[අපරමනෝදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනඃසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, විඥයෝ දැන පසසත්, කලණ කිත් ගොස නැඟේ, අසද්ධර්‍මයෙන් නැඟෙයි, සද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 9.
[සිවථික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරෝදනා (වැලපීම්) ඇත.
මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්‍රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්‍ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.
මහණෙනි, අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල් ප්‍රියශීල සබ්‍රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්‍රතිහය යි කියමි. මහණෙනි, සප්‍රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.
අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්‍යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
මහණෙනි, ප්‍රියශීල සබ්‍රම්සරහු අපවිත්‍ර වූ කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරෝදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
මහණෙනි, සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසයි.
5. 5. 5. 10.
[පුග්ගලප්පසාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, පුද්ගලයකු කෙරෙහි උපන් ප්‍රසාදයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, යම් පුදුගලයකු කෙරෙහි පුදුගලයෙක් අතිශයින් පහන් වූයේ නම්, හේ (ප්‍රසාදවිෂය වූ පුද්ගල තෙමේ) සඞ්ඝයා යම් බඳු ආපත්තියෙකින් උක්‍ෂේපනිය කර්‍ම කෙරේ නම් එබඳු ආපත්තියකට පැමිණියේ වෙයි. ඔහුට (පහන්වූ පුඟුල්හට) මෙබඳු සිතෙක් වෙයි: “මට මේ පුද්ගල ප්‍රිය මනාප වෙයි, හේ සඟහු විසින් උත්ක්‍ෂිප්තය” යි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල කොට ඇතියේ වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල කොට ඇතියේ ම සෙසු මහණුන් භජනය නොකරයි. අන්‍ය භික්‍ෂූන් ඇසුරු නො කරනුයේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ප්‍රථම ආදීනවයි.
තවද මහණෙනි, යම් පුඟුලකු කෙරෙහි පුද්ගලයෙක් අතිශයින් පහන් වේ ද, යම් ඇවතෙකින් සඟහු (යමෙකු) ආසනාන්තයෙහි හිඳුවත් නම්, හේ එබඳු ඇවැතකට පැමිණෙයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හෙතෙම සඟහු විසින් අන්තයෙහි හිඳුවන ලදැ” යි භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වූයේ ම අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නොකරන්නේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ද්විතීය ආදීනවයි.
තවද මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි පුද්ගලයෙක් අභිප්‍රසන්න වේ නම්, හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කරයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ තෘතීය ආදිනවයි.
තවද මහණෙනි ... හේ ගිහිබවට පැමිණියේ වෙයි ... ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රියමනාප වෙයි. හේ ගිහි බවට පැමිණියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ චතුත්‍ථ ආදීනවයි.
තවද මහණෙනි ... හේ කලුරිය කෙළේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ කලුරිය කෙළේය” යි ... අන්‍ය භික්‍ෂූන් නො ඇසුරු කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නො කරන්නේ සදහම් නො අසයි. සදහම් නො අසන්නේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ පඤ්චම ආදීනවයි.
මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ආදීනව පසයි.
දුච්චරිතවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
දුච්චරිත සූත්‍රය, කායදුච්චරිත සූත්‍රය, වචීදුච්චරිත සූත්‍රය, මනෝදුච්චරිත සූත්‍රය, අනෙකුදු දුච්චරිතසූත්‍ර සතරෙක, සීවථිකාසූත්‍රය, පුග්ගලප්‍රසාද සූත්‍රය දැයි දසයෙකි.
පස්වන පණ්ණාසකය නිමි.
6. සවන පණ්ණාසකය
1. උපසම්පදා වර්‍ගය
5. 6. 1. 1.
[උපසම්පාදෙතබ්බ සූත්‍රය{*}]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ විසින් (උපාධ්‍යාය වැ) උපසම්පදා කළ යුතුයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ (අර්‍හත්) ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් උපසපන් කටයුතු යි.
5. 6. 1. 2.
[නිස්සය සූත්‍රය{*}]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණහු විසින් (ඇදුරු ව සිට) නිස දිය යුතු යි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් නිස දිය යුතු යි.
5. 6. 1. 3.
[සාමණේර සූත්‍රය{*}]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණහු විසින් (වත්තෙර ව සිට) සාමණේරයෙක් එළවා (උපයා) ගතයුත්තේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවා ගතයුත්තේ ය යි.
5. 6. 1. 4.
[මච්ඡරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසෙකි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසයි.
මහණෙනි, මෙ මාත්සර්‍ය්‍යයන් අතුරෙන් ධර්‍මමාත්සර්‍ය්‍ය ය යන යමෙක් වේ නම්, තෙල අතිශයින් ලමු වේ යයි.
5. 6. 1. 5.
[මච්ඡරියපහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වෙසෙයි. කවර පඤ්ච මාත්සර්‍ය්‍යකෙනකුගේය යත්:
ආවාසමාත්සර්‍ය්‍යයාගේ ප්‍රහාණය සමුච්ඡේදය පිණිස බඹසර වෙසෙයි. කුලමාත්සර්‍ය්‍යයාගේ ... ලාභමාත්සර්‍ය්‍යයාගේ ... වර්‍ණමාත්සර්‍ය්‍යයාගේ ... ධර්‍මමාත්සර්‍ය්‍යයාගේ ප්‍රහාණය සමුච්ඡේදය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යය වෙසෙයි.
මහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය සමුච්ඡේදය සඳහා බඹසර වෙසේ යයි.
5. 6. 1. 6.
[පඨමජ්ඣාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ නො කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මේ පඤ්ච මාත්සර්‍ය්‍යයන් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා ගෙණ වසන්නට නො නිසි (නොහැකි) වේ යයි.
මහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මේ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වේ යයි.
5. 6. 1. 7-9.
[දුතියජ්ඣානාදි සූත්‍ර]
[සැවැත්නිදාන යි]
7-9. මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වේ.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට භව්‍ය වේ යයි.
5. 6. 1. 10.
[අපර පඨමජ්ඣාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වේ යයි.
5. 6. 1. 11-13.
[අපර දුතියජ්ඣානාදි සූත්‍ර]
[සැවැත්නිදාන යි]
11-13. මහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ නො කොට ද්විතීය ධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්;
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්: