Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7901-8000 න් 15980

මහණෙනි, සමවස්ථිත චාරයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අනධිගත විශේෂයට පැමිණෙයි. අධිගත නො පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් විශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රවය නො පහස්නේ ය. මිතුරන් ඇතියේ වෙයි.
මහණෙනි, සමවස්ථිත චාරිකායෙහි මේ අනුසස් පස යි.
5. 5. 3. 3.
[ප්‍රථම අතිනිවාස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, අතිනිවාසයෙහි (පමණට වැඩිකල් එක්තැන්හි විසීමෙහි) මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ භාණ්ඩ රැස්කරණුයේ බහු භාණ්ඩික වෙයි. බොහෝ බෙහෙසද් රැස්කරණුයේ බහුභේසජ්ජ වෙයි. බහුකෘත්‍ය ඇතියේ බොහෝ කරණී ඇතියේ කිංකර්‍තව්‍යයන්හි ව්‍යක්ත (කළයුතු කිමැයි සෙවීමෙහි ඇලුණේ) වෙයි. ගෘහස්ථප්‍රව්‍රජිතයන් හා එක්වී අනනුලෝම වූ (නුසුදුසු) ගිහීසංසර්‍ගයෙන් හැනී වෙසෙයි. එ අවසින් නික්මයන්නේ නමුදු සාපේක්‍ෂක වූයේ නික්ම යෙයි.
මහණෙනි, අතිවාසයෙහි මෙ දොස් පසයි.
මහණෙනි, සමවස්ථිත වාසයෙහි (සුදුසකල් විසීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ භාණ්ඩ රැස් නො කරණුයේ බහු භාණ්ඩික නො වෙයි. බොහෝ බෙහෙසද් රැස් නො කරණුයේ බහුභේසජ්ජ නො වෙයි. බහුකෘත්‍ය නැතියේ බොහෝ කරණී නැතියේ කිංකර්‍තව්‍යයන්හි ඇලුණේ නො වෙයි. ගිහි පැවිද්දන් හා එක්නොවී අනුලොම් නො වූ ගිහි සසඟින් නො හැනී වෙසෙයි. එ අවසින් නික්ම යනුයේ ද අපේක්‍ෂා නැතිව නික්ම යෙයි.
මහණෙනි, සමවස්ථිත වාසයෙහි මේ අනුසස් පසයි.
5. 5. 3. 4.
[ද්විතීය අතිනිවාස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, අතිනිවාසයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ආවාසයෙහි මසුරු වෙයි. කුලයෙහි මසුරු වෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු වෙයි. ධර්‍මයෙහි මසුරු වෙයි.
මහණෙනි, මේ අතිනිවාසයෙහි ආදීනව පස යි.
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
ආවාසයෙහි මසුරු නොවෙයි. කුලයෙහි මසුරු නොවෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු නොවෙයි. ධර්‍මයෙහි මසුරු නොවේ.
මහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ ආනිසංස පසයි.
5. 5. 3. 5.
[ප්‍රථම කුලූපග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කුලෝපග (කුලයන්හි හැසිරෙන) මහණහු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නො පිළිවිසැ ගම්වැදිමෙහි ඇවැතට අවදනේ ය. රහස්ගතව (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. පිළිසන් අස්නෙහි (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. මාගමකට සපස්වදනෙකින් මතුයෙහි දහම් දෙසන්නේ ඇවැත් අවදනේය. කාමසංකල්ප බහුලව වෙසෙයි.
මහණෙනි, කුලෝපගයා කෙරෙහි මේ ආදීනව පසයි.
5. 5. 3. 6.
[ද්විතීය කුලූපග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කල්ගෙවා කුලෙහි හැනී වසන කුලෝපග මහණහට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නිරතුරු මාගමකගේ දර්‍ශනය වෙයි. දර්‍ශනය වත්ම සසඟ වෙයි. සංසර්‍ගය වත් ම විශ්වාසය වෙයි. විශ්වාසය ඇතිවත්ම රාගයාගේ බැස ගැණීම වෙයි. රාගයෙන් බැසගන්නා ලද සිත් ඇතියහු විසින් “අභිරති (කැමැත්තක්) නැතිවැ බඹසර රක්නේ හෝ වෙයි, අන්‍යතර කිලිටිසහිත අවැතකට අවදනේ හෝ වෙයි, සිකපද ප්‍රත්‍යාඛ්‍යාන (හැරලීම) කොට හීන (ගිහී) භාවයට හෝ යන්නේ ය” යන තෙල කරුණ කැමති විය යුතුයි.
මහණෙනි, කල් ඉක්මවා කුලයෙහි හැනී වෙසෙන කුලෝපග මහණහට මේ ආදීනව පසයි.
5. 5. 3. 7.
[භොග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, භෝගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
භෝගයෝ අග්නිසාධාරණ වෙති. භෝගයෝ උදකසාධාරණ වෙති. භෝගයෝ රාජසාධාරණ වෙති. භෝගයෝ සොරුනට සාධාරණ වෙති. භෝගයෝ අප්‍රිය දායාදයන් (තමහට ප්‍රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.
මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්‍රදාරදාසකර්‍මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන්) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්‍ෂිණා පිහිටුවයි.
මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසයි.
5. 5. 3. 8.
[උස්සූරභත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, හිරුනැගි බොහෝ දහවල් අහර පිසින කුලයෙහි මේ දොස් පසෙකි.
සත්කාරාර්‍හ යම් අතිථිහූ (ආන්තුකයෝ) වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණු කෙනෙක් වෙත් නම්, නිසි කල්හි ඔවුන් නො පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ විමුඛව කර්‍ම (වැඩ හැර හිඳිත්). අසමයෙහි වැළඳූ භෝජනය එකෙණෙහි ඕජොරහිත වෙයි.
මහණෙනි, බොහෝ දහවල් කොට අහර පිසින කුලයෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, නිසි කල්හි අහර පිසින කුලෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
යම් සත්කාරාර්‍හ අතිථිහූ වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණෝ වෙත් නම්, ඔවුන් සුදුසු කල්හි පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ අවිමුඛ (උත්සුක) වූවාහු කර්‍ම කරන්නාහ. සුදුසු කාලයෙහි වැළඳූ අහර එකෙණෙහි ඕජස් ඇතියේ වෙයි.
මහණෙනි, සමයභක්තකුලයෙහි මේ අනුසස් පස යි.
5. 5. 3. 9.
[ප්‍රථම කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කෘෂ්ණසර්‍පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍රය, දුර්‍ගන්‍ධය, සභිරුකය, ප්‍රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්‍පයා කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍ර ය, දුර්‍ගන්‍ධ ය,සභිරුකය, ප්‍රතිභය සහිතය, මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
5. 5. 3. 10.
[ද්විතීය කණ්හසප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
කිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්‍රද්‍රෝහී ය.
මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්‍රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්‍රද්‍රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.
මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
දීඝචාරිකවර්‍ගය තුන් වැනි යි
එහි උද්දානය:
දීඝචාරික සූත්‍ර දෙකක් කියනලද, අතිනිවාසසූත්‍ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්‍ර ය, කුලුපගසූත්‍ර දෙක ය, භෝගසූත්‍ර ය, උස්සුරභත්තසූත්‍ර ය, කණ්ණහසප්පසූත්‍ර දෙක ය යි සූත්‍ර දසයෙකි.
4. ආවාසික වර්‍ගය
5. 5. 4. 1.
[අභාවනීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ අභාවනීය (බුහුමන් නො ලබන්නේ- නොවැඩෙන්නේ) වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න නො වූයේ (මනා ගතිපැවතුම් නැත්තේ) වත්සපන් නො වෙයි. බහුශ්‍රුත නො වූයේ ශ්‍රැතධර නො වෙයි. කෙලෙස් ලියා නො හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ නො වෙයි. කළණ බස් නැතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ නො වෙයි. මූඪ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය නො වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි. කවර පසෙකින් යත්:
ආකල්පසම්පන්න වූයේ වත්සපන් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වෙයි. කෙළෙස් ලියා හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ වෙයි. කළණ බස් ඇතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ වෙයි. ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි.
5. 5. 4. 2.
[ප්‍රිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ සබ්‍රම්සරුනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වසනේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ශ්‍රැතධර වූයේ රැස් කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණවූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍මකෙනෙක් කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. පරිබුද්ධ වූ නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත කලණ වදන් හඬ ඇතියේ කලණ වදන් ඇතියේ ද වෙයි. විසුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සව්දැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුලව ලබන්නේ ද වෙයි. ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵල සමාධි සඞ්ඛ්‍යාත චිත්තවිමුක්තිය ද අර්‍හත්ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත ප්‍රඥාවිමුක්තිය ද තෙමේ ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ සබ්‍රම්සරුන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වේ යයි.
5. 5. 4. 3.
[සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන් ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ... බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනොවට පිළිවිදියාහු වෙති. අපරිබුද්ධ වූ (නොපැටලෙන) නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත සොඳුරු වදන් හඬ ඇතියේ සොඳුරු වදන් ඇතියේ ද වෙයි. වෙත එළඹෙන්නවුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට (උද්‍යෝගී කරවන්නට) පහදවන්නට ප්‍රතිබල වෙයි. විශුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සිවුදැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුල ව ලබන්නේ ද වෙයි.
මහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි.
5. 5. 4. 4.
[බහූපකාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:
සිල්වත් වූයේ ... සමාදන්ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. කැඩුම් බිඳුම් පිළිසකර කෙරෙයි. “මහබික්සඟහු පැමිණියහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. (එ ආවාසික මහණ) ගිහියන් වෙත එළඹ ආරෝචනා කෙරෙයි: ‘ඇවැත්නි, මහබික්සඟහු එළඹිය හ. (ඔහු) නානා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) දිටුදැමියෙහි සුඛවිහරණ වූ අධිචිත්තයෙහි උපදනා වූ සිවුදැහැන් කැමති සේ ලබන සුලු වූයේ නිදුකින් ලබන සුලු වූයේ විපුල සේ ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙකරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇති වේ යයි.
5. 5. 4. 5.