Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5001-5100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3642. දුරාසදා භගවන්තො සීහා’ව එකචාරිනො, පදෙ පදං නික්ඛිපන්තා ආගචෙඡය්යාථ මාණවා.
Sinhala BJT3642. එකලාව හැසිරෙන සිහරජුන් මෙන් බුදුවරු නො ලංවිය හැකි සැහැවි ඇත්තාහ. මාණවකයිනි, (තෙපි) පියෙහි පිය තබන්නාහු (පියවර මනිමින්) එවු.
Pali BJT3643. ආසීවිසො යථා ඝොරො මිගරාජා’ව කෙසරී, මත්තො’ව කුඤ්ජරො දන්තී එවං බුද්ධා දුරාසදා.
Sinhala BJT3643. ඝෝර වූ ආසීවිසයකු මෙන් ද කේශරසිංහරාජයකු මෙන් ද දළ ඇති මත් වූ ඇත්රජකු මෙන් ද මෙසේ බුදුවරු ලං විය නො හැක්කෝ ය.
Pali BJT3644. උක්කාසිතඤ්ච ඛිපිතං අජ්ඣුපෙක්ඛිය මාණවා, පදෙ පදං නික්ඛිපන්තා උපෙථ බුද්ධසන්තිකං.
Sinhala BJT3644. මාණවකවරුනි, (තෙපි) කසින්නා වූ ද කිවිසින්නා වූ ද, (ශබ්ද) නවතා පියෙහි පිය තබන්නාහු බුදුරජුන් වෙත එළඹෙවු.
Pali BJT3645. පටිසල්ලානගරුකා අප්පසද්දා දුරාසදා, දුරූපසඞ්කමා බුද්ධා ගරූ හොන්ති සදෙවකෙ.
Sinhala BJT3645. (බුදුවරු) විවේකය ගරුකරන්නෝ ද, නිශ්ශබ්දතාව කැමැත්තෝ ද, නො ලංවිය හැක්කෝ ද, දෙවියන් සහිත ලෝකයෙහි ගුරු වූ උතුමෝ ද වෙත්.
Pali BJT3646. යදා’හං පඤ්හං පුච්ඡාමි ගටිසම්මොදයාමි වා, අප්පසද්දා තදා හොථ මුනිභූතා’ව තිට්ඨථ.
Sinhala BJT3646. යම් කලෙක්හි මම ප්‍රශ්න විචාරම් ද, පිළිසඳර හෝ කථා කෙරෙම් ද, එකල්හි නිශ්ශබ්ද වවු. මෝනෙය්‍යගුණ ඇතියන් මෙන් ව සිටිවු.
Pali BJT3647. යං සො දෙසෙති සද්ධම්මං{2} ඛෙමං නිබ්බාණපත්තියා, තමෙවත්ථං නිසාමෙථ සද්ධම්මසවණං සුඛං.”
Sinhala BJT3647. ඒ බුදුරජුහු නිවන් පැමිණීම පිණිස පවත්නා වූ ක්‍ෂේම (=නිර්‍භය) වූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත් ද ඒ ධර්‍මාර්‍ත්‍ථය ම අසවු. සද්ධර්‍මශ්‍රවණය සැප ය.”
Pali BJT3648. උපසඞ්කම්ම සම්බුද්ධං සම්මොදිං මුනිනා අහං, තං කථං වීතිසාරෙත්වා ලක්ඛණෙ උපධාරයිං.
Sinhala BJT3648. මම බුදුරජුන් වෙත එළඹ ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ හා පිළිසඳරෙහි යෙදුනෙමි. ඒ පිළිසඳර කථාව නිමවා (උන්වහන්සේගේ) මහපුරිස් ලකුණු පරීක්‍ෂා කෙළෙමි.
Pali BJT3649. ලක්ඛණෙ ද්වෙව{3} කඞ්ඛාමි පස්සාමි තිංසලක්ඛණෙ, කොසොහිතවත්ථගුය්හං ඉද්ධියා දස්සයී මුනි.
Sinhala BJT3649. (එසේ පරීක්‍ෂා කරන්නා වූ මම) මහාපුරුෂ ලක්‍ෂණ තිසක් දකිමි. මහාපුරුෂ ලක්‍ෂණ දෙකක් පමණක් (නොපෙණෙන බැවින්) සැක කරමි. (එයින්) කෝසොහිතවත්‍ථගුය්‍හය බුදුහු ඍද්ධිබලයෙන් පෙන්වූහ.
Pali BJT3650. ජිව්හං නින්නාමයිත්වාන කණ්ණසොතෙ ච නාසිකෙ, පටිමසි නලාටන්තං කෙවලං ඡාදයී ජිනො.
