Apadāna

Legendary Lives

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

පෙන්වන කොටස් 1-100 න් 9627

සූත්‍රපිටකයෙහි
ඛුද්දකනිකායේ
අපදානපාළිය
ප්‍රථමභාගය
ථේර අපදාන පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන්වහන්සේට නමස්කාර වේවා.
1. බුද්ධ වර්‍ගය
බුද්ධාපදානය
1. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්‍දස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, සර්‍වඥ බුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ” යි විචාළේ ය.
2-3. එකල්හි මහර්ෂී වූ සර්‍වඥ වූ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණ ලද අධිකාර (පින්) ඇති, ඒ බුදුසසුන්හි නො ලැබූ නිවන් ඇති, ඉතා සියුම් නුවණ ඇති, ඒ ප්‍රාඥයෝ ඒ සම්‍යක්සම්බෝධිය ම අරමුණු කොට මහත් ධෛර්‍ය්‍යයෙන් කළ පැතුමින් ද, වඩන ලද ප්‍රඥාවෙන් ද, බලයෙන් ද බුදුබවට පැමිණෙත්” ය යි මිහිරි හඬින් වදාළ සේක.
4. බුදුවරයෝ අසඞ්ඛ්‍ය වෙති. මම ද ඒ පෙර බුදුවරයන් හමුවෙහි සිතින් ම එසේ වී බුදුබව පැතීමි.
5. අනතුරු ව බුද්ධාපදානයන් (බුදුබවට හේතු කරණු) පිරිසිදු සිතින් අසවු. සමතිස් පැරුම් පිරූ බුදුවරු අසඞ්ඛ්‍ය ගණන් වෙති.
6. ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානය ද, ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලා ද, බදැඳිලි ව නැමැද හිස නමාත් වැන්ඳෙමි.
7. ඇති තාක් බුද්ධක්‍ෂේත්‍රයන්හි අහසෙහි වූ ද පොළොවෙහි වූ ද අනන්තරත්නයන් සිතින් (ඉටා මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
8. එහි රිදීමුවාබිම්හි සත්රුවනින් කරණලද්දා වූ අහස්හි උස් ව නැංගා වූ නොයෙක් මහල් ඇති පහයක් මැවීම්.
9. ඒ ප්‍රාසාදය දිගුපුළුලට සරි ලන සේ මැනවින් කළ බෙදුම් ඇති මාහැඟි තොරණින් හා සේසතින් බබලන රුවන්මුවා දැවවළලු ඇති විසිතුරු කණුවලින් යුතු වි ය.
10. එහි පළමුවැනි මාලය පිරිසිදු වලාකුළක් සේ මනෝඥ වෙරළුමිණියෙන් කරණලද බිම ඇත්තේ වි ය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් රුවන්මුවා භූමියෙන් ද යුතු වි ය.
11. එහි කිසි මහලක් මනහර පබළුයෙන් කළ පැති ඇත්තේ පබළුවන් වි ය. අනිකක් රත්පැහැ වි ය. අනිකක් රතිඳුගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුතු වූ යේ දසදිගුන් බබුළුවයි.
12. මැනැවින් බෙදූ ගෘහද්වාර ද පිටතට නෙරාගිය ප්‍රමුඛශාලා (=පෝටිකෝ) ද වෙන් වෙන් ව තබනලද සීමැදුරු ද මුතුලැලින් මනහර වූ සුවඳමල්දම් ලෙළෙන වේදිකා සතරක් ද එහි වි ය.
13. (ඒ ප්‍රාසාදය) සත්රුවනින් දිලෙන නිල්, කහ, රතු, සුදු, නො මුසු කළුවන් වූ කුළුගෙවලින් ද යුතු වි ය.
14. (එ ම පහය) පිපුනු (අයුරින් කළ) පියුමින් ද, ව්‍යාල මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ ද රුවින් බබලන (ඉතා උස් බැවින් පිළිබිඹු වූ) නැකැත්තරුවලින් ගැවසී ගත් සඳහිරුරූවලින් ද ශෝභන වි ය.
15. එහි රන්කිකිණයෙන් යුත් රුවන්දැලින් ගැවසුනු මනහර වූ රත්මල්දම්හු වායුවේගයෙන් නාද කරති.
16. මදටපැහැ, රතු, කහ, පලාවන්, පිඟුවන් යන නන්වැදෑරුම් සායම් පොවනලද ඔසවනලද්දා වූ දදපෙළ ද වෙයි.
17. එය රිදීමුවා වූ ද නිල්මිණිමුවා වූ ද දෑරඟමිණිමුවා වූ ද, එසේ ම මැසිරිමිණිමුවා වූ ද පුවරු ඇති සියුම් කසීසළු අතුළ නොයෙක් සියගණන් සයනයන්ගෙන් විසිතුරු වි ය.
18. කම්බිලි ද දුහුල්පට ද චීනපට ද පත්තුණ්ණදේසයෙහි කළ පට ද පඬුවන් පට ද යන මෙයින් කළ ප්‍රාවරණයන් ඇති බැවින් විවිධ ඇතිරිලිවලින් යුත් සියලු (අසුන්) මම සිතින් ඉටා පැණවීමි.
19. ඒ ඒ භූමීන්හි රුවන්කුළුවලින් අලඞ්කෘත වූ රත්මිණියෙන් කළ දඬුවැටපහන් දරන්නෝ සිටිත්.
20. එහි නුවරදොර හොබවනුවස් සිටවූ ඉන්‍ද්‍රඛීලයෝ බබලත්. ස්වර්‍ණමය වූ ද ජාම්බූනදස්වර්‍ණමය වූ ද ඛදිර(=කිහිරි)දාරුමය වූ ද රජතමය වූ ද තොරන්හු බබලති.
21. මැනවින් බෙදූ බොහෝ සන්‍ධීහු වෙත්. (ඒ පහය) ජනෙල් වලින් හා අගුළුවලින් විසිතුරු වි ය. පියුම්උපුල් වලින් යුත් දෙපස තැබූ නොයෙක් පුන්කලස්හු ද එහි වෙති.
22. අතීතයෙහි වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත ලෝකනායක සම්මා සම්බුදුවරයන් ද එසේ ම ශ්‍රාවකසමූහයා සහිත පසේබුදුවරයන් ද පියවිසටහනින් මවා-
23. ශ්‍රාවකයන් සහිත ඒ බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය්‍යසමූහ ව සර්‍ව සෞවර්‍ණ්‍ය (=සියල්ල රුවන්මුවා) වූ පුටුවල වැඩහුන්හ.
24. මෙකල ලෝකයෙහි අනුත්තර වූ යම් බුදුකෙනෙක් වෙත් ද, එසේ ම අතීතයෙහි වූ ද, වර්‍තමානයෙහි වූ ද ඒ සියලු බුදුවරයෝ ම මේ ප්‍රාසාදයට නැංගහ.
25. තමන් විසින් ම පරෝපදේශ රහිතව ධර්‍මය අවබෝධ කර ගත් පස්මරුන් දිනූ අතීතයෙහි හා වතර්‍මානයෙහි වූ නොයෙක් සියගණන් පසේබුදුවරු ද මේ පහයට නැංගහ.
26. දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද කල්පවෘක්‍ෂයෝ බොහෝ වෙති (එයින්) සියලු වස්ත්‍ර ගෙණවුත් තුන්සිවුරින් (උන්වහන්සේලා) හැඳවීමි.
27. කෑයුතු වූ ද, බිදියයුතු වූ ද, රස විඳගත යුතු වූ ද, සමෘද්ධ වූ ආහාරපානයෙන් මනෝඥ වූ මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දිනිමි.
28-29. දිවැස් ඇත්තවුන් වැනි වූවාහු මටසිලුටු සිවුරු දැරුවා වූ මී සකුරු තලතෙල් මීපැණි යන මෙකී උතුම් ආහාරපානයන්ගෙන් සෑහීමට පත් වූ ඒ සියලු ආර්‍ය්‍යසමූහයා ගුහාවන්හි සයනය කරණ කේශරසිංහයන් මෙන් රත්නගර්‍භයට පිවිස–
30. මාහැඟි සයනයෙහි සිහියෙන් යුතු ව සීහසෙය්‍යාවෙන් දකුණැළයෙන් සැතපුනහ. සිහියෙන් යුතු ව නැගිට සයනයෙහි ම පලක් බැඳ වැඩහිඳ සියලු බුදුවරයනට විෂය වූ ධ්‍යානයට සමවන්හ.
31. (ඒ පසේබුදුවරයන් අතුරෙන්) ඇතැම් කෙනෙක් දහම් දෙසත්. අනික් කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඍද්ධියෙන් ක්‍රීඩා කෙරෙත්. තව කෙනෙක් පඤ්චවශීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවනට සමවදිති ඇතැම්හු නොයෙක් දහස්ගණන් ඍද්ධිවිකුර්‍වණයන් කෙරෙත්.
32. බුදුවරු සර්‍වඥතාඥානයට ගෝචර වූ කරුණු බුදුවරුන්ගෙන් විචාරත්. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
33. ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත් ඔවුනොවුනු දු විචාරත්. ඔහු ඔවුනොවුන්ගේ පැණ විසඳත්.
34. සම්‍යක් සම්බුදුවරු ද පසේබුදුවරු ද ශ්‍රාවකයෝ ද පිරිවරජනයා ද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි ඒ (වෛජයන්ත) ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
35. සත්රුවන්මුවා ඡත්‍රයෝ රන්ලැල් සහිත පත්‍ර ඇතිව එල්බෙමින් සිටිත්වා, මුතුලැල් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වා සි (සිතූ කෙණෙහි එසේ පහළ වි ය.)
36. රුවන්තරුයෙන් බබලන සෙල්වියන් පහළ වේවා! විසිතුරු මල් ගැවසුනු නොයෙක් වියන් මාගේ මස්තකයෙහි දරත්වා!
37. මල්දමින් ගැවසීගත්, සුවඳ දමින් හෙබුනා වූ, දුස්සදාමයන්ගෙන් ආකූල වූ, රත්නදාමයන්ගෙන් අලඞ්කෘත වූ–
38. විසිතුරු මලින් ගැවසීගත් සුවඳදුම් ගැස්වූ සුවඳ පසඟුල් කළ රන්වහලින් වැසූ-
39. සිවුදිගෙහි වූ පුෂ්කරිණිහු පියුම්උපුල්වලින් ගැවසීගත්තාහු උඩට නැගි පියුම් රොන් රජස් ඇත්තාහු ස්වර්‍ණමය ව මෙන් වැටහෙත්වා!
40. මාගේ (වෛජයන්ත) ප්‍රාසාදය හාත්පස සියලුගස් පිපේවා! ඒ මල් ඉබේ ම ගිලිහී පහය මතුයෙහි විසිරේවා!
41. එහි මොනරු නටත්වා! දිව්‍යහංසයෝ ශබ්ද කෙරෙත්වා! හාත්පස්හි කොවුලෝ ද පක්‍ෂි සමූහයෝ ද ගයත්වා!
42. සියලු භේරීහු වාදනය කරණු ලැබෙත්වා! ඒ සියලු වීණාවෝ රැව් දෙත්වා! පහය හාත්පස සියලු සඞ්ගීතයෝ පවතිත්වා!
43-44. බුද්ධක්‍ෂේත්‍රය හැමතැන ද, එයින් පිටත් සක්වළෙහි ද, මහත් වූ පලුදු නො වූ දිලිසෙන රුවන්මුවා රන්පලඟහු වෙත්වා! ප්‍රදීපවෘක්‍ෂයෝ දැල්වෙත්වා! දසදහස් ලෝදා පරපුර එකාලොක වෙත්වා!
45. ගණිකාවෝ ද නිළියෝ ද දිව්‍යප්සරාවෝ ද නටත්වා! පහය අවට නන් රඟමඬුලු පෙණේවා!
46. (එකල්හි මම තිලෝක විජය නම් සක්විතිරජ ව මුළුසක්වළ) ගස් මුදුනෙහි ද පර්‍වත මුදුනෙහි ද සිනේරුපර්‍වතමුදුනෙහි ද, පස්වණින් විසිතුරු වූ සියලු දද එසවීමි.
47. මනුෂ්‍යයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද දෙවියෝ ද යන ඒ සියල්ලෝ එළඹෙත්වා! ඒ මිනිස් ආදීහු නමදින්නාහු බදැඳිළි ඇත්තාහු ඒ ප්‍රාසාදය පිරිවරාගණිත්වා!
(මෙසේ ඒ තුන්ලෝ ජයගත් සක්විති රජතෙම පහයෙහි ද තමාගේ ද අනුභාවය වර්‍ණනා කොට දැන් එය ලැබීමට තමා කළ කුශලය දක්වයි.)
48. තව්තිසාවෙහි ඉපදීමට සුදුසු යම් කුශලයක් කළයුතු වී ද එය කයින් වචනයෙන් හා සිතින් මම මැනවින් කෙළෙමි.
49. (දිව්‍ය මනුෂ්‍යාදි) සංඥී සත්ත්‍වයෝ ද (අසඤ්ඤසත්තයෙහි වූ) අසංඥී සත්ත්‍වයෝ ද යම් තාක් වෙත් නම්, ඒ සියල්ලෝ මා විසින් කරණලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා!
50. මා විසින් කරණලද පින යම් දිව්‍යමනුෂ්‍යනාගාදි කෙනෙකුන් විසින් මැනැවින් දැනගන්නා ලද ද, ඔවුන්ට මා විසින් පුණ්‍යඵලය දෙනලදී. මා විසින් ඒ කරණලද පින දුන් බව යම් කෙනෙක් නො දනිත් නම්, දෙවිවරු ගොස් ඔවුනට එය දන්වත්වා!
51. ආහාර හේතුවෙන් ජීවත් වන සියලු ලෝකවාසී සත්‍ත්‍වයෝ සියලු ම මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා!
52. පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙනලද නම් එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියලු සම්බුදුවරයෝ ද පසේ බුදුවරයෝ ද බුදුසව්වෝ ද මා විසින් පුදන ලදහ.
53. මැනවින් කළ ඒ පිණින් ද කරණ ලද ප්‍රාර්‍ත්‍ථනාවන්ගෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාදෙව්ලොවට ගියෙමි.
54. දෙව් මිනිස් දෙගතිය දනිමි. එයින් පිටත් අනික් ගතියක් ගැණ නොදනිමි. සිතින් කළ පැතුමෙහි මේ ඵලයයි.
55. (දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රෙෂ්‍ඨ වෙමි. (මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්‍ඨ වූ රජ වෙමි. රූපලක්‍ෂණයෙන් සමන්‍විත වූයෙම් අසම වූ ප්‍රඥාව ඇත්තේ ද වෙමි.
56. ශ්‍රෙෂ්‍ඨ වූ නානාප්‍රකාර භෝජන ද බොහෝ වූ සත්රුවන් ද නානාප්‍රකාර පට්ටකෝසෙය්‍යාදි වස්ත්‍ර ද මා වෙතට අහසින් වහා පැමිණේ.
57. පෘථිවි ය, පර්‍වත ය, ආකාශ ය, ජල ය, වන ය යන යම් යම් තැනෙක්හි අත දික් කරම් ද, ඒ ඒ හැම තැනකින් ම මා වෙත දිවබොජුන් පහළ වේ.
58-65. පෘථිවිය –පෙ– යම් යම් තැනෙක්හි අත දික්කරම් ද, ඒ හැම තැනකින් ම රුවන් ද සියලු සුගන්‍ධවර්‍ග ද යානා මාලා අලඞ්කාරයෝ ද සියලු කන්‍යාවෝ ද මී සකුරු ද කැවිලි ද මා වෙත පැමිණෙත් (පහළ වෙති).
66. ශ්‍රෙෂ්‍ඨ වූ සම්‍යක්සම්බෝධියට පැමිණීම පිණිස දුගී මගී යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
67. ඝන බහල ශෛලපර්‍වතයන් ගර්‍ජනය කරවමින් දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින් මම ලෙව්හි බුදු වෙමි.
