මහනිල් ද යලි ජෝතිරස නම් මැණික් ද එක් රැස් කොට බුදුරජානන් වහන්සේගේ සෑය වැසූහ.
877. එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණලද එළිය කරන්නා වූ තුන් යොදුන් උස බුද්ධස්තූපයක් වී ය.
878. එකල්හි ගුරුළෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද බුද්ධස්තූපයක් කළාහු ය.
879. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරන්නෙමු.
880. ගුරුළෝ ස්තූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (=වැස්මක්) කළාහු ය. ඔහු ද බුද්ධස්තූපයෙහි උස යොදුනකින් වැඩි කළාහු ය.
881. සිවුයොදුන් උස (මෙම) බුද්ධස්තූපය බබළයි. උඩට නැගුනු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
882-883. එකල්හි කුම්භාණ්ඩයෝ ද (දිව්‍යවිශේෂයෙකි). එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද එසේ ම ගුරුළෝ ද වෙන වෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමත්තයෝ නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
884. තාදිගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය අපි දු රත්නයන්ගෙන් වසන්නෙමු” (කියායි.)
885. ඔහු ද බුද්ධස්තූපය යලි යොදුනක් (උස) වැඩි කළාහු ය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
886-887. එකල්හි යක්‍ෂයෝ ද එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද ගුරුළෝ ද කුම්භාණ්ඩයෝ ද වෙනවෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමාදී නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
888. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය පළිඟුයෙන් වසන්නෙමු” (කියායි.)
889. ඔහු ද උස් වූ බුද්ධස්තූපය යොදුනක් වැඩි කළාහු ය. එකල්හි (එම) සෑය සයොදුනක් උස් වේ.
890-891. එකල්හි ගන්‍ධර්‍වයෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, නාගයෝ ද, ගුරුළෝ ද, කුම්භාණ්ඩයෝ ද, යක්‍ෂයෝ ද යන සියල්ලෝ බුද්ධස්තූපය කළාහු ය. මෙහි අපි (කිසිවක්) නො කළමෝ වෙමු. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑය කරවන්නෙමු. (කියායි.)
892. ඔවුහු (එහි) වේදිකා සතක් කොට ඡත්‍රයක් ද නැගූහ. එකල්හි ගන්‍ධර්‍වයෝ සෑය සර්‍වස්වර්‍ණමය කරවූහ.
893. එකල්හි සත්යොදුන් උස සෑය බබළයි. රෑදාවල්හු නො දැනෙත්. හැමකල්හි ආලෝකය වේ.
894. තාරකා සහිත වූ චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ එ ම චෛත්‍යයාගේ ප්‍රභාව නො මඩිත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නො දැල්වුනේ ය.
895. එකල්හි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම්, ඔහු සෑයට නො නගිත්. ඔහු අහසෙහි උඩ දමත්.
896. දෙවියන් විසින් තබන ලද අභිසම්මත නම් යක්‍ෂෙයෙක් වී ය. (හෙතෙම උඩට දැමූ) ධජයක් වුවත් පුෂ්පාදාමයක් (=මල්දමක්) වුවත් සෑ මුදුනෙහි නගා තබයි.
897. ඔහු එ ම යක්‍ෂයා නො දකිත්. එය ගෙනයන යක්‍ෂයාගේ මල්දම පමණක් දකිත්. මෙසේ දැක යන සියල්ලෝ සුගතියට යෙත්.
898. ත්‍රිපිටක බුද්ධවචන සඞ්ඛ්‍යාත ධර්‍මයෙහි සැදැහැ නැති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, සසුනෙහි පහන් වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, (යන සියලු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාර්‍ය්‍යය දකිනු කැමැත්තාහු ස්තූපය (මල්දම්ආදියෙන්) පුදත්.
899. එකල්හි මම හංසවතීනගරයෙහි බැළයෙක් වීමි. එකල්හි සතුටු වූ ජනයා දැක මම මෙසේ සිතීමි:
900. “යම් (බුදු) කෙනෙකුන්ගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර ලබා) නම් (එ ම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි. මේ ජනසමූහයා ද සතුටු වූවාහු බොහෝ වූ සත්කාර කෙරෙත්.
901. මම ද තාදිගුණ ඇති (පදුමුත්තර) ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්‍මයෙහි කොටස් හිමියෙක් වන්නෙමි”.
902. රජකයකු විසින් මැනවින් සෝදා පිරිසිදු කරණලද මාගේ උතුරු සළුව උණදඬුවක අග එල්වා ධජයක් කොට අහසෙහි (උඩට) ඔසොවා තැබීමි.
903. අභිසම්මත යක්‍ෂ තෙමේ මාගේ ධජය ගෙණ අහසෙහි එල්වා තැබී ය. වාතයෙන් සෙලවෙන්නා වූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.
904. එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි. මම ඒ භික්‍ෂුහු වැඳ ධජ(දාන)යෙහි විපාක විමසීමි.
905. හෙතෙමේ මාගේ මහත් ප්‍රීතිය ඇති කරණ (අනුසස්) මට මෙසේ කී ය. (කෙසේ ද? යත්:) “හැම කල්හි එ ම ධජයාගේ විපාකය අනුභව කරන්නෙහි ය.