Sinhala BJT3650. (දෙවෙනි නො පෙණෙන ලක්‍ෂණය දක්වන්නාහු) දිව පිටතට ඇද කන් නැහැසිදුරු පිරිමැද්දහ. බුදුරජුහු සම්පූර්‍ණ නළල් තල දිවෙන් වැසූහ.
Pali BJT3651. තස්සාහං ලක්ඛණෙ දිස්වා පරිපුණ්ණෙ සව්යඤ්ජනෙ, බුද්ධො’ති නිට්ඨං ගන්ත්වාන සහ සිස්සෙහි පබ්බජිං.
Sinhala BJT3651. මම උන්වහන්සේගේ (අසූවක්) අනුව්‍යඤ්ජන සහිත වූ සම්පූර්‍ණ දෙතිස්මහපුරිස් ලකුණු දැක සර්‍වඥයහ යි තීරණය කොට සිසුන් සමඟ පැවිදි වීමි.
Pali BJT3652. සතෙහි තීහි සහිතො පබ්බජිං අනගාරියං, අද්ධමාසෙ අසම්පත්තෙ සබ්බෙ පත්තා’ම්භි නිබ්බුතිං.
Sinhala BJT3652. තුන්සියක් (සිසුන්) සමග සසුන් වනිමි. අඩමසක් නො පැමිණි කල්හි ම අපි හැම නිවණට පැමිණියම්හ.
Pali BJT3653. එකතො කම්මං කත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, එකතො සංසරිත්වාන එකතො විනිවත්තයුං.
Sinhala BJT3653. (සියල්ලෝ) නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි එක් ව පින්කම් කොට සමග ව සසරෙහි හැසිර සමගව ම සසරගමන නැවැත් වූහ.
Pali BJT3654. ගොපානසියො දත්වාන පූගධම්මෙ වසී{1} අහං, තෙන කම්මෙන සුකතෙන අට්ඨහෙතු ලභාමහං.
Sinhala BJT3654. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී මැනවින් කළ ඒ කර්‍මය කරණකොට ගෙණ අනුසස් අටක් ලබමි.
Pali BJT3655. දිසාසු පූජිතො හොමි භොගා ච අමිතා මම, පතිට්ඨා හොමි සබ්බෙසං තාසො මම න විජ්ජති.
Sinhala BJT3655. දිශාවන්හි පුදනු ලබන්නෙම් වෙමි. මාගේ භෝගයෝ ද අපමණයහ. සියලුදෙනාහට ම පිහිට වෙමි. මට තැති ගැන්මෙක් නැත.
Pali BJT3656. ව්යාධයො මෙ න විජ්ජන්ති දීඝායුං පාලයාමි ච, සුඛුමච්ඡවිකො හොමි ආවාසෙ පත්ථිතෙ{2} වසෙ.
Sinhala BJT3656. මට රෝගයෝ නො වෙති. දීර්‍ඝායු රකිමි. (=බොහෝකල් ජීවත් වෙමි.) සියුම් සිවි ඇත්තෙම් වෙමි. කැමති නිවාසයෙහි ම වසමි.
Pali BJT3657. අට්ඨ ගොපානසී දත්වා පූගධම්මෙ වසී අහං, පටිසම්භිදා’රහත්තඤ්ච එතං මෙ අපරට්ඨමං.
Sinhala BJT3657. සහයෝගතා ධර්‍මයෙහි වශී වූ මම ගොනැසි දී (මෙසේ) අටඅනුසසක් ලැබීමි. මාගේ මේ අටවන අනුසසින් බැහැරි වූ අනෙක් අනුසස සිවුපිළිසිඹියාවන් සහිත රහත්බව යි.
Pali BJT3658. සබ්බවොසිතවොසානො කතකිච්චො අනාසවො, අට්ඨගොපානසී නාම තව පුත්තො මහාමුනි.
Sinhala BJT3658. මහාමුනීන් වහන්ස, සියලු වැස නිමවූ බඹසරවස් ඇත්තා වූ සිවුමගින් කරණ ලද කටයුතු ඇත්තා වූ ආස්‍රව රහිත වූ මුබවහන්සේගේ පුත්‍ර තෙමේ අට්ඨගෝපානසී නම් ද වේ.
Pali BJT3659. පඤ්චථම්භානි දත්වාන පූගධම්මෙ වසී අහං, තෙන කම්මෙන සුකතෙන පඤ්චහෙතූ ලභාමහං.
Sinhala BJT3659. සමූහධර්‍මයෙහි වශී වූ මම ටැම් පසක් දී මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ හේතු (අනුසස්) පසක් ලබමි.
Pali BJT3660. අචලො හොමි මෙත්තාය අනූනඞ්ගො භවාමහං, ආදෙය්යවචනො හොමි න ධංසෙමි යථා අහං.
Sinhala BJT3660. මම මෛත්‍රියෙන් නො සැලෙමි. පිරිපුන් අඟපසඟ ඇත්තෙම් වෙම්. පිළිගතයුතු වචන ඇත්තෙම් වෙමි. මම (ටැම් බඳු ව) නො සැලෙමි.
