Pali BJT471. ආවාසං සතසහස්සෙන{9} සඞ්ඝාරාමෙ{10} අමාපයිං, වෙපුල්ලතං පාපයිත්වා{11} සම්බුද්ධං උපනාමයිං.
Sinhala BJT471. ලක්‍ෂයක් (ධන) වියදමින් ඒ සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස්බවට පමුණුවා බුදුරජානන් වහන්සේට පිරිනැමීමි.
Pali BJT472. “නිට්ඨාපිතො මයා ‘රාමො සම්පටිච්ඡ තුවං මුනි, නිය්යාදෙස්සාමි{12} තෙ{13} වීර අධිවාසෙහි චක්ඛුම”
Sinhala BJT472. “මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයන් වහන්ස, ඔබවහන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, මෙය ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තානන්වහන්ස, මෙය පිළිගත මැනවි” (යි දැන්වීමි).
Pali BJT473. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි නායකො.
Sinhala BJT473. පූජාසත්කාරයන් පිළිගැණීමට සුදුසු වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස දැන එය ඉවසූසේක.
Pali BJT474. අධිවාසනමඤ්ඤාය සබ්බඤ්ඤුස්ස මහෙසිනො, භොජනං පටියාදෙත්වා කාලමාරොචයිං අහං.
Sinhala BJT474. මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේගේ ඉවසීම දැන මම භෝජනය පිළියෙල කරවා කාලය ආරෝචනය කෙළෙමි.
Pali BJT475. ආරොචිතම්හි කාලම්හි පුදුමුත්තරනායකො, ඛීණාසවසහස්සෙහි ආරාමං මෙ උපාගමී.
Sinhala BJT475. කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝකනායකයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් මාගේ ආරාමයට වැඩිසේක.
Pali BJT476. නිසින්නං කාලමඤ්ඤාය අන්නපානෙන තප්පයිං, භුත්තාවිං කාලමඤ්ඤාය ඉදං වචනමබ්රවිං:
Sinhala BJT476. සුදුසු කාලය දැන වැඩහුන්නාවූ උන්වහන්සේ ආහාර පානයෙන් තෘප්ත කෙළෙමි. (යලි) සුදුසු කලැයි දැන වළඳා අවසන් වූ උන්වහන්සේට මේ වචනය කීමි:
Pali BJT477. “කීතො සතසහස්සෙන තත්තකෙනෙ’ව කාරිතො, සොභනො නාම ආරාමො සම්පටිච්ඡ තුවං මුනි.{1}
Sinhala BJT477. ‘සෝභන නම් වූ (මේ) ආරාමය ලක්‍ෂයක් මිල දී ගන්නා ලදී. එපමණ ම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලදී. බුදුරජාණන් වහන්සේ එය පිළිගන්නා සේක්වා.
Pali BJT478. ඉමිනා’රාමදානෙන චෙතනාපණිධීහි ච, භවෙ නිබ්බත්තමානො’හං ලභාමි මම පත්ථිතං”.
Sinhala BJT478. මෙ ම ආරාමදානයෙන් ද චිත්තප්‍රණිධීන්ගෙන් ද භවයෙහි උපදින්නා වූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.”
Pali BJT479. පටිග්ගහෙත්වා සම්බුද්ධො සඞ්ඝාරාමං සුමාපිතං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉදං වචනමබ්රවී:
Sinhala BJT479. බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙණ බික්සඟන මැද හිඳ ඒ අරමෙහි අනුසස් දක්වන මෙම වචනය වදාළේ ය.
Pali BJT480. “යො සො බුද්ධස්ස පාදාසි සඞ්ඝාරාමං සුමාපිතං, තමහං කිත්තයිස්සාමි පුණාථ මම භාසතො.
Sinhala BJT480. “යමෙක් තෙම මැනැවින් කොට නිමවනලද සංඝාරාමය බුදුරජානන් වහන්සේට පූජා කෙළේ ද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT481. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං.
Sinhala BJT481. ඇත්සේනාව ද අස්සේනාව ද රථසේනාව ද පාබළ සේනාව ද යන මේ සිවුරඟ සේනා නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාමදානයෙහි විපාකය යි.
Pali BJT482. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’ද ඵලං.
Sinhala BJT482. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනවින් අලඞ්කාර කළ භේරීහු ද නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම දානයෙහි විපාකය යි.
Pali BJT483. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT483-484. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්වනලද මිණිකොඬොල් ඇති මහත් වූ දිගු ඇස් ඇති සතුට උපදවන ලීලා විලාස ඇති මනා වූ ශරීරාවයව ඇති සිහින් ඉඟ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. සඞ්ඝාරාම පූජාවෙහි මේ විපාකය යි.
Pali BJT484. ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT485. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT485. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ශක්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT486. දෙවරාජෙන පත්තබ්බං සබ්බං පටිලභිස්සති, අනූනභොගො හුත්වාන දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT486. දෙව්රජ විසින් ලැබිය යුතු සියල්ල ලබන්නේ ය. සියලු සම්පත් ඇත්තෙක් ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT487. සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සති, පථව්යා රජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT487. දහස්වරක් රටෙහි සක්විතිරජ වන්නේ ය. මහත් වූ පෘථිවීරාජ්‍යය (ලබනවාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නො හැක්කේ ය.
Pali BJT488. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT488. කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ඔක්කාක කුලසම්භව වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT489. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, උපාලි නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT489. උන්වහන්සේගේ ඖරසපුත්‍ර වූ ධර්‍මයෙහි හිමිකම් ඇති ධර්‍මයෙන් නිම කළාක් වැනි වූ නමින් උපාලි නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT490. විනයෙ පාරමිං පත්වා{2} ඨානාඨානෙ ච කොවිදො, ජිනසාසනං ධාරයන්තො{3} විහරිස්සත’නාසවො.
Sinhala BJT490. විනයයෙහි කෙළ පැමිණ කටයුතු නො කටයුතු දැනුමෙහි දක්‍ෂ වූයේ බුදුසසුන (=ත්‍රිපිටකධර්‍මය) දරන්නේ ආශ්‍රව රහිත ව වාසය කරන්නේ ය.
Pali BJT491. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසස්ති.”
Sinhala BJT491. ශාක්‍යකූලශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (යනුයි).
Pali BJT492. අපරිමෙය්යු’පාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT492. අපමණ කලක පටන් ඔබවහන්සේගේ සසුන (විනය ධාරීන් ගෙන් අග්‍රස්ථානය) පතමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබන ලදි.
Pali BJT493. යථා සූලාවුතො පොසො රාජදණ්ඩෙන තජ්ජිතො, සූලෙ සාතං අවින්දන්තො{1} පරිමුත්තිංව ඉච්ඡති.
Sinhala BJT493. යම් සේ රජදණ්ඩනයෙන් තැති ගත් පුරුෂ තෙම හුලෙහි ඇමිණුනේ හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීම ම කැමති වෙයි ද,
Pali BJT494. තථෙවා’හං මහාවීර භවදණ්ඩෙන තජ්ජිතො, කම්මසූලාවුතො සන්තො පිපාසාවෙදනට්ටිතො.{2}
Sinhala BJT494. මහාවීරයන්වහන්ස, මම ද එසේ ම භවදණ්ඩනයෙන් තැතිගත්තෙම් කර්‍මය නැමැති හුලෙහි ඇමිණුනෙම් තෘෂ්ණාවේදනාවෙන් මඩනාලද්දෙම්,
Pali BJT495. භවෙ සාතං න වින්දාමි ඩය්හන්තො තීහි අග්ගිහි, පරිමුත්තිං ගවෙසාමි යථාපි රාජදණ්ඩිතො.
Sinhala BJT495. (රාග, ද්වේෂ, මෝහ) යන ත්‍රිවිධ අග්නියෙන් දැවෙන්නෙම් භවයෙහි සැපතක් නො විඳිමි. රාජදණ්ඩනයෙන් තැති ගත්තකු මෙන් මිදීම සොයමි.
Pali BJT496. යථා විසාදො{3} පුරිසො විසෙන පරිපීළිතො, අගදං සො ගවෙසෙය්ය විසඝාතායුපාලනං.{4}
Sinhala BJT496. යම්සේ විෂයෙන් (සර්‍පයකු විසින්) ඩහනලද පුරුෂයෙක් විෂයෙන් පෙළුනේ විෂ නසන ආයුෂ රකින බෙහෙතක් හෙතෙම සොයන්නේ ද,
Pali BJT497. ගවෙසමානො පස්සෙය්ය අගදං විසඝාතකං, තං පිවිත්වා{5} සුඛී අස්ස විසම්හා පරිමුත්තියා.
Sinhala BJT497. (එසේ) සොයමින් විෂ නසන්නා වූ බෙහෙතක් දකින්නේ විෂයෙන් මිදීම පිණිස එය බී සුවපත් වන්නේ ද,
Pali BJT498. තථෙවා’හං මහාවීර යථා විසහතො{6} නරො, සම්පීළිතො අවිජ්ජාය සද්ධම්මාගදමෙසයිං.{7}
Sinhala BJT498. එසේ ම මහාවීරයන් වහන්ස, මම විෂයෙන් නටුවා වූ පුරුෂයකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.
Pali BJT499. ධම්මාගදං{8} ගවෙසන්තො අද්දක්ඛිං සක්යසාසනං, අග්ගං සබ්බොසධානං තං සබ්බසල්ලවිනොදනං.
Sinhala BJT499. දහම්බෙහෙත සොයන්නෙම් සියලු ඖෂධයනට අග්‍ර වූ සියලු (රාගාදි) හුල් දුරු කරන්නා වූ ඒ බුද්ධශාසනය දුටුවෙමි.
Pali BJT500. ධම්මොසධං පිවිත්වාන විසං සබ්බං සමූහනිං,{9} අජරාමරං සීතිභාවං නිබ්බානං ඵස්සයිං{10} අහං.
Sinhala BJT500. මම දහම්ඔසුව බී සියලු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමර වූ සිසිල් වූ නිවණ ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.
Pali BJT501. යථා භූතට්ටිතො{11} පොසො භූතගාහෙන පීළිතො, භූතවෙජ්ජං ගවෙසෙය්ය භූතස්මා පරිමුත්තියා.
Sinhala BJT501. යම් සේ භූතයකු විසින් පෙළනලද පුරුෂයෙක් තෙම භූතග්‍රහණයෙන් පීඩිත වූයේ භූතයාගෙන් මිදීම පිණිස භූතවෛද්‍යයකු සොයන්නේ ද,
Pali BJT502. ගවෙසමානො පස්සෙය්ය භූතවිජ්ජාසු කොවිදං,{12} තස්ස සො විහනෙ{13} භූතං සමූලඤ්ච විනාසයෙ.
Sinhala BJT502. සොයමින් භූත විද්‍යාවෙහි දක්‍ෂයකු දකින්නේ ය. ඒ වෙද තෙම ඔහුගේ භූතයා නසන්නේ ය. සහමුලින් ම වනසන්නේ ය.
Pali BJT503. තථෙවා’හං මහාවීර තමග්ගාහෙන පීළිතො, ඤාණාලොකං ගවෙසාමි තමතො පරිමුත්තියා.
Sinhala BJT503. මහාවීරයන් වහන්ස, එසේ ම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනෙම් (එම) අඳුරින් මිදීම පිණිස ඤාණාලොකය (ප්‍රඥාව) සොයමි.
Pali BJT504. අථ’ද්දසං සක්යමුනිං කිලෙසතමසොධනං, සො මෙ තමං විනොදෙසි භූතවෙජ්ජොව භූතකං.{14}
Sinhala BJT504. ඉක්බිති කෙලෙස්අඳුර දුරු කරන්නා වූ ශාක්‍යමුනීන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූතවෛද්‍යයකු භූතාවේශය දුරු කරන්නාක් මෙන් මාගේ ක්ලේශාන්‍ධකාරය දුරු කළසේක.
Pali BJT505. සංසාරසොතං සංඡින්දිං තුණ්හාසොතං නිවාරයිං, භවං උග්ඝාටයිං සබ්බං භූතවෙජ්ජොව මූලතො.
Sinhala BJT505. භූතවෛද්‍යයකු (භූතාවේශය) මෙන් සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්‍රොතස වැළැක්වීමි. සියලු භවය මුලින් ම නැසීමි.
Pali BJT506. ගරුළො යථා ඔපතති{15} පන්නගං භක්ඛමත්තනො, සමන්තා යොජනසතං වික්ඛොභෙති මහාසරං.
Sinhala BJT506. යම් සේ ගුරුළෙක් තෙම තමාගේ ගොදුර වූ නාගයා වෙත වේගයෙන් බසී ද, මහසමුදුර හාත්පස යොදුන් සියයක් කළඹා ද,
Pali BJT507. පන්නගං සො ගහෙත්වාන අධොසීසං විහෙඨයං{16}, ආදාය සො පක්කමති යෙන කාමං විහඞ්ගමො.
Sinhala BJT507. ඒ ගුරුළු තෙමේ හිස යටිකුරු කොට නාගයා ගෙණ පෙළන්නේ කැමැති තැනකට ගෙණයේ ද,
Pali BJT508. තථෙවාහං{17} මහාවීර යථාපි ගරුළො බලී{18}, අසඞ්ඛතං ගවෙසන්තො දොසෙ වික්ඛාලයිං අහං.
Sinhala BJT508. මහාවීරයන් වහන්ස, එසේ ම මම ගුරුළා බිලි සොයන්නාක් මෙන් අසංස්කෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නෙම් (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) මම සෝදා හැරීමි.
Pali BJT509. දිට්ඨො අහං ධම්මවරං සන්තිපදමනුත්තරං, ආදාය විහරාමෙතං ගරුළො පන්නගං යථා.
Sinhala BJT509. නිරුත්තරශාන්තපදය වූ උතුම් නිර්‍වාණධර්‍මය දක්නාලද මම ගුරුළා නාගයකු මෙන් මෙය (=ධර්‍මය) ගෙණ වෙසෙමි.
Pali BJT510. ආසාවතී නාම ලතා ජාතා චිත්තලතාවනෙ, තස්සා වස්සසහස්සෙන එකං නිබ්බත්තතෙ ඵලං.
Sinhala BJT510. චිත්‍රලතාවනයෙහි හටගත්තා වූ (දෙවියන් ආසා කරණ හෙයින්) ආසාවතී නම් වූ වැලක් වෙයි. ඒ වැලේ හවුරුදු දහසකින් එක මලක්{*} හටගනී.
Pali BJT511. තං දෙවා පටිරුපාසන්ති තාව දූරෙ ඵලෙ සති,{1} දෙවානං සා පියා{2} එවං ආසාවතීලතුත්තමා.
Sinhala BJT511. එතෙක් දිගු කලක් ගොස් මල ඇති වූ කල්හි ඒ වැල දෙවියෝ ඇසුරු කෙරෙත්. ඒ ආසාවතී නම් උතුම් ලතාව මෙසේ දෙවියනට ප්‍රිය වන්නී ය.
Pali BJT512. සතසහස්සුපාදාය තා’හං{3} පරිචරෙ මුනිං, සායං පාතං නමස්සාමි දෙවා ආසාවතිං යථා.
Sinhala BJT512. කලාප ලක්‍ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ සවස නමදිමි. දෙවියන් ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.
Pali BJT513. අවඤ්ඣා පාරිචරියා අමොඝා ච නමස්සනා, දූරාගතම්පි මං සන්තං ඛණො මං{4} න විරාධයී.
Sinhala BJT513. පාරිචරියාව (බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කිරීම) නො වඳ ය. නමස්කාරය නො සිස් ය. සසර බොහෝ දුර සිට ආවා වූ මට ඇති වූ මේ බුද්ධෝත්පාදක්‍ෂණය මා ඉක්මවා නො ගියේ ය.
Pali BJT514. පටිසන්ධිං න පස්සාමි විචිනන්තො භවෙ අහං, නිරූපධී විප්පමුත්තො උපසන්තො චරාම’හං.
Sinhala BJT514. මම පරීක්‍ෂා කොට බලන්නෙම් භවයෙහි ප්‍රතිසන්‍ධියක් නො දකිමි. (එසේ ම) මම (ඛන්‍ධ-කිලේස) උපධි විරහිත වූයෙම් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනෙම් සන්සිඳුනෙම් හැසිරෙමි.
Pali BJT515. යථාපි පදුමං නාම සුරියරංසෙන පුප්ඵති, තථෙවා’හං මහාවීර බුද්ධරංසෙන පුප්ඵිතො.
Sinhala BJT515. පියුම වනාහි යම් සේ හිරුරැසින් පිපේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, මම ද බුදුරැසින් පිපුනෙම් වෙමි.
Pali BJT516. යථා බලාකායොනිම්හි න විජ්ජති පුමා{5} සදා, මෙඝෙසු ගජ්ජමානෙසු ගබ්භං ගණ්හන්ති තා සදා.
Sinhala BJT516. යම් සේ බලාකායෝනියෙහි (=කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමිසත්තු විද්‍යාමාන නො වෙද්ද, ඒ කෙකින්නෝ හැම දා මේඝගර්‍ජනය කරණ කල්හි ගැබ් ගණිත් ද,
Pali BJT517. චිරම්පි ගබ්භං ධාරෙන්ති යාව මෙඝො න වස්සති,{6} භාරතො පරිමුච්චන්ති යදා මෙඝො පවස්සති.
Sinhala BJT517. යම් තාක් කල් වැසි නො වසී ද, (ඒ තාක්) දීර්‍ඝකාලයක් නමුදු කෙකින්නෝ ගැබ් දරත්. යම් කලෙක් හි වැසි වසී ද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.
Pali BJT518. පදුමුත්තරබුද්ධස්ස ධම්මමෙඝෙන ගජ්ජතො, සද්දෙන ධම්මමෙඝස්ස ධම්මගබ්භං අගණ්හි’හං.
Sinhala BJT518. ධර්‍මය නමැති මෙඝයෙන් ගර්‍ජනය කරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්‍මමේඝයාගේ ශබ්දය කරණ කොට ගෙණ මම දහම්ගැබ් ගතිමි.
Pali BJT519. සතසහස්සුපාදාය{7} පුඤ්ඤගබ්භං ධරෙම’හං, නප්පමුඤ්චාමි භාරතො ධම්මමෙඝෙ{8} න ගජ්ජති{9}.
Sinhala BJT519. කල්ප ලක්‍ෂයක පටන් ම මම (රැස් කළ) පින් නමැති ගැබ් දරමි. ධර්‍ම නමැති මේඝය ගර්‍ජනා නො කරණ කල්හි (එම ගැබ්) බරින් නො මිදෙමි.
Pali BJT520. යදා තුවං සක්යමුනෙ රම්මෙ කාපිලවත්ථවෙ, ගජ්ජසි{10} ධම්මමෙඝෙන භාරතො පරිමුත්ත’හං{11}.
Sinhala BJT520. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ රම්‍ය වූ කපිලවත්‍ථු නගරයෙහි ධර්‍මමේඝයෙන් ගර්‍ජනය කළසේක් නම්, මම (ඒ පින් ගැබ්) බරින් මිදුනෙම් වෙමි.
Pali BJT521. සුඤ්ඤතං අනිමිත්තඤ්ච තථාප්පණිහිතම්පි{12} ච, චතුරො ච ඵලෙ සබ්බෙ ධම්මෙ විජනයිං අහං.{13}
Sinhala BJT521. (ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශුන්‍ය වූ, (ක්ලේශ නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිත වූ විමෝක්‍ෂ ධර්‍මය ද, චතුර්විධ ශ්‍රාමණ්‍යඵල ද යන මේ සියලු ධර්‍මයන් මම ඉපදවීමි.
Pali BJTදුතියභාරණවාරං
Sinhala BJTදෙවෙනි බණවරයි.
Pali BJT522. අපරිමෙය්යුපාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සන්තිපදමනුත්තරං.
Sinhala BJT522. පමණ කළ නො හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ සසුන පැතීමි. මා විසින් පැමිණෙනලද එම (ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ඇත්තෙම් පැමිණෙනලද ශාන්තපදය වූ නිවණ ද ඇත්තෙම් වෙමි.
Pali BJT523. විනයෙ පාරමිං පත්තො යථාපි පාඨිකො{1} ඉසි, න මෙ සමසමො අත්ථි{2} ධාරෙමි සාසනං අහං.
Sinhala BJT523. (පදුමුත්තර බුදුසසුනෙහි) පාඨික භික්‍ෂුහු මෙන් විනයෙහි තෙර පතුයෙම් වෙමි. මට සමාන අනිකෙක් ද නැත. මම සසුන (ඔවාදසාසනය) දරමි.
Pali BJT524. විනයෙ ඛන්ධකෙ චාපි තිකච්ඡෙදෙ ච පඤ්චමෙ, එත්ථ මෙ{3} විමතී නත්ථි අක්ඛරෙ ව්යඤ්ජනෙපි වා.
Sinhala BJT524. විනයයෙහි (=භික්‍ෂු භික්‍ෂුණී විභඞ්ග සඞ්ඛ්‍යාත උභතෝවිභඞ්ගයෙහි) ද, ඛන්‍ධකයෙහි (=චුල්ලවග්ග මහාවග්ග දෙක්හි) ද, තික සඞ්සාදිසේසතික පාචිත්තියාදියෙහි ද, පස්වැනි වූ පරිවාරයෙහි ද යන මෙහි (=විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.
Pali BJT525. නිග්ගහෙ පටිකම්මෙ ච ඨානාඨානෙ ච කොවිදො, ඔසාරණෙ වුට්ඨාපනෙ සබ්බත්ථ පාරමිං ගතො.
Sinhala BJT525. (පාප භික්‍ෂූන්ට) නිග්‍රහ කිරීමෙහි ද, (සාපත්තික) භික්‍ෂූන්ට (පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්‍ම කිරීමෙහි ද, කරුණෙහි හා නො කරුණෙහි ද දක්‍ෂ වූයෙම් (තර්‍ජනීයාදි කර්‍මයන්ගේ පටිප්පස්සද්ධි වශයෙන් සසුනට ඇතුළු කරගන්නා) ඔසාරණයෙහි ද, ඇවතින් නැගිටුවාලන වුට්ඨාපනයෙහි ද යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියෙම් වෙමි.
Pali BJT526. විනයෙ ඛන්ධකෙ චාපි නික්ඛිපිත්වා පදං අහං, උභතො විනිවෙඨෙත්වා රසතො ඔසරෙය්ය’හං.
Sinhala BJT526. (උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද, (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්‍ධකයෙහි ද මම සුදුසු පදය බහා (විභඞ්ග ඛන්‍ධක) දෙකින් නිරවුල් කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් (සුදුසු) අදහස් ඇතුළත් කරමි.
Pali BJT527. නිරුත්තියා සුකුසලො අත්ථානත්ථෙ ච කොවිදො, අනඤ්ඤාතං මයා නත්ථි එකග්ගො සත්ථුසාසනෙ.
Sinhala BJT527. නිරුක්තියෙහි (=ව්‍යවහාරවචනයන්හි නියම අර්‍ත්‍ථ කීමේ ක්‍රමයෙහි) ඉතා දක්‍ෂ වූයෙම් අභිවෘද්ධිය පරිහානිය යන මේ දෙක්හි ද ඡේක වූයෙම් වෙමි. (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නො ගන්නාලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මම ම) අසහාය වූ අග්‍රවිනයධරයා වෙමි.
Pali BJT528. රූපදක්ඛො අහං අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ, කඞ්ඛං සබ්බං විනොදෙමි ඡින්දාමි සබ්බසංසයං.
Sinhala BJT528. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (විනයවිනිශ්චයදර්‍ශන සඞ්ඛ්‍යාත) රූපදර්‍ශනයෙහි සියලු සැක දුරු කරමි. සියලු කුකුස් සිඳිමි.
Pali BJT529. පදං අනුපදඤ්චාපි අක්ඛරඤ්චාපි ව්යඤ්ජනං{4}, නිදානෙ පරියොසානෙ සබ්බත්ථ කොවිදො අහං.
Sinhala BJT529. පෙර පසු පද (එක එක) අකුර, ද, (සිථිල ධනිතාදි) දශවිධ ව්‍යඤ්ජනවිධානය ද, (තෙන සමයෙන යනාදි) නිදානය ද, නිගමනය ද යන මේ සියල්ලෙහි මම දක්‍ෂ වෙමි.
Pali BJT530. යථාපි රාජා බලවා නිග්ගණ්හිත්වා පරන්තපෙ{5}, විජිනිත්වාන සඞ්ගාමං නගරං තත්ථ මාපයෙ.
Sinhala BJT530. යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජුන්ගේ සෙනඟ පහ කොට සඞ්ග්‍රාමය ජය ගෙණ එහි නුවරක් ඉදි කරන්නේ නම්,
Pali BJT531. පාකාරං පරිඛඤ්චාපි එසිකං ද්වාරකොට්ඨකං, අට්ටාලකෙ ච විවිධෙ කාරයෙ නගරෙ බහූ.
Sinhala BJT531. පවුර ද දියඅගළ ද ඉන්‍ද්‍රකීලය ද දොරටුව ද විවිධ අටලු ද යන බොහෝ දෙය (මේ) නගරයෙහි කරවන්නේ ය.
Pali BJT532. සිඞ්ඝාටකං වච්චරඤ්ච{6} සුවිභත්ත’න්තරාපණං, කාරයෙය්ය{7} සභං තත්ථ අත්ථානත්ථවිනිච්ඡයං.
Sinhala BJT532. සිවු මංසන්‍ධි ද ඇතුළු වීථි ද මැනවින් බෙදනලද ආපණ ශාලාවන් ද (එසේ ම) එහි වරද නිවරද විනිශ්චය කරණ අධිකරණ ශාලාව ද කරවන්නේ ය.
Pali BJT533. නිග්ඝාතත්ථං අමිත්තානං ඡිද්දාඡිද්දඤ්ච ජානිතුං, බලකායස්ස රක්ඛාය{8} සෙනාපච්චං ඨපෙති{9} සො.
Sinhala BJT533. හෙතෙම පසමිතුරන් නැසීම පිණිස ද දොස් නිදොස් දැන ගැණීම පිණිස ද භට (සේනා) සමූහය රැකීම පිණිස ද සෙන්පතියකු තබයි.
Pali BJT534. ආරක්ඛත්ථාය භණ්ඩස්ස නිධානකුසලං නරං, මා මෙ භණ්ඩං විනස්සීති භණ්ඩරක්ඛං ඨපෙති{9} සො.
Sinhala BJT534. හෙතෙම “මාගේ භාණ්ඩයන් විනාශ නො වේවා යි” රාජ භාණ්ඩයන්ගේ ආරක්‍ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්‍ෂ වූ පුරුෂයකු භාණ්ඩාගාරක්‍ෂකයා කොට තබයි.
Pali BJT535. මාමකො{1} හොති යො රඤ්ඤො වුද්ධිං යස්ස ච ඉච්ඡති, තස්සාධිකරණං දෙති මිත්තස්ස පටිපජ්ජිතුං.
Sinhala BJT535. යමෙක් රජුට මමත්‍වය කරන්නේ වේ ද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමැති වේ ද, ඒ මිත්‍රයාහට (ධර්‍මානුකූලව ම) පිළිපැදීමට අධිකරණ නායකත්‍වය දෙයි.
