Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 8501-8600 න් 15980

(2) ගැහැවියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෘහපත්නි අන් වරයකු (සැමියකු) වෙත යන්නී ය” මෙ බඳු සිතෙක් මුබට විය හෙන්නේ ය. ගැහැවියෙනි, තෙල එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, යම් කලෙක අප විසින් සොළොස්වසක් ගෘහස්ථක බ්‍රහ්මචර්‍ය්‍යය සමාදන් වන ලද නම් එ බව මුබ ද දන්ව, මම් ද දන්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂකයාගේ කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගරහන ලදු.
(3) ගෘහපතියෙනි, “නකුලමාතා ගෘහපත්නිය මගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දක්නට, භික්‍ෂු සඞ්ඝයා දක්නට නො කැමැති වේ”ය යි යන මෙ බඳු සිතෙක් මුබට වනු හෙයි. ගෘහපතියෙනි, තෙල මෙසේ නො දැක්කයුතු. මම මුබගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වැඩියක් ම දක්නා කැමැතියෙමි. බික්සඟුන් වැඩියක් ම දකිනු කැමැතියෙමි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂකව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු.
(4) ගැහැවියෙනි, “නකුලමාතෘගෘහපත්නි මාගේ ඇවෑමෙන් ශීලයෙහි පරිපූරකාරිණී නො වන්නීය” යන මෙ බඳු සිතෙක් තොපට ඇතිවිය හෙයි. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, එ භගවත්හුගේ සුදුවත් හඳනා ගෙහි වසන සිල්හි පරිපූරකාරිණී වූ යම් පමණ ශ්‍රාවිකාවෝ වෙත් නම් මම උන් අතුරෙහි අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම්, එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භේසකලා වන නම් මිගදාවයෙහි වසන සේක. ඒ භගවතුන් කරා ගොස් පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ නහමක් සාපේක්‍ෂව කලුරිය කරව. ගැහැවියෙනි, සාපේක්‍ෂයාගේ කලුරිය දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භගවත්හු විසිනුදු ගර්හිත ය.
(5) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නීය” යන මෙ බඳු සිතෙක් තට විය හෙයි. ගැහැවියෙනි, තෙල කරුණ එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හැඳි අධ්‍යාත්මයෙහි චිත්තශමථය ලබනසුලු යම් පමණ ශ්‍රාවිකාවෝ ඒ භගවත්හට වෙත් නම්, මම උන් අතර අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම් මෙ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භෙසකලාවන නම් මිගදාවයෙහි වෙසෙති. ඒ භගවත්හු කරා එළඹ පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගර්හිත ය.
(6) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියා, ප්‍රතිෂ්ඨාවට පැමිණියා, ආස්වාදයට පැමිණියා, තරණය කළ විචිකිච්ඡා ඇත්තී, ප්‍රහීණ කළ වෙමතිකභාවය ඇත්තී, සොම්නස් සහගිය නුවණට පැමිණියා, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තී නො වසන්නීය” යන මෙබඳු සිතෙක් තට විය හෙන්නේ ය. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම් පමණ සෙදගැමි කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආස්වාදයට පැමිණියාහු සෞමනස්‍යඥානයට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු වෙසෙත් නම්, මම ඔවුන් අතුරෙහි අන්‍යතරයක්මු. යමක් පිළිබැඳි කාඞ්ක්‍ෂායෙක් වේවයි විමතියෙක් වේවයි වේ නම්, මෙ එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩවසනසේක. එ භාග්‍යවතුන් කරා එළඹ පුළුවුස්ව. ගෘහපතියෙනි, එහෙයින් මෙකරුණෙහි ලා මුඹ සාපේක්‍ෂ ව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනු දු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගර්හිතය යි.
ඉක්බිති නකුලමාතෘගෘහපත්නිය විසින් මෙ අවවාදයෙන් ඔවදන් කරුණු ලබන නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය ප්‍රත්‍යය විසින් සන්හින. නකුලපිතෘගෘහපති එ රෝගයෙන් නැගී සිටියේ ය. නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහීණ විය.
ඉක්බිති ගිලන් බැවින් නැඟී සිටි නකුලපිතෘගෘහපති ගිලනින් නැඟීසිටි නොබෝකල් ඇතියේ සරයටියෙහි එල්බගෙන බුදුන් කරා එළැඹියේ ය. එළඹ බුදුන් වැඳ එකත්පස්වැ හින. බුදුහු පසෙක හුන් නකුලපිතෘගෘහපතිහට තෙල කරුණ වදාළහ:
ගෘහපතිය, තට මනාලාභයෙක. ගෘහපතිය, යම්බඳු තොපට නකුලමාතෘගෘහපත්නිය, අනුකම්පා ඇත්තී අරුත් කැමැත්තී, ඔවා දෙන සුලු වූවා අනුශාසනා කරන්නී වේ ද, ඒ තොපට මනා ලාභයෙක.
ගෘහපතිය, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම්පමණ මාගේ සැවිහු සීලයෙහි පරිපූරකාරිණීහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතරයක. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු අධ්‍යාත්මයෙහි සමාධිකර්‍මස්ථාන ලබන්නාහු වෙත් නම්, නකුල මාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතර වෙයි. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු මෙ ධර්‍මවිනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආශ්වාදයට පැමිණියාහු තරණය කළ විචිකිච්ඡා ඇතියාහු වෙසරද බවට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිතව වසන්නාහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නි ඔවුනතුරෙහි අන්‍යතර වෙයි.
ගෘහපතිය, තොපට ලාභයෙක. ගෘහපතිය යම්බඳු තොපට නකුලමාතෘ ගෘහපත්නීය අනුකම්පා ඇත්තී අර්‍ත්‍ථ කැමැත්තී අවවාද කරන්නී අනුශාසනා කරන්නී වේ ද, තොපට එය මනා ලාභයෙකැයි.
6. 1. 2. 7.
[කුසල සූත්‍රය]
17. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල්හි පිළිසලනින් නැඟී සිටිසේක් උපස්ථානශාලාව කරා එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි හුන්හ.
ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිටියාහු උවටන්හල කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්ව හුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද ... ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ... ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ... ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟි සිටියාහු උවටන්හල් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝකල් නිෂද්‍යායෙන් ගෙවා හුනස්නෙන් නැඟී විහාරයට පිවිස වදාළහ. එ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝකල් වත්ම හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට වැඩියහ.
එහි පැවිදිවූ නොබෝකල් ඇති මෙ ධර්‍මවිනයට අධුනාගත වූ යම් නවක භික්‍ෂුහු වූහු නම්, ඔහු සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් නිදිගත්හ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස් ඉක්ම පවත්නා විශුද්ධ වූ දිව්‍ය චක්‍ෂුසින් සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් හෝනා එ මහණුන් දුටු සේක. දැක වදාරා උපස්ථාන ශාලාව වෙත එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ එ මහණුන් අමතා වදාළසේක:
මහණෙනි, සැරියුත්හු කොහි ද? මහමුගලන්හු කොහි ද? මහකසුබුහු කොහි ද? මහකසයින්හු කොහි ද? මහාකොට්ඨිතයෝ කොහි ද? මහාචුන්‍දයෝ කොහි ද? මහාකප්පිනයෝ කොහි ද? අනුරුද්ධයෝ කොහි ද? රේවතයෝ කොහි ද? ආනන්‍දයෝ කොහි ද? මහණෙනි, එ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂුහු කොහි ගියාහු දැ?යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩී නොබෝකල් වත්ම එ ආයුෂ්මත්හු ද හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට ගියහයි.
මහණෙනි, කවරහෙයෙකින් “ස්ථවිර භික්‍ෂුහු ගියහ”යි නවක වන තෙපි කස්මින් සූර්‍ය්‍යොද්ගමය තෙක් හෝනහු ද?
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිම, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරණුයේ යව්දිව් රජකරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය, යන තෙල තොප විසින් දක්නා ලද ද? නැතහොත් අසන ලද දැ?යි
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු ‘මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජෙක් කැමැති තාක් යහන් සුවයෙහි පහස්වුවයෙහි නිදිසුවයෙහි යෙදී වෙසෙමින් යව්දිව් රජය කරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය’ යන තෙල නො මැ දක්නා ලදි. නො අසන ලදි.
මහණෙනි, එ කවරැයි හඟිවු ද? කිම, තොප විසින් ‘රැටියෙක් වේව’යි ... පියාසතු දායාද්‍ය ඇතියෙක් වේවයි ... සෙන්පතියෙක් වේවයි ... ග්‍රාම භොජකයෙක් වේවයි ... ගණදෙටුයෙක් වේවයි කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරමින් යව්දිව් පූගනායකත්‍වය කරන්නේ පූගයහට (ගණයාහට) ප්‍රිය මනාප වේය යන තෙල දක්නා ලද හෝ අසන ලද දැයි?
වහන්ස, තෙල නැත් මැයි.
මහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු (පෙ) පූග ග්‍රාමණිකයෙක් කැමැතිතාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදි සුවයෙහි යෙදී වෙසෙනුයේ යව්දිව් පූගග්‍රාමණිකත්‍වය හෝ කරන්නේය, පූගයට හෝ ප්‍රිය මනාප වන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.
මහණෙනි, එ කවරැයි හඟිවු ද? තොප විසින් ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, නිද්‍රාසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනේ කුශල ධර්‍මයන් නො සොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි (රෑ පෙරයම - පැසුළුයම) බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනානුයෝගයෙහි නොයෙදුනේ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරන්නේය’යි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනැවැ, මහණෙනි, මාවිසිනුදු ‘මහණෙක් වේවයි බමුණෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නොයෙදුනේ කුශලධර්‍මයන් නොසොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩුමෙහි නොයෙදුනේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.
මහණෙනි, එකරුණින් මෙහි ලා “ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ, භෝජනයෙහි මාත්‍රඥ වම්හ, ජාගර්‍ය්‍යායෙහි අනුයුක්ත වම්හ, කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ, පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝධිපාක්‍ෂික ධර්‍මයන් වැඩුමෙහි යෙදුනමෝ වසම්හ”යි මෙසේ හික්මිය යුතුයි.
මහණෙනි, මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.
6. 1. 2. 8.
[මච්ඡික සූත්‍රය]
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික් සඟුන් සමග කෝශල ජනපදයෙහි සැරිසරණසේක. භාග්‍යවතුන් වහන්සේ අදන්මගට පිළිපන් සේක්, අන්‍යතර ප්‍රදේශයෙක්හි මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්‍යඝාතකයකු දුටුසේක. දැක වදාරා මාර්‍ගයෙන් ඉවත්ව එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩැහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක:
මහණෙනි, තෙපි තෙල මසුන් බඳනා, මසුන් මරමරා විකුණන, මත්ස්‍යඝාතකයා දක්නහු දැ?යි
වහන්ස, එසේ ය.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? තොප විසින් මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්‍යඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියානයෙන් යන සුලුයේ හෝ අශ්වයානයෙන් යන සුලුයේ හෝ රථයෙන් යන සුල්ලේ හෝ යානයෙන් යන සුල්ලේ හෝ භෝගයන් බුදිනා සුල්ලේ හෝ මහත් භෝගස්කන්‍ධයක් ලැබ වසන්නේ හෝයි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනැව, මහණෙනි, මා විසිනුදු මසුන් බඳනා මසුන් මර මරා විකුණනා මත්ස්‍යඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් ඇතු පිටින් යන සුලුයේ වේවයි, අසුපිටින් යන සුලුයේ වේවයි, රියෙන් යන සුලුයේ වේවයි, යානයෙන් යන සුලුයේ වේවයි, භොග වළඳන සුලුයේ වේවයි, මහත් වූ භොග ස්කන්‍ධය ලබා වසන්නේ වේවයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො අසන ලදය.
එයට කවර හේතුය යත්:
මහණෙනි, හේ වධයට එළවන ලද එ මසුන් ලාමක වධක චිත්තයෙන් ම නහමයි. එහෙයින් හේ හස්තියායී නො ම වෙයි. අශ්වයායී නො ම වෙයි, රථයායී නො ම වෙයි, නො ම යානයායී වෙයි, නො ම භෝගභෝගී වෙයි, මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ නො වෙයි.
මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්‍ධය ලබා වෙසෙන්නේ හෝ යයි තොප විසින් දක්නා ලද හෝ අසන ලද දැ? යි.
වහන්ස, තෙල නැත් මැයි.
මහණෙනි, මැනව, මා විසිනුදු ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ හෝ යයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො ම අසන ලදය.
ඒ කවර හෙයින යත්:
මහණෙනි, හෙතෙම වධය පිණිස ගෙණෙන ලද ඒ ගවයන් පවිටු මනසින් නහමයි. එ හෙයින් හේ හස්තියායී හෝ නොවේ. අශ්වයායී හෝ නොවේ. රථයායී හෝ නොවේ. යානයායී හෝ නොවේ. භෝගභෝගී හෝ නොවේ. මහත් භෝගස්කන්‍ධය හෝ ලබාගෙණ නො වසයි.
