Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 9627 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 701-800 න් 9627

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap:98.6
677. එ කෙණෙහි දිගින් සූවිසියොදුන් වූ පුළුලින් තුදුස්යොදුන් වූ මැනැවින් කරණ ලද විමානයක් මට (පහළ) වී ය.
kn-ap:98.7
678. දිව්‍යකන්‍යාවෝ ලක්‍ෂයක් හැම කල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්‍ණමයපර්‍ය්‍යඞ්කයෙක් වී ය.
kn-ap:98.8
679. හස්තිවාහන ද අශ්වවාහන ද දිව්‍යවාහන ද එළඹ සිටියේ ය. කැමැති පරිදි ප්‍රාසාදයෝ ද සිවිකාවෝ (=දෝලා) ද පහළ වෙත්.
kn-ap:98.9
680. මිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ ද අන්‍ය වූ (රුක්) හරමුවා බොහෝ පර්‍ය්‍යඞ්කයෝ ද යන සියල්ල මට පහළ වෙත්. සිංහාසනදානයාගේ මේ විපාකය යි.
kn-ap:98.10
681. රුවන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පළිඟුමුවා වූ ද, විදුරුමුවා වූ ද, පාදුකා (=පාවහන්) නගිමි (=පලඳිමි). පාදපීඨ (=පාපුටු) දානයාගේ මේ විපාකය යි.
kn-ap:98.11
682. එකල්හි (එනම්) මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එම කර්‍මබලයෙන්) දුගතියක් නො දනිමි. මේ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
kn-ap:98.12
683. මෙයින් (පෙර) තෙසැත්තෑවැනි කපෙහි තුන්අත්බවෙක ඉන්‍ද්‍ර නම් (=සක්විති රජ) වීමි. (එසේම) මෙයින් දෙසැත්තෑවැනි කපෙහි සුමන නම් ඇති ව තෙවරක් ද,
kn-ap:98.13
684. මෙයින් සමසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් සතර මහදිවයිනෙහි අධිපති වරුණ නම් ඇති ව තෙවරක් ද සක්විතිරජ වීමි.
kn-ap:98.14
685. සිවුපිළිසිඹියාවෝ ද -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:98.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සිංහාසනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
kn-ap:98.16
සිංහාසනදායකස්ථවිරාවදානය පළමුවැනි යි.
kn-ap:98.17
12. ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය
kn-ap:98.18
686. ‘සිද්ධාර්‍ත්‍ථ’ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
kn-ap:98.19
687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්‍රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
kn-ap:100.1
688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
kn-ap:100.2
689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
kn-ap:100.3
690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
kn-ap:100.4
691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
kn-ap:100.5
692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
kn-ap:100.6
693. එ ම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
kn-ap:100.7
694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
kn-ap:100.8
695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
kn-ap:100.9
696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්‍ෂත්‍රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
kn-ap:100.10
697. යම් යම් දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
kn-ap:100.11
698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
kn-ap:100.12
699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:100.13
මෙහි මේ අයුරින් ඒකත්‍ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
kn-ap:100.14
ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.
kn-ap:100.15
13. නන්‍ද ස්ථවිරාවදානය
kn-ap:100.16
700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
kn-ap:100.17
701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්‍ණවර්‍ණ වන්නෙහි ය.
kn-ap:102.1
702. (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධ සම්පත් අනුභව කොට කුසල මූලයෙන් මෙහෙයන ලදුවහු ඔබ ගෞතම බුදුරජානන් වහන්සේගේ බාල සොහොයුරු වන්නහු ය.
kn-ap:102.2
703. ක්ලේශකාමයෙන් ඇලුනහු (කාය - චිත්ත) සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තහු, වස්තුකාමයන්හි ගිජු වූවහු, බුදුරජානන් වහන්සේ විසින් මෙහෙයන ලදුවහු, ශාන්ත වූවහු එකල්හි පැවිදි වන්නහු ය.
kn-ap:102.3
704. තෝ එහි පැවිදි ව කුසලමූලයන් විසින් මෙහෙයන ලදුයෙහි සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙහි ය” (කියායි).
kn-ap:102.4
705. මෙ කපින් පෙර එක්දහස් එක්සිය වන කපෙහි ‘චෙල’ නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ. එක්දහස් සැට වන කල්පයෙහි (සිවු ජාතියක) ‘උපචෙල’ නම් වූ සක්විතිරජවරු සිවු දෙනෙක් වූහ.
kn-ap:102.5
706. එක්දහස් පස් වන කපෙහි ‘චෙල’ නම් වූ ම (සක්විතිරජවරු) සිවුදෙනෙක් වූහ. ඔහු සත්රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපති වූහ.
kn-ap:102.6
707. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:102.7
මෙහි මේ අයුරින් ‘නන්‍ද’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:102.8
නන්‍දස්ථවිරාවදානය තෙවැනියි.
kn-ap:102.9
14. චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය
kn-ap:102.10
708. එකල්හි පූජාවන් පිළිගන්නා වූ හෙවත් පූජාවනට ගෙයක් බඳු වූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ ගණ(=සමූහ)යා කෙරෙන් වෙන් වූ සේක් හිමවතෙහි විසූ සේක.