Pali BJT3661. අභන්තං හොති මෙ චිත්තං අචලො හොමි කස්සචි, තෙන කම්මෙන සුකතෙන විමලො හොමි සාසනෙ.
Sinhala BJT3661. මාගේ සිත භ්‍රාන්ත නො වේ. කුමකට වුව ද නිශ්චල වෙමි. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ සසුනෙහි නිර්‍මල වූවෙකිම් වෙමි.
Pali BJT3662. සගාරවො සප්පතිස්සො කතකිච්චො අනාසවො, සාවකො තෙ මහාවීර භික්ඛු තං වන්දතෙ මුනි.
Sinhala BJT3662. බුදුරජානන් වහන්ස, ගෞරව සහිත වූ (ස්වාමියකු ඇතැයි) යටත් පැවතුම් ඇති, කරණ ලද කටයුතු ඇති, ආස්‍රව රහිත වූ, මුබ වහන්සේගේ ශ්‍රාවක වූ, මහණ ඒ මුබවහන්සේ වඳියි.
Pali BJT3663. කත්වා සුකතපල්ලඞ්කං සාලායං පඤ්ඤපෙසහං, තෙන කම්මෙන සුකතෙන පඤ්ච හෙතූ ලභාමහං.
Sinhala BJT3663. මම මනා ව නිමි කිස ඇති පලඟක් ශාලායෙහි පැණවීමි. මැනවින් කළ ඒ කර්‍මහේතුවෙන් මම හේතු (අනුසස්) පසක් ලබමි.
Pali BJT3664. උච්චෙ කුලෙ පජායිත්වා මහාභොගො භවාමහං, සබ්බසම්පත්තිකො හොමි මච්ඡෙරං මෙ න විජ්ජති.
Sinhala BJT3664. මම උසස් කුලයෙහි ඉපිද මහත් භෝගසම්පත් ඇත්තෙම් වෙමි. සියලු සම්පත්තීන් ආඪ්‍ය වෙමි. මාගේ මසුරුකමෙක් නො මැත.
Pali BJT3665. ගමනෙ පත්ථිතෙ මය්හං පල්ලඞ්කො උපතිට්ඨති, සහ පල්ලඞ්කසෙට්ඨෙන ගච්ඡාමි මම පත්ථිතං.
Sinhala BJT3665. ගමනක් (යෑමට) සිතූ කල්හි පලඟෙක් එළඹ සිටී. ඒ උතුම් පලඟ සමග මම් කැමති තැනට යෙමි.
Pali BJT3666. තෙන පල්ලඞ්කදානෙන තමං සබ්බං විනොදයිං, සබ්බාභිඤ්ඤාබලප්පත්තො ථෙරො වන්දති තං මුනි.
Sinhala BJT3666. ඒ පර්‍ය්‍යඞ්කදානය හේතු කොට ගෙණ සියලු අඳුර දුරු කෙළෙමි. සියලු අභිඥාබලයනට පත් ඒ ස්ථවිර තෙමේ, මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබවහන්සේ වඳී.
Pali BJT3667. පරකිච්චත්තකිච්චානි සබ්බකිච්චානි සාධයිං, තෙන කම්මෙන සුකතෙන පාවිසිං අභයං පුරං.
Sinhala BJT3667. මෙරමා පිළිබඳ කටයුතු ද, තමා පිළිබඳ කටයුතු ද සියලු කිස සිදු කළෙමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ අභයපුරය. (=නිවණ) ට පිවිසියෙමි.
Pali BJT3668. පරිනිට්ඨිතසාලං හි පරිභොගමදාසහං, තෙන කම්මෙන සුකතෙන සෙට්ඨත්තං අජ්ඣුපාගතො.
Sinhala BJT3668. මම නිමහම් කිස ඇති ශාලාව (බුදුරජුන්හට) පරිභෝගයට දුනිමි. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ශ්‍රේෂ්ඨ බවට පැමිණියෙම් වෙමි.
Pali BJT3669. යෙ කෙචි දමකා ලොකෙ හත්ථි අස්සෙ දමෙන්ති යෙ, කරිත්වා කාරණා නානා දාරුණෙන දාමෙන්ති තෙ.
Sinhala BJT3669. යම් (ඇත්-අස් ආදි සතුන්) දමනය කරණ කෙනෙක් කිසියම් ඇත් අස් කෙනකුන් දමනය කෙරෙත්. නොයෙක් හිරිහැර කොට දරුණු ගුණයෙන් ඔවුන් (එසේ) දමනය කෙරෙත්.
Pali BJT3670. නහෙවං ත්වං මහාවීර දමෙසි නරනාරියො, අදණ්ඩෙන අසත්ථෙන දමෙසි උත්තමෙ දමෙ.
