Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7601-7700 න් 15980

එසේ නම් බමුණ, අස. මැනවින් මෙනෙහි කර. කියන්නෙමියි. ‘එසේ ය භවත්නි’ යි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල කරුණ වදාළහ:
හිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ බ්‍රාහ්මසම වෙයි යත්:
ද්‍රෝණයෙනි, මෙ ලොව්හි බමුණු මවුපසින් ද පියපසින් ද යන උභය පාර්ශ්වයෙන් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම සොයයි. ද්‍රෝණය, එහි (ආචාර්‍ය්‍යධනපර්‍ය්‍යෙෂණයෙහි) දු ධර්‍මය කවරේය යත්: කෘෂිකර්‍මයෙනුදු නො ම වෙයි. වණික් කර්‍මයෙනුදු නො ම වෙයි. ගෙරි රැක්මෙනුදු නො ම වෙයි. දුනුවාකමිනුදු නො ම වෙයි. රාජපුරුෂත්‍වයෙනුදු නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකිනුදු නො ම වෙයි. හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලට (අමත්‍රයට) අවමන් නො කරමින් වෙයි. හේ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හේ මෙසෙයින් පැවිදි වූයේ ම විපුල වූ මෙත් සහගිය සිතින් එක් දිශාවක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිශාවද … එ සෙයින් තෙවන දිශාවද ... එ සෙයින් සතරවන දිශාවද ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වෙසෙයි. කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිග ... එසෙයින් තෙවන දිග ... එසෙයින් සතර වන දිග ... මෙ සෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාදයෙන් යුත් උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාසය කරයි. හේ මෙ සතර බඹවෙහෙර වඩා කාබුන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට එළඹෙයි.
ද්‍රෝණය, මෙසෙයින් ම බ්‍රාහ්මණ (බ්‍රහ්සවිහාරධ්‍යානයුක්ත හෙයින්) බ්‍රහ්මසම වෙයි.
කිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ දෙවසම වෙයි යත්:
ද්‍රෝණය, මෙ ලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවුකුස් ඇතියේ ජාතාවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නො කරණ ලදුයේ වෙයි. හේ අටසාළිස්වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස්වසක් කුමරබඹසර වැස වේදමන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය නො දැහැමින් නො ව දැහැමින් ම සොයයි. ද්‍රෝණය, එහි ලා දහම් කවර: කෘෂිකර්‍මයෙන් නො වෙයි. වණික්කර්‍මයෙන් නො වෙයි. ගෙරිරැක්මෙන් නො වෙයි. දුනුවාකමින් ද නො වෙයි. රාජපුරුෂත්ත්‍වයෙන් නො වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො වෙයි. හුදෙක් භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලූ නො අවමන් කරමින් වෙයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී නොදැහැමින් නො ව දැහැමින් ම අඹුවක සොයයි. ද්‍රෝණය, එහිදු කවර ධර්‍මයෙක යත්: මිලදී ගැණීමෙන් නො වෙයි. විකිණැගැණීමෙන් නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණියක කරා ම එළඹෙයි. කැත්දුවක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා ද නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා ද නො යෙයි. සැඬැලියක කරා ද නො යෙයි. වැදි අඟනෙක කරා ද නො යෙයි. කුළුපොතු අඟනක කරාද නො යෙයි. සොම්මරු අඟනක කරා ද නො යෙයි. පුප්සඬු අඟනක කරා ද නො යෙයි. ගැබිනියක කරා ද නො යෙයි. දරුවන් කිරිපොවන්නියක කරා ද නො යෙයි. ඔසප් නොවූ මාගමක කරා ද නො යෙයි. ද්‍රෝණය, බ්‍රාහ්මණ කවර හෙයින් ගැබිනියක කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ගැබින කරා යේ නම්, උපදනා ඒ මණෙවු හෝ මෙණෙවි හෝ මහා මීළහ (ගූථරාශි) යෙහි උපන්නේ නම් වෙයි. ද්‍රෝණය, එහෙයින් බ්‍රාහ්මණ ගැබිනියක වෙත නො යෙයි. ද්‍රෙණය, කවර හෙයින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා නොයේද යත්: ද්‍රෝණයෙනි, ඉදින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා යේ නම්, එ මණෙවු හෝ මෙණෙවිය හෝ අශුචි පානය කෙළේ වන්නේ ය. ද්‍රෝණය, එහෙයින් බමුණු දරුවන් කිරිපොවන්නියක කරා නො යෙයි: ද්‍රෝණය, බමුණු කවර හෙයින් ඔසප් නො වූ බැමිණිය කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ඔසප් නො වූ බැමිණියක කරා යේ නම් යුතු නො වෙයි. ඔහට එ බැමිණි කාමය සඳහා නො වෙයි. දවය සඳහා නො වෙයි. රතිය පිණිස නො වෙයි. බමුණුහට බැමිණි ප්‍රජාසන්තානය පිණිස ම වෙයි. හෙ පුතකු හා දුවක හා උපදවා කෙස්මස් බහා කසාවත් හැඳපෙරෙව ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හෙ මෙසේ පැවිදි වූයේ ම කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරයි. හෙ මෙ සතර දැහැන් වඩා කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග (බ්‍රහ්ම) ලෝකයෙහි උපදනේ ය.