906. ඇත් අස් රිය පාබළ යන සිවුරඟසේනාවෝ නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
907. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණලද භේරීහු ද ඔබ නිරතුරු ව ම (වැයීමෙන්) පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
908-909. සැරසුනු අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු පැලඳි මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වුවාහි ඉතා මොළොක් ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
910. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහි ය. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය.
911. දහස්වරක් සක්විතිරජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ලබන වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
912. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
913. කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව පුණ්‍ය කර්‍මය හා එක් වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහි ය.
914. අසූකෙළක් ධනය ද බොහෝ දස්කම්කරුවන් ද හැර දමා ගෞතමබුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.
915. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් උපවාන ය යි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය” යි වදාළ සේක.
916. කල්පලක්‍ෂයකට පෙර මා විසින් කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හීයක වේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
917. සතර මහදිවයිනට අධිපති වූ සක්විතිරජ වූ මට හැම කල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.
918. මෙයින් කල්ප ලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුයෙන්) දුගතියක් නො දනිමි. ධජ දානයාගේ මේ විපාකය යි.
919. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවානස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
උපවානස්ථවිරාවදානය දෙවැනි යි.
23. සරණගමනිය ස්ථවිරාවදානය
920. මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි. එකල්හි මාගේ ඒ අඳ දෙමාපියන් පෝෂණය කරමි.
921. එකල්හි මම රහසිගත ව හිඳ මෙසේ සිතීමි. (කෙසේද? යත්:) “මම දෙමාපියන් පෝෂණය කරන්නෙම් පැවිද්ද නො ලබමි.
922. මහත් වූ මොහඳුරින් වසන ලදී. (රාග ද්වේෂ මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් (සත්ත්‍වයෝ) දැවෙත්. මෙබඳු බිය ඇති වූ කල්හි කිසි ගලවන්නෙක් නැත.
923. බුදුරජ තෙම ලොව පහළ වී ය. සර්‍වඥශාසනය බබළයි. පින්කම් ඇත්තහු විසින් (ස්වකීය) ආත්මය ගොඩ නගා තැබිය හැකි ය.
924. තුන් සරණ ඉගෙණ සම්පූර්‍ණ ලෙස රැකීමි. මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ දුගතියෙන් මිදෙමි.
925. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ නම් භික්‍ෂුනමක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ සරණගමනය ගතිමි. (සරණ ගත වීමි)
926. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සරණගමනය සම්පූර්‍ණ ලෙස රැකීමි.
927. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එ ම සරණය සිහි කෙළෙමි. මම මැනැවින් කරණ ලද එ ම කර්‍මය හේතු කොට ගෙණ තව්තිසාවට ගියෙමි.
928. දෙව්ලොවට ගියෙම් පින්කමින් යුත් වූයෙම් යම් දෙසකට යෙම් නම්, අට හේතුවක් (=ආනිසංසයක්) ලබමි.
929. සියලු දිගුන්හි පුදන ලදුයෙම් වෙමි. මම තියුණු නුවණැත්තෙම් වෙමි. සියලු දෙවියෝ (මා) අනුව පවතිත්. මම අපමණ වූ භෝගසම්පත් ලබමි.
930. මම ස්වර්‍ණවර්‍ණ වූයෙම් හැම තන්හි දී ප්‍රිය වූයෙක් වෙමි. මිතුරන්ට ස්ථිර වෙමි. මාගේ යසස ඉතා උස් ව නැංගේ ය.
931. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.
932. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් කිය නො හැකි ය. (අපමණ ය.)
933. අන්තිමභවය පැමිණි කල්හි පුණ්‍යකර්‍මය හා එක් වූයෙම් සැවැත්නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
934. මම කුමරුන් විසින් පිරිවරණ ලද්දෙමි. සතුටින් හා කෙළි සෙල්ලමින් යුතු වූ මම සඞ්ඝාරාමයට එළඹියෙමි.
935. එහි දී කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ උපධි රහිත වූ භික්‍ෂුනමක් දුටුවෙමි. හෙතෙම මට දහම් දෙසී ය. (මට) සරණ ද දුන්නේ ය.
936. මම ඒ සරණ අසා (පෙර) මාගේ සරණය සිහි කෙළෙමි. ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
937. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ (මාගේ) ගුණ දැන (මා) උපසම්පන්න කළ සේක.
938. මම මෙයින් අපරිමේය කල්පයකට පෙර සරණගත වීමි. ඉක්බිති මා විසින් මැනැවින් කරණලද (ඒ මාගේ) කර්‍මය තෙම මෙහි දී ඵලය දැක්වී ය.
939. මා විසින් සරණය මැනැවින් රක්නාලදී. සිත මනා ව පිහිටුවන ලදී. සියලු සම්පත් අනුභව කොට නිශ්චල වූ නිර්‍වාණපදයට පැමිණියෙම් වෙමි.
940. යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ වචනය අසවු. මා විසින් (භික්‍ෂුනමකගේ මාර්‍ග දේශකත්‍වයෙන්) තමා විසින් දක්නා ලද ශාන්තපදය මම තොපට කියන්නෙමි. (කෙසේද? යත්:)
941. “බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. සර්‍වඥශාසනය පවතී. සෝහුල් දුරු කරන්නා වූ අමාබෙරය වයන ලදී.
942. ස්වකීය ශක්ති පමණින් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි කුසල් කරන්නහු නම්, නිවණ පහස්නහු ය. (=ලබන්නහු ය.)