Sinhala BJT3670. මහාවීරයාණෙනි, මුඛ ස්ත්‍රීපුරුෂයන් මෙසේ දමනය නො කෙරෙහි ය. දඬු නො ගැණීමෙන් අවි නො ගැණීමෙන් ඔවුන් උත්තම දමථයෙහි (=රහත්බැව්හි) දමනය කෙරෙහි ය.
Pali BJT3671. දානස්ස වණ්ණෙ කිත්තෙන්තො දෙසනාකුසලො මුනි, එකං පඤ්හං{1} කථෙන්තොව බොධෙසි තිසතෙ මුනී.
Sinhala BJT3671. දේශනායෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ දානයාගේ අනුසස් පවසන්නේ එක් පැණයක් දෙසන්නේ ම තෙසිය තවුසන් ධර්‍මාවබෝධය කරවී ය.
Pali BJT3672. දන්තා මයං සාරථිනා සුවිමුත්තා අනාසවා, සබ්බාභිඤ්ඤාබලප්පත්තා නිබ්බුතා උපධික්ඛයෙ.
Sinhala BJT3672. සාරථි වූ බුදුරජුන් විසින් අපි දමනය කරණ ලද්දෝ වෙමු. (කෙලෙසුන්ගෙන්) මැනවින් මිදුනෝ වෙමු. ආස්‍රව රහිතයෝ වෙමු. සියලු අභිඥාබලයනට පැමිණියාහු උපධික්‍ෂයෙහි පිරිනිවියෝ වෙමු.
Pali BJT3673. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, අතික්කන්තා භයා සබ්බෙ සාලාදානස්සි’දං ඵලං.
Sinhala BJT3673. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) සියලු භීතීහු ඉක්මවන ලද්දාහුය. ශාලාදානයාගේ මේ විපාක යි.
Pali BJT3674. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3674. බුදුරජුන් වෙත එළඹීම ඒකාන්තයෙන් මට යහපත් පැමිණීමෙක් විය. මා විසින් පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJT3675. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3675. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරජායකු මෙන් කෙලෙස් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3676. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3676. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසෙලත්ථෙරස්සපදානං දුතියං.
Sinhala BJTසෙලස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT393. සබ්බකිත්තිකත්ථෙරාපදානං
Sinhala BJT393. සබ්බකිත්තික ස්ථවිරාවදානය
Pali BJT3677. කණිකාරංව ජොතන්තං{1} දීපරුක්ඛංව උජ්ජලං{2}, ඔසධිංව විරොචන්තං විජ්ජුතං ගගනෙ යථා.
Sinhala BJT3677. පිපුණු කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ ප්‍රදිපවෘක්‍ෂයක් මෙන් දිලියෙන්නා වූ ඕසධී තාරකාවක් මෙන් ආලොකවත් වූ අහසෙහි විදුලියක් බඳු වූ -
Pali BJT3678. අසම්භීතං අනුත්රාසිං{3} මිගරාජංව කෙසරිං, ඤාණාලොකං පකාසෙන්තං මද්දන්තං තිත්ථියෙ ගණො.
Sinhala BJT3678. බිය නොමැති තැතිගැනුම් නොමැති කේශරසිංහරාජයකු වැනි වූ තීර්‍තකසමූහයා මඩින්නා වූ ඤාණලෝකය ප්‍රකට කරන්නා වූ-
Pali BJT3679. උද්ධරන්තං ඉමං ලොකං ඡින්දන්තං සබ්බසංසයං, ගජ්ජන්තං{4} මිගරාජංව අද්දසං ලොකනායකං.
Sinhala BJT3679. මෙම ලෝකයා (දුකින්) ගොඩලන සියලු සැක සිඳලන සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3680. ජටාජිනධරො ආසිං රහා උජු පතාපවා, වාකචීරං ගහෙත්වාන පාදමූලෙ අවත්ථරිං.
Sinhala BJT3680. (එකල්හි) මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙකිම් වීමි. වැඩෙන්නා වූ ඍජු වූ ප්‍රතාපවත් වූවෙකිම් වීමි. වැහැරි සිවුර ගෙණ ඒ (බුදුරජුන්ගේ) පාමුල අතුළෙමි.
Pali BJT3681. කාළානුසාරියං ගය්හ අනුලිම්පිං තථාගතං, සම්බුද්ධමනුලිම්පෙත්වා සන්ථවිං ලොකනායකං.
Sinhala BJT3681. කසාවන් කළුවැල් හෙවත් කසාවන් අගිල් ගෙණ බුදුරජුන් ආලේප කෙළෙමි. තථාගතයන් (එයින්) අලෙවි කොට ලෝකනායක වූ උන්වහන්සේට ස්තුති කෙළෙමි.
Pali BJT3682. සමුද්ධරසි’මං ලොකං ඔඝතිණ්ණ{5}, මහාමුනි, ඤාණාලොකෙන ජොතෙසි නාවටං{6} ඤාණමුත්තමං.
Sinhala BJT3682. චතුරෝඝතරණය කළ උතුමාණෙනි. මහාමුනීන්‍ද්‍රයාණෙනි, මුඛ මේ ලෝකයා (සසරදුකින්) ගොඩ ලන්නහු ය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උත්තමඥානය ද අනාවෘතයි.
Pali BJT3683. ධම්මචක්කං පවත්තෙසි මද්දසෙ පරතිත්ථීයෙ, උසභො ජිතසඞ්ගාමො සම්පකම්පෙසි මෙදිනිං.
Sinhala BJT3683. දම්සක් පවත්වහු ය. අන්‍යතීර්‍ත්‍ථකයන් මඩනහු ය. දිනන ලද සඞ්ග්‍රාම ඇති ශ්‍රෙෂ්‍ඨ වූ ඔබ පෘථිවිය කම්පා කෙරහු ය.
Pali BJT3684. මහාසමුද්දො ඌමියො වෙලන්තම්භි පභිජ්ජරෙ, තථෙව තව ඤාණම්හි සබ්බදිට්ඨි පභිජ්ජරෙ.
Sinhala BJT3684. මහසමුදුරෙහි තරඞ්ගයෝ වෙරලෙහි (ගැටී) බිඳෙති. එසේ ම දෘෂ්ටීහු මුබගේ නුවණෙහි (ගැටී) බිඳෙති.
Pali BJT3685. සුඛුමච්ඡිකජාලෙන සරම්භි සම්පතානිතෙ, අන්තොජාලගතා පාණා පීළිතා හොන්ති තාවදෙ.
Sinhala BJT3685. විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි දැලතුළට ගිය ප්‍රාණීහු (මත්‍ස්‍යයෝ) පෙළුනාහු වෙත් ද,
Pali BJT3686. තථෙව තිත්ථියා ලොකෙ පුථුපාසණ්ඩනිස්සිතා, අන්තොඤාණවරෙ තුය්හං පරිවත්තන්ති මාරිස.
Sinhala BJT3686. එසේ ම ලෝකයෙහි අන්‍යපාෂණ්‍ඩ ධර්‍මයන් ඇසුරු කළ තීර්‍ත්‍ථකයෝ නිදුකානන් වහන්ස, මුබවහන්සේගේ උතුම් නුවණ ඇතුළත පෙරළෙත්.
Pali BJT3687. පතිට්ඨා වුය්හතං ඔඝෙ ත්වං හි නාථො අබන්ධුනං, භයට්ටිතානං සරණං මුත්තත්ථිනං{7} පරායණං.
Sinhala BJT3687. චතුරෝඝ නම් වූ සැඩපහරෙහි ගසාගෙණ යන්නවුනට පිහිට වූ මුබ වනාහි නො නෑයනට ද පිහිට (වහු) ය. භයින් පීඩිතයනට ද පිහිට (වහු) ය. (ලෝකයා විසින්) අත්හැර දමන ලද අනාථයන්ට ද පිහිට (වහු) ය.
Pali BJT3688. එකවීරො අසදිසො කරුණාමෙත්තසඤ්චයො{8}, සුසීලො අසමො{9} සන්තො වසී තාදි ජිතඤ්ජසො.
Sinhala BJT3688. අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ (ධ්‍යාන) වශී වූ තාදීගුණ ඇති දිනන ලද මාර්‍ගය ඇති-
Pali BJT3689. ධීරො විගතසම්මොහො අනෙජො අකථඞ්කථී, වුසිතො{10} වන්තදොසො’සි නිම්මලො පයතො{11} සුචී.
Sinhala BJT3689. ප්‍රාඥ වූ, පහ කළ මොහො ඇති, නිදොස් වූ, සැක (=විචිකිච්ඡා) දුරුකළ, වැස නිම වූ බඹසර ඇති, නිර්‍මල වූ, අශූචීන් දොවා හළ, එහෙයින් ම පිරිසිදු ඔබ වමාරා හළ දොස් ඇත්තාහු ය.
Pali BJT3690. සඞ්ගාතිගො හතමාදො{1} තෙවිජ්ජො තිභවන්තගො, සීමාතිගො ධම්මගරු කතත්ථො හිතවප්පථො{2}.
Sinhala BJT3690. කෙලෙස් ඇලුම් ඉක්ම වූ නැසුවා වූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන්ලෝමුදුන් පත් (ලෞකික) සීමාව ඉක්ම ගිය ධර්‍මගරුක වූ කෘතකෘත්‍ය වූ ඔබ (සත්ත්‍වලෝකයාට) හිතමාර්‍ග ඇත්තෙහි ය.