68. ලෙව්හි ඒ ඒ දිගට ගමන් කරන්නහුට කෙළවරක් දැක ගත නො හැකි දිසා දසයකි. ඒ ඒ දිශාවෙහි ද බුද්ධක්‍ෂේත්‍රයෝ අනන්ත වෙති.
69. ඒ සක්විතිරජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලොකය රැස් විහිදුවමින් ප්‍රකට වි ය. මේ දස දහසක් සක්වළ අතුරෙහි රැස්සමූහය ද ආලොකය ද අධික වි ය.
70. මෙපමණ වූ ලෝකධාතූන්හි සියලු දෙන මා දකිත්වා! එසේ ම සියලු දෙන සතුටු සිත් ඇත්තෝ වෙත්වා! බඹලොව දක්වා වූ හැම දෙනම මා අනුගමනය කෙරෙත්වා!
71. විහිද වූ මධුරනාදයෙන් අමා බෙරය ගැසීමි. (=දම් දෙසීමි) මේ දස දහසක් සක්වළ ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා!
72. දහම්වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්‍රවරහිතයෝ (=රහත්හු) වෙත්වා! මේ ජනයා අතුරෙහි යමෙක් පශ්චිමක (=අඩු ගුණ ඇත්තෝ) වෙත් නම්, ඔහු සෝවාන් වෙත්වා!
73. දිය යුතු දන් දී නිරවශේෂයෙන් සිල් පුරා නෛෂ්ක්‍රම්‍යපාරමීකෝටි ප්‍රාප්ත ව සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
74. නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යය කොට ඉවසීමේ කෙළවරට ම ගොස් ක්‍ෂාන්තිපාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
75. දෘඪ අධිෂ්ඨානය කොට සත්‍යපාරමිතාව හා මෛත්‍රීපාරමිතාව පුරා සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
76. ලාභ ය, අලාභ ය, සැප ය, දුක ය, සම්මාන ය, අවමාන ය යන මේ සියලු තන්හි සමසිත් ඇත්තේ උපේක්‍ෂා පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
77. කුසීත බව භය වශයෙන් ද වීර්‍ය්‍යය ක්‍ෂේම (ආරක්‍ෂා ස්ථානය) වශයෙන් ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වවු. මෙය බුද්ධානුශාසනයයි.
78. විවාදය භය වශයෙන් ද අවිවාදය ක්‍ෂේමවශයෙන් ද දැක සමගි ව සිලිටු මෘදුගුණ ඇත්තෝ වවු. මෙය බුද්ධානු ශාසනය යි.
79. ප්‍රමාදය භයවශයෙන් ද අප්‍රමාදය ක්‍ෂේමවශයෙන් ද දැක අරි අටඟිමග වඩවු. මෙය බුද්ධානුශාසනය යි.
80. නොයෙක් සිය දහස් ගණන් පසේබුදුවරු ද රහත්හු ද රැස් වූහ. ඒ බුදුවරයන් ද රහතුන් ද වඳිමින් නමස්කාර කරවු.
81. මෙසේ බුදුවරයෝ චින්තාවිෂයාතික්‍රාන්නතයහ. බුදධදේශිතධර්‍මය ද චින්තාවිෂයාතික්‍රාන්තය. චින්තාවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද පහන් වූවන්ට ලැබෙන විපාකය ද චින්තාවිෂයාතික්‍රාන්ත වේ, හෙවත් සිතා අවසන් කළ නොහැකි වේ.
මෙසේ බුදුරජානන් වහන්සේ තමන්වහන්සේගේ බුද්ධචරිතය පවසන සේක් බුද්ධාපදානය නම් වූ ධර්‍මපර්‍ය්‍යායය වදාළසේක.
බුද්ධාපදානය සමාප්ත යි.
පච්චේකබුද්ධාපදානය
අනතුරු ව පච්චෙකබුද්ධාපදානය අසවු:-
82. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්‍ද ස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ?” යි නැමදුම් පෙරටු ව විචාළේ ය.
83-84. එකල්හි මහර්ෂී වූ සර්‍වඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණලද පුණ්‍යසම්භාර ඇති ඒ බුදුසසුන්හි නො ලබන ලද නිවන් ඇති ඉතා සියුම් නුවණින් යුත් ඒ ප්‍රාඥයෝ එ ම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිත ව ස්වල්පමාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙණ පසේබුදුබවට පැමිණෙත් ය” යි මධුර ස්වරයෙන් වදාළසේක.
85. සකල ලෝකයෙහි (සර්‍වඥබුද්ධ වූ) මා හැර පසේ බුදුවරයන් සමාන වූ අනිකෙක් නැත්මය. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ කොටසක් පමණක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
86. පරෝපදේශරහිත ව තමන් ම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරි වූ උදානවාක්‍යයෝ දඬුවෙල් බෑ මීවදයක් මෙන් මිහිරි වෙති. අනුත්තර වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝ ම මනා කොට පහන් වූ සිත් ඇත්තෝ (එය) අසවු.
87. එහි රැස් වූ පසේබුදුබවට පත් උතුමන් පිළිවෙළින් කළ යම් යම් ප්‍රකාශයෝ වෙත් නම්, කාමයන් පිළිබඳ ආදීනව ද නො ඇලීමේ කරුණු ද උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත් වූ පරිදි ද, (පවසන ඒ ප්‍රකාශයන්) අසවු.
88. ඇලුම් කට යුතු දැයෙහි නො ඇලෙන හැඟීම් ඇත්තාහු ඇලුම් කට යුතු ලෝකයෙහි නො ඇලුනු අදහස් ඇත්තාහු රාගාදි කෙලෙස් නසා දෘෂ්ටිචලනයන් දිනා එසේ ම ප්‍රත්‍යෙක බුද්ධත්‍වයට පිළිවෙළින් පැමිණියාහු ය.
89. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර ඒ සත්‍වයන් අතුරෙන් කිසිවකුට හිංසා ද නො කරන්නේ මෙත් සිතින් යුතු ව හිතානුකම්පා ඇතිව ඒ පසේබුදුරජතෙම කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
90. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර කිසි දූ කෙනෙකුට හිංසා ද නො කරන්නේ පුත්‍රයා ගැණ පවා බලාපොරොත්තුවක් නැත්තේය. සහායයන් ගැණ කියනු ම කිම? (ඒ පසේ බුදු තෙමේ) කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
91. හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය ඇති වේ. ඒ ස්නේහය අනු ව යන්නාවූ මේ දුක ඇති වේ. ස්නේහයෙන් හටගත්තා වූ දොස් දකින්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව හැසිරෙන්නේ ය.
92. සුහද මිතුරන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇතිබව හේතු කොට ගෙණ තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙළා ගණී. සන්‍ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
93. යම්සේ එකට ගෙතුනා වූ විශාල හුණපඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම්, (එය ඒ ඒ වස්තූන් හෝ අය ගොතා ගෙණ සිටී. එහි ආදීනව දක්නේ) හුණකිළිලක් මෙන් නො ඇලෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
94. යම් සේ තිත්මුවා උයනෙහි රැහැන් ආදියකින් නො බඳනා ලද්දේ කැමැති කැමැති තැනට ගොදුරු පිණිස යේ ද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බව ද එසේ ම දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
95. මිතුරන් මැද සිටින විට සයනයෙහි ද සිටීමෙහි ද ගමනෙහි ද චාරිකාවෙහි ද (‘පින්වත, මෙහි එන්න. මාගේ බස් අසන්න. මෙය දෙන්න’ යනාදි වශයෙන්) ඇමතීම් ඇති වේ. (නින්‍දිත පුරුෂයන් විසින්) නො පතනලද (ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාත) සෛවරීභාවයෙහි අනුසස් දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
96. මිතුරන් අතර සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝ ද, පඤ්චකාමගුණිකරාගයෝ ද වෙති. එසේ ම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමය ද අධික වේ. එහි ඇතිවන ප්‍රියවිප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.