[ආජීවක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත ආජීවක (අජෙලුමහණ) ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත අජෙලුමහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ යයි.
[නිගණ්ඨ සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
9-17. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත නුවට ... නුවටසවු ... දුළුලු … පිරිවැජි … මාගන්‍දික තීර්‍ත්‍ථක ... තෙදණ්ඩික තීර්‍ත්‍ථක ... ආරූද්ධක තීර්‍ත්‍ථක ... ගෝතමක තීර්‍ත්‍ථක ... දේවධම්මික තීර්‍ත්‍ථක ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේය. කවර පසෙකින් යත්:
ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්‍රමාදකාරණ වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත දේවධම්මික ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය යි. (ආජිවකාදීන්ගේ සිල්පරීමක් නැති බැවින් ස්වර්‍ගපක්‍ෂය නො වදාරන ලද)
රාගාදිපෙය්‍යාලය
[රාගාදිපෙය්‍යාලය සූත්‍ර]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගය (ස්වලක්‍ෂණ විසින්) දැනීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අශුභසංඥා යැ, මරණසංඥා යැ, ආදීනවසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත (නො ඇලීම්) සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
2. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අනිත්‍යසංඥා යැ, අනාත්මසංඥා යැ, මරණසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
3. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
අනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණසංඥා යැ, විරාගසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
4. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
5. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
ශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
[රාගාදිපෙය්‍යාලය]
[සැවැත්නිදාන යි]
6-850. මහණෙනි, රාගය (සාමාන්‍ය ලක්‍ෂණ විසින්) දන්නා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
අශුභසංඥා යැ ... මේ පස් දහම්හු වැඩිය යුත්තාහයි.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... බද්ධවෛරයාගේ ... මක්ඛයාගේ ... යුගග්‍රාහයාගේ .. ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ .. ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ (අභිජානනය පිණිස) ...
මහණෙනි, ප්‍රමාදයාගේ අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පඤ්චධර්‍මයෝ ද යත්:
ශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල යැ, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
මහණෙනි, ප්‍රමාදයාගේ දුරැලීම පිණිස මේ පඤ්චධර්‍මයෝ වැඩිය යුත්තාහ’යි.
රාගාදිපෙය්‍යාලය නිමි.
එහි උද්දානය:
අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරෝධ, චාග, පටිනිස්සග්ග යන මේ දසය අර්‍ත්‍ථපද යි.{*}
පඤ්චකනිපාතයෙහි වර්‍ගයන්ගේ මේ අනුපිළිවෙළ ය:
සේඛබල වර්‍ගය, බල වර්‍ගය, පඤ්චඞ්ගික වර්‍ගය, සුමනා වර්‍ගය, මුණ්ඩරාජ වර්‍ගය, නීවරණ වර්‍ගය, සඤ්ඤා වර්‍ගය, අට වැනි යෝධාජීව වර්‍ගය ද,
ථේර වර්‍ගය, කකුධ වර්‍ගය, ඵාසුවිහාර වර්‍ගය, අන්‍ධකවින්‍ද දොළොස්වන වර්‍ගය, ගිලාන වර්‍ගය, රාජ වර්‍ගය, තිකණ්ඩ වර්‍ගය, සද්ධම්ම වර්‍ගය, ආඝාත වර්‍ගය, උපාසක වර්‍ගය ද,
අරඤ්ඤ වර්‍ගය, බ්‍රාහ්මණ (සෝණ) වර්‍ගය, කිම්බිල වර්‍ගය, අක්කෝසක වර්‍ගය, දීඝචාරික වර්‍ගය, ආවාසික වර්‍ගය , දුච්චරිත වර්‍ගය, උපසම්පදා වර්‍ගය යන මොහු යි.
පඤ්චකනිපාතය සමාප්ත යි.
සූත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරනිකාය
චතුර්‍ත්‍ථභාගය
6. ඡක්කනිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. ආහුනෙය්‍යවර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
6. 1. 1. 1.
[පඨමාහුනෙය්‍ය සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළසේක:
මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බනයක් දැක (රාගසහගත සොම්නස් විසින්) සුමනස්ක නො මැ වෙයි. (දොස්සහගිය දොම්නස් විසින්) දුර්‍මනස්ක නො මැ වෙයි සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාස කෙරෙයි.
ශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බනයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බනයක් ආඝ්‍රාණ කොට ... ජිහ්වායෙක් රසාලම්බනයක් විඳ ... කායයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් පැහැස ... මනසින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සුමනස්ක වෙයි. දුර්‍මනස්ක නො මැ වෙයි. සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාසය කෙරෙයි.
මහණෙනි, මේ සදහමින් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
6. 1. 1. 2.