Pali BJT3691. තාරකො ත්වං යථා නාවා නිධීවස්සාසකාරකො, අසම්භීතො යථා සීහො ගජරාජාව දප්පිතො.
Sinhala BJT3691. ඔබ නැවකට (ගමන්මග පෙන්වන) තරුවක් මෙන් වෙහි ය. අස්වැසිලි කරණ නිධානයක් බඳු වෙහි ය. සිංහයකු මෙන් බිය රහිත වෙහි ය. හස්තිරාජයකු මෙන් ගර්විත වෙහි ය.
Pali BJT3692. ථොමෙත්වා දසගාථාහි පදුමුත්තරං මිහායසං, වන්දිත්වා සත්ථුනො පාදෙ තුණ්හී අට්ඨාසහං තදා.
Sinhala BJT3692. මම එකල්හි (මෙසේ) දසගයකින් මහායශස් ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේට ස්තුති කොට (ඒ) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ තුෂ්ණිම්භූතව සිටියෙමි.
Pali BJT3693. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT3693. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළේ යි:
Pali BJT3694. “යො මෙ සීලඤ්ච ඤාණඤ්ච ධම්මඤ්චාපි පකිත්තයි{3}, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3694. “යමෙක් මාගේ ශීලය ද ඥානය ද ධර්‍මය ද පැසසී ද, හේ (කවරෙක් දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ (වචනය) අසවු.
Pali BJT3695. සට්ඨිකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, අඤ්ඤෙ දෙවෙ අභිහොත්වා{4} ඉස්සරං කාරයිස්සති.
Sinhala BJT3695. (හෙතෙම) කල්‍ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. අනෙක් දෙවියන් මැඩගෙණ ආධිපත්‍යය කරවන්නේ ය.
Pali BJT3696. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
Sinhala BJT3696. හෙතෙම පසුව පැවිදිව ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ද පැවිදි වන්නේ ය.
Pali BJT3697. පබ්බජිත්වාන කායෙන පාපකම්මං විවජ්ජිය, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො{5}.
Sinhala BJT3697. පැවිදිව, කයින් පව්කම් දුරු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.”
Pali BJT3698. යථාපි මෙඝො ථනයං තප්පෙති මෙදිනිං ඉමං, තථෙව ත්වං මහාවීර ධම්මෙන තප්පයී මමං.
Sinhala BJT3698. යම් සේ වැසිවලාවක් ගුගුරා වස්මින් මේ පොළොව තෘප්තියට පත් කෙරේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ ධර්‍මයෙන් මා තුටු කළ සේක.
Pali BJT3699. සීලං පඤ්ඤච ධම්මඤ්ච ථවිත්ථා ලොකනායකං, පතොම්භි පරමං සන්තිං නිබ්බානං පදමච්චුතං.
Sinhala BJT3699. මම ශීලය ද ප්‍රඥාව ද ධර්‍මය ද ලෝකනායකයන් වහන්සේ ද පසසා අමෘතපදය වූ උතුම් වූ නිර්‍වාණ නමැති ශාන්තියට පැමිණියෙම් වෙමි.
Pali BJT3700. අහො නූන ස භගවා චිරං තිට්ඨෙය්ය චක්ඛුමා, අඤ්ඤාතඤ්ච විජානෙය්යුං ඵුසෙය්යුං අමතං පදං.
Sinhala BJT3700. පසැස් ඇති ඒ භාග්‍යවත් තෙමේ බොහෝ කල් වැඩ සිටින්නේ නම් ඒකාන්තයෙන් ඉතා යෙහෙකි. (එවිට සියල්ලෝ) නො දත් දෙය දැනගන්නාහු ය. අමෘතපදය (නිවණ) ස්පර්‍ශ කරන්නාහු ය. (=ලබන්නාහුය)
Pali BJT3701. අයං මෙ පච්ඡිමා ජාති භවා සබ්බෙ සමූහතා, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT3701. මේ මාගේ පශ්චිම ජාතිය යි. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3702. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිථොමයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT3702. මෙයින් සියක්දහස් වන කපෙහි බුදුරජානන් වහන්සේට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT3703. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3703. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3704. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3704. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ පැමැණීම යහපත් පැමිණීමෙක් විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
Pali BJT3705. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බකිත්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සබ්බකිතතික’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසබ්බකිත්තිකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසබ්බකිතතිකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT394. මධුදායකත්ථෙරාපදානං.
Sinhala BJT394. මධුදායක ස්ථවිරාවදානය
Pali BJT3706. සින්ධුයා නදියා තීරෙ සුකතො අස්සමො මම, තත්ථ වාචෙමහං සිස්සෙ ඉතිහාසං සලක්ඛණං.
Sinhala BJT3706. සින්‍ධුනදීතීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවෙක් විය. එහි දී මම ලක්‍ෂණශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුනට උගන්වමි.