kn-ap:102.11
709. එකල්හි මම ද හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති ලෝකනායක වූ මහාවීරයන් (=බුදුරජානන්) වහන්සේ වෙත එළඹියෙමි.
kn-ap:102.12
710. මල්සතක් (=මල්කුඩයක්) ගෙණ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමවතට සමවන් උන්වහන්සේගේ සමාධියට අන්තරායක් නො කෙළෙමි.
kn-ap:102.13
711. මම දෑතින් ගෙණ මල්සත දුනිමි. මහාමුනි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ (එය) පිළිගත් සේක.
kn-ap:102.14
712. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. “පසැස් ඇති බුදුරජ තෙම අනුමෝදනා කරන්නේ ය” යි සාධුකාර පැවැත්වූහ.
kn-ap:104.1
713. ඒ දෙවිවරු මෙය කියා මාගේ පියුම් සත අහසෙහි දරන්නා වූ උතුම් වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියාහු ය.
kn-ap:104.2
714. “(මේ)තවුස්තෙමේ පියුම්සතක් ගෙණ මට දුන්නේ ය. ඔහු පිළිබඳ ව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු” යී (මෙසේ බුදුහු වදාළහ).
kn-ap:104.3
715. (මෙතෙම) පස්විසි වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සූතිස් වරක් සක්විතිරජ ද වන්නේ ය.
kn-ap:104.4
716. (මෙතෙම) දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක සැරිසරා ද, අභ්‍යවකාශයෙහි (=එළිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක්) මෙන් දරන්නේ ය.
kn-ap:104.5
717. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
kn-ap:104.6
718. උන්වහන්සේ පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේ ය. මනෝමය වූ ශරීරනිර්‍මාණයෙහි අග්‍ර ද වන්නේ ය.
kn-ap:104.7
719. සොහොයුරෝ දෙදෙනෙක් වන්නාහු ය. දෙදෙන ම පන්‍ථක නම් වන්නාහු ය. උත්තමාර්‍ත්‍ථය වූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුලුවන්නාහු ය” (කියායි).
kn-ap:104.8
720. ඒ මම අටළොස්වියැ’ත්තේ අනගාරිය නම් වූ සාසනයෙහි පැවිදි වීමි. මම ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි විශේෂාධිගමය (ධර්‍මාවබෝධය) ක් නො ලැබීමි.
kn-ap:104.9
721. මාගේ ගතිය (=ස්වභාවය) දන්‍ධ (=මෝඩ) වි ය. (මම) පළමු කොට ගරහන ලදුයෙම් වීමි. දැන් ස්වකීය ගෘහයට යව යි කියා මාගේ සොහොයුරා ද මා නෙරපා දැමී ය.
kn-ap:104.10
722. නෙරපා දමන ලද ඒ මම සඟරම්දොරටුවෙහි නැවතී දොම්නස් වූයෙම් පැවිදිබැව්හි බලාපොරොත්තු සහිත ව එහි සිටියෙමි.
kn-ap:104.11
723. ශාස්තෘ තෙම එහි පැමිණියේ ය. මාගේ හිස පිරිමැද්දේ ය. මගේ අතින් අල්ලා සඟරමට පිවිසවී ය.
kn-ap:104.12
724. මෙසේ පිරිසිදු (මෙය ගෙණ) එකත්පසෙක හිඳ මනා කොට ඉටුව යි (=සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම පාපිස්නා කඩක් දුන්නේ ය.
kn-ap:104.13
725. මම එය දෝතින් ගෙණ පියුම සිහි කෙළෙමි. එහි දී මගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ය. රහත්බවට පැමිණියෙමි.
kn-ap:104.14
726. සියලු තන්හි මනෝමයශරීරයන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කෙළෙම් ආශ්‍රව රහිත ව (=රහත් ව) වෙසෙමි.
kn-ap:104.15
727. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:104.16
මේ අයුරින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:104.17
චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය සතරවැනියි.
kn-ap:106.1
15. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
kn-ap:106.2
728. ලෝකනාථ වූ අග්‍රපුද්ගල වූ ‘සුමේධ’ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති මනා සිත් ඇති මම ස්තූපපූජාවක් කෙළෙමි.
kn-ap:106.3
729. යම් ෂඩභිඥ වූ මහාඍද්ධි ඇති ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහු ද) මම උන්වහන්සේලා එහි රැස් කරවා සඟබතක් දිනිමි.
kn-ap:106.4
730. එකල්හි ‘සුමේධ’ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වී ය. නමින් සුමේධ නම් වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේ ය.
kn-ap:106.5
731. එ ම (ථුපපූජා කිරීම් වශයෙන් ඇති වූ) චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම දිව්‍යවිමානයක උපනිමි. අසූසයදහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
kn-ap:106.6
732. එ ම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොට ගෙණ මා අනුව ම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවමි. මේ (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
kn-ap:106.7
733. මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති ‘වරුණ’ නම් සක්විතිරජෙක් වීමි.
kn-ap:106.8
734. ඒ මනුෂ්‍යයෝ බිජුවට නො වපුරත්. නගුල් (සීසෑම් වශයෙන්) නො පමුණුවනු ලැබේ. අරණයයෙහි නො සෑ බිම්පෙදෙස්හි තෙමේ ම හට ගත් හැල් අනුභව කෙරෙත්.
kn-ap:106.9
735. මම එහි රාජ්‍යය කොට නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබඳු ම වූ භෝගසම්පත්ති තොමෝ උපන්නී ය.
kn-ap:106.10
736. මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නො කෙරෙත්. සියලු දෙනාහට ම ප්‍රිය වෙමි. මෙය (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
kn-ap:106.11
737. එකල මෙයින් එක්දහස්තිස්වන කල්පයෙහි මම යම් දනක් දිනිම් ද, (ඉන්) දුගතියක් නො දනිමි. (ස්තූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (=සුවඳ ගැල්වීමෙහි) ඵලය යි.
kn-ap:106.12
738. මේ භද්‍රකල්පයෙහි මම ජනාධිපති වූ මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විතිරජෙක් වීමි.
kn-ap:106.13
739. ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා සුගතියට ම පමුණුවා දෙවියනට ප්‍රිය වීමි.
kn-ap:106.14
740. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:106.15
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී..
kn-ap:106.16
පිළින්‍දිවච්ඡස්ථවිරාපදානය පස්වැනියි.
kn-ap:108.1
16. රාහුල ස්ථවිරාවදානය
kn-ap:108.2
741. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට සත්බුමුපහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
kn-ap:108.3
742. දෙපා ඇතියනට අග්‍ර වූ මහාමුනි වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් ගඳකිළියට එළඹි සේක.
kn-ap:108.4
743. “දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෘ තෙමේ ගඳකිළිය බබුළුවන්නේ බික්සඟන මැද සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
kn-ap:108.5
744. යමකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැටපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනැවින් අතුරණ ලද ද මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නා වූ මාගේ වචනය අසවු:
kn-ap:108.6
745. “ස්වර්‍ණමය වූ ද රජතමය වූ ද යලි වෙරළුමිණිමුවා වූ ද යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම්, (ඒ ආදාසයෝ) පහළ වන්නාහු ය.
kn-ap:108.7
746. සූසැට වරක් ශක්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අනතුරු ව දහස්වරක් සක්විතිරජ වන්නේ ය.
kn-ap:108.8
747. එක්විසිවන කපෙහි සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරුරජුන් ජය ගන්නා සුලු වූ ‘විමල’ නම් සක්විති රජෙක් වන්නේ ය.
kn-ap:108.9
748. ගඩොළුවලින් නිර්මිත කරණ ලද නගරය රේණුවති නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස්හැඩයෙන් යුතු ය.
kn-ap:108.10
749. (එහි) උතුම් වූ කුළුගෙවලින් යුත් සත්රුවනින් අලංකාර කරණ ලද විශ්වකර්‍මයා විසින් නිර්මිත කරණ ලද ‘සුදර්‍ශන’ නම් ප්‍රාසාදයෙක් වන්නේ ය.
kn-ap:108.11
750. එය දශවිධශබ්දයෙන් වෙන් නො වූ විද්‍යාධරයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්‍ශනනගරය මෙන් වන්නේ ය.
kn-ap:108.12
751. එ ම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදා වන කල්හි විහිදේ. එය නිරතුරු ව ම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේ ය.
kn-ap:108.13
752. කල්පලක්‍ෂයකින් මතුයෙහි ‘ඔක්කාක’ කුලයෙහි උපදින්නා වූ නමින් ‘ගෞතම’ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
kn-ap:108.14
753. හෙතෙම කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිතපුරයෙන් චුත ව ගෞතමයන් වහන්සේගේ ඒ ඖරසපුත්‍රයා වන්නේ ය.
kn-ap:108.15
754. හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම්, සක්විතිරජ වන්නේ ය. තාදීගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණේ ය යන මේ කරුණ සිදු නො වන්නකි. (හෙවත් සිදු වීමට හේතු නැත්තකි.)
kn-ap:108.16
755. සුශික්‍ෂිත වූ (හෙතෙම) ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. නමින් ඒ තෙම ‘රාහුල’ නම් වූ රහත් වන්නේ ය.”
kn-ap:110.1
756. මහාමුනි වූ ගෞතම බුදුරජානන් වහන්ස, කිරලා බිජුවට රකින්නාක් මෙන් ද, සෙමෙරමුවා වලග රකින්නාක් මෙන් ද මෙසේ සීලයෙන් යුක්ත වූ මම (මැනැවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.
kn-ap:110.2
757. මම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව වෙසෙමි.
kn-ap:110.3
758. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
kn-ap:110.4
මෙහි මේ අයුරින් ‘රාහුල’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
kn-ap:110.5
රාහුල ස්ථවිරාවදානය සවැනියි.
kn-ap:110.6
17. උපසේන ස්ථවිරාවදානය