Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 9401-9500 න් 15980

(1) මහණෙනි, මෙ ලොව්හි තථාගතයෝ ස්ථාන ස්ථාන (හේතු) විසින් ද, අස්ථාන අස්ථාන (අහේතු) විසින් ද, යථාභූතය දන්නාහ. මහණෙනි, තථාගතයෝ යම් හෙයෙකින් ස්ථානය ස්ථාන විසින් ද, අස්ථානයන අස්ථාන විසින් ද දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු පිරිස්හි අභීතනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨඥානචක්‍රය පවත්වත් ද, මෙ තථාගතයන්ගේ එ තථාගතබල වෙයි.
(2) තවද මහණෙනි, තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දනිත් ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි අභීතනාද කෙරෙත් නම්, බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ තථාගතබලය වෙයි.
(3) තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි සීහනාද කෙරෙත් නම්, බඹසක් පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
(4) තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාස සිහිකෙරෙති. හෙ කිසේ ය යත්: එක් ජාතියකුදු සිහිකෙරෙත්, ජාති දෙකකුදු ... මෙ සේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ පූර්වේනිවාස සිහි කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, එ කිසේය යත්: එක් ජායකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර ඇති උද්දේස ඇති අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ යම්බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, බඹසක්පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
(5) තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය ... දිවැසින් කම් වූ පරිදි මියයන සත්ත්‍වයන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ... යථා කර්මෝපගසත්ත්‍වයන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණි තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු ද, අටපිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල යි.
(6) තවද මහණෙනි, තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස්හි ශ්‍රේෂ්ඨනාද කෙරෙත් ද, බඹසක් පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගත බල යි.
මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් ද, පිරිස්හි අභීතනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන් වහන්සේගේ මේ ඒ ෂඩ්තථාගත බල යි.
මහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ කාරණය කාරණ විසින් ද අකාරණය අකාරණ විසින් ද, තත් වූ පරිදි නැණින් පැන පුළුවුස්නාහු ද, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් යම් යම් පරිදි කාරණය කාරණ විසිනුත් අකාරණය අකාරණ විසිනුත් යථාභූතය දන්නාලද්දේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ ඔවුනට ස්ථානය ස්ථානය වශයෙනුත් අස්ථානය අස්ථානය වශයෙනුත් තත්වූ පරිදි ඤාණයෙන් පැන පුළුවුස්නාලද සේක් විවරණ කරන්නාහ.
මහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ කරුණු විසින් හේතු විසින් විපාක වූ යථාභූතය පිළිබඳ නුවණින් තථාගතයන් වහන්සේ කරා එළැඹ පැන පුළුවුස්නාහු ද, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාක කරුණු හේතු විසින් යථාභූතකොට විදිත වේ නම්, තථාගතයන් වහන්සේ ඒ ඒ පරිදි අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ ස්ථානවශයෙන් හේතුවශයෙන් විපාකය පිළිබඳ යථාභූතඥානයෙන් පුළුවුස්නා ලද සේක් විවරණ කරත්.
මහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළඹ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්‍ථානය යථාභූත වශයෙන් දැනීමෙන් පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථානය පිළිබඳ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථානයන් පිළිබඳ යථාභූතඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේ විවරණ කරන්නාහ.
මහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ තත් වූ පරිදි පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.
මහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය පිළිබඳ යථාභූත ඥානයෙන් ප්‍රශ්න පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය ඇරැබ යථාභූතඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් සත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.
මහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ යථාභූත කොට ආස්‍රවක්‍ෂය පිළිබඳ ඥානයෙන් ප්‍රශ්න විචාරත් නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද සේක් විවරණ කරන්නාහ.
මහණෙනි, ඔවුනතුරෙහි ස්ථාන ස්ථාන විසින් ද අස්ථාන අස්ථාන විසින් දැයි යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට (වේ යයි) කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මයන්ගේ ස්ථාන වශයෙන් හේතු වශයෙන් විපාක පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
පූර්වේනිවාසනුස්මෘතිය පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
සත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
ආස්‍රවක්‍ෂයයෙන් යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට ම වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
මහණෙනි, මෙසෙයින් (චිත්තේකාග්‍රතා සඞ්ඛ්‍යාත) සමාධිය (ඥානාධිගමොපාය සඞ්ඛ්‍යාත) මාර්‍ගය වෙයි. අසමාධිය කුමග (මිථ්‍යාමාර්‍ග) වේ යයි.
මහාවග්ගය පළමු වැනි යි.
එහි උද්දානය:
සෝණ සූත්‍රය, ඵග්ගුණ සූත්‍රය, ඡළාභිජාති සූත්‍රය, ආසව සූත්‍රය, දාරුකම්මික සූත්‍රය, හත්‍ථිසාරිපුත්ත සූත්‍රය, මජ්ඣෙ සූත්‍රය, පුරිසින්‍ද්‍රියඤාණ සූත්‍රය, නිබ්බේධික සූත්‍රය, සීහනාද සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.
2. අනාගාමී වර්‍ගය
6. 2. 2. 1.
[අනාගාමිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, දහම් සදෙනකුන් නො පහා අනාගාමිඵල සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
අස්සද්ධිය (ශ්‍රද්ධා නැතිබව), අහිරික ය (පවට ලජ්ජා නැතිබව), අනොත්තප්ප ය (පවට භය නැතිබව), කෝසජ්ජ ය (කුසීත බව), මුට්ඨසච්ච ය (සිහි නැතිබව), දුප්පඤ්ඤතා (ප්‍රඥා නැතිබව) යි.
මහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, ධර්‍ම සයක් පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
අස්සද්ධි ය, අහිරික ය, අනොත්තප්ප ය, කෝසජ්ජ ය, මුට්ඨසච්ච ය, දුප්පඤ්ඤතා ය යි.
මහණෙනි, මෙ දහම් සය පහා අනගැමිපල පසක් කරන්නට නිසි වේ ය යි.
6. 2. 2. 2.
[අරහත්තඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, ධර්‍ම සයක් නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
ථින ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද යි.
මහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, දහම් සයක් පහා අර්‍හත්‍වය පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
ථීන ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද ය යි.
මහණෙනි, මෙ දහම් සය පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.
6. 2. 2. 3.
[මිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පවිටු මිතුරන් ඇති පවිටු යහළුවන් ඇති පාපයනට නැඹුරු වූ, පාපමිත්‍රයන් සෙවුනා භජනය කරණ පර්‍ය්‍යුපාසන කරන, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණෙක් (වත් විසින් ප්‍රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය සම්පූර්‍ණ කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ආභිසමාචාරික ශීලය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සතර මහසිල් නො පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණ සගයන් ඇති කලණ පුඟුලන් කෙරෙහි සම්ප්‍රවඞ්ක වූ, කල්‍යාණ මිත්‍රයන් සෙවුනා භජනය කරණ කල්‍යාණයන් පර්‍ය්‍යුපාසන කරණ, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණ ආභිසමාචාරිකශීල සඞ්ඛ්‍යාත ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ශෛක්‍ෂධර්‍මය පුරා මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. මහසිල් පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 2. 4.
[සඞ්ගණිකාරාම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති, ගණසඞ්ගණිකායේහි (ඔවුනොවුන් හා සසඟ ව විසීමෙහි) නියැලි, ගණසඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත වූ, ගෙණෙහි ඇලෙන සුලු ගෙණෙහි රැඳුනු ගණාරාමතායෙහි නියුක්ත, එ බඳු මහණ ඒකාකී වූයේ ප්‍රවිවේකයෙහි සිත් අලවා වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය නො කරණුයේ (සමාධිවිපස්සනා) චිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. චිත්තයාගේ නිමිත්ත නො ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග් දෘෂ්ටිය නො පුරා සම්‍යක් (මාර්‍ග) සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්සමාධිය නො පුරා සංයෝජනයන් දුරු කරන්නේ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සංයෝජනයන් නො පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, ගණසඞ්ගණිකාරාම නො වූ ගණසඞ්ගණිකායේහි නො ඇලුනු සඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත නො වූ, ගෙණෙහි ඇලුම් නැති ගෙණෙහි නො නියැලි ගණාරාමතායෙහි අනුයුක්ත නො වූ, එබඳු මහණ ඒකාන්තයෙන් එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරණුයේ සමාධිවිපස්සනාචිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. චිත්තයාගේ නිමිත්ත ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක් සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යක්සමාධිය පුරා සංයෝජනයන් දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සංයෝජනයන් පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
6. 2. 2. 5.
[දේවතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්මැ ගිය කල්හි අභිකාන්ත වර්‍ණ ඇතියේ හැම දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, භික්‍ෂූහුගේ අපරිහානිය පිණිස මෙ ධර්‍මයෝ සදෙනෙක් පවත්නාහ. කවර සදෙනෙක යත්:
සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්‍යාණමිත්තතා යි.
වහන්ස, මෙ කරුණු සදෙන භික්‍ෂූහුගේ අපරිහානිය පිණිස වැටෙති යි. ඒ දෙවි මේ කීය. ශාස්තෘහු අනුදත්හ.
ඉක්බිති ඒ දෙවි ශාස්තෘහු ම බස් අනුදත්හයි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑ අන්‍යතර දෙවියෙක් අභිකාන්ත වර්‍ණ ඇතියේ රෑ පෙරයම ඉක්මැගිය කල්හි හැම දෙව්රම බබුළුවා මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි මට තෙල කරුණ කීය:
“වහන්ස, මෙ සකාරණයෝ මහණහුගේ අපරිහානිය පිණිස වැටෙති. කවර සයෙක යත්:
සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්‍යාණමිත්තතා යි.
වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙති”යි.
මහණෙනි, එ දෙවි මේ කීය. මෙ කියා මා වැඳ පැදකුණු කොට එහි ම ඇතුරුදහන් වී ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ දහම්හුගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි: වහන්ස, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇතියේ වෙයි, ශාස්තෘගෞරවයෙහි ගුණ බණන සුලු ද වෙයි. ශාස්තෘගෞරව නැති යම් කිසි අන්‍ය මහණහු වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති යම්කිසි අන්‍ය මහණහු වෙත් නම්, ඔවුන්ගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... කල්‍යාණමිත්‍රයන් ඇතියේ වෙයි. කලණමිතුරන් ඇතිබැව්හි ගුණ බණන සුලු ද වෙයි. කලණමිතුරන් නැති යම් අන් මහණහු වෙත් නම් ඔවුනුදු කලණමිතුරන් ඇති බැව්හි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති යම් අන් මහණහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ තථ්‍ය වූ ගුණ නිසි කල්හි කියයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් මම විතර විසින් දන්මි’යි.
සාරිපුත්‍රය, මැනැවැ, මැනැවැ, ශාරිපුත්‍රය, තෝ මා විසින් සංක්‍ෂේපයෙන් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් මැනැවින් ම දන්හි.
ශාරිපුත්‍රය, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇත්තේ වෙයි. ශාස්තෘගෞරවයෙහි ගුණ කියෙන්නේ වෙයි. ශාස්තෘගෞරව රහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔහුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව සහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙකුන් ඇත් නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇත්තේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇත්තේ වෙයි ... සුවච වෙයි ... කලණමිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණමිත්‍රතායෙහි ගුණ බණනසුලු වෙයි. කල්‍යාණමිත්‍රතා රහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙක් ඇත් නම් ඔහුත් කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. කලණමිතුරන් ඇති අනෙක් යම් භික්‍ෂු කෙනෙක් ඇත්නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි.
ශාරිපුත්‍රය, මා විසින් සංක්‍ෂේපයෙන් දෙසනලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දතයුතු යි.
6. 2. 2. 6.
[සමාධි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, එ මහණ තෙමේ ශාන්ත නො වූ ප්‍රණීත නො වූ සංහිඳීමෙන් නො ලත් එකඟ බැවින් නො ලත් සමාධියෙන් -
බහුප්‍රකාර වූ ඍද්ධිවිධඥානය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
විශුද්ධ වූ මිනිස් කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී: සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගණී ... අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ යි ... කිසෙයින යත්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
මිනිස් ඇස ඉක්මගිය විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන් දක්නේ ය ... කම්වූ පරිදි ගිය සත්ත්‍වයන් දනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට ඊට පැමිණ වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ ය යි.
මහණෙනි, ඒ මහණ ශාන්ත ප්‍රණීත ප්‍රතිප්‍රශ්‍රබ්ධියෙන් ලත් ඒකෝදිභාවාධිගත සමාධියෙන් -
බහුප්‍රකාර ඍද්ධිවිධය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
විශුද්ධ වූ මිනිස්කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂ වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැනගනී ... අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ නම්: එක් දැයකුදු දැ දෙකකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාස සිහිකරන්නේ ය යන තෙල කරුණ ඇතැ ...
විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් සැවැයන උපදනා හීන ප්‍රණීත මනා පැහැ ඇති නො මනා පැහැ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැයන සත්ත්‍වයන් දක්නේ ය යන තෙල කරුණ ඇත ...
ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට එළඹ වාසය කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි.
6. 2. 2. 7.
[සක්ඛිභබ්බ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්‍යකරුණු කරණසුලු ද වෙයි.
මහණෙනි, මෙ සදහමින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පත්වීමට අභව්‍ය වේ ය යි.
මහණෙනි, ධර්‍ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්‍රායකාරීත් වේ.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ විශේෂාධිගමයට උපනිඃශ්‍රය කරුණු ඇතිවත් ම එ එ විශේෂගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.
6. 2. 2. 8.
[බල සූත්‍රය]
[සැවැත්නිදාන යි]