Pali BJT536. උප්පාතෙසු නිමිත්තෙසු ලක්ඛණෙසු ච කොවිදං, අජ්ඣායකං මන්තධරං පොරොහිච්චෙ ඨපෙති{2} සො.
Sinhala BJT536. හෙතෙම (උල්කාපාත දිග්දාහාදි භූතවිකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාතශාස්ත්‍රයෙහි ද, (මුසිකච්ජින්න =මීයන් කැපීම ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා) නිමිති ශාස්ත්‍රයෙහි ද, (ස්ත්‍රීපුරුෂයන්ගේ අඞ්ගලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්‍ෂණශාස්ත්‍ර යෙහි ද දක්‍ෂ වූ (බොහෝ ශිෂ්‍යයනට) වේද හදාරවන්තා වූ (වෙදත්‍රය සඞ්ඛ්‍යාත) මන්ත්‍ර දරන්නා වූ පුරුෂයකු පුරෝහිත තනතුරෙහි තබයි.
Pali BJT537. එතෙහඞ්ගෙහි සම්පන්නො ඛත්තියොති පවුච්චති. සදා රක්ඛන්ති රාජානං චක්කවාකොව දුක්ඛිතං{3}
Sinhala BJT537. මේ අඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියයා ය යි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන් වූ දුඃඛිතයන් රකින සක්වාලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.
Pali BJT538. තථෙව ත්වං මහාවීර හතාමිත්තොව{4} ඛත්තියො, සදෙවකස්ස ලොකස්ස ධම්මරාජාති වුච්චති.
Sinhala BJT538. මහාවීරයන් වහන්ස, එසේ ම ඔබවහන්සේ නසනලද සතුරන් ඇති රජකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්‍මරාජ ය යි කියනු ලබන සේක.
Pali BJT539. තිත්ථියෙ නිහනිත්වාන{5} මාරඤ්චාපි සසෙනකං, තමන්ධකාරං විධමිත්වා ධම්මනගරං අමාපයී.
Sinhala BJT539. තීර්‍ත්‍ථකයන් ද සේනා සහිත වූ මාරයා ද නසා ඝනමෝහාන්‍ධකාරය දුරු කොට ධර්‍මනගරය මැවූ සේක.
Pali BJT540. සීලං පාකාරකං{6} තත්ථ ඤාණං තෙ ද්වාරකොට්ඨකං, සද්ධා තෙ එසිකා ධීර ද්වාරපාලො ච සංවරො.
Sinhala BJT540. ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්‍මනගරයෙහි ප්‍රාකාරය ශීලය යි. දොර කොටුව ඔබවහන්සේගේ ඥානය යි. ඉන්‍ද්‍රකීලය ඔබවහන්සේගේ ශ්‍රද්ධාව යි. ද්වාරපාලයා නම් සංවරය වෙයි.
Pali BJT541. සතිපට්ඨානමට්ටාලං පඤ්ඤා තෙ චච්චරං මුනෙ, ඉද්ධිපාදඤ්ච සිඞ්ඝාටං ධම්මවීථි සුමාපිතා{7}.
Sinhala BJT541. අටල්ල සතිපට්ඨානය යි. සර්‍වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබවහන්සේගේ ප්‍රඥාව යි. සතර මං සන්‍ධිය ඍද්ධිපාදය යි. (මේ ධර්‍මනගරය) සත්තිස්බෝපැකිදහම් නමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලදී.
Pali BJT542. සුත්තන්තං අභිධම්මො{8} ච විනයො{9} චා පි කෙවලං, නවඞ්ගං බුද්ධවචනං එසා{10} ධම්මසභා තව.
Sinhala BJT542. සූත්‍රය අභිධර්‍මය විනයය යන සියලු නවාඞ්ගබුද්ධවචනය ඔබගේ (නගරයෙහි) ධර්‍මාධිකරණසභාව යි.
Pali BJT543. සුඤ්ඤතං අනිමිත්තඤ්ච අප්පණිහිතවිහාරකං{11}, අනෙජං{12} ච නිරොධො ච එසා ධම්මකුටී තව.
Sinhala BJT543. (අනත්තානුපස්සනාවසයෙන් ලබන ලද) සුඤ්ඤතවිහාරය ද, (අනිච්චානුපස්සනාවසයෙන් ලබන ලද) අනිමිත්ත විහාරය ද, (දුක්බානුපස්සනාවසයෙන් ලබන ලද) අප්පණිහිතවිහාරය ද, (නිශ්චල වූ සතර ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අනෙජවිහාරය ද, (සියලු දුක් වැළැක්වීම නම් වූ) නිර්‍වාණය ද යන මොහු ඔබ වහන්සේගේ ධර්‍මකුටීහු වෙති.
Pali BJT544. පඤ්ඤාය අග්ගනික්ඛිත්තො{13} පටිභානෙ ච කොවිදො, සාරිපුත්තොති නාමෙන ධම්මසෙනාපතී තව.
Sinhala BJT544. ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද, වැටහීමෙහි ද දක්‍ෂ වූ, නමින් ශාරීපුත්‍ර වූ (ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මසේනාපතියා වෙයි.
Pali BJT545. චුතූපපාතකුසලො ඉද්ධියා පාරමිඞ්ගතො, කොලිතො නාම නාමෙන මුනෙ තව පුරොහිතො.{14}
Sinhala BJT545. සර්‍වඥයන් වහන්ස, චුතූප්පාතඤාණයෙහි දක්‍ෂ වූ ඍද්ධියෙහි පරතෙරට පැමිණි නමින් කෝලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබවහන්සේගේ පෙරෙවියා (=පුරෝහිතයා) වෙයි.