Pali BJT3707. ධම්මකාමා විනීතා තෙ සොතුකාමා සුසාසනං, ඡළඞ්ගෙ පාරමිප්පත්තා සින්ධුකූලෙ වසන්ති තෙ.
Sinhala BJT3707. ධර්‍මකාමී වූ විනීත වූ අනුශාසනය අසනු කැමැත්තා වූ ෂඩඞ්‍ග වේදයෙහි පරතෙරට ගියා වූ ඒ ශිෂ්‍යයෝ සින්‍ධුගංඉවුරෙහි වෙසෙති.
Pali BJT3708. උප්පාතගමනෙ චෙව ලක්ඛණෙසු ච කොවිදා, උත්තමත්ථං ගවෙසන්තා වසන්ති පවනෙ{1} තදා.
Sinhala BJT3708. (භූතයන් පිළිබඳ අස්වාභාවික වෙනස්වීම් බලා ශුභාශුභ ප්‍රකාශකරණ) උත්පාතශාස්ත්‍රයෙහි ද (අඞ්ග) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක‍්‍ෂ වූ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු එකල්හි වෙනෙහි වෙසෙත්.
Pali BJT3709. සුමෙධො නාම සම්බුද්ධො ලොකෙ උප්පජ්ජි තාවදො, අම්හාකං අනුකම්පන්තො උපගච්ඡි විනායකො.
Sinhala BJT3709. සුමේධ නම් සම්බුදු රජ තෙම ලොව පහළ විය. අපට අනුකම්පා කරන්නා වූ ඒ බුදුරජ තෙම් එකෙණෙහි ම (අප වෙත) එළඹියේ ය.
Pali BJT3710. උපාගතං මහාවීරං සුමෙධං ලොකනායකං, තිණසන්ථාරකං කත්වා ලොකජෙට්ඨස්ස’දාසහං.
Sinhala BJT3710. එසේ එළෙඹියා වූ මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ (දිටිමි). දැක මම තණඇතිරියක් කොට ලෝකජ්‍යේෂ්ඨ වූ බුදු රජුන්හට දුනිමි.
Pali BJT3711. පවනාතො{2} මධුං ගය්හ බුද්ධසෙට්ඨස්ස’දාසහං, සම්බුද්ධො පරිභුඤ්ජිත්වා ඉදං වචනමබ්රවි:
Sinhala BJT3711. මම වනයෙන් මී ගෙණ (අවුත්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. සම්බුදුරජ තෙම එය වළඳා මේ වචනය වදාළේය:
Pali BJT3712. “යො තං අදාසි මධුං මෙ පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තසිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3712. “යමෙක් තෙම පැහැදුනේ සියතින් මට ඒ මධු (=මීපැණි) දානයක් දුන්නේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3713. ඉමිනා මධුදානෙන තිණසන්ථාරකෙන ච, තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති.
Sinhala BJT3713. මේ මධුදානය හේතු කොට ගෙණ ද තිණසන්‍ථාර (=තණ ඇතිරි) දානය හේතු කොට ගෙණ ද කප්තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
Pali BJT3714. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{3} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3714. මෙයින් කල්ප තිස්දහසෙකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT3715. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
Sinhala BJT3715. (මෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදී (අයිතිකරුවෙක්) ව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන් පිරිසිඳ) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පානේ ය” යි.
Pali BJT3716. දෙවලොකා ඉධාගන්ත්වා මාතුකුච්ඡිං උපාගතෙ, මධුවස්සං පවස්සිත්ථ ඡාදයං මධුනා මහිං{1}.
Sinhala BJT3716. දෙව්ලොවින් (පෙරළා) මෙහි පැමිණ මවුකුසට (පිළිසිඳීම් වශයෙන්) පැමිණි කල්හි මිහියෙන් පොළොව වසමින් මිහි වැස්සක් වැස්සේ ය.
Pali BJT3717. මයි නික්ඛන්තමත්තම්හි කුච්ඡියා ච සුදුත්තරං, තත්රාපි මධුවස්සං මෙ වස්සතෙ නිච්චකාලිකං.
Sinhala BJT3717. මා ඉතා දුකසේ බිහි විය යුතු මවුකුසින් නික්මුණු කෙණෙහි එහි දී ද නිරතුරු ව මීවැසි වසියි.
Pali BJT3718. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, ලාභී අන්නස්ස පානස්ස මධුදානස්සි’දං ඵලං.
Sinhala BJT3718. ගිහිගෙන් නික්ම (අනගාර්‍ය්‍ය සඞ්‍ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි. ආහාර පාන සුලභ වූවෙක් ද වීමි. මධුදානයාගේ මේ විපාක යි.
Pali BJT3719. සබ්බකාමසමිද්ධො’හං භවිත්වා දෙවමානුසෙ, තෙනෙව මධුදානෙන පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT3719. මම දෙව්මිනිස් දෙගතියෙහි සියලු කාමසම්පත්තීන්ගෙන් සමෘද්ධයෙක් ව ඒ මධුදානබලයෙන් ම ආස්‍රවක්‍ෂයසඞ්‍ඛ්‍යාත නිවණට ද පැමිණියෙම් වෙමි.
Pali BJT3720. වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලෙ තිණෙ සම්පුප්ඵිතෙ{1} ධරණිරුහෙ සඤ්ඡන්නෙ{2}, සුඤ්ඤෙ ඝරෙ මණ්ඩපරුක්ඛමූලෙ{3}, වසාමි නිච්චං සුඛිතො අනාසවො.
Sinhala BJT3720. වැසි වස්නා කල්හි ද, සිවුඅඟුල් (උස් ව වැඩුනු) තණබිම්හි ද, සුපුෂ්පිත වෘක්‍ෂයෙන් වැසුනා වූ තන්හි ද, ජන ගෘහය, මණ්ඩපය, වෘක්‍ෂමූලය, යන මේ තන්හි ද නිතර ආස්‍රව රහිතව සුඛිත යෙම් වෙසෙමි.
Pali BJT3721. මජ්ඣෙ මහන්තෙ හීනෙ ච{4} භවෙ සබ්බෙ අතික්කමිං,{5} අජ්ජ මෙ ආසවා ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3721. මහත් වූ හෙවත් ප්‍රණීත වූ ද මධ්‍යම වූ ද හීන වූ ද සියලු භවයන් ඉක්ම වීමි. අද මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3722. තිංසකප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මධුදාන’ස්සිදං ඵලං.
Sinhala BJT3722. මෙයින් තිස්දහස් කපකින් පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
Pali BJT3723. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3723. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ද ක්‍ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3724. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3724. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT3725. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3725. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මධුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් මධුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමධුදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTමධුදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT395. පදුමකූටාගාරියත්ථෙරාපදානං.
Sinhala BJT395. පදුමකූටාගාරිය ස්ථවිරාවදානය
Pali BJT3726. පියදස්සී නාම භගවා සයම්භු ලොකනායකො, විවෙකකාමො සම්බුද්ධො සමාධිකුසලො මුනි.
Sinhala BJT3726. තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ ලෝකනායක වූ සර්‍වඥ වූ මෝනෙය්‍යගුණ යුත් වූ සමාධියෙහි දක්‍ෂ වූ පියදස්සී භාග්‍යවත් තෙමේ විවෙක කැමැත්තේ (විය).
Pali BJT3727. වනසණ්ඩං සමොගය්හ පියදස්සී මහාමුනි, පංසුකූලං පත්ථරිත්වා නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT3727. මහාමුනි වූ පුරුෂෝත්තම වූ ඒ පියදස්සී බුදුරජ තෙම වන ලැහැබට පිවිස පවුල්සිවුර අතුට වැඩහුන්නේ ය.
Pali BJT3728. මිගලුද්දො පුරෙ ආසිං විපිනෙ{1} කානනෙ අහං, පසදං මිගමෙසන්තො ආහිණ්ඩාමි අහං තදා
Sinhala BJT3728. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙකිම් වීමි. මම එකල්හි පස දමෘගයකු (=තිත්මුවකු) සොයන්නෙම් ඇවිදිමි.
Pali BJT3729. තත්ථ’ද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, පුප්ඵි තං සාලරාජාංව සතරංසිංව උග්ගතං.
Sinhala BJT3729. එහි දී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ පිපියා වූ ශාලවෘක්‍ෂරාජයකු වැනි වූ උඩට නැගී ආ හිරු වැනි වූ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT3730. දිස්වාන’හං දෙවදෙවං පියදස්සිං මහායසං, ජාතස්සරං සමොගය්හ පදුමං ආහරිං තදා.
Sinhala BJT3730. මම දේවාතිදේව වූ මහත් යශස් ඇති ඒ පියදස්සී බුදුරජුන් දැක එකල්හි ස්වයංජාත විලකට බැස පියුම් ගෙණ ආමි.
Pali BJT3731. ආහරිත්වාන පදුමං සතපත්තං මනොරමං, කූටාගාරං කරිත්වාන ඡාදයිං පදුමෙන’හං.
Sinhala BJT3731. මම සියක් පත් ඇති මනරම් වූ පියුම් ගෙණවුත් කුළුගෙයක් කොට (එය) පියුමෙන් වැසීමි. (සෙවිලි කෙළෙමි).
Pali BJT3732. අනුකම්පකො කාරුණිකො පියදස්සී මහාමුනි, සත්තරත්තින්දිවං බුද්ධො කූටාගාරෙ වසී ජිනො.
Sinhala BJT3732. පස්මරුන් ජයගත් (සර්‍වසත්නට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙම දවරෑ සතක් ඒ කුළුගෙයි විසීය.