[දුතියාහුනෙය්‍ය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ ඍද්ධි ප්‍රභේද විඳුනේය: පියෙවින් එකක් ව සිට (ශතසහස්‍රාදීන්) බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාරව එකෙක් ම වෙයි. ආවිර්භාව කෙරෙයි. තිරොභාව කෙරෙයි. භිත්තියෙන් පරභාගයට පවුරින් පරභාගයට පර්‍වතයෙන් පරභාගයට අහස්හි සේ නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැඟීම් හා ගැලීම් කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳුනාදියෙහි දු යෙයි. පක්‍ෂිශකුනයකු සෙයින් අහස්හිදු පලගින් යෙයි. ඒසා මහත් ඉදුහ ඇති ඒසා මහත් ආනුභාව ඇති මේ සදහිරුනුදු අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි. පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව ද හිම්කොට කයින් විසිය පවත්වයි.
(2) පරිශුද්ධ වූ මිනිසැස් ඉක්මගිය දිව සෝධයින් දිව්‍යවූත් මානුෂ වූත් දුරැ වූත් හමුයෙහි වූත් යම් ශබ්දකෙනෙක් වෙත් නම්, ඒ උභය ශබ්දයන් අසයි.
(3) පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ නානාප්‍රකාරයෙන් දන්නේය: (අෂ්ටවිධ) සරාගචිත්තය හෝ සරාගචිත්තය’යි දන්නේ ය. (අවශේෂකුශලාව්‍යාකෘත) වීතරාග චිත්තය හෝ වීතරාගචිත්ත ය යි දන්නේ ය. (ද්විවිධදෞර්‍මනස්‍යසහගත) සදෝස චිත්තය හෝ ... (චාතුභූමකකුසලාබ්‍යාකත) වීතදෝස චිත්තය හෝ ... (විචිකිච්ඡා උද්ධච්ච සහගත) සමෝහචිත්තය හෝ ... වීතමෝහ වූ හෝ චිත්තය ... (ථින මිද්ධානුගත) සඞ්ඛිත්තචිත්තය හෝ ... (උද්ධච්චානුගත) වික්ඛිත්ත චිත්තය හෝ ... (රූපාවචරාරූපාවචර) මහද්ගතචිත්තය හෝ ... (අවශේෂ) අමහද්ගත චිත්තය හෝ ... (සකලත්‍රෛභූමක) සඋත්තර චිත්තය හෝ ... (ලෝකෝත්තර) අනුත්තර චිත්තය හෝ ... (උපචාරාර්‍පණාප්‍රාප්ත) සමාහිත වූ හෝ චිත්තය ... (එදෙකට නො පත්) අසමාහිත වූ හෝ චිත්තය ... (පඤ්චවිධ විමුක්තියෙන්) විමුක්ත වූ හෝ චිත්තය ... (එයින් විමුක්ත නොවූ) අවිමුක්ත වූ හෝ චිත්තය අවිමුක්ත චිත්ත ය යි දන්නේ ය.
(4) අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකෙරෙයි. එ කෙසේ ය යත්: එක් දැයකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු දශජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු සතලිස් ජාතියකුදු ජාති පණසකුදු, ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහිකරයි: ‘අසෝ තන්හි මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම්, මෙබඳු සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇති යෙම්’ වීමි. ඒ මම එයින් සැවැ අසෝ තන්හි උපන්මි. එහිදු මෙබඳු නැමැති යෙම්, මෙ බඳු ගොත් ඇති යෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු අහර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳුනාසුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇතියෙම් වීමි. ඒ මම එතැනින් සැවැ මෙහි උපන්මි’යි මෙසේ පැහැසටහන් ඈ විසින් ආකාර සහිත, (නාමගෝත්‍රාදි විසින්) උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය අනුස්මරණය කරයි.
(5) පරිශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ ශෝභනගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි මියයන සත්ත්‍වයන් දක්නේය: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු විපරීත දර්‍ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. ‘මේ භවත් සත්ත්‍වයෝ ද කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටිගත්තාහු සම්‍යග් දෘෂ්ටි කර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට උපත් විසින් පැමිණියාහුය’යි - මෙසේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේ ය.
(6) ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වාස කෙරෙයි.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
6. 1. 1. 3.
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
සද්ධින්‍ද්‍රියයෙන විරියින්‍ද්‍රියයෙන සතින්‍ද්‍රියයෙන සමාධින්‍ද්‍රියයෙන පඤ්ඤින්‍ද්‍රියයෙන, ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වාස කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
6. 1. 1. 4.
[බල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
සද්ධාබලයෙන විරියබලයෙන සතිබලයෙන සමාධිබලයෙන පඤ්ඤාබලයෙන, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට උපයාගෙන වෙසෙයි.
මහණෙනි, මෙ දහම් සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ.
6. 1. 1. 5.
[පඨමජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජ භෝග්‍ය හා වෙයි. ‘රාජාඞ්ගයෙක’ යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. වර්‍ණ සම්පන්න (ශරීර වර්‍ණ ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ ද රාජභෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය … හා ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. ධර්‍ම සහනු වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
6. 1. 1. 6.
[දුතියජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, අඞ්ගසයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. බල සම්පන්න (කායබල ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ අඞ්ග සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ධර්‍මයනට ක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ යයි.