Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3701-3800 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-19:440.2
301. පදුමකේසරිය ස්ථවිරාවදානය
kn-ap-1-19:440.3
2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
kn-ap-1-19:440.4
2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-19:440.5
2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
kn-ap-1-19:440.6
2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:440.7
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:440.8
පදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:440.9
302. සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය
kn-ap-1-19:440.10
2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
kn-ap-1-19:440.11
2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
kn-ap-1-19:440.12
2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
kn-ap-1-19:440.13
2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:440.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්‍ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:440.15
සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:440.16
303. පරමන්නදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:440.17
2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
kn-ap-1-19:440.18
2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.
kn-ap-1-19:442.1
2727. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාරදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උතුම් ආහාරදානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:442.2
2728. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:442.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:442.4
පරමන්නදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-19:442.5
304. ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:442.6
2729. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් බෝරුක්මුල්හි සිටියදී ම (නොහොත් බුදුරජුන් බෝරුක්මුල සිටින කල්හි) මෙන් සිතා (සිදුකරණ) විපස්සී බුදුරජුන් පිළිබඳ මහාබෝධි පූජාවක් විය.
kn-ap-1-19:442.7
2730. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේකි.
kn-ap-1-19:442.8
2731. විසුළ කෙලෙස් සෙවෙනි ඇති ඒ සම්බුදුරජ තෙම සැකෙවින් ද විතර විසින් ද (දහම්) දෙසමින් මහාජනයා නිවණට පැමිණ වීය.
kn-ap-1-19:442.9
2732. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණ ඇති උන්වහන්සේගේ ධර්‍මය අසා (එම) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
kn-ap-1-19:442.10
2733. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මසංඥායෙහි මේ විපාක යි.
kn-ap-1-19:442.11
2734. මෙහින් තෙතිස්වනු කපෙහි මහත් බල ඇති පෘථිවීශ්වර වූ සුතවා නම් සක්විති රජෙකිම් වීමි.
kn-ap-1-19:442.12
2735. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:442.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:442.14
ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය සිව්වැනි යි.
kn-ap-1-19:442.15
305. ඵලදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:442.16
2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.
kn-ap-1-19:442.17
2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.
kn-ap-1-19:444.1
2738. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:444.2
2739. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:444.3
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:444.4
ඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-19:444.5
306. සම්පසාදක ස්ථවිරාවදානය
kn-ap-1-19:444.6
2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
kn-ap-1-19:444.7
2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
kn-ap-1-19:444.8
2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්‍ෂේත්‍රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
kn-ap-1-19:444.9
2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
kn-ap-1-19:444.10
2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
kn-ap-1-19:444.11
2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
kn-ap-1-19:444.12
2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
kn-ap-1-19:444.13
2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:444.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:444.15
සම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-19:446.1
307. ආරාමදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:446.2
2748. මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපණය කරණ ලදී. ගණසා සෙවනලු රුක්හි පක්‍ෂීන් (කැදලිතුළට වී) සන්සුන් වන (සවස්) කල්හි.
kn-ap-1-19:446.3
2749. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ (කෙලෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. දැක ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
kn-ap-1-19:446.4
2750. මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ගෙඩි ද මල් ද (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාද ඇත්තෙම් ම එම වන (අරම) පිරිනැමීමි.
kn-ap-1-19:446.5
2751. පැහැදි සිතින් බුදුරජුන්හට යම් ඒ ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵලවර්‍ග නොහොත් කුශල විපාකය උපදී.
kn-ap-1-19:446.6
2752. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආරාමදානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:446.7
2753. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
kn-ap-1-19:446.8
2754. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:446.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:446.10
ආරාමදායක ස්ථවිරාවදානය සත්වැන්න යි.
kn-ap-1-19:446.11
308. අනුලේපදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:446.12
2755. මම අත්‍ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
kn-ap-1-19:446.13
2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
kn-ap-1-19:446.14
2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:446.15
2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:446.16
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:446.17
අනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-19:448.1
309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:448.2
2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
kn-ap-1-19:448.4
2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
kn-ap-1-19:448.5
2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:448.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:448.7
බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-19:448.8
310. පබභාරදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:448.9
2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.
kn-ap-1-19:448.10
2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.
kn-ap-1-19:448.12
2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.
kn-ap-1-19:448.13
2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:448.14
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:448.15
පබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.
kn-ap-1-19:448.16
උද්දානය:
kn-ap-1-19:448.17
කේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.
kn-ap-1-19:448.18
පදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.
kn-ap-1-19:450.1
32. ආරක්ඛදායක වර්‍ගය
kn-ap-1-19:450.2
311. ආරක්ඛදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:450.3
2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාව ද දෙන ලදි.
kn-ap-1-19:450.4
2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.
kn-ap-1-19:450.5
2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
kn-ap-1-19:450.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:450.7
ආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap-1-19:450.8
312. භෝජනදායක ස්ථවිරාවදානය
kn-ap-1-19:450.9
2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්‍ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.
kn-ap-1-19:450.10
2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.
kn-ap-1-19:450.11
2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.
kn-ap-1-19:450.12
2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.
kn-ap-1-19:450.13
2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.
kn-ap-1-19:450.14
2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-19:450.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
kn-ap-1-19:450.16
භෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap-1-19:450.17
313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
kn-ap-1-19:450.18
2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්‍ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්‍රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.