Pali BJT546. පොරාණකවංසධරො උග්ගතෙජො දුරාසදො, ධුතවාදිගුණෙන’ග්ගො{15} අක්ඛධස්සො තවං මුනෙ.
Sinhala BJT546. මුනීන්‍ද්‍රයන් වහන්ස, පෞරාණිකවංශය දරන්නා වූ උග්‍ර වූ තේජස් ඇති, (ගුණධර්‍මයන්ගෙන්) ලං විය නො හැක්කා වූ ධූතවාදී වූ ධූතගුණයෙන් අග්‍ර වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්බදස්ස හෙවත් විවාදවිනිශ්චයයෙහි ප්‍රධානයා වේ.
Pali BJT547. බහුස්සුතො ධම්මධරො සබ්බපාඨි ච සාසනෙ, ආනන්දො නාම නාමෙන ධම්මාරක්ඛො තවං මුනෙ.
Sinhala BJT547. බුදුරජානන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත වූ ධර්‍මධර වූ සියලු ධර්‍ම අධ්‍යයනය කරන්නා වූ නමින් ආනන්‍ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම (භාණ්ඩාගාර) ආරක්‍ෂකයා වෙයි.
Pali BJT548. එතෙ සබ්බෙ අතික්කම්ම පමෙසි{1} භගවා මමං, විනිච්ඡයම්මෙ පාදාසි විනයෙ{2} විඤ්ඤුදෙසිතං{3}.
Sinhala BJT548. භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණලද දෝෂ විචාරණය මට ම පැවරූසේක.
Pali BJT549. යො කොචි විනයෙ පඤ්හං පුච්ඡති බුද්ධසාවකො, තත්ථ මෙ චින්තනා නත්ථි තඤ්ඤෙව’ත්ථං කථෙම’හං.
Sinhala BJT549. යම් කිසි බුද්ධශ්‍රාවකයෙක් තෙම විනය පිළිබඳ ප්‍රශ්නයක් විචාරා ද, එහි මාගේ විමතියක් නැත. මම ඒ විචාළ අර්‍ත්‍ථය කියමි.
Pali BJT550. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වා තං මහාමුනිං, විනයෙ මාදිසො{4} නත්ථි කුතො භිය්යො භවිස්සති.
Sinhala BJT550. බුද්ධක්‍ෂේත්‍රය (=ආඥාක්‍ෂේත්‍රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජානන් වහන්සේ හැර විනය පිටකයෙහි දක්‍ෂ වූ මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේ ද?
Pali BJT551. භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එවං ගජ්ජති ගොතමො, උපාලිස්ස සමො නත්ථි විනයෙ ඛන්ධකෙසු ච.{5}
Sinhala BJT551. ගෞතම බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ “(උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්‍ධකයෙහි ද උපාලි භික්‍ෂුහු හා සම කෙනෙක් නැතැ” යි මෙසේ සිංහනාද කරණ සේක.
Pali BJT552. යාවතා බුද්ධභණිතං නවඞ්ගං සත්ථුසාසනං, විනයොගධිතං{6} සබ්බං විනයමූලංති පස්සතො.{7}
Sinhala BJT552-553. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘශාසනය යම් තාක් නම් ඒ සියල්ල විනයයෙහි ඇතුළත් ය. විනය මුල් කොට ඇත්තේ ය යි දකින්නා වූ මාගේ පූර්‍වප්‍රාර්‍ත්‍ථනාකර්‍මය ගෞතම නම් වූ ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්සේ සිහි කොට භික්‍ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක.
Pali BJT553. මම කම්මං සරිත්වාන ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT554. සතසහස්සුපාදාය ඉමං ඨානමපත්ථයිං, සො මෙ අත්ථො අනුප්පත්තො විනයෙ පාරමිඞ්ගතො.
Sinhala BJT554. කල්පලක්‍ෂයක (පමණ කාලයක) පටන් මේ තනතුර පැතීමි. පැමිණෙනලද එම අර්‍ත්‍ථ ඇත්තෙම් විනයෙහි පරතෙරට පත් වීමි.
Pali BJT555. සක්යානං නන්දිජනනො කප්පකො ආස’හං පුරෙ, විජහිත්වාන{8} තං ජාතිං පුත්තො ජාතො මහෙසිනො.
Sinhala BJT555. මම පෙර ශාක්‍යයනට සොම්නස ඇති කරන්නා වූ කපුවෙක් වීමි. ඒ කුලය හැර මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ පුත්‍රයෙක් වූයෙම් ශාක්‍යපුත්‍ර වීමි.
Pali BJT556. ඉතො දුතියකෙ කප්පෙ අඤ්ජසො නාම ඛත්තියො, අනන්තතෙජො අමිතයසො භූමිපාලො මහද්ධනො.
Sinhala BJT556. මෙයින් (=මේ මහාභද්‍රකල්පයෙන්) දෙවෙනි කල්පයෙහි අපමණ තෙද ඇති අනන්ත වූ පිරිවර ඇති මහාධනවත් පෘථිවී පාලක වූ අඤ්ජස නම් රජෙක් වී ය.
Pali BJT557. තස්ස රඤ්ඤො අහං පුත්තො චන්දනො{9} නාම ඛත්තියො, ජාතිමදෙනුපත්ථද්ධො යසභොගමදෙන ච.
Sinhala BJT557. පරිවාරමදයෙන් ද භෝගමදයෙන් ද ජාතිමදයෙන් ද මත් වූ එම රජුගේ පුත්‍ර වූ චන්‍දන නම් ක්‍ෂත්‍රියකුමාරයෙක් වීමි.
Pali BJT558. නාගසතසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, තිධා පභින්නමාතඞ්ගා පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT558. හස්තිකුලයෙහි උපන්නා වූ සියලු ඇත්අබරණින් (සැරසුම්) කරණලද්දා වූ ලක්‍ෂයක් (පමණ) ත්‍රිමදගලිත ඇත්තු නිතර මා පිරිවරත්.
Pali BJT559. සබලෙහි පරිතො’හං{10} උය්යානං ගන්තුකාමකො, ආරුය්හ සිරිකං නාගං නගරා නික්ඛමිං තදා.
Sinhala BJT559. ස්වකීය භටසේනාවන් විසින් පිරිවරණලද මම උයනට යනු කැමැත්තෙම් එකල්හි සිරික නම් ඇතුපිට නැගී නුවරින් නික්මුනෙමි.
Pali BJT560. චරණෙන ච සම්පන්නො ගුත්තද්වාරො සුසංවුතො, දෙවලො නාම සම්බුද්ධො ආගච්ඡි පුරතො මම.
Sinhala BJT560. පසළොස් චරණධර්‍මයන්ගෙන් යුත් වසනලද (චක්‍ෂුරාදි) දොරටු ඇති මැනවින් රැකි කායචිත්ත ඇති දේවල නම් පසේබුදු රජානන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.
Pali BJT561. පෙසෙත්වා සිරිකං නාගං බුද්ධං ආසාදයිං තදා, තතො සඤ්ජාතකොපො සො නාගො නුද්ධරතෙ{11} පදං.
Sinhala BJT561. එකල්හි සිරික නම් හස්තියා යවා බුදුරජානන් වහන්සේ ගැටවීමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පිය නූගුළුවයි. (නිශ්චල ව සිටියි.)
Pali BJT562. නාගං දුට්ඨමනං{12} දිස්වා බුද්ධෙ කොපං අකාසහං, විහෙසයිත්වා{13} සම්බුද්ධං උය්යානං අගමාස’හං.
Sinhala BJT562. මම දූෂ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. බුදුරජානන් වහන්සේ පෙළා මම උයනට ගියෙමි.
Pali BJT563. සාතං තත්ථ න වින්දාමි සිරො{1}පජ්ජලිතො යථා, පරිළාහෙන ඩය්හාමී මච්ඡො’ව බළිසාදකො.
Sinhala BJT563. එහි (ඒ කර්‍මවිපාකයෙන්) හිස ඇවිළ ගත්තකු මෙන් සුවයක් නො විඳිමි. බිළිය ගිලි මසකු මෙන් (පසුතැවිලියෙන්) දැවිල්ලෙන් තැවෙමි.
Pali BJT564. සසාගරන්තා පඨවී ආදිත්තා විය හොති මෙ, පිතුසන්තිකු’පාගම්ම ඉදං වචනමබ්රවිං:
Sinhala BJT564. මට සයුර කෙළවර කොට ඇති පෘථිවිය ඇවිළ ගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචනය කීමි:
Pali BJT565. “ආසීවිසං’ව කුපිතං අග්ගික්ඛන්ධං’ව ආගතං, මත්තං’ව කුඤ්ජරං දන්තිං යං සයම්භුමසාදයිං.
Sinhala BJT565. ‘කිපුනු සර්‍පයකු මෙන් ද, පැමිණි ගිනිකඳක් මෙන් ද, දළ ඇති මතැතකු මෙන් ද යම් පසේබුදුවරයන් වහන්සේ කෙනෙකුන් ගැටීම් ද,
Pali BJT566. ආසාදිතො මයා බුද්ධො ඝොරො උග්ගතපො ජිනො, පුරා සබ්බෙ විනස්සාම ඛමාපෙස්සාම තං මුනිං.
Sinhala BJT566. (අනිකකු විසින්) නො ගැටිය හැකි බැවින් ඝෝර වූ උග්‍ර තපස් ඈති පස්මරුන් දිනූ පසේබුදුරජතෙම මා විසින් ගටන ලදී. (ඉන්) අප සියලු දෙනා ම වැනසෙන්නට පෙර ඒ පසේබුදුරජානන් වහන්සේ ක්‍ෂමා කොට ගණිමු.
Pali BJT567. නො චෙ තං නිජ්ඣපෙස්සාම{2} අත්තදන්තං සමාහිතං, ඔරෙන සත්තදිවසා{3} රට්ඨං මෙ විධමිස්සති.
Sinhala BJT567. ඉදින් චිත්තදමනය කළ එකඟසිත් ඇති ඒ පසේබුදු රජානන් වහන්සේ ක්‍ෂමා නො කරන්නෙමු නම්, සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේ ය.
Pali BJT568. සුමෙඛලො කොසියො ච සිග්ගවො චාපි සත්තුකො{4}, ආසාදයිත්වා ඉසයො දුග්ගතා තෙ සරට්ඨකා.{5}
Sinhala BJT568. සුමෙඛල ය, කෝසිය ය, සිග්ගව ය, සත්තුක ය යන මේ (සිවු) රජවරු ඍෂීන්ට ගටා (=අනදර කොට) ස්වකීය රටවල් සමග දුකට පත් වූහ.
Pali BJT569. යදා කුප්පන්ති ඉසයො සඤ්ඤතා බ්රහ්මචාරිනො{6}, සදෙවකං විනාසෙන්ති සසාගරං සපබ්බතං.”
Sinhala BJT569. කායසංයමයෙන් යුත් බ්‍රහ්මචාරී වූ ඍෂිහු යම් කලෙක්හි කිපෙත් ද, (එකල) සාගර පර්‍වත සහිත වූ දෙවියන් සහිත ලෝකය වනසත්.”