ද්‍රෝණය, මෙසේ බ්‍රාහ්මණ (ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්ම) දෙවසම වෙයි.
කිසෙයින් ද්‍රෝණයෙනි, බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි යත්:
ද්‍රෝණය, මෙලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වූයේ වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ආචාර්‍ය්‍යහට අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම ආචාර්‍ය්‍යධන සොයයි. ද්‍රෝණය, එහි ධර්‍මය කවර යත්: කෘෂිකර්‍මයෙන් ද නො ම වෙයි. වණික්කර්‍මයෙන් ද නො ම වෙයි. ගෝරක්‍ෂායෙන් ද නො ම වෙයි. දුනුවාකමින් ද නො ම වෙයි. රාජපුරුෂත්‍වයෙන් ද නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් ද නො ම වෙයි. භික්‍ෂාචර්‍ය්‍යායෙන් ම කබලු (භික්‍ෂා භාජන) නො අවමන් කරණුයේ හුදෙක් ධන සොයයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම දාරපර්‍ය්‍යෙෂණා කෙරෙයි. බමුණ එහිදු ධර්‍මය කවර යත්: ක්‍රයයෙනුදු නොවෙයි. වික්‍රයයෙනුදු නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණිය කරා ම යෙයි. කැත්කුමරියක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා නො යෙයි. සැඬලියක කරා නො යෙයි. වැදි අඟනක කරා නො යෙයි. කුළුපොතු අඟනක කරා නො යෙයි. සොම්මරු අඟනක කරා නො යෙයි. පුප්සඬුවක කරා නො යෙයි. ගැබිනක කරා නො යෙයි. දරුවන් කිරි පොවන්නියක කරා නො යෙයි. ඍතුමත් නො වූවක කරා නො යෙයි. ද්‍රෝණයෙනි, කවර හෙයින් බ්‍රාහ්මණ ගැබින කරා නොම යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බ්‍රාහ්මණ ගැබින කරා යේ නම් ... ප්‍රජාව පිණිස ම බමුණුහට බැබිණි වෙයි. හෙ මිථුනය උපදවා එ දරුගේ ම ආස්වාදය කැමති වනුයේ ගිහිගෙයි වෙසෙයි. ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නො වෙයි. පැරණි බමුණන්ගේ මර්‍ය්‍යාදාව යම්තාක් වෙ නම්, එහි සිටුනේ ය. එය නො මඩනේ ය. පැරණි බමුණන්ගේ මර්‍ය්‍යාදාය යම් තාක් නම් බ්‍රාහ්මණ එහි සිටියේ එය ව්‍යතික්‍රම නො කෙරේය යන එකරුණින් ම ද්‍රෝණය “බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇතියෙකැ” යි කියනු ලැබේ.
ද්‍රෝණයෙනි, මෙසේ බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි.
ද්‍රෝණය, කිසෙයින්, බ්‍රාහ්මණ සමහින්නමරියාද වෙයි යත්:
ද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මව්පිය දෙපසින් සුජාත වූයේ වෙයි … ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා දැහැමින් ම ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය අදහමින් නො ව දහමින් සොයයි. ද්‍රෝණය, එහිදු දහම් කවර යත්: කෘෂිකර්‍මයෙන් නො ම වෙයි. වණික් කර්‍මයෙන් නො වෙයි. ගවරක්‍ෂායෙන් නො ම වෙයි. දුනුවාකමින් නො ම වෙයි. රාජපුරුෂභාවයෙන් නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො ම වෙයි, භික්‍ෂාභාජනය (හිඟනපාත්‍රය) නො ඉක්මවා සිතනුයේ (නො ගරහනුයේ) හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් සොයයි. හේ ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍ය ධනය පවරා දී ධර්‍මයෙනුදු අධර්‍මයෙනුදු ක්‍රයයෙනුදු වික්‍රයෙනුදු දිය එව පාවාදුන් භාර්‍ය්‍යාවක හෝ බැමිණියක සොයයි. හේ බැමිණියක වෙත ද යෙයි, කැත්දුවක වෙත ද යෙයි, වෛශ්‍යස්ත්‍රියක වෙත ද යෙයි, ශුද්‍රියක වෙත ද යෙයි, සැඩලියක වෙත ද යෙයි. වැදිඅඟනක වෙත ද යෙයි, කුලුපොතු අඟනක වෙත ද යෙයි, සොම්මරු අඟනක වෙත ද යෙයි. පුප්සඬු අඟනක වෙත ද යෙයි. ගැබිනිය වෙත ද යෙයි, දරුවන් කිරි පොවන්නිය වෙත ද යෙයි. ඔසප් අඟන වෙත ද යෙයි. ඔසප් නො වූ අඟන වෙත ද යෙයි. ඔහට තෙල බැමිණි කාම පිණිස ද වෙයි, කෙළි පිණිස ද වෙයි, කාමරති පිණිස ද වෙයි. එ බමුණුහට බැමිණිය පුත්‍රප්‍රජාව පිණිස ම නො වෙයි. පුරාණ බමුණන්ගේ යම් ආචාරමර්‍ය්‍යාදාවෙක් වේ නම්, එහි නො සිටියි, එය ඉක්මවාලයි. ද්‍රෝණය, පුරාණ බ්‍රාහ්මණයන්ගේ යම් මර්‍ය්‍යාදායෙක් වේ ද, බමුණු එහි නො සිටියේ එය ඉක්මවාලයි. එහෙයින් “බ්‍රාහ්මණ සම්හින්න මරියාදා අත්තේ” ය යි කියනු ලැබේ.
ද්‍රෝණ, මෙසේ බමුණ සම්හින්න මරියාද වේ.
ද්‍රෝණය, බ්‍රාහ්මණ කෙසේ නම් බ්‍රාහ්මණචණ්ඩාල වේ යත්:
ද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මවුපසින් හා පියපසින් හා උභයපාර්‍ශවයෙන් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස් ඇතියේ වෙයි. ජාතිවාදයෙන් අක්‍ෂිපතවූයේ අනුපකෘෂ්ට වෙයි. හෙ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර සෙරෙයි. හේ මන්ත්‍ර හදාරා අටසාළිස් වසක් කුමරබඹසර සැරැ ඇදුරුහට දැහැමිනුදු නොදැහැමිනුදු කෘෂිකර්‍මයෙනුදු වණික්කර්‍මයෙනුදු ගෝරක්‍ෂායෙනුදු දුනුවාකමිනුදු රාජපුරුෂත්‍වයෙනුදු අන්‍යතර ශිල්පයෙනුදු කබලු හෙළා නො දක්වමින් හුදෙක් භික්‍ෂාචර්‍ය්‍යයෙනුදු ආචාර්‍ය්‍ය ධනය සොයන්නේය. හේ ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය පවරා දී දැහැමිනුදු නොදැහැමිනුදු ක්‍රයයෙනුදු වික්‍රයයෙනුදු දිය අතැ හෙව දුන් භාර්‍ය්‍යාවක සොයයි. හේ බ්‍රාහ්මණිය වෙත ද යෙයි. ක්‍ෂත්‍රියාව වෙත ද යෙයි. වෛශ්‍යස්ත්‍රිය කරා ද යෙයි. ශුද්‍රස්ත්‍රිය කරා ද යෙයි. සැඩොලිය වෙත ද යෙයි. වැදි අඟන වෙත ද යෙයි. කුළුපොතු අඟනක කරා ද යෙයි. සැඬොලිය වෙත ද යෙයි. සොම්මරු අඟන වෙත ද යෙයි. පුප්සඬු අඟන වෙත ද යෙයි. ගැබිනිය කරා ද යෙයි. කිරිපොවන්නිය කරා ද යෙයි. ඔසප් වූවක කරා ද යෙයි, ඔසප් නොවූවක කරා ද යෙයි. ඔහට ඒ බැමිණිය කාම පිණිස ද, දව පිණිස ද, කාමරති පිණිස ද වෙයි. පුත්‍රප්‍රජාව සඳහා ම බමුණුහට බැමිණිය නො වෙයි. හේ හැම කර්‍මයෙන් දිවි රක්නේය. තෙල පුඟුල්හට බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහ: “කවර හෙයින් භවත් ‘බ්‍රාහ්මණයෙමි’ යි පිළින කෙරෙමින් හැම කර්‍මයෙන් ජීවිකා කෙරේදැ”යි. හේ මෙසේ කියයි: “භවත්නි, යම්සේ අගතිය පවිත්‍රයත් දවා ද, අපවිත්‍රයත් දවා ද, එය හා අගතිය නො තැවරේ ද, භවත්නි, එසෙයින් ම බ්‍රාහ්මණ හැම කර්‍මාන්තයෙන් ජීවිකා කෙරේ නම්, බ්‍රාහ්මණ එය හා නො තැවරේ.” ද්‍රෝණය, බ්‍රාහ්මණයා සර්‍වකර්‍මාන්තයෙන් ජීවිකා කරන්නේ ය යන එකරුණෙන් බ්‍රාහ්මණයා “බ්‍රාහ්මචණ්ඩාල” යයි කියනු ලැබේ.
ද්‍රෝණය, මෙසෙයින් බ්‍රාහ්මණචණ්ඩාල වෙයි.
ද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වෙත් ද, යම් ඍෂි කෙනකුන් විසින් ගයන ලද පවත්වන ලද සඞ්ග්‍රහ කරණ ලද මේ පුරාණ මන්ත්‍රපදයක් වේ ද, මෙකල්හි බ්‍රාහ්මණයෝ ඒ ගීතය අනුගායනා කෙරෙත් ද, එය අනුව කියත් ද, (ඔවුන් විසින්) හදාරණ ලද්ද අනුව හදාරත් ද, (අන්‍යයනට) කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු යි. ඔහු මේ පස් බමුණන් පණවති, බ්‍රහ්මසමය, දෙවසම ය, මරියාදය, සමහින්නමරියාද ය, බ්‍රාහ්මණචණ්ඩාල ම පස්වනු ය. ද්‍රෝණය, තෝ ඔවුනතුරෙහි කතමයෙහි දැ?යි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි අපි බ්‍රාහ්මචණ්ඩාලයා පවා නො පුරම්හ. (බ්‍රාහ්මණ චණ්ඩාල තරම්‍වත් නොවම්හ)
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවි ඇතිතෙක් සරණ ගිය උපාසකයකු තොට ධරණ සේක් වායි.
5. 4. 5. 3.
[සඞ්ගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි සමරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළේ ය.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුව ම නොවැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි? භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක බොහෝ කලක් නො හදාළ මන්ත්‍රයෝත් වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමුව ම වැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි?
බ්‍රාහ්මණය, යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි පරාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි උභයාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වේදමන්ත්‍රයෝ නො වැටහෙත්, නොහදාළ වේදමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි, කසාපැහැයෙන් වේවයි, නිල්පැහැයෙන් වේවයි, මඳටිය පැහැයෙන් වේවයි, මුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන් පිරික්සනුයේ යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද … පරාර්‍ත්‍ථය ද … උභයාර්‍ත්‍ථය ද ... එ සමයෙහි යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි සජ්ඣායනා කළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, සජ්ඣායනා නො කළ මන්ත්‍රයෝ ද පළමුව මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණය ද තත්වූ පරිදි නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයද ... පරාර්‍ත්‍ථය ද .... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි ස්වාධ්‍යායී කෘත මන්ත්‍රයෝ ද නො වැටහෙත්. අස්වාධ්‍යායීකෘතමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් තැවුනු කකාළ උණුසුම් වූ දියබදනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි කොට නොදන්නේ නම්, අත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි අධ්‍යයන කළ වේදමන්ත්‍රයෝ ද නො වැටහෙත්, අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ පළමුව මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථිනමිද්ධයෙන් වැතිරගත් ථිනමිද්ධයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථිනමිද්ධයාගේ යථාභූත නිඃසරණයත් නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි යථාභූතයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි අධ්‍යයන කළ මන්ත්‍රයෝ නො වැටහෙත්. අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ කැල මැයි. බ්‍රාහ්මණය, යම්සේ සෙවෙලින් හා පෙඳින් හා වැතිරගත් දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථිනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නො දන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, නොහදාළ මන්ත්‍රයෝ කැල මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් වැළඳගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නො දක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නො හදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම? බ්‍රාහ්මණය, වාතයෙන් කම්පිත වූ සැලුනු භ්‍රාන්ත වූ හටගත් රළ ඇති දියබඳුනෙක් යම්සේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ යථාභූතයෙන් නො දන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක් හි උද්ධච්චකුක්කුච්චයෙන් වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ... ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
තවද, බ්‍රාහ්මණය, යම් කලෙක්හි විචිකිච්ඡායෙන් වැතිරැගත්, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කවරේද? බ්‍රාහ්මණය, යම්සේ නොපහන්වූ කැලැඹුණු බොරවූ දියබඳුනෙක් අඳුරෙහි තබන ලදුයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පරික්‍ෂා කරණුයේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් වැතිරැගත් විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
බ්‍රාහ්මණය, යම් කලෙක කාමරාගයෙන් නො වැතිරැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. පරාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නො හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි කසාපැහැයෙන් වේවයි නිල්පැහැයෙන් වේවයි මදටිය පැහැයෙන් වේවයි නොමුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එසෙයින් ම යම්සේ කලෙක්හි කාමරාගයෙන් නො ඇවිසැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් නොඇවිසැගත් ව්‍යාපාදයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ ගින්නෙන් නො තැවුනු නො පැසුනු උණුසුම් නොකළ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ තත්වූ පරිදි දන්නේ ය. දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නො ඇසැවිගත් ව්‍යාපාදයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතිරැගත් ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි. බ්‍රාහ්මණය, යම් සේ සෙවෙලින් හා පෙඳින් නො වැතුරුණු දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතුරුණු ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
තවද බ්‍රාහ්මණය, යම් කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොවැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් … පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් … තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, නො හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ වාතයෙන් කම්පිත නොවූ නො සසල නො බැමුනු හටගත් රළ නැති දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලනුයේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් නො වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේය, දක්නේය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
තවද, බ්‍රාහ්මණය, යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත්, විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නො හදාළ මන්ත්‍රයෝ වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ පවිත්‍ර විප්‍රසන්න වූ අනාවිල වූ දියබඳුනෙක් ආලෝකයෙහි නික්‍ෂිප්ත වූයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත් විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් ඇතැම් කලෙක දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වූ ද මන්ත්‍රයෝ නො වැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුකොටම නො වැටහෙත් නම්, මෙ හේතුය. මෙ ප්‍රත්‍යය යි. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රියෙහි නො හදාළ මන්ත්‍රයෝත් ඇතැම් කලෙක වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට ම වැටහෙත් නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යයයි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිම්ව සරණගිය උවසු කොට මා ධරණ සේක්වායි.
5. 4. 5. 4.
[කාරණපාලී සූත්‍රය]
45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහාවන කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි කාරණාපාලී බ්‍රාහ්මණ ලිච්ඡවීන්ගේ නවකර්‍මාන්ත කරවයි.
කාරණපාලී බ්‍රාහ්මණ දුරදී මැ එන පිඞ්ඟීයානී බ්‍රාහ්මණයා දුටුයේ ය. දැක පිඞ්ඟීයානී බ්‍රාහ්මණහට තෙල කීය:
භවත් පිඞඟියානී ඉතා දවල් කොහි සිට එන්නේදැ යි?
භවත්නි, මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙතින් එඹි යි.
භවත් පිඞ්ඟීයානී තෙමේ එ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය කිමැ යි හඟනේ ද? හේ පණ්ඩිතයැ යි හඟනේ දැ? යි.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා හා වියත්කම් දනිම් දැ? යි. යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය දන්නේ නම්, හේ එකැතින් එබඳු ම වේ යයි.
භවත් පිඞ්ඟීයානී උදාර ප්‍රශංසායෙන් මහණගොයුම්හු පසස්නේ ය යි.
භවත්නි, මම කවරෙකිම්, කිසෙයින් මහණගොයුම්හු පසස්නෙම් ද? දේවමනුෂ්‍යයනට ශ්‍රේෂ්ඨ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්‍රශස්ත ගුණයන් විසින් ම ප්‍රශස්තයහ.
භවත් පිඞ්ඟීයානී කවර කරුණක් දක්නේ මහණගොයුම්හු කෙරෙහි මෙ සෙයින් අභිප්‍රසන්න වේ දැ?” යි.
භවත්නි, යම් පරිද්දෙකින් අග්‍රරසයන්හි පරිතෘප්ත පුරුෂයෙක් අන්‍ය හීනරසයනට කැමති නො වේ ද, භවත්නි, එ පරිදිදෙන් ම ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්‍ම විසින් හෝ සූත්‍රාදි යම් යම් ම කරුණෙකින් අසා නම්, එ එ කරුණෙන් අන්‍ය වූ නානා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ (ලබ්ධිසඞ්ඛ්‍යාත) ප්‍රවාදයන් නො පතාමැයි. (1)
භවත්නි, යම් සේ පුරුෂයෙක් ජිඝත්සායෙන් හා දුර්‍වලභාවයෙන් මැඩුනේ මීවදයක් ලබානම්, හේ එය යම් මැ තැනෙකින් එහි රස විඳුනේ නම් අතෘප්තිකර මියුරු රස ලබන්නේ ම ය. භවත්නි, එසෙයින් ම සූත්‍ර විසින් වේව යි ගෙය විසින් වේව යි වෛයාකරණ විසින් වේව යි අද්භූත ධර්‍ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ කරුණින් සොම්නස ලබා මැයි. චිත්තප්‍රසාදය ලබා මැයි. (2)
පින්වත, යම් සේ පුරුෂයෙක් සුදුසඳුන් වේවයි, රත්සඳුන් වේවයි, සඳුන්ගැටක් ලබා නම්, හේ එය මුලින් වේවයි මැදින් වේවයි අගින් වේවයි යම් ම තැනෙකින් ආඝ්‍රාණය කෙරේ නම්, අතෘප්තිකර සුගන්‍ධය ලබාම ය. පින්වත, එසෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්‍ම විසින් වේවයි යම් ම අයුරෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ අයුරින් ප්‍රාමෝද්‍යය ලබාම ය. සොම්නස ලබයි. (3)
පින්වත, යම් සේ රෝගී වූ දුකට පත් වූ දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් වේ ද, දක්‍ෂ වෛද්‍යයෙක් ඔහුගේ රෝගය කෙණෙකින් බැහැරලන්නේ නම්, පින්වත එ පරිද්දෙන් ම සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්‍ම විසින් හෝ යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ කරුණෙන් ම ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ මොනවට අස්තයට යන්නාහ. (4)
පින්වත, යම් සේ පහන් දියැති මියුරු දියැති සුදු වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු පොකුණක් වේ නම්, වැලිත් ගිමින් තැවුනු ගිමින් මැඩුණු ක්ලාන්ත වූ තෘෂිත වූ පැන්බොනු කැමති පුරුෂයෙක් එයි, හෙ එ පොකුණට බැස පැන් සනහා පැන් බී හැම දරථක්ලමථූපරිදාහය සන්සිඳුවන්නේ ය, පින්වත, එ සෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්‍ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේ ගේ ධර්‍මය අසා නම්, එ එ කරුණෙන් සර්‍වදරථක්ලමථුපරිදාහයෝ සන්හිඳෙන්නාහයි. (5)
මෙසේ කී කල්හි කාරණපාලී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටලා දකුණුදණමඬල පොළොව්හි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දසට ප්‍රණාම කොට තෙවරක් උදන් ඇනී ය: “එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි.
භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, යම් සේ යටිහුරු කොට තබනලද්දක් උඩුහුරු කොට තබන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළාවුවකුහට මඟ කියන්නේ හෝ වේ ද, “චක්‍ෂුර්මත්හු රූ දක්නාහ” යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එලෙසින් ම භවත් පිඞ්ගියානිහු විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. භවත් පිඞ්ගියානියෙනි, තෙල මම ඒ භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හි සරණකොට යෙමි. භවත් පිඞ්ගියානී තෙමේ අද පටන් කොට මා දිවිහිම්ව (තුනුරුවන්) සරණගිය උපාසක කොට ධරාවායි.
5. 4. 5. 5.
[පිඞ්ගියානී සූත්‍රය]
46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වෛශාලී නගරාසන්නයෙහි වූ මහාවනයෙහි කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එසමයෙහි පන්සියක් පමණ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවූවාහු නිල්පැහැ ඇත්තාහු නිල්වත් ඇත්තාහු නිල් අබරණ ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීත (කහ) වූවාහු පීතවර්‍ණ ඇත්තාහු පීතවස්ත්‍ර හැඳියාහු පීතාලඞ්කාර ඇතියාහු වෙති. ඇතැම් ලිච්ඡවීහු ලෝහිත (ලේ පැහැ) වූවාහු ලෝහිත වර්‍ණ ඇත්තාහු ලෝහිතවස්ත්‍ර ඇත්තාහු ලොහිතාලඞ්කාර ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු අවදාත (සුදු) වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාතවස්ත්‍ර ඇත්තාහු අවදාතලඞ්ඛාර ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙනුදු යශසිනුදු ඔවුන් හැම ඉක්මවා බබලන සේක.
ඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරු සළුව එකස් කොටලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ” යයි.
පිඞ්ගියානිය, තට වැටහේවායි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
ඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ භාග්‍යවතුන් හමුවෙහි සාරුප්‍ය ගාථායෙන් ස්ත්‍රෝත්‍ර කෙළේය:
99. “උදාසන්හි පිපි නොහළ සුවඳැති කොකනද සඞ්ඛ්‍යාත සුවඳවත් රත්පියුමෙක් යම්සේ වේ නම්, එසේ වූ අහස්හි තෙවුනා හිරුමෙන් වොරදනා අඞ්ගීරස (සිරුරු රැස් විහිදෙන) බුදුන් බලව” යි.
එකල්හි එ ලිච්ඡවීහු පන්සියත් උතුරුසළුයෙන් පිඞ්ගියානී බමුණු පිදූහ. එකල්හි පිඞ්ගියානී බ්‍රාහ්මණ එ උතුරු සළු පන්සියෙන් භාග්‍යවතුන් වහන්සේ පිදී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ ලිච්ඡවීනට තෙල වදාළසේක.
ලිච්ඡවීනි, ලොව්හි රත්නපස්දෙනකුන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. කවර පස්දෙනකුගේය යත්:
තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ලොව්හි ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගන්නා පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගත් ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. කෘතඥවූ කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභ වේ වෙයි.
ලිච්ඡවීනි, ලෝකයෙහි මේ පඤචරතනයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වේ යයි.
5. 4. 5. 6.
[මහාසුපින සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්‍ව වූවන්ට ම පඤ්චමහා ස්වප්න කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවන්ට ම මෙ මහපොළොව මහ යහන් විය, හිමවූපවුරද කන්වයින් විය. පැදුම් සමුදුරෙහි වම්අත තබන ලදුයේ (පැදුම් සක්වළමත පිහිටියේ) විය. පැළදිග සමුදුරෙහි දකුණත තබන ලදුයේ (පැළදිගැ සක්වළමත පිහිටියේ) විය. දකුණු මුහුදෙහි උභයපාදයෝ තබන ලදහු දකුණු සක්වළමත පිහිටියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවන්ට ම මෙ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නැබින් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවනට ම කළුහිස් ඇති ශ්වේත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ තෘතීය මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නීලාදි නන් පැහැ ඇති සතර ලිහිණි කෙනෙක් සිව්දිගින් අවුදු පාමුල හෙවැ සර්‍වශ්වේතව ගියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ සතරවන මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවාහු ම මහාමීඨ (තියොදුන් වර්චස්) පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කරන්නාහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ පස්වන මහාස්වප්නය පහළ විය.
මහණෙනි, යම්හෙයෙකින් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ මහපොළොව යහන් වී ද, හිමව්පව්රද කන්වයින් වී ද, පෙරදිග මහසයුරෙහි වම්අත තබන ලද වී ද, පැළදිග සයුරෙහි දකුණත තබන ලද වී ද, දකුණුමුහුදෙහි දෙපා තබන ලද වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධතථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණලද නම් ඒ අභිසම්බෝධියට (සර්‍වඥතා ඥාන, අනාවරණ ඥාන ආදියට) (පූර්‍වනිමිත්ත වූ) මේ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නැබින් තිරිය නම් තෘණජාතියෙක් පැනනැඟී අහස්හි පැතිරැ සිටියේ වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කොට යම්තාක් (නුවණැති) දෙවිමිනිසුන් කෙරෙහි මොනවට ප්‍රකාශ කරණ ලද නම්, ඒ ප්‍රකාශයාගේ අභිසම්බොධයට (පෙරනිමිති වූ) මෙ දෙවන මහා ස්වප්නය පහළ වීය.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම කළුහිස් ඇති සුදු කෘමීහු දෙපසින් නැඟී දණමඬල තෙක් වසාසිටගත්හු නම්, මහණෙනි, සුදුවත් හඳනා බොහෝ ගිහියෝ තථාගතයන් දිවිහිම් කොට සරණ ගියාහු නම්, ඒ සරණගමනයාගේ අභිසම්බොධයට මේ තෙවන මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම සිවුදිගින් නන්පැහැ ඇති ලිහිණියෝ සතරදෙනෙක් අවුත් අනභිසම්බුද්ධ වූ බෝධිසත්‍වයන්ගේ පාමුල්හි හෙව සර්‍වශ්වේත වූවාහු නම්, මහණෙනි, ක්‍ෂත්‍රියයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහ යන මේ සතර වර්‍ණයෝ වෙත් නම් ඔහු ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත වූ ධර්‍මවිනය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිව අනුත්තර වූ විමුක්තිය සාක්‍ෂාත් කරන්නාහු නම්, එ අභිසම්බොධයට මේ සතරවන මහාස්වප්නය පහළ විය.
තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝසත් වූවාහු ම මහාමීඨ පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ චීවරපිණ්ඩපාත ශයනාසන ගිලානප්‍රත්‍යයභෛෂජ්‍ය පරික්‍ෂාකාර ලාභී වෙත් නම්, එහිදු තථාගතයෝ නො ගැටුනාහු මුසපත් නො වූවාහු නො මැඩුනාහු ආදීනව දක්නාසුලු වූවාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු වළඳනාහු නම්, ඒ නිඃසරණ පරිභෝගයාගේ අභිසම්බොධයට මේ පස්වන මහාස්වප්නය පහළ විය.
මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ පඤ්චමහාස්වප්නයෝ පහළ වූහයි.
5. 4. 5. 7.
[වස්සනතරාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, යම් වැසි අන්තරායක් නිමිත්තපාඨකයෝ නො දන්නාහු නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ චක්‍ෂුස නොවදනේ නම්, මේ ඒ වැසි අන්තරාය පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, උස් අහස්හි තේජෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (වලා) දැවී පහව යෙත්. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, වැසි පිළිබඳ මේ ඒ පළමුවන අන්තරාය වෙයි.
තවද මහණෙනි, උස් අහස්හි වායෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (විසිරී) පහව යෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ චක්‍ෂුස නො වදනේ නම්, මේ ඒ දෙවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, රාහු අසුරෙන්‍ද්‍ර අත්ලෙන් දියගෙණ (උතුසමුට්ඨාන ජලය දොහොතින් ගෙණ) මහමුහුදෙහි හෙළන්නේය. මහණෙනි, නිමිත්තපාඨකයෝ යමක් නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ තෙවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, වැසිවලාදෙවියෝ (කෙළිදෙලින්) ප්‍රමත්ත වෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ සතරවන වැසි අන්තරාය යි.
තවද මහණෙනි, මනුෂ්‍යයෝ අධාර්මික වෙති. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මේ ඒ පස්වන වැසි අන්තරාය යි.
මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මෙ ඒ වැසි අන්තරාය පසයි.
5. 4. 5. 8.
[සුභාසිතවාචා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්‍භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. සත්‍යභාෂිත ද වෙයි. ශලක්‍ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. අර්‍ත්‍ථසංහිත භාෂිත ද වෙයි. මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වචනය සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.
5. 4. 5. 9.
[කුල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයකට එළඹෙත් නම්, එහි මිනිස්සු කරුණු පසෙකින් බොහෝ පින් ප්‍රසව කෙරෙත්. කවර පසෙකින් යත්: