Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1301-1400 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap-1-5:170.10
1181. මම විවේකයෙහි යෙදුනෙම් වෙමි. අරණෙහි දුරසෙනසුන්හි වසන්නෙම් වෙමි. (මා විසින්) සියලු (ශ්‍රාමණ්‍ය) ඵල ද ලබන ලදී. අද මම හරණා ලද ක්ලේශ ඇත්තෙම් වෙමි.
kn-ap-1-5:170.11
1182. ලොකානායක වූ සර්‍වඥතෙමේ මා පිළිබඳ සියල්ල දැන භික්‍ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
kn-ap-1-5:170.12
1183. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:170.13
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:170.14
කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
kn-ap-1-5:172.1
44. සන්නිට්ඨාපක ස්ථවිරාවදානය
kn-ap-1-5:172.2
1184. (මම) ලාභ අලාභ දෙකින් ද, යස අයස දෙකින් ද, (සම සේ) සතුටු වූයෙම් කඳු අතුරෙහි වූ අරණෙහි කුටියක් කොට (ගෙණ) වෙසෙමි.
kn-ap-1-5:172.3
1185. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෘහයක් වැනි වූ පදුමුත්තර බුදුරජතෙමේ සියක් දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ මාගේ සමීපයට එළඹියේ ය.
kn-ap-1-5:172.4
1186. එළඹ සිටි පදුමුත්තර නම් වූ මහාවීරයන් වහන්සේ (දැක) මම ඒ ශාස්තෲන් වහන්සේට තණ ඇතිරියක් පණවා දිනිමි.
kn-ap-1-5:172.5
1187. පැහැදුනු සිත් ඇති සොම්නස් සහිත වූ මම ඍජුගුණ ඇති බුදුරජානන් වහන්සේට පහන් සිතින් කැකිරි ද පැන් ද දිනිමි.
kn-ap-1-5:172.6
1188. මෙයින් කල්ප ලක්‍ෂයකින් පෙර වූ එකල්හි (මම) යම් දනක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැකිරි දානයාගේ මේ ඵලය යි.
kn-ap-1-5:172.7
1189. එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුක්ත වූ මහත් බල ඇති අරින්‍දම නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:172.8
1190. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:172.9
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සන්නිට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap-1-5:172.10
සන්නිට්ඨාපක ස්ථවිරාවදානය සිවුවැනි යි.
kn-ap-1-5:172.11
45. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
kn-ap-1-5:172.12
1191. යටට හෙළන ලද ඇස් ඇති ප්‍රමාණවත් වචන ඇති, සිහියෙන් යුත් සංවරණය කරණලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙමේ ඇතුළු වීථියෙහි වඩනා කල්හි-
kn-ap-1-5:172.13
1192. මට මුදුන්මල්කඩ පිණිස උපුල්අත් (උපුල්මිටි) පසක් ගෙණාවාහු ය. මම පහන් වූයෙම් ඒ මලින් සියතින් බුදුන් පිදීමි.
kn-ap-1-5:172.14
1193. උඩට නැගුනු ඒ මල් බුදුරජානන් වහන්සේට වියනක් වී ය. ශිෂ්‍යයෝ ගුරුවරයෙකුගේ මෙන් සියලු පුෂ්පයෝ බුදුරජානන් වහන්සේගේ ගිමන් නිවූහ.
kn-ap-1-5:172.15
1194. මෙයින් තිස්දහස්වන කපෙහි යම් මල් රැසක් (බුදුන් මුදුනෙහි) එළවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:172.16
1195. මෙයින් දෙදහස්වන කපෙහි නමින් හත්‍ථිය නම් වූ මහත් බල ඇති සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
kn-ap-1-5:172.17
1196. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:172.18
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:172.19
පඤ්චහත්‍ථියස්ථවිරාවදානය පස්වැනි යි.
kn-ap-1-5:174.1
46. පදුමච්ඡදනිය ස්ථවිරාවදානය
kn-ap-1-5:174.2
1197. එකල්හි අග්‍රපුද්ගල වූ විපස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම මැනැවින් පිපුනු පියුම් ගෙණ චිතකයට පිදීමි.
kn-ap-1-5:174.3
1198. චිතකයට නැගු කල්හි (ඒ පියුම්) අහසට නැගුනේ ය. එය අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීමි.
kn-ap-1-5:174.4
1199. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
kn-ap-1-5:174.5
1200. මෙයින් සත්සාලිස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවු සයුරු කෙළවර කොට ඇති පෘථිවිශ්චර වූ, සතුරු රජුන් ජය ගන්නාසුලු වූ මහත් බල ඇති පදුමිස්සර නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:174.6
1201. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:174.7
මෙහි මේ අයුරින් පදුමච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:174.8
පදුමච්ඡදනිය ස්ථවිරාවදානය සවැනි යි.
kn-ap-1-5:174.9
47. ශයනදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:174.10
1202. තාදීගුණ ඇති මෛත්‍රී සිත් ඇති සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ඇතිරි ආදි වූ දුස්සභාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙනලදී.
kn-ap-1-5:174.11
1203. භාග්‍යවතුන් වහන්සේ ඒ කැප ශයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙමේ ඒ අසුනින් නැගිට අහසට නැගුනේ ය.
kn-ap-1-5:174.12
1204. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් සයනයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සයනදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:174.13
1205. මෙයින් එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විතිරජෙක් වීමි.
kn-ap-1-5:174.14
1206. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:174.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap-1-5:174.16
ශයනදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
kn-ap-1-5:174.17
48. චඞ්ක්‍රමදායක ස්ථවිරාවදානය
kn-ap-1-5:174.18
1207. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි.
kn-ap-1-5:174.19
1208. එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය.
kn-ap-1-5:174.20
1209. නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය:
kn-ap-1-5:176.1
1210. මේ වැලි දීමේ හේතුවෙන් ද, සක්මන මැනැවින් කළ හේතුවෙන් ද සත්රුවනින් යුත් වැලි (පරිභෝගයට) ලබන්නේ ය.
kn-ap-1-5:176.2
1211. තුන්කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
kn-ap-1-5:176.3
1212. මිනිස්ලොවට පැමිණි රටෙහි රජ වන්නේ ය. හෙතෙමේ තෙවරක් පෘථිවියෙහි සක්විතිරජ වන්නේ ය” (කියායි).
kn-ap-1-5:176.4
1213. එක්දහස්අටසියවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් කර්‍මයක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. චඞ්ක්‍රමදානයාගේ මේ විපාකය යි.
kn-ap-1-5:176.5
1214. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
kn-ap-1-5:176.6
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ක්‍රමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
kn-ap-1-5:176.7
චඞ්ක්‍රමදායකස්ථවිරාවදානය අටවැනි යි.
kn-ap-1-5:176.8
49. සුභද්‍ර ස්ථවිරාවදානය
kn-ap-1-5:176.9
1215. පූජාවන් පිළිගන්නා වූ මහා පිරිවර ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේ ජනසමූහයා සසරින් ගොඩ නගා පිරිනිවන් පානාසේක.
kn-ap-1-5:176.10
1216. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් ලෝධා කම්පිත වී ය. (රැස් වූ) ජනසමූහයා ද මහත් වී ය. එකල්හි දෙවියෝ ද රැස් වූහ.
kn-ap-1-5:176.11
1217. සතුටු වූයෙම් සතුටු සිතින් තුවරලා හා බෝලිද්ද මලින් යුත් සඳුන් පුදා නරෝත්තමයන් වහන්සේට සඳුනින් අලෙවු දනිමි.
kn-ap-1-5:176.12
1218. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ සම්බුදුරජ තෙමේ (පරිනිර්‍වාණ මඤ්චකයෙහි) හොත්තේ ම මාගේ අදහස් දැන මේ ගාථාවන් වදාළේ ය:
kn-ap-1-5:176.13
1219. “යමෙක් මාගේ අන්තිම කාලයෙහි මා ගඳින් මලින් පිදී ද, ඔහු ප්‍රකට කරන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-5:176.14
1220. මේ පුරුෂතෙමේ මෙයින් චුත ව තුෂිත දෙව්ලොවට යන්නේ ය. හෙතෙමේ එහි රාජ්‍යය කොට නිර්‍මාණරති දෙව්ලොවට යන්නේ ය.
kn-ap-1-5:176.15
1221.මේ ක්‍රමයෙන් ම උතුම් මල් පුදා ස්වකීය කර්‍මයෙන් තුටු වූයේ සම්පත් අනුභව කරන්නේ ය.
kn-ap-1-5:176.16
1222. මේ මිනිස් තෙමේ නැවත ද තුෂිතදෙව්ලොව උපදින්නේ ය. ඒ අත්බැවින් ච්‍යුත ව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
kn-ap-1-5:176.17
1223. ශාක්‍යපුත්‍ර වූ මහොත්තම වූ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍රපුද්ගල වූ පසැස් ඇති ගෞතම බුදුරජතෙමේ බොහෝ සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය කරවා පිරිනිවන් පානේ ය.
kn-ap-1-5:178.1
1224. හේ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ ම එකල්හි බුදුරජුන් කරා එළඹ ප්‍රශ්න විචාරන්නේ ය.
kn-ap-1-5:178.2
1225. ලෝකනායක වූ සර්‍වඥ වූ (ගෞතම) බුදුරජ තෙම ඔහු සතුටු කොට (පෙර කළ) පුණ්‍යකර්‍මයන් පිරිසිඳ දැන සත්‍යයන් ප්‍රකට කරන්නේ ය.
kn-ap-1-5:178.3
1226. මෙතෙමේ ප්‍රශ්න (විසර්‍ජන)යෙන් ආරාධිත වූයේ සතුටු වූයේ එකඟ සිත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ වැඳ පැවිද්ද ඉල්ලන්නේ ය.
kn-ap-1-5:178.4
1227. අග්‍ර වූ (චතුරාය්‍යසත්‍යය) ධර්‍මයෙහි දක්‍ෂ වූ ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ ස්වකීය කර්‍මයෙන් සතුටට පැමිණ පහන් සිත් ඇති ඔහු දැක පැවිදි කරන්නේ ය.
kn-ap-1-5:178.5
1228. මේ පුරුෂ තෙමේ බුදුසසුන්හි වීර්‍ය්‍ය වඩා සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පානේ ය” (කියා යි).
kn-ap-1-5:178.6
(පස්වැනි බණවර යි.)
kn-ap-1-5:178.7
1229. (මම) පෙර කළ කුශලකර්‍මයෙන් යුක්ත වූයෙම් එකඟ සිත් ඇත්තෙම් සන්හිඳුනෙම් බුදුරදුන් උරදා පුත් වූයෙම් (කර්‍මස්ථාන) ධර්‍මයෙන් ආර්‍ය්‍යජාතියෙහි උපන්නෙම් නිම කළ මගකිස ඇත්තෙම් වීමි.
kn-ap-1-5:178.8
1230. බුදුරජුන් වෙත එළඹ උතුම් ප්‍රශ්න විචාළෙමි. ඔබ මට ප්‍රශ්න (විසඳා) වදාරන්නාහු ම (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ධර්‍මප්‍රවාහය එළවූහ.
kn-ap-1-5:178.9
1231. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව වෙසෙමි.
kn-ap-1-5:178.10
1232. මෙයින් කල්පලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ තෙල් ක්‍ෂීණ වීමෙන් (නිවෙන) පහනක් මෙන් (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) උපාදාන රහිත ව පිරිනිවන් පෑසේක.
kn-ap-1-5:178.11
1233. එහි උසින් සත්යොදුන් වූ රුවන්මුවා ස්තූපයෙක් වී ය. සියල්ලෙන් යහපත් වූ මනහර ධජයක් එහි පිදීමි.
kn-ap-1-5:178.12
1234. තව ද කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි දායාද වූ තිස්ස නම් අග්‍රශ්‍රාවක තෙමේ මාගේ ඖරසපුත්‍රයා වීය.
kn-ap-1-5:178.13
1235. ඒ මාගේ පුත්‍ර තිස්ස නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ලාමක සිතින් අයහපත් වචනයක් ( -“අන්තකයා, පශ්චිමයා”) යන වචනය කීමි. ඒ කර්‍මවිපාකයෙන් පශ්චිම (පරිනිර්‍වාණ) කාලයෙහි බුදුරජ දිටිමි.
kn-ap-1-5:178.14
1236. මහාවීර වූ සත්ත්‍වලෝකයාට හිත වූ කාරුණික වූ පස්මරුන් දිනූ (ගෞතම) බුදුරජානන් වහන්සේ උපවර්‍තන සාලවනයෙහි පරිනිර්‍වාණ මඤ්චකයෙහි දී මා පැවිදි කළ සේක.
kn-ap-1-5:178.15
1237. බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි අද ම (මාගේ) පැවිද්ද විය. අද ම උපසම්පදාව විය. අද ම පරිනිර්‍වාණය ද විය.
kn-ap-1-5:178.16
1238. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
kn-ap-1-5:178.17
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභද්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:178.18
සුභද්‍රස්ථවිරාවදානය නවවැනි යි.
kn-ap-1-5:180.1
50. චුන්‍ද ස්ථවිරාවදානය
kn-ap-1-5:180.2
1239. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධත්‍ථ බුදුරජානන් වහන්සේට රන්ඇගෑයක් කරවා දෑසමන්මලින් වැසීමි.
kn-ap-1-5:180.3
1240. ඒ මල් (වසා) නිමවා බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි. ඉතිරි මල් දෝතින් ගෙණ බුදුරජානන් වහන්සේ මත්තෙහි විසුරුවා හළෙමි.
kn-ap-1-5:180.4
1241. පහන්සිතින් යුත් සොම්නස් වූ (මම) රන්ඇගෑයක් සේ බබලන බුදුරජුන්ට මල්ඇගෑය පිළිගැන්වීමි.
kn-ap-1-5:180.5
1242. තරණය කළ සැක ඇති බුදුරජානන් වහන්සේ තරණය කළ ඕඝ ඇත්තවුන් (=රහතුන්) විසින් පිරිවරණ ලදසේක් මේ ගාථාවන් වදාළසේක:
kn-ap-1-5:180.6
1243. “යමෙක් මට දිවසුවඳ හමන මල්ඇගෑයක් දුන්නේ ද, ඔහු මම ප්‍රකට කරන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
kn-ap-1-5:180.7
1244. මේ පුරුෂතෙමේ මෙයින් ච්‍යුත වූයේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදුයේ සමන් මලින් ගැවසී ගත්තේ දෙව්ලොවට යන්නේ ය.
kn-ap-1-5:180.8
1245. ඔහුට පුණ්‍යකර්‍මයෙන් හටගත්තා වූ ස්වර්‍ණමය වූ ද මණිමය වූ ද පැනනැගුනු සඳලු සහිත විමානයක් පහළ වන්නේ ය.
kn-ap-1-5:180.9
1246. හෙතෙම සූසැත්තෑවරක් දෙව්රජය කරන්නේ ය. අප්සරාවන් විසින් පිරිවැරුණේ සම්පත් අනුභව කරන්නේ ය.
kn-ap-1-5:180.10
1247. තෙසියවරක් පෘථිවිරාජ්‍යය ලැබ පොළොවෙහි වාසය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.
kn-ap-1-5:180.11
1248. නමින් දුජ්ජය නම් රජෙක් වන්නේ ය. ස්වකීය කර්‍මය ඇසුරු කෙළේ ඒ පින් පල විඳ,
kn-ap-1-5:180.12
1249-1250. දුගතියකට නො ගොස් මිනිසත්බවට යන්නේ ය. ඔහුගේ නොඅඩු කෙළසියක් රන් නිදන්ගත වෙයි. හෙතෙම බමුණු කුලයෙහි උපදින්නේ ය. වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ ද සාරී නම් බැමිණියගේ ද ප්‍රාඥ වූ ප්‍රිය වූ ඹෟරසපුත්‍රයෙක් වන්නේ ය.
kn-ap-1-5:180.14
1251. හෙ ද පසු ව සම්බුදුසසුනෙහි පැවිදි ද නමින් චූලචුන්‍ද නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
kn-ap-1-5:180.15
1252. හෙ තෙම සාමණේර වූයේ ම රහත් වන්නේ ය. සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත වැ පිරිනිවන් පානේ ය” කියා යි.
kn-ap-1-5:180.16
1253. උත්තමාර්‍ත්‍ථයට (රහත්බවට) පැමිණීම පිණිස මහාවීර වූ බුදුරජානන් වහන්සේට ද අනිත් ප්‍රියශීල වූ බොහෝ සඞ්ඝයාට ද උපස්ථාන කෙළෙමි. මාගේ සොහොයුරු (ශාරීපුත්‍රයන්) හට උවැටන් ද කෙළෙමි.
kn-ap-1-5:180.17
1254. මාගේ සොහොයුරාට උවැටන් කොට (උන්වහන්සේ පිරිනිවි කල්හි) ධාතූන් පාත්‍රයෙහි බහා ගෙණ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
kn-ap-1-5:182.1
1255. දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වූ (බුදුරජ තෙම) ධාතු දොහොතින් නගාගෙන දක්වන්නේ ඒ අගසව්වානන් පැසැසී ය.
kn-ap-1-5:182.2
1256. මාගේ සිත කෙලෙසුන්ගෙන් මැනැවින් මිදුනේ ය. මාගේ ශ්‍රද්ධාව මැනැවින් පිහිටියේ ය. සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ච වෙසෙමි.
kn-ap-1-5:182.3
1257. සිවුපිළිසැඹියා ලැබින. විමෝක්‍ෂයෝ පහස්නා ලදහ. ෂඩ්භිඥාවෝ මා විසින් සාක්‍ෂාත්කෘතයහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap-1-5:182.4
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුන්‍දස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
kn-ap-1-5:182.5
චුන්‍ද ස්ථවිරාවදානය දසවැනි යි.