Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 801-900 න් 15980

43. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ව්‍යග්‍ර පිරිස හා සමග්‍ර පිරිස හා යන දෙකයි.
මහණෙනි, ව්‍යග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු හටගත් පූර්‍වභාග සටන් ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට පැමිණියාහු, උනුන් මුවසැතින් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ග පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, සමග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමග වූවාහු, සතුටුවන්නාහු විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් සැසැඳුනාහු, උනුන් පියනෙතින් බලන්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍ර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි දෙපිරිස ය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් සමග්‍ර පිරිසක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 1. 5. 3.
44. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: (උතුම් පුඟුලන් ඇති හෙයින්) අග්ගවතී නම් පිරිස හා (උතුම් පුඟුලන් නැති හෙයින්) අනග්ගවතී නම් පිරිස හා දෙකයි.
මහණෙනි, අනග්ගවතී පිරිස් කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්‍ෂූහු (සිවුරු ඈ පිරිකරින්) බාහුලික වෙත් ද, සස්න ලිහිල් කොට ගන්නාහු වෙත් ද, අවක්‍රමණ සඞ්ඛ්‍යාත පඤ්චනීවරණධර්‍මයන් පිරීමෙහි පෙරටු වෙත් ද, ප්‍රවිවේක සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, නොලත් (ධ්‍යාන් - විදර්‍ශනා - මාර්‍ග - ඵල විශේෂයාගේ) ප්‍රාප්තිය පිණිස අනධිගත ධර්‍මයාගේ අධිගමය පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස වැර නො වඩත් ද, ඔවුන්ගේ (සද්ධිවිහාරිකාදී) පශ්චිමජනතාව (ඔවුන්ගේ ආචාරය අනුව යෑමය යි කියන ලද) දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික වෙයි. සාථලික වෙයි. අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වෙයි. ප්‍රවිවේකයෙහි හළ ධුර ඇති වෙයි. නො පත් ධර්‍මයට පැමිණීම පිණිස නො ලත් ධර්‍මය ලැබීම පිණිස පසක් නොකළ ධර්‍මය පසක් කිරීම පිණිස වැර නො වඩයි. මහණෙනි, මේ අනග්ගවතී පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, අග්ගවතී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්‍ෂූහු බාහුලික නො වෙත් ද, සාථලික නො වෙත් ද, පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි හළ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරටු ව යන්නාහු වෙත් ද, නො පත් ධර්‍මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්‍මයාගේ ලැබීම පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස වැර වඩත් ද, ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද බාහුලික නො වේ සාථලික නො වේ අවක්‍රමණයෙහි හළ ධුර ඇති වේ ප්‍රවිවේකයෙහි පෙරටුව යන්නේ වේ. නො පත් ධර්‍මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්‍මයාගේ ලාභය පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස, වැර වඩයි. මහණෙනි, මේ අග්ගවතී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් අග්ගවතී පිරිසෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 1. 5. 4.
45. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අනාර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා ආර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා දෙකයි.
මහණෙනි, අනාර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ (තෘෂ්ණාව තබා පඤ්චස්කන්‍ධය) දුකැයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාවගේ නැවැත්ම) දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (අරීඅටඟිමග) දුඃඛනිරෝධගමී ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි මේ අනාර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, ආර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ දුකැයී තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛසමුදයයි තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛනිරෝධයයි තත් වූ පරිදි දනිත් ද,මේ දුඃඛනිරොධගමි ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකයි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ආර්‍ය්‍ය පිරිසෙක් වේ නම්, තෙල අගී.
2. 1. 5. 5.
46. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: කසළ පිරිස හා නිකසළ පිරිස හා දෙකයි.
මහණෙනි, කසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත් ද, ද්වේෂයෙන් අගතියට යෙත් ද, මෝහයෙන් අගතියට යෙත් ද, භයින් අගතියට යෙත් ද, මහණෙනි මේ කසළ පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, නිකසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නො යෙත් ද, ද්වේෂයෙන් අගතියට නො යෙත් ද, මෝහයෙන් අගතියට නො යෙත් ද, භයින් අගතියට නො යෙත් ද, මහණෙනි මේ නිකසළ පිරිසැ යී කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් නිකසළ පිරිසෙක් වේ නම්, තෙල අගී.
2. 1. 5. 6.
47. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.
මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්‍ත්‍ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුද්ගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ප්‍රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.
මහණෙනි, පිළිවිස හික්මුනු අවිනීත නො වූ පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ ශ්‍රාවකයන් විසින් කියන ලද, යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත් ම එය ඇසීමට කන් නතු නො කෙරෙත්. දැනගැණීමට සිත් නො එළවත්. ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො ද හඟිත්. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද (පාළිවිසින්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට කැමැති වෙත්. කන් නතු කෙරෙත්. දැනගැණීමට සිත් එළවත්. ඒ ධර්‍මයන් ද උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මය පුහුණු කොට උනුන් පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමැ? යි පිළිවිසීමට සැරිසරත්. ඒ භික්‍ෂූහු නොපිළිසන් වූ අර්‍ත්‍ථය විවර කෙරෙත්. අප්‍රකට වූ අර්‍ත්‍ථය ද ප්‍රකට කෙරෙත්. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍ම විෂයෙහි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ විනීත වූ පිළිවිස හික්මුනු පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් පිළිවිස හික්මුනු විනීත වූ පිරිසෙක් වේ ද, තෙල අගී.
2. 1. 5. 7.
48. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය.
මහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතෝභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රව) ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්‍යානස්පර්‍ශ කොට නිවන් පසක් කළ) කාය සාක්‍ෂියෙක. අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක. අසෝ මහණ (ශ්‍රද්ධාධුරයෙන් වැද කෙලෙසුන් නැසූ බැවින්) ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ (ප්‍රඥාධුරයෙන් වැද සෝවන්මඟ ගන්නා බැවින්) ධර්‍මානුසාරියෙක, අසෝ මහණ (සැදැහැයෙන් වැද සමවන් නොසපයා සෝවන් මගට පිළිපන්) ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණ දහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ බෙණෙත් ද, ඔහු එයින් ලාභ ලබත්. ඔහු මැසූනාහු මුසපත්වූවාහු (එහි) ගැලුනාහු ආදීනව නො දක්නාහු නිස්සරණප්‍රඥා නැත්තාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කරණ සද්ධර්‍මය ගරු නොකරණ පිරිස වෙයි.
මහණෙනි, සද්ධර්‍මය ගරු කරණ (ආමිෂය) ගරු නොකරණ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට ‘අසෝ මහණ උභතෝභාග විමුක්තයෙක, අසෝ මහණ ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ කායසාක්‍ෂියෙක, අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක, අසෝ මහණ ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ ධර්‍මානුසාරියෙක, අසෝ මහණ ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණදහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ නො බෙණෙත්. ඔහු ලාභ ද ලබා නො මැසූනාහු මුසපත් නො වූවාහු (එහි) නො ගැලුනාහු ආදීනව දක්නාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසෙක් වේ නම් තෙල අගී.
2. 1. 5. 8.
49. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: විෂම පිරිස හා සමපිරිස හා දෙකය.
මහණෙනි, විෂම පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක අධර්‍මකර්‍මයෝ පවතිත් ද, ධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, අවිනය කර්‍මයෝ පවතිත් ද, විනයකර්‍මයෝ නො පවතිත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි මේ විෂම පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස විෂම බැවින් අධර්‍මකර්‍මයෝ පවතිත්. ධර්‍මකර්‍මයෝ නො පවතිත්. අවිනයකර්‍මයෝ පවතිත්. විනයකර්‍මයෝ නො පවතිත්. අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත වෙත්. විනයකර්‍මයෝ දීප්ත නො වෙත්.
මහණෙනි, සමපිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ධර්‍මකර්‍මයෝ පවතිත් ද, අධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, විනයකර්‍මයෝ පවතිත් ද, අවිනයකර්‍මයෝ නො පවතිත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි, මේ සමපිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්‍මකර්‍මයෝ පවතිත්. අධර්‍මකර්‍මයෝ නො පවතිත්. විනයකර්‍මයෝ පවතිත්. අවිනයකර්‍මයෝ නො පවතිත්. ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. විනයකර්‍මයෝ දීප්ත වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත්. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සම පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.
2. 1. 5. 9.
50. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධාර්මික පිරිස හා ධාර්මික පිරිස හා දෙකය. ... මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස්දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.
2. 1. 5. 10.
51. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධර්‍මවාදී පිරිස හා ධර්‍මවාදී පිරිස හා දෙකය.
මහණෙනි, අධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි වූ හෝ නො දැහැමි වූ අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් නො ද හඟවත්. හැඟවීමට නො ද එළඹෙත්. නො ද දක්වත්. දැක්වීමට නො ද එළඹෙත්. නො ඇඟවීම බලය කොට ඇති, නො දැක්වීම බලය කොට ඇති ඔහු (අයුක්ති) දුරලීමට මන්ත්‍රණ නොකරන්නාහු එම අධිකරණ (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට වැදගෙන ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි ව්‍යවහාර කෙරෙත් ද, මහණෙනි, මේ අධර්‍මවාදී පිරිස යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි හෝ නො දැහැමි අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් ද හඟවත්. හැඟවීමට ද එළඹෙත්. උනුන් දක්වත්. දැක්වීමට ද එළඹෙත්. හැඟවීම බලය කොට ඇති, දැක්වීම බලය කොට ඇති (අධර්‍මය) දුරලීමට ම මන්ත්‍රණය කරණ සුලු ඔහු එම අධිකරණය ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට පිවිස ව්‍යවහාර නො කෙරෙත් ද, මහණෙනි, මේ වනාහි ධර්‍මවාදී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ධර්‍මවාදී පිරිසෙක් වේ නම් තෙල අග්‍ර වේ.
පස්වන පිරිස් වග යි.
එහි උද්දානය:
උත්තාන, වග්ග, අග්ගවතී, අරියසූත්‍රය හා පස්වැනි කසට සූත්‍රය ද, උක්කාචිත, ආමිස, විසම, අධම්ම, ධම්මිය සූත්‍රය ද යන මොහු (දශසූත්‍රයෝ) යි.
ප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.
දෙවන පණ්ණාසකය
[6. පුග්ගල වර්‍ගය]
2. 2. 6. 1.
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් උපදනට සමත්වූවාහු ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවිමිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපනාහ.
කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජහු හා දෙදෙන ය. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලෝකයෙහි උපදනට සමත්වූවාහු බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවි මිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපදනාහ යි.
2. 2. 6. 2.
2. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලෝකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදනාහ.
2. 2. 6. 3.
3. මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්‍රවර්‍තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.
2. 2. 6. 4.
4. මහණෙනි, මේ ස්තුපාර්‍හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්‍හයෝ දෙදෙන වෙත්.
2. 2. 6. 5.
5. මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.
2. 2. 6. 6.
6. මහණෙනි, මොහු දෙදෙනෙක් සේන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරත් නො බති.
2. 2. 6. 7.
7. මහණෙනි, මොහු දෙදෙන සේන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරන කල්හි තැති නො ගණිත්.
2. 2. 6. 8.
8. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්.
2. 2. 6. 9.
9. මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්‍යාඛ්‍යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.
2. 2. 6. 10.
10. මහණෙනි, මේ ධර්‍ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්‍රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්‍ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.
2. 2. 6. 11.
11. මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ...
මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්‍ෂූහට මෙබඳු සිතෙක් වෙයි: වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්‍යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්‍ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ම මට කියයි. හිතානුකම්පා ඇති ව නො කියයි ඔහුට නැතැයි ද කියනෙමි. ඔහුට වෙහෙස ද කරමි, එය දක්නෙම් නමුදු පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ ද මට කියා නම්, අහිතානුකම්පා ඇති ව මට කියනේය. හිතානුකම්පා ඇති ව නො වේ. ඔහුට මම නැතැ’යි කියමි. ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මැදුම් මහණහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට නහමක් කියාවා, මැදුම් තෙර ද මට නහමක් කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියමි. මැදුම් තෙරුන්ට ද මම නහමක් කියමි. නවක භික්‍ෂූහට ද මම නහමක් කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, (මට) අහිතානුකම්පී ව කියන්නේය. හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ තෙමේ ද මට කියා නම්, අහිතානුකම්පී ව මට කියන්නේය, හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ සන්නිවාසය වේ. මෙසේ ද අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්.
මහණෙනි, සත්පුරුෂසන්නිවාසය කෙසේය යත්: සත්පුරුෂයෝ කෙසේ නම් එක්ව වෙසෙති යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහලු තෙරුන්ට මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් තෙරද මට කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට ද කියමි. මැදුම් තෙරුන්ට ද මම කියමි. නවක භික්‍ෂූහට ද මම කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියයි. අහිතානුකම්පී ව නො වේ, මැනවැයි ඔහුට කියමි. මම ඒ තෙරුන් නො වෙහෙසන්නෙමි. මම දක්නෙම් එයට පිළියම් කරමි. ඉදින් මධ්‍යම තෙර ද මට කියා ... නවක භික්‍ෂු තෙමේ ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියනේය. අහිතානුකම්පී ව නො කියන්නේය. (මම) මැනවැ යි ඒ තෙරුන්ට කියමි, ඒ තෙරුන් නො වෙහෙසමි, දක්නෙම් එයට පිළියම් කරමි. මධ්‍යම භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් මහණ තෙමේ ද මට කියාවා, නවක මහණ තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට කියනෙමි ... මම ද මැදුම් තෙරුන්ට කියන්නෙමි. ... මම ද නවක මහණහට කියන්නෙමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, මට හිතානුකම්පී ව කියන්නේය. අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියන්නේ නම් ... ඉදින් නවක මහණ තෙමේ ද මට කියන්නේ නම්, හිතානුකම්පී ව මට කියන්නේය, අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් පිළියම් ද කරමි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ සන්නිවාසය වෙයි. මෙසේ ම සත්පුරුෂයෝ එක්ව වෙසෙත් යයි.
2. 2. 6. 12.
12. මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්‍රෝශවශයෙන් සමවලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්‍රාහ සඞ්ඛ්‍යාත) පළාසය ද, චිත්තයෙහි වූ කෝපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්‍යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
2. 2. 6. 13.
13. මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්‍යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
සවන පුඟුල්වගයි.
[7. සුඛ වර්‍ගය]
2. 2. 7. 1.
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ගිහි සුඛ හා පැවිදි සුඛ හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි මේ සුව දෙක අතුරෙන් යම් පැවිදි සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 2.
15. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කාමසුඛය හා නෙක්ඛම්මසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නෙක්ඛම්මසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 3.
16. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්‍රෛභූමකසුඛ සඞ්ඛ්‍යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්‍යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 4.
17. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටසුඛ සඞ්ඛ්‍යාත) සාසවසුඛය හා (විවට්ටසුඛ සඞ්ඛ්‍යාත) අනාසවසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අනාසවසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 5.
18. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටගාමීසුඛ සඞ්ඛ්‍යාත) සාමිස සුඛය හා (විවට්ටගාමී සුඛ සඞ්ඛ්‍යාත) නිරාමිස සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිරාමිසසුඛයෙක් වේ ද, තෙල අග්‍ර වේ.
2. 2. 7. 6.
19. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ආර්‍ය්‍යසුඛය හා අනාර්‍ය්‍ය සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් ආර්‍ය්‍යසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 7.
20. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කායිකසුඛය හා චෛතසික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් චෛතසිකසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 8.
21. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම ද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සප්‍රීතික සුඛය හා (තෘතීය චතුර්‍ත්‍ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) නිෂ්ප්‍රීතික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතික සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 9.
22. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතසුඛය හා (චතුර්‍ත්‍ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 10.
23. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (අර්‍පණාවට හෝ උපචාරයට පැමිණි) සමාධිසුඛය හා (එසේ නො පැමිණි) අසමාධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් සමාධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 11.
24. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය ධ්‍යාන දෙක ප්‍රත්‍යවේක්‍ෂාකරන්නහුට උපන්) සප්‍රීතිකාලම්බන සුඛය හා (තෘතීය චතුර්‍ත්‍ථධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂාකරන්නහුට උපන්) නිෂ්ප්‍රීතිකාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතිකාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 12.
25. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතීය ධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතාලම්බන සුඛය හා (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාලම්බන සුඛය හා යන දෙක යි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාලම්බනසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
2. 2. 7. 13.
26. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (රූපාවචර-චතුර්‍ත්‍ථධ්‍යානය අරමුණුකොට ඇති) රූපාලම්බන සුඛය හා අරූපාවචරධ්‍යාන අරමුණු කොට ඇති අරූපාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අරූපාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේය යි.