මහණෙනි, එ කවරැයි හඟිවු ද? මහණෙනි, තොප විසින් “බැටළුවන් මරන්නෙක් ... හූරන් මරන්නෙක් ... ලිහිණි වැද්දෙක් ... මුවන් මරමරා විකුණන මුවවැද්දෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් ඇතුන් පිට යනුයේ හෝ අසුන් පිට යනුයේ හෝ රියෙන් යනුයේ හෝ යානයෙන් යනුයේ හෝ භෝගවළඳ කරනුයේ හෝ මහත් භෝගස්කන්‍ධය හෝ ලබාගෙණ වසනුයේ දක්නා ලද හෝ අසන ලද හෝ වේ දැ?”යි.
වහන්ස, තෙල කරුණ නැත් මැයි.
මහණෙනි, මැනව, මහණෙනි මා විසිනුදු මුවවැද්දෙක් මුවන් මරමරා විකුණමින් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායියෙක් හෝ අශ්වයායියෙක් හෝ රථයායියෙක් හෝ යානයායියෙක් හෝ භෝගභෝගියෙක් හෝ මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ යයි හෝ යන තෙල කරුණ නො ම දක්නා ලද, නො ම අසන ලදැයි.
ඒ කවර හෙයින යත්:
මහණෙනි, වධයට එළවන ලද එ මුවන් වධක සිතින් නහමයි. එහෙයින් හේ නො ම හස්තියායී වෙයි, අශ්වයායී නො වෙයි, රථයායී හෝ නො වෙයි, යානයායී හෝ නො වෙයි, භෝගභෝගී හෝ නො වෙයි, මහත් භෝගස්කන්‍ධය ලබමින් නො වෙසෙයි.
මහණෙනි, හෙතෙම වධයට එළවන ලද එ තිරිසන්ගිය ප්‍රාණීන් ලමු සිතින් නහමනුයේ නො ම හස්තියායී වෙයි. නො ම අශ්වයායී වෙයි. නො ම රථයායී වෙයි. නො ම යානයායී වෙයි. භෝග-භෝගී නො ම වෙයි. මහත් භෝගස්කන්‍ධය ලබාගෙණ නො ම වසන්නේ ය. යම් හෙයෙකින් වධයට එළවන ලද මනුෂ්‍යයකු වධක සිතින් බලන්නේ ය යන්න ඇරැබ කවර කථායෙක. මහණෙනි, එය ඔහට දිගු කලක් අහිතයට දුකට වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.
6. 1. 2. 9.
[පඨම මරණසති සූත්‍රය]
19. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘නාදික’ නම් ගම්හි ගිඤ්ජකාවසථයෙහි (ගඩොලින් කළ පහයෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත, මරණසතිය මහත්ඵල මහානිශංස වෙයි, නිවන් පිහිට කොට ඇතියේ වෙයි. අමෘතපර්‍ය්‍යවසාන කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහු නො? යි.
(1) මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් “වහන්ස, මම මරණසතිය වඩ මැ යි” භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙසිත වෙයි: “මම එක් රෑ දවාලක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක්කල්) භාග්‍යවතුන් වහන්සේගේ (ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රතිවේධාවහ වූ) ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් ආත්මහිත වූ මහණකිස බෙහෙවක්ම කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙසෙයින් මරණ සති වඩමැ යි.
(2) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, මම ද මරණ සති වඩමැ”යි.
මහණ, තෝ කිසෙයින් මරණ සති වඩහි දැ?යි.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙ සිත වෙයි: “මම දවසක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත වූ මහණකිස කරණ ලද වෙයි.” වහන්ස, මෙසෙයින් මම මරණ සතිය වඩමි යි.
(3) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
මහණ, තො කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “යම් පමණ කලෙකින් එක් දවසක් යැපෙන පමණ වළඳම් නම්, ඒකාන්තයෙන් එතෙක් කල් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණලද වේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
(4) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි තෙල සැළ කෙළේය.
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ කරුණෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලැගනිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් එකැතියෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය යි.
(5) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
මහණ, තෝ කෙසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මෙ විෂයෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් එක් අහර පිඬක් සපා වළඳම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ කොට ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
(6) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
මහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
වහන්ස, මට මෙ විෂයෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙණ) හෝ ප්‍රශ්වාස (හුස්ම බැහැර) කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ” ය යි. වහන්ස, මම මෙසෙයින් මරණ සතිය වඩමි යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුන්ට තෙල වදාළසේක:
(1) “මහණෙනි, යම් මහණෙක් ‘මම දව රැයක් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි. මෙසේ මරණසී භවාද,-
(2) “මහණෙනි, යම් මහණෙක් ‘මම දහවලක් ජීවත් වනුයෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි මරණ සතිය වඩා ද-
(3) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළඳම් නම්, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
(4) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
(1, 2, 3, 4) “මහණෙනි, මෙ මහණහු ප්‍රමත්ත ව වසන්නාහ යි ද ආස්‍රවක්‍ෂය පිණිස ලැසිව (මන්‍දව) මරණසී වඩන්නාහ යි ද කියනු ලබත්-
(5) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් ආලෝපයක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය’යි මෙසේ මරණ සතිය වඩා ද-
(6) “මහණෙනි, යම් මහණෙක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත්වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේය”යි මෙසේ මරණසතිය වඩා ද,-
(5, 6) මහණෙනි, මෙ භික්‍ෂුහු අප්‍රමත්තව වාසය කරන්නාහ යි ද, ආස්‍රවක්‍ෂය සඳහා තියුණු කොට මරණසතිය වඩන්නා හයි ද කියනු ලබත්.
මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා “අප්‍රමත්ත ව වසන්නමෝ, ආස්‍රවක්‍ෂය පිණිස තියුණු කොට මරණසතිය වඩම්හ”යි මෙසේ හික්මිය යුතු ය යි.
6. 1. 2. 10.
[දුතිය මරණසති සූත්‍රය]
20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, භාවිත බහුලීකෘත මරණසතිය මහත්ඵල මහානිසංස ඇත්තී අමෘත සඞ්ඛ්‍යාත නිවනට බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී වෙයි.
මහණෙනි, කිසෙයින් මරණසතිය භාවිත වූවා කිසෙයින් බහුලීකෘත වූවා මහත්ඵල මහානිසංස ඇත්තී නිවන් බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී ය යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ දවකල් නික්ම යත්ම රැය එළඹෙත් ම මෙසේ නුවණින් සලකයි: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති: සපෙක් හෝ මා ඩස්නේ ය. නුහුසුවෙක් හෝ මා ඩස්නේ ය. පත්වහයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරායෙක් වෙයි. පැකිලැ හෝ මම් හෙනුයෙම් නම්, මා බිදි බත හෝ නො දිරා නම්, මාගේ පිත හෝ කිපේ නම්, මාගේ සෙම හෝ කිපේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එ මට අන්තරායෙක් වේ”යි.
(2) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු: “රාත්‍රියෙහි කලුරිය කරණ මා හට අන්තරාය කර වූ මාගේ අප්‍රහීණ වූ අකුශල ධර්‍මයෝ ඇත් දැ?”යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ නුවණින් සළකනුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස වැටෙන මාගේ අප්‍රහීණ අකුශල ධර්‍මයෝ ඇතැයි”, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් සම්පාදන වීර්‍ය්‍යයත් නොහැකිළෙන වැරත් සතියත් සම්පජඤ්ඤයත් කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියේ වේව යි, ගිනි ඇවිළ ගත් හිස ඇතියේ වේව යි, ඒ පිළි හෝ ඒ හිස නිවීම සඳහා ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් උස්සොළ්හියත් අප්‍රතිවානියත් සතියත් සම්ප්‍රජන්‍යයත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හීය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා කටයුතු.
(3) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස පවත්නා අප්‍රහීණ වූ ලාමක අකුශල ධර්‍මයෝ නැතැ”යි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් කුශලධර්‍මයන්හි අහෝරාත්‍රයෙහි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් විසිය යුතුය.
(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ ඉක්ම යත් ම දවහල් එළඹෙත් ම මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝහ. සර්‍පයෙක් වේව යි මා ඩස්නේ ය. වෘශ්චිකයෙක් වේව යි මා ඩස්නේ ය. ශතපදිකයෙක් වේව යි මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි. මම පැකිල හෝ හෙම් නම්, මා විසින් බිදි බත හෝ නො පස්නේ වේ නම්, මාගේ පිත හෝ කුප්නේ නම්, මාගේ සෙම හෝ කුප්නේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙ”යි.
(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්‍ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.
(6) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහෝරාත්‍රයෙහි කුශලධර්‍මයන්හි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් වාස කටයුතු.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද මරණසති තොමෝ මහත්ඵල මහානිසංස වෙයි. අමතෝගධ වෙයි. අමතපරියොසාන වෙයි.
සාරාණීය වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
සාරාණීයසූත්‍ර දෙකක, නිස්සාරණීයසූත්‍රය, භද්දකසූත්‍රය, අනුතප්පියසූත්‍රය, නකුලසූත්‍රය, කුශලසූත්‍රය, මච්ඡසූත්‍රය, මරණසතිසූත්‍ර දෙක දැයි දසයෙකි.
3. අනුත්තරිය වර්‍ගය
6. 1. 3. 1.