Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4901-5000 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-33:588.11
3634. පින්වත, බුද්ධ යන යම් වචනයක් කියහි ද, තෙල ශබ්දය පවා අතිශයින් දුර්‍ලභ ය. බුද්ධය බුද්ධය යන මේ වචන අසා මට ප්‍රීතිය හටගත්තේ ය.
kn-ap-1-33:588.12
3635. සිතින් නො දැරිය හැක්කා වූ මාගේ ප්‍රීතිය පිටත පැතිරෙයි. ප්‍රීතිසිත් ඇති ඒ (සෙල නම් වූ) මම මේ වචනය කීමි:
kn-ap-1-33:588.13
3636. “ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහි ද? සතර ශ්‍රාමණ්‍යඵලදායක වූ උන්වහන්සේට එහි ගොස් නමස්කාර කරන්නෙමි” යි.
kn-ap-1-33:588.14
3637. කේණිය තවුස්තෙමේ මාගේ දකුණු අත ගෙණ හටගත් සොම්නස් ඇත්තේ කරණ ලද ඇඳිලි ඇත්තේ සෝහුල් පහ කරණ බුදුරජුන් අරබයා මෙසේ කීය:
kn-ap-1-33:590.1
3638. “නැග එන්නා වූ මහවලාවක් වැනි, අඳුනක් බඳු නිල් වූ සයුරක් සේ පැනෙන තෙල මහවනය දක්නෙහි ද?
kn-ap-1-33:590.2
3639. මෙහි නො දැමුනවුන් දමනය කරන්නා වූ, මෝනෙය්‍ය ගුණ ඇති, විනෙය ජනයන් හික්මවන, බෝපැකිදම් (බෝධිපාක්‍ෂික ධර්‍ම) පිළිවිදුවන (=ප්‍රතිවේධ කරවන) ඒ බුදුරජහු වැඩ වෙසෙති.
kn-ap-1-33:590.3
3640. මම පැන් පවස ඇත්තකු දිය සොයන්නාක් මෙන් ද, සාදුකින් පෙළුනකු බොජුන් සොයන්නාක් මෙන් ද, වස්සා කෙරෙහි ගිජු වූ දෙනක ඒ වස්සා සොයන්නාක් මෙන් ද මෙසේ බුදුරජුන් සෙවීමි.
kn-ap-1-33:590.4
3641. ආචාර උපාචාර දන්නා මම බුදුන් හමුවට යන සිය සිසුන් දහමට නිසි සංවරයෙහි ලා හික්මවීමි.
kn-ap-1-33:590.5
3642. එකලාව හැසිරෙන සිහරජුන් මෙන් බුදුවරු නො ලංවිය හැකි සැහැවි ඇත්තාහ. මාණවකයිනි, (තෙපි) පියෙහි පිය තබන්නාහු (පියවර මනිමින්) එවු.
kn-ap-1-33:590.6
3643. ඝෝර වූ ආසීවිසයකු මෙන් ද කේශරසිංහරාජයකු මෙන් ද දළ ඇති මත් වූ ඇත්රජකු මෙන් ද මෙසේ බුදුවරු ලං විය නො හැක්කෝ ය.
kn-ap-1-33:590.7
3644. මාණවකවරුනි, (තෙපි) කසින්නා වූ ද කිවිසින්නා වූ ද, (ශබ්ද) නවතා පියෙහි පිය තබන්නාහු බුදුරජුන් වෙත එළඹෙවු.
kn-ap-1-33:590.8
3645. (බුදුවරු) විවේකය ගරුකරන්නෝ ද, නිශ්ශබ්දතාව කැමැත්තෝ ද, නො ලංවිය හැක්කෝ ද, දෙවියන් සහිත ලෝකයෙහි ගුරු වූ උතුමෝ ද වෙත්.
kn-ap-1-33:590.9
3646. යම් කලෙක්හි මම ප්‍රශ්න විචාරම් ද, පිළිසඳර හෝ කථා කෙරෙම් ද, එකල්හි නිශ්ශබ්ද වවු. මෝනෙය්‍යගුණ ඇතියන් මෙන් ව සිටිවු.
kn-ap-1-33:590.10
3647. ඒ බුදුරජුහු නිවන් පැමිණීම පිණිස පවත්නා වූ ක්‍ෂේම (=නිර්‍භය) වූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත් ද ඒ ධර්‍මාර්‍ත්‍ථය ම අසවු. සද්ධර්‍මශ්‍රවණය සැප ය.”
kn-ap-1-33:590.11
3648. මම බුදුරජුන් වෙත එළඹ ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ හා පිළිසඳරෙහි යෙදුනෙමි. ඒ පිළිසඳර කථාව නිමවා (උන්වහන්සේගේ) මහපුරිස් ලකුණු පරීක්‍ෂා කෙළෙමි.
kn-ap-1-33:590.12
3649. (එසේ පරීක්‍ෂා කරන්නා වූ මම) මහාපුරුෂ ලක්‍ෂණ තිසක් දකිමි. මහාපුරුෂ ලක්‍ෂණ දෙකක් පමණක් (නොපෙණෙන බැවින්) සැක කරමි. (එයින්) කෝසොහිතවත්‍ථගුය්‍හය බුදුහු ඍද්ධිබලයෙන් පෙන්වූහ.
kn-ap-1-33:590.13
3650. (දෙවෙනි නො පෙණෙන ලක්‍ෂණය දක්වන්නාහු) දිව පිටතට ඇද කන් නැහැසිදුරු පිරිමැද්දහ. බුදුරජුහු සම්පූර්‍ණ නළල් තල දිවෙන් වැසූහ.
kn-ap-1-33:592.1
3651. මම උන්වහන්සේගේ (අසූවක්) අනුව්‍යඤ්ජන සහිත වූ සම්පූර්‍ණ දෙතිස්මහපුරිස් ලකුණු දැක සර්‍වඥයහ යි තීරණය කොට සිසුන් සමඟ පැවිදි වීමි.
kn-ap-1-33:592.2
3652. තුන්සියක් (සිසුන්) සමග සසුන් වනිමි. අඩමසක් නො පැමිණි කල්හි ම අපි හැම නිවණට පැමිණියම්හ.
kn-ap-1-33:592.3
3653. (සියල්ලෝ) නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි එක් ව පින්කම් කොට සමග ව සසරෙහි හැසිර සමගව ම සසරගමන නැවැත් වූහ.
kn-ap-1-33:592.4
3654. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී මැනවින් කළ ඒ කර්‍මය කරණකොට ගෙණ අනුසස් අටක් ලබමි.
kn-ap-1-33:592.5
3655. දිශාවන්හි පුදනු ලබන්නෙම් වෙමි. මාගේ භෝගයෝ ද අපමණයහ. සියලුදෙනාහට ම පිහිට වෙමි. මට තැති ගැන්මෙක් නැත.
kn-ap-1-33:592.6
3656. මට රෝගයෝ නො වෙති. දීර්‍ඝායු රකිමි. (=බොහෝකල් ජීවත් වෙමි.) සියුම් සිවි ඇත්තෙම් වෙමි. කැමති නිවාසයෙහි ම වසමි.
kn-ap-1-33:592.7
3657. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී (මෙසේ) අටඅනුසසක් ලැබීමි. මාගේ මේ අටවන අනුසසින් බැහැරි වූ අනෙක් අනුසස සිවුපිළිසිඹියාවන් සහිත රහත්බව යි.
kn-ap-1-33:592.8
3658. මහාමුනීන් වහන්ස, සියලු වැස නිමවූ බඹසරවස් ඇත්තා වූ සිවුමගින් කරණ ලද කටයුතු ඇත්තා වූ ආස්‍රව රහිත වූ මුබවහන්සේගේ පුත්‍ර තෙමේ අට්ඨගෝපානසී නම් ද වේ.
kn-ap-1-33:592.9
3659. සමූහධර්‍මයෙහි වශී වූ මම ටැම් පසක් දී මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ හේතු (අනුසස්) පසක් ලබමි.
kn-ap-1-33:592.10
3660. මම මෛත්‍රියෙන් නො සැලෙමි. පිරිපුන් අඟපසඟ ඇත්තෙම් වෙම්. පිළිගතයුතු වචන ඇත්තෙම් වෙමි. මම (ටැම් බඳු ව) නො සැලෙමි.
kn-ap-1-33:592.11
3661. මාගේ සිත භ්‍රාන්ත නො වේ. කුමකට වුව ද නිශ්චල වෙමි. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ සසුනෙහි නිර්‍මල වූවෙකිම් වෙමි.
kn-ap-1-33:592.12
3662. බුදුරජානන් වහන්ස, ගෞරව සහිත වූ (ස්වාමියකු ඇතැයි) යටත් පැවතුම් ඇති, කරණ ලද කටයුතු ඇති, ආස්‍රව රහිත වූ, මුබ වහන්සේගේ ශ්‍රාවක වූ, මහණ ඒ මුබවහන්සේ වඳියි.
kn-ap-1-33:592.13
3663. මම මනා ව නිමි කිස ඇති පලඟක් ශාලායෙහි පැණවීමි. මැනවින් කළ ඒ කර්‍මහේතුවෙන් මම හේතු (අනුසස්) පසක් ලබමි.
kn-ap-1-33:592.14
3664. මම උසස් කුලයෙහි ඉපිද මහත් භෝගසම්පත් ඇත්තෙම් වෙමි. සියලු සම්පත්තීන් ආඪ්‍ය වෙමි. මාගේ මසුරුකමෙක් නො මැත.
kn-ap-1-33:592.15
3665. ගමනක් (යෑමට) සිතූ කල්හි පලඟෙක් එළඹ සිටී. ඒ උතුම් පලඟ සමග මම් කැමති තැනට යෙමි.
kn-ap-1-33:594.1
3666. ඒ පර්‍ය්‍යඞ්කදානය හේතු කොට ගෙණ සියලු අඳුර දුරු කෙළෙමි. සියලු අභිඥාබලයනට පත් ඒ ස්ථවිර තෙමේ, මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබවහන්සේ වඳී.
kn-ap-1-33:594.2
3667. මෙරමා පිළිබඳ කටයුතු ද, තමා පිළිබඳ කටයුතු ද සියලු කිස සිදු කළෙමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ අභයපුරය. (=නිවණ) ට පිවිසියෙමි.
kn-ap-1-33:594.3
3668. මම නිමහම් කිස ඇති ශාලාව (බුදුරජුන්හට) පරිභෝගයට දුනිමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ශ්‍රේෂ්ඨ බවට පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:594.4
3669. යම් (ඇත්-අස් ආදි සතුන්) දමනය කරණ කෙනෙක් කිසියම් ඇත් අස් කෙනකුන් දමනය කෙරෙත්. නොයෙක් හිරිහැර කොට දරුණු ගුණයෙන් ඔවුන් (එසේ) දමනය කෙරෙත්.
kn-ap-1-33:594.5
3670. මහාවීරයාණෙනි, මුඛ ස්ත්‍රීපුරුෂයන් මෙසේ දමනය නො කෙරෙහි ය. දඬු නො ගැණීමෙන් අවි නො ගැණීමෙන් ඔවුන් උත්තම දමථයෙහි (=රහත්බැව්හි) දමනය කෙරෙහි ය.
kn-ap-1-33:594.6
3671. දේශනායෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ දානයාගේ අනුසස් පවසන්නේ එක් පැණයක් දෙසන්නේ ම තෙසිය තවුසන් ධර්‍මාවබෝධය කරවී ය.
kn-ap-1-33:594.7
3672. සාරථි වූ බුදුරජුන් විසින් අපි දමනය කරණ ලද්දෝ වෙමු. (කෙලෙසුන්ගෙන්) මැනවින් මිදුනෝ වෙමු. ආස්‍රව රහිතයෝ වෙමු. සියලු අභිඥාබලයනට පැමිණියාහු උපධික්‍ෂයෙහි පිරිනිවියෝ වෙමු.
kn-ap-1-33:594.8
3673. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) සියලු භීතීහු ඉක්මවන ලද්දාහුය. ශාලාදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:594.9
3674. බුදුරජුන් වෙත එළඹීම ඒකාන්තයෙන් මට යහපත් පැමිණීමෙක් විය. මා විසින් පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-33:594.10
3675. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරජායකු මෙන් කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:594.11
3676. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:594.12
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-33:594.13
සෙලස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-33:596.1
393. සබ්බකිත්තික ස්ථවිරාවදානය
kn-ap-1-33:596.2
3677. පිපුණු කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ ප්‍රදිපවෘක්‍ෂයක් මෙන් දිලියෙන්නා වූ ඕසධී තාරකාවක් මෙන් ආලොකවත් වූ අහසෙහි විදුලියක් බඳු වූ -
kn-ap-1-33:596.3
3678. බිය නොමැති තැතිගැනුම් නොමැති කේශරසිංහරාජයකු වැනි වූ තීර්‍තකසමූහයා මඩින්නා වූ ඤාණලෝකය ප්‍රකට කරන්නා වූ-
kn-ap-1-33:596.4
3679. මෙම ලෝකයා (දුකින්) ගොඩලන සියලු සැක සිඳලන සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
kn-ap-1-33:596.5
3680. (එකල්හි) මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙකිම් වීමි. වැඩෙන්නා වූ ඍජු වූ ප්‍රතාපවත් වූවෙකිම් වීමි. වැහැරි සිවුර ගෙණ ඒ (බුදුරජුන්ගේ) පාමුල අතුළෙමි.
kn-ap-1-33:596.6
3681. කසාවන් කළුවැල් හෙවත් කසාවන් අගිල් ගෙණ බුදුරජුන් ආලේප කෙළෙමි. තථාගතයන් (එයින්) අලෙවි කොට ලෝකනායක වූ උන්වහන්සේට ස්තුති කෙළෙමි.
kn-ap-1-33:596.7
3682. චතුරෝඝතරණය කළ උතුමාණෙනි. මහාමුනීන්‍ද්‍රයාණෙනි, මුඛ මේ ලෝකයා (සසරදුකින්) ගොඩ ලන්නහු ය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උත්තමඥානය ද අනාවෘතයි.
kn-ap-1-33:596.8
3683. දම්සක් පවත්වහු ය. අන්‍යතීර්‍ත්‍ථකයන් මඩනහු ය. දිනන ලද සඞ්ග්‍රාම ඇති ශ්‍රෙෂ්‍ඨ වූ ඔබ පෘථිවිය කම්පා කෙරහු ය.
kn-ap-1-33:596.9
3684. මහසමුදුරෙහි තරඞ්ගයෝ වෙරලෙහි (ගැටී) බිඳෙති. එසේ ම දෘෂ්ටීහු මුබගේ නුවණෙහි (ගැටී) බිඳෙති.
kn-ap-1-33:596.10
3685. විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි දැලතුළට ගිය ප්‍රාණීහු (මත්‍ස්‍යයෝ) පෙළුනාහු වෙත් ද,
kn-ap-1-33:596.11
3686. එසේ ම ලෝකයෙහි අන්‍යපාෂණ්‍ඩ ධර්‍මයන් ඇසුරු කළ තීර්‍ත්‍ථකයෝ නිදුකානන් වහන්ස, මුබවහන්සේගේ උතුම් නුවණ ඇතුළත පෙරළෙත්.
kn-ap-1-33:596.12
3687. චතුරෝඝ නම් වූ සැඩපහරෙහි ගසාගෙණ යන්නවුනට පිහිට වූ මුබ වනාහි නො නෑයනට ද පිහිට (වහු) ය. භයින් පීඩිතයනට ද පිහිට (වහු) ය. (ලෝකයා විසින්) අත්හැර දමන ලද අනාථයන්ට ද පිහිට (වහු) ය.
kn-ap-1-33:596.13
3688. අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ (ධ්‍යාන) වශී වූ තාදීගුණ ඇති දිනන ලද මාර්‍ගය ඇති-
kn-ap-1-33:596.14
3689. ප්‍රාඥ වූ, පහ කළ මොහො ඇති, නිදොස් වූ, සැක (=විචිකිච්ඡා) දුරුකළ, වැස නිම වූ බඹසර ඇති, නිර්‍මල වූ, අශූචීන් දොවා හළ, එහෙයින් ම පිරිසිදු ඔබ වමාරා හළ දොස් ඇත්තාහු ය.
kn-ap-1-33:598.1
3690. කෙලෙස් ඇලුම් ඉක්ම වූ නැසුවා වූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන්ලෝමුදුන් පත් (ලෞකික) සීමාව ඉක්ම ගිය ධර්‍මගරුක වූ කෘතකෘත්‍ය වූ ඔබ (සත්ත්‍වලෝකයාට) හිතමාර්‍ග ඇත්තෙහි ය.
kn-ap-1-33:598.2
3691. ඔබ නැවකට (ගමන්මග පෙන්වන) තරුවක් මෙන් වෙහි ය. අස්වැසිලි කරණ නිධානයක් බඳු වෙහි ය. සිංහයකු මෙන් බිය රහිත වෙහි ය. හස්තිරාජයකු මෙන් ගර්විත වෙහි ය.
kn-ap-1-33:598.3
3692. මම එකල්හි (මෙසේ) දසගයකින් මහායශස් ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේට ස්තුති කොට (ඒ) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ තුෂ්ණිම්භූතව සිටියෙමි.
kn-ap-1-33:598.4
3693. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළේ යි:
kn-ap-1-33:598.5
3694. “යමෙක් මාගේ ශීලය ද ඥානය ද ධර්‍මය ද පැසසී ද, හේ (කවරෙක් දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ (වචනය) අසවු.
kn-ap-1-33:598.6
3695. (හෙතෙම) කල්‍ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. අනෙක් දෙවියන් මැඩගෙණ ආධිපත්‍යය කරවන්නේ ය.
kn-ap-1-33:598.7
3696. හෙතෙම පසුව පැවිදිව ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ද පැවිදි වන්නේ ය.
kn-ap-1-33:598.8
3697. පැවිදිව, කයින් පව්කම් දුරු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.”
kn-ap-1-33:598.9
3698. යම් සේ වැසිවලාවක් ගුගුරා වස්මින් මේ පොළොව තෘප්තියට පත් කෙරේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ ධර්‍මයෙන් මා තුටු කළ සේක.
kn-ap-1-33:598.10
3699. මම ශීලය ද ප්‍රඥාව ද ධර්‍මය ද ලෝකනායකයන් වහන්සේ ද පසසා අමෘතපදය වූ උතුම් වූ නිර්‍වාණ නමැති ශාන්තියට පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:598.11
3700. පසැස් ඇති ඒ භාග්‍යවත් තෙමේ බොහෝ කල් වැඩ සිටින්නේ නම් ඒකාන්තයෙන් ඉතා යෙහෙකි. (එවිට සියල්ලෝ) නො දත් දෙය දැනගන්නාහු ය. අමෘතපදය (නිවණ) ස්පර්‍ශ කරන්නාහු ය. (=ලබන්නාහුය)
kn-ap-1-33:598.12
3701. මේ මාගේ පශ්චිම ජාතිය යි. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
kn-ap-1-33:598.13
3702. මෙයින් සියක්දහස් වන කපෙහි බුදුරජානන් වහන්සේට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
kn-ap-1-33:600.1
3703. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-33:600.2
3704. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ පැමැණීම යහපත් පැමිණීමෙක් විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
kn-ap-1-33:600.3
3705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
kn-ap-1-33:600.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සබ්බකිතතික’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:600.5
සබ්බකිතතිකස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-33:600.6
394. මධුදායක ස්ථවිරාවදානය
kn-ap-1-33:600.7
3706. සින්‍ධුනදීතීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවෙක් විය. එහි දී මම ලක්‍ෂණශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුනට උගන්වමි.
kn-ap-1-33:600.8
3707. ධර්‍මකාමී වූ විනීත වූ අනුශාසනය අසනු කැමැත්තා වූ ෂඩඞ්‍ග වේදයෙහි පරතෙරට ගියා වූ ඒ ශිෂ්‍යයෝ සින්‍ධුගංඉවුරෙහි වෙසෙති.
kn-ap-1-33:600.9
3708. (භූතයන් පිළිබඳ අස්වාභාවික වෙනස්වීම් බලා ශුභාශුභ ප්‍රකාශකරණ) උත්පාතශාස්ත්‍රයෙහි ද (අඞ්ග) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක‍්‍ෂ වූ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු එකල්හි වෙනෙහි වෙසෙත්.
kn-ap-1-33:600.10
3709. සුමේධ නම් සම්බුදු රජ තෙම ලොව පහළ විය. අපට අනුකම්පා කරන්නා වූ ඒ බුදුරජ තෙම් එකෙණෙහි ම (අප වෙත) එළඹියේ ය.
kn-ap-1-33:600.11
3710. එසේ එළෙඹියා වූ මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ (දිටිමි). දැක මම තණඇතිරියක් කොට ලෝකජ්‍යේෂ්ඨ වූ බුදු රජුන්හට දුනිමි.
kn-ap-1-33:600.12
3711. මම වනයෙන් මී ගෙණ (අවුත්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. සම්බුදුරජ තෙම එය වළඳා මේ වචනය වදාළේය:
kn-ap-1-33:600.13
3712. “යමෙක් තෙම පැහැදුනේ සියතින් මට ඒ මධු (=මීපැණි) දානයක් දුන්නේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-33:600.14
3713. මේ මධුදානය හේතු කොට ගෙණ ද තිණසන්‍ථාර (=තණ ඇතිරි) දානය හේතු කොට ගෙණ ද කප්තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
kn-ap-1-33:600.15
3714. මෙයින් කල්ප තිස්දහසෙකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
kn-ap-1-33:602.1
3715. (මෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදී (අයිතිකරුවෙක්) ව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන් පිරිසිඳ) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පානේ ය” යි.
kn-ap-1-33:602.2
3716. දෙව්ලොවින් (පෙරළා) මෙහි පැමිණ මවුකුසට (පිළිසිඳීම් වශයෙන්) පැමිණි කල්හි මිහියෙන් පොළොව වසමින් මිහි වැස්සක් වැස්සේ ය.
kn-ap-1-33:602.3
3717. මා ඉතා දුකසේ බිහි විය යුතු මවුකුසින් නික්මුණු කෙණෙහි එහි දී ද නිරතුරු ව මීවැසි වසියි.
kn-ap-1-33:602.4
3718. ගිහිගෙන් නික්ම (අනගාර්‍ය්‍ය සඞ්‍ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි. ආහාර පාන සුලභ වූවෙක් ද වීමි. මධුදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:602.5
3719. මම දෙව්මිනිස් දෙගතියෙහි සියලු කාමසම්පත්තීන්ගෙන් සමෘද්ධයෙක් ව ඒ මධුදානබලයෙන් ම ආස්‍රවක්‍ෂයසඞ්‍ඛ්‍යාත නිවණට ද පැමිණියෙම් වෙමි.
kn-ap-1-33:602.6
3720. වැසි වස්නා කල්හි ද, සිවුඅඟුල් (උස් ව වැඩුනු) තණබිම්හි ද, සුපුෂ්පිත වෘක්‍ෂයෙන් වැසුනා වූ තන්හි ද, ජන ගෘහය, මණ්ඩපය, වෘක්‍ෂමූලය, යන මේ තන්හි ද නිතර ආස්‍රව රහිතව සුඛිත යෙම් වෙසෙමි.
kn-ap-1-33:602.7
3721. මහත් වූ හෙවත් ප්‍රණීත වූ ද මධ්‍යම වූ ද හීන වූ ද සියලු භවයන් ඉක්ම වීමි. අද මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-33:602.8
3722. මෙයින් තිස්දහස් කපකින් පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
kn-ap-1-33:602.9
3723. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ද ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
kn-ap-1-33:602.10
3724. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:602.11
3725. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-33:602.12
මෙහි මේ අයුරින් මධුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-33:602.13
